» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
22/01/2023 - ඉරිදා ලංකාදීප
තමිල්නාඩු ප‍්‍රාන්තය ඩ්‍රෝන තාක්ෂණයට ඇතුළුවන ලකුණු

කාන්චීපුරම් දිස්ති‍්‍රක්කය ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයට අයත් කෘෂිකාර්මික ප‍්‍රදේශයකි. යාපනයේ සිට කාන්චීපුරම් දක්වා ගමන් කරන්නට අපේක්ෂා කරන අයෙකුට කටුනායක දක්වා පැමිණ ගුවනින් චෙන්නයි බලා යා යුතු අතර එහි සිට පැය දෙකක දුම්රියකින් ගමන් කරන්නට සිදුවේ. නොබෝදා යාපනය හා චෙන්නයි අතර ගුවන් ගමන් ආරම්භ කරන ලද අතර එය රටවල් දෙක වෙන් කර තිබුණ පරතරය තවත් අවම ඇත. ඉකුත් දිනවල කාන්චීපුරම් ප‍්‍රදේශය ගැන ජාත්‍යන්තර ජනමාධ්‍යයේ අවධානය යොමු විය. එයට හේතුව බී.බී.සී. වැඩසටහනකි. එහි වාර්තාකරුවෙකු දකුණු ඉන්දියාවේ කාන්චීපුරම් හි ගොවීහු ඩ්‍රෝන තාක්ෂණයෙන් ගොවිතැන් කරන ආකාරය වාර්තා කළහ.

කාන්චීපුරම් ගොවීහු වගාවට පොහොර යෙදීම, කෘමි හානි පාලනය වැනි කටයුතු සදහා ඩ්‍රෝන තාක්ෂණය බහුලව යොදා ගන්නා බව මෙකී වැඩසටහන දැක්වීය. යාපනය ද කෘෂිකාර්මික ප‍්‍රදේශයකි. යාපනයේ සංචාරය කරනවිට ගොවියන්ගේ පසුබිම මැනැවින් පෙනේ. නගරයෙන් එපිට තවමත් ආඩි ලිං භාවිතා කෙරේ. වගාවට ජලය සපයාගැනීම, පොහොර යෙදීම ශ‍්‍රම පිරිවැය වැඩිවීමට බලපාන සාධක බවට පත්ව ඇත. ගොවියන්ට සිය වගාකටයුතු කරගෙන යෑම පහසු නැත. තරුණන් ගොවිතැනින් ඈත්වෙමින් සිටී. ඔවුහු නගරයේ සුව පහසු රැකියා සොයන අතර නගරයට හෝ වෙනත් රටකට සංක‍්‍රමණයවීම අරමුණු කරගෙන ක‍්‍රියාකරති. යාපනයේ පමණක් නොව ශ‍්‍රී ලංකාවේ සෑම ප‍්‍රදේශයකම ගොවිතැන සහ කෘෂිකාර්මික කටයුතු වලට අදාල ගැටළු රාශියක් ඇත. ගොවිබිමට තාක්ෂණය පැමිණිය යුතුය. නවීන කෘෂිකර්මය ප‍්‍රයෝජනවත්ය. නිෂ්පාදනය නංවන අතර ඵලදායීතාව හා කාර්යක්ෂමතාව ගැන සැලකීමේ දී නවීණ ක‍්‍රම අනුගමනය කරන්නට සිදුවේ.

