» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
21/08/2022 - ඉරිදා ලංකාදීප
ඉදිරි පිම්මක් සදහා පංච ප‍්‍රාණ සංකල්පය

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා, හැත්තෑ පස්වන ඉන්දිය නිදහස් දින සැමරුම් අවස්ථාවේ දී රට එකතු කරන සහ රට ගොඩනගන පංච ප‍්‍රාණ දර්ශනයක් ඉදිරිපත් කළේය. අධිශ්ඨානයකින් රට ඉදිරියට ගෙනයා යුතු අතර එයින් මෙපිට විසදුමක් නැත. රටට තිබිය යුතු පළමු ජිවන හුස්ම අධිශ්ඨානය බව එතුමා දක්වයි. සම්පූර්ණයෙන්ම වහල්භාවයෙන් මිදුණු මානසික තත්ත්වයක් ඉන්දියානුවන්ට අවශ්‍ය අතර වසර සිය ගණනක් තිස්සේ පවතින වහල්බාවයේ හැගීම් ඔස්සේ විකෘති චින්තනයක තවමත් ශේෂගතව පවතින බව මෝදි අගමැතිවරයා ප‍්‍රකාශ කරන ලදී. අධිශ්ඨානය හා නිවහල් භාවය පළමු හා දෙවන ප‍්‍රාණ වශයෙන් සදහන් කරන හෙතෙම ඉන්දියාවේ ඓතිහාසික උරුමය තුන්වැනි ප‍්‍රාණය වශයෙන් ඔහු ගේ කතාවේ දී ප‍්‍රකාශ කළේය. එකමුතුකම හා සහජීවනය හතරවැනි ප‍්‍රාණය වශයෙන් ද පුරවැසියන්ගේ යුතුකම හා වගකීම පස්වැනි ප‍්‍රාණය වශයෙන් ද දැක්විය හැකි බව කියා සිටියේය.

වහල්භාවයේ හැගීම් තුළ තවමත් වෙළී සිටින ඉන්දියාවට ස්වර්ණමය යුගයක් කරා යා හැකි අතීත උරුමය අමතක කර ඇත. එක භාරතයක් ගැන හැගීමක් සහිතව එකතුවන ජනී ජනයා සතු ශක්තිය හා වගකිම බලවත් බව අගමැතිවරයා සිය දේශණයේ දී සනිටුහන් කරන වැදගත් කරුණකි. ඉන්දියාව දකින සිහින සාක්ෂාත් කරගැනීම සදහා ඉදිරි වසර විසි පහ තුළ වගකීමකින් ක‍්‍රියා කළ යුතුව ඇති බව ඔහු අවධාරණය කළේය.

අනාගතය ගැන දකින සිහිනය ලොකුු එකක් වන විට එය සාක්ෂාත් කරගැනීම සදහා දැවැන්ත උත්සාහයක් තිබිය යුතුය. එයට ශක්තිය එකතු කළ යුතුව ඇත. 1940-42 කාලයේ සිදුවූයේ එය බව නරේන්ද්‍ර මෝදි මහතා ප‍්‍රකාශ කළේය. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පාලනයෙන් ගැලවෙන්නට ඇතැමෙකු අතට අසුවන කොස්ස පවා ගත් අතර තවත් කිසිවෙකු මුගුරු ගත්තේය. සමහර දෙනෙකු විප්ලවය තෝරාගත් අතර අරගලයය එහි දී තෝරාගත් තවත් පැත්තකි. මෙම කොටස් එකට එකතු විය. කුඩා කොටස් වශයෙන් වෙන්ව තිබුණිනම් වහල්භාවය තව දුරටත් පවත්වාගෙන යන්නට අධිරාජ්‍යවාදීන්ට හැකිවනු ඇති බව අගමැති මෝදි මහතා උදාහරණයක් සේ දැක්වීය.

ඉන්දියානු නිදහස් සටනට සමාