» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
21/11/2021 - ඉරිදා ලංකාදීප
නාලන්ද විශ්ව විද්‍යාලයෙන් තාක්ෂණික යුගයට අලූත් ආලෝකයක්

මගධ දේශය පැරණි ඉන්දියාවේ මහා ජනපද වලින් එකකි. ශිෂ්ඨාචාරයේ දෙවැනි යුගය තුළ මහා ජනපද දහසයක් ගැන ඉතිහාසයේ සදහන්ය. මගධ දේශය එයින් එකකි. පැරණි නාලන්ද විශ්ව විද්‍යාලයෙහි ප‍්‍රභාව දේශදේශාන්තරවල පැතිර ඇති අතර මගධ රාජධානියේ බුද්ධි ප්‍රභවයක තරම මැනැවින් විදහා දක්වන්නීය. පසුව එය විනාශ වී තිබේ. විශිෂ්ඨතම අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් වශයෙන් නාලන්දාවට වෙනම පරිච්ජේදයක් ලෝක ඉතිහාසයේ ඇත. මගධ දේශය අද බිහාර් ප‍්‍රාන්තයයි. පැරණි නාලන්දාව නැවතත් එහි ප‍්‍රතිශ්ඨාපනය කරන්නට ඉන්දියාව පියවර ගනිමින් සිටී.

බිහාර් ප‍්‍රාන්තය ඉන්දියාවේ නැගෙනහිර ප‍්‍රදේශයේ පිහිටා ඇත. විශාල ජනගහනයක් සහිත ප‍්‍රාන්ත ලැයිස්තුවේ තුන්වැනි තැන බව දැක්වේ. බටහිර ප‍්‍රදේශයට නේපාලයෙන් හා උතුරු පැත්තට බටහිර බෙංගාලයෙන් යා වී ඇති බිහාර් ප‍්‍රාන්තය මෑතක් වන තුරු දුප්පත්කමින් සහ දුර්වල දේශපාලන ක‍්‍රියාකාරකම් හේතුවෙන් පසෙක තිබුණි. 2004 වසරේ ද ඉකොනොමිස්ට් සගරාව බිහාර් ප‍්‍රාන්තයේ දුඛිත ස්වභාවය අනාවරණය කළ අතර ඉන්දියාවේ නරකම ප‍්‍රදේශය සේ හැදින්වීය. දුප්පත්කම, අධ්‍යාපනයේ පිරිහීම යනාදියට දේශපාලනඥයෝ වගකිව යුතු බව ප‍්‍රකාශ කර තිබුණි. ප‍්‍රාන්ත දේශපාලනයේ දුබලතා ගැන විවිධ මතාන්තර ඇත. යටිතල පහසුකම් දුබල තැනක පවතින අතර මධ්‍යම රජය පවා එය කෙරෙහි නොසැලකිල්ලක් දක්වන බව දිග කාලයක් තිබුණ චෝදනාවකි. ජනතාව තුළ කුළ හා ආගම් බේධ ඇත.

ඉතාම සංකීර්ණ සංස්කෘතික පසුබිමකි. බිහාර් ප‍්‍රාන්තය තුළ පමණක් එකිනෙකට වෙනස් ප‍්‍රධාන භාෂා තුනක් භාවිතා වෙයි. හින්දි හා උර්දු රාජකාරි කටයුතු සදහා නිල වශයෙන් පිලිගැනේ. සුළු භාෂා ගණනාවකි. දැඩි හින්දු ආගමික අනන්‍යතාවයක් පවතින අතර මිත්‍යා විශ්වාස ගෙරෙහි ගම්බද ප‍්‍රදේශවල ජනතාව නැඹුරු වී සිටින බව පෙනේ. 2016 මාර්තු මාසයේ සිට බිහාර් ප‍්‍රාන්තය තුළ මත්පැන් භාවිතය හෝ අලෙවිය තහනම් කර තිබේ. එය විශේෂ කරුණකි. මත්පැන් පානය කර සැරි සරන කිසිවෙකු නැත. අහිංසක ගැමියෝ ඉතා සුළු මුදලක් සොයා ගැනීමට අපමණ වෙහෙසෙති. ජාත්‍යන්තර වාර්තා අනුව මත්පැන් තහනම සංචාරක ආකර්ශණයට ද බාධාවකි. මගධ දේශයට අයත්ව තිබුණ වෙලූවන, රජගහ, ගිජ්ජකූඨ වැනි ස්ථාන දැක බලාගන්නට එන බෞද්ධ බැතිමතුන්ගෙන් පවා බිහාර් ආර්ථිකයට විශාල වාසියක් ලැබී නැති බව වාර්තා දක්වයි.

නාලන්ද විශ්ව විද්‍යාලය බිහාර් හි දැවැන්ත සංකේතයකි. පොදු ව්‍යවහාර වර්ෂ වලට කලින් යුගයේ අධ්‍යාපන ප‍්‍රබෝධයට එයින් විශාල පිටිවහලක් ලැබී තිබුණි. ලෝකයේ පළමු නේවාසික විශ්ව විද්‍යාලය වශයෙන් නාලන්ද ගැන විශේෂයෙන් කියැවෙයි. රාජ්ගීර් නගරය වශයෙන් දැන් හැදින්වෙන ස්ථානයට නුදුරින් පිහිටා ඇති අතර එය එකල පාඨලීපුත‍්‍ර යනුවෙන් හදුන්වන ලද ස්ථානයට කිලෝ මීටර් 90 ක් එපිටින් පිහිටා ඇත. පට්නා නගරයෙහි අභ්‍යන්තර ගුවන් තොටුපොලක් තිබේ. එතැන ඓතිහාසික පාඨලීපුත‍්‍ර නගරය සේ සැලකේ. ගුප්ත අධිරාජ්‍ය යුගයේ පැරණි නාලන්ද විශ්ව විද්‍යාලය බිහි වී ඇත. බුද්ධ ධර්මය අධ්‍යයනයට පමණක් සීමා වී නොතිබුණ බව දැක්වේ. වසර හත්සිය පනහක් පමණ මහායාන බුදු දහම උගන්වන, ලෝකයේ උසස්ම අධ්‍යාපන ශාස්ත‍්‍රාලය සේ පැවැතී ඇත. ගුරුවරුන් දෙදහසක් උගන්වන ලද එහි ශිෂ්‍යයන් දස දහසක් අධ්‍යාපනය ලබන්නට ඇතැයි සැලකේ. නාලන්ද මහා විහාරය බුද්ධ, හින්දු, වේද, භාෂා, වෛද්‍ය, තර්ක ශාස්ත‍්‍රය හා ගණිතය ද උගන්වා ඇති බව සදහන්ය. චීන, කොරියාව, ජපානය, ටිබෙට්, මොංගෝලියාව, තුර්කිය හා ශ‍්‍රී ලංකාව වැනි රටවලින් විද්වතුන් කැදවා ශාස්ත‍්‍රය දියුණු කරන ලද බව එහි ඉතිහාය සනාථ කරයි. මෙහි ඉගැන්වීමේ ක‍්‍රම සහ ගෘහ නිර්මාණ සාක්ෂි එයට සාධක වී තිබේ. එහි ලියැවුණ සංස්කෘත් කෘති වලින් සෑහෙන ප‍්‍රමාණයක් අවස්ථා ගණනක චීනයට රැගෙන ගිය අතර ඒවා පසුව නැගෙනහිර ආසියාවේ බෞද්ධ ප‍්‍රබෝධය ඇති කරන්නට හේතු වූ බව සදහන් කළ යුතුය. එම කොටස් නොතිබෙන්නට මෙම විශ්ව විද්‍යාලයේ අතීතය අන්ධකාරයෙන් වැසී පවතිනු ඇත. අද වන විට ඓතිහාසික නාලන්ද මහා විහාර භූමිය යුනෙස්කෝ ලෝක උරුමයකි. සංරක්ෂණය කෙරේ. ගොඩනැගිලි වල නටඹුන් එහි ඇත.

2010 වසරේ දී ඉන්දීය රජය නාලන්ද විශ්ව විද්‍යාලය නැවත ඇති කරන තීරණයකට එළැඹිණ. ජාතික වැදගත්කමකින් යුතු අධ්‍යාපන ආයතනයක් වශයෙන් පුනර්ජීවණයකට ලක් කෙරෙමින් තිබේ.

හත් වැනි සියවසේ දී ගොඩනැගුණු මෙම අධ්‍යාපන කේන්ද්‍රස්ථානය කරා ලෝකයේ නොයෙක් රටවල අවධානය ලැබී ඇත. එහෙත් දොලොස් වැනි සියවසේ දී ඉරාන ඇෆ්ගන් හමුදා නායකයෙකු නාලන්දාව ආශ‍්‍රිත ප‍්‍රදේශය ආක‍්‍රමණය කර එහි තිබුණ උද්දීපනය විනාශ කරන ලද බව ඉතිහාසය දක්වයි. වසර අට සියයක් තිස්තේ පැවැති පැරණි විභූතිය ඉන්දීය රජය නැවත ගොඩනගමින් සිටී. ඉන්දීය මතධාරීන්ට අනුව නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා ඉන්දියාව පුනර්ජීවණය කරා ගෙන යන දැවැන්ත ව්‍යායාම අතර ඉදිරියෙන්ම සනිටුහන් කළ හැකි ස්ථාන දෙකක් තිබේ. එකක් බිහාර් ප‍්‍රාන්තයේ නාලන්ද විශ්ව විද්‍යාලය නැවත ඇති කිරීම සහ අනෙක රාමායන වෘතාන්තය අනුව යමින් දැවැන්ත රාම් දේවාලය අයෝධ්‍යා ප‍්‍රාන්තයෙහි ඉදිකිරීමයි.

2006 වසරේ දී ඉන්දීය ජනාධිපති අබ්දුල් කලාම් මහතා බිහාර් ප‍්‍රාන්තයේ ප‍්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවව අමතමින් නාලන්දාව පුනර්ජීවනයට අදහස පළමුවෙන් ඉදිරිපත් කර ඇති බව දැක්වෙයි. සිංගප්පූරු රජය ද එකී කාලයේ ඉන්දීය රජයට එම අදහස යෝජනා කර ඇත. බිහාර් ප‍්‍රාන්තය හිටපු ජනාධිපතිවරයාගේ යෝජනාව පිලිගත් අතර රාජ්ගීර් කදු පාමුල අක්කර 450 ක භූමියක් හදුනාගෙන එය අත්පත් කරගත් බව මෑත කාලීන වාර්තා දක්වයි.

අලූතින් ඉදිවන නාලන්දා විශ්ව විද්‍යාලය ඉන්දියාවේ ඇති දහස් ගණනක් විශ්ව විද්‍යාල අතරින් එකකි. සුවිශේෂ අනන්‍යතාවයක් සොයා ගැනීමට වෑයම් කරමින් සිටී. ඉන්දියාව රාජ්‍ය හා පුද්ගලික අංශයේ අධ්‍යාපනය සදහා විවෘත අවස්ථා ඇති රටකි. සෑම ප‍්‍රාන්තයකම පාහේ තරගකාරීව අධ්‍යාපනය ක‍්‍රියාත්මකය. තාක්ෂණ විෂය සදහා ඉන්දිය අධ්‍යාපනය තුළ විශේෂ ස්ථානයක් ඇත. උසස් අධ්‍යාපනයට ඉන්දීය දරුවන් තුළ ඉමහත් ඇල්මක් තිබේ. පවුල් පසුබිම කොපමණ දුලබ නමුත් සෑම දරුවෙකුටම ශාස්ත‍්‍රපති හෝ පශ්චාත් උපාධිය සදහා පහසුකම් ලබාගෙන ඇත. මුදල් ගෙවා අධ්‍යාපනය ලැබීම වෙනස් තත්ත්වයක් නොවේ.