ජාත්‍යන්තරයේ ඇති අවස්ථා තරුණ ගොවියන්ට මැයෙන් අලූත් සංකල්පයක් ඉන්දියාවේ ක‍්‍රියාත්මකය. අගමැති නරෙන්ද්‍ර මෝදි පසුගිය වසරේ එම සංකල්පය ක‍්‍රියාවට නංවමින් කෘෂි ඩ්‍රෝන සියයක් ගොවි ගම්මාන සියයක දී එකවර අහසට නැංවීය. එය එරට කෘෂි නවෝදයෙහි හැරවුම් ලක්ෂයක් සේ සැලකේ. එම වසරේ දී ම, ඉන්දියාව කෘෂිකාර්මික කටයුතු සදහා ඩ්‍රෝන යානා භාවිතා කිරීමට පහසු කරන නීති හදුන්වා දුන් අතර රියැදුරන් රහිත දුරස්ථව පාලනය වන කෘෂි යන්ත්‍රෝපකරණ සදහා ද එතෙක් පැවැති නීති ලිහිල් කළේය. ඉන්දීය රජය කෘෂිකාර්මික කටයුතු සදහා මහා පරිමානයෙන් කෙරෙන පුද්ගලික අංශයේ ආයෝජන දිරිමත් කරමින් සිටී. දැනට එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට විස් එකක් කෘෂිඅංශයෙනි. මෑත කාලය තුළ ගොවීහු අස්වැන්න අලෙවි කරගැනීම සහ ස්ථිර මිලක් සදහා අරගල කරමින් සිටි අතර ඉන්දියාවේ ජනගහනයෙන් හරි අඩක් පමණ කෘෂිකාර්මික අංශයේ ව්‍යවසායවලින් යැපෙන පිරිසකි. ආදායම ප‍්‍රමාණවත් නොවීම කුඩා ඉඩම් හිමියන් වන බහුතරයකගේ ගැටළුවකි. ගොවියන්ගේ නිෂ්පාදන රජය මගින් මිල දී ගැනීමේ ක‍්‍රියා පටිපාටිය වෙනස් කරන්නට ගත් තීන්දුවකට විරුද්ධව ගොවි උද්ඝෝෂණ පැන නැගුණ අතර එය වසරක පමණ කාලයක් තිස්සේ පැවැතිණ. ඉන්දීය රජය සිය තීරණය ආපසු හරවන අතර ගොවියා ගේ නිෂ්පාදන මිල දී ගැනීම පමණක් නොව ඩ්‍රෝන තාක්ෂණය හා දුරස්ථ පාලක කෘෂි උපකරණවලට පහසුකම් සපයන රාමුවකට ඇතුළු වී තිබේ. එවැනි පියවරකින් කෘෂි අංශයේ පිරිවැය අවම කරන අතර අලූත් යුගයකට ඇතුළු කළ හැකි වෙතැයි ඉන්දීය රජය අපේක්ෂා කරන බව පෙනේ.

තමිල්නාඩු, කර්නාටක, හර්යානා, පන්ජාබ්, සහ මධ්‍ය ප‍්‍රදේශ් ප‍්‍රාන්ත අතර එක`ගතාවයක් ඇති කරගෙන ඇති අතර එහි දී විශ්ව විද්‍යාල, ඩ්‍රෝන නිෂ්පාදකයන්, ගොවි සංවිධාන, සහ රසායනික ද්‍රව්‍ය ඇතුළු ගොවි අවශ්‍යතා සම්පාදනය කරන සමාගම් හවුල් කරගෙන ඩ්‍රෝන භාවිතය සම්බන්ධ අලූත් ප‍්‍රවණතා සකස් කරමින් සිටී. මේ අතර වෙළද පොල පර්යේෂණ වාර්තා අනුව වසර 2028 වන විට ඉන්දියාවේ ගොවීන් සිය කටයුතු සදහා ඩ්‍රෝන භාවිතය හතර ගුුණයකින් වැඩි කරගනු ඇති බව දැක්වේ. වගා කිරීම, වගාව නිරීක්ෂණය, යෙදවුම් හා අස්වනු නෙලීම සදහා ඩ්‍රෝන සහ ස්වයංකී‍්‍රය මෙවලම් භාවිතය වේගයෙන් වැඩි දියුණුවන අතර නව වෙළද පොල ඇතිවන බව මෙහි දී ප‍්‍රකාශ වී ඇත.

ඉන්දියානු රුපියල් ලක්ෂ හතරකට පමණ ඩ්‍රෝන යානයක් මිල දී ගත හැක. ව්‍යාපාරික වශයෙන් භාවිතා කරන තරමක් විශාල ඩ්‍රෝන යානා කුලියට සපයන සමාගම් බිහිවෙමින් පවතී. ඒවයෙන් කෘෂි කටයුතු වලට අමතරව ඖෂධ හා භාණ්ඩ බෙදාහැරීම කෙරේ. ඩ්‍රෝන තාක්ෂණ අංශයේ සංවර්ධනය අනුව වසර 2026 වන විට ඉන්දීය රුපියල් කෝටි පහලොස් දහසක ආදායමක් ගෙන එන තැනට පත් කිරීම ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ අභිලාශය වී තිබේ.

ඉන්දීයාවේ සැලසුම් ශ‍්‍රී ලංකාවට ආදර්ශයට ගත හැක. යාපනයට නුදුරින් තමිල්නාඩුවේ සිදුවන පරිවර්තනය දෙස අවධානය යොමු කළ යුතුය. ඉන්අගමැති නරේන්ද්‍ර මෝදි සදහන් කරන පරිදි ඩ්‍රෝන හැසිරවීම ජංගම දුරකථන භාවිතය තරම් සරල දෙයක් කළ යුතුව ඇත. අනාගතයේ දී නවීන තාක්ෂණය අනිවාර්ය සාධකයකි. ඩ්‍රෝන නිෂ්පාදනය හා අලෙවිය සම්බන්ධ ව්‍යාපාර හිතකර වාතාවරණයක් ඇති කිරීමෙන් අලූත් යුගයකට ඇතුළුවිය හැක. ඉන්දියාව ඩ්‍රෝන යාත‍්‍රා සම්බන්ධ කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් වනවිට එයට යටිතල පහසුකම් සැපයීමට ලංකාවටට අවස්ථාව ඇත. ඩ්‍රෝන මෙහෙයැවීම අලූතින් ඉගෙන ගත යුතු ශිල්පයකි. එම දැනුම සදහා අධ්‍යාපන කටයුතු අපට ඇරඹිය හැකි අතර අනාගතයේ දී වෘත්තීය අවස්ථා බහුලවේ. ඉන්දිය අහස පුරා ඩ්‍රෝන සැරිසරන විට එහි පද්ධති දෝෂ, අලූත් වැඩියා, නවීන මෘදුකාංග අලෙවිය ශ‍්‍රී ලංකාවේ තරුණන්ට නිර්මාණය වන අවකාශයකි. ගොවිතැනට ඩ්‍රෝන යොදවන පහසුව පමණක් නොව මෙවැනි පුළුල් පැති කෙරෙහි නිරීක්ෂණයක් අවශය කෙරේ. පලාත් මට්ටමින් ද ප‍්‍රතිපත්ති තීරණ ගත හැක. ඉන්දියාවේ ප‍්‍රාන්ත එකතු වී ක‍්‍රියාත්මකවන ආකාරයට ලංකාවේ පලාත් සභා දෙකක තුනකට එකට එකතු වී තීරණ ගත හැක. මධයම රජයට යෝජනා කරන්නට අවස්ථාව තිබේ. සෑම පුද්ගලයෙකු අත ස්මාට් ජංගම දුරකතනයක් පවතින හා සමානව සෑම ගොවිපොලකම ඩ්‍රෝන යාත‍්‍රාවක් යෙදවෙන දිනය ඈතක නොවේ.

ඉන්දියානු ආණ්ඩුව චීනයෙන් යාත‍්‍රා ආනයනයට අවසර නිකුත් කරන අතර අමතර කොටස් ගෙන්වා ඉන්දියාවේ දී එකලස් කරන කම්හල් සදහා සහන ලබා දෙන යෝජනාවක් ද ඉදිරිපත් කර තිබේ. ඩ්‍රෝන යාත‍්‍රා බලපත‍්‍ර නිකුත් කරන ක‍්‍රමවේදය සරල කරන්නට නියම කිරීම තවත් උපායක් බව දැක්වේ. මිනිසුන් රහිත ටැක්සි වශයෙන් භාණ්ඩ හා ලියැකියැවිලි එහා මෙහා යැවීමේ දී උපයෝගීතාව මත අලූත් අවස්ථා යෝජනා කරන ඉන්දීය ආණ්ඩුව, එය ජනප‍්‍රිය කිරීමෙහි පියවරක් වශයෙන් ඉන්දීය රුපියල් කෝටි එකසිය විස්සක් - දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන දහසයක, සහනාධාර ව්‍යාපෘතියක් ද ප‍්‍රකාශයට පත් කරයි. ශ‍්‍රී ලංකාවේ ආයෝජන අංශ ද රජය ද මෙවැනි අලූත් අවස්ථා ගැන සොයා බැලිය යුතු අතර ශ‍්‍රී ලංකාව පමණක් නොව කලාපය ඉලක්ක කරගෙන සැලසුම් නිර්මාණය කළහොත් වැඩදායකය.