සිය පැරණි අනණ්‍යතාව අනුව ඉතාම උසස් අධ්‍යාපන පිලිවෙත් හා සියළු රටවලට විවෘත භාවය ඇති කරන සංකල්පයක පිහිටා නාලන්දා විශ්ව විද්‍යාලය ක‍්‍රියා කරයි. දැනටත් ශ‍්‍රී ලංකාවේ දරුවන් දෙදෙනෙකු එහි ඉගෙන ගනිමින් සිටිති. තවත් දෙදෙනෙකු ගේ ඉල්ලීමක් අනුමත කර ඇති අතර ළගදීම බදවා ගන්නා බව එහි පාලක මණ්ඩලය කියයි. විශ්ව විද්‍යාලය ඉදිවෙමින් පවතින තැනකි. ගොඩනැගිලි සකස් වෙමින් තිබේ. තවමත් එහි අවස්ථා සිසුන් හය සියයකට සීමා වී ඇත. කාර්ය මණ්ඩලය ඉතාම විශිෂ්ට පුද්ගලයන්ගෙන් තෝරා ගැනීමට ඉන්දීය අධ්‍යාපන බලධාරීහු තීරණය කර තිබීම විශේෂත්වයකි. නාලද්නා විශ්ව විද්‍යාලය සදහන් කරන පරිදි ධර්ම ශාස්ත‍්‍රීය පමණක් නොව විද්‍යා, දේශපාලන හා සමාජ අංශයන් හි නොයෙක් උපාධි හා පශ්චාත් පාඨමාලා ඉදිරියේ දී ඇරඹෙන අතර සුදුසු පරිදි ශිෂ්‍යත්ව ක‍්‍රමයක් ද හදුන්වාදීමට නියමිතය. පළමු වසරේ ඉගෙනුම සාක්ෂාත් කරගන්නා ආකාරය අනුව ඊළග වසරවල නොමිලේ ඉගැන්වීම ගැන සලකා බලනු ඇත. නේවාසිකාගාර පහසුකම් සම්පූර්ණ කරමින් සිටී. බිහාර් ප‍්‍රාන්තයේ ජීවන වියදම අඩුය. සමාන්‍ය ජන ජීවිතයක් පවතී. මත්පැන් තහනම තදින් බලපවත්වන අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් දවස සාමකාමීය. නාලන්දා විශ්ව විද්‍යාලයට දරුවන් යවන්නට කල්පනා කරන ශ‍්‍රී ලාංකේය දෙමාපියන්ට එය සැනසිල්ලක් විය හැකිය. දිල්ලියට කෙලින්ම ගුවනින් පැමිණ එතැන් සිට අභ්‍යන්තර ගුවන් මගින් හෝ ගයා දක්වා වේග දුම්රියකින් පැමිණ නාලන්දා විශ්ව විද්‍යාලය කරා ළගා විය හැකි පහසුව තිබේ.

2017 වසරේ පිලිපීනයේ දී හමුවූ ලෝක නායකයෝ නාලන්ද විශ්ව විද්‍යාලය නැවත ගොඩනගන අරමුණට සම්පූර්ණ සහාය පළකර ඇත. ශ‍්‍රී ලංකාව පවා එහි එක පාර්ශවයකි. බුද්ධි ප‍්‍රබෝධය ඇති කර ආසියාවේ යුගය නැවත ගොඩනගන්නට නම් ශාස්තී‍්‍රය පරිසරයක් අවශ්‍යය. සංවාදය වැදගත්ය. නිරර්ථක ඝෝෂා අද රටවල් හරහා හමායන කුණාටුවකි. කුඩා කණ්ඩායම් බලවත් ෂෝෂාවල් ඇතිකරමින් සිටින අතර ජන සමාජය ඒවායෙහි අරුත් සුන් ස්වභාවය ගැන නොදැන හැසිරී අවසානයේ, පසුතැවිල්ලට පත්වෙති. නිසි අධ්‍යයනයක් සහිත ගැඹුරු චින්තනයකින් හෙබි යුගයක් සදහා අධ්‍යාපනය පළමු තැන තැබිය යුතුව තිබේ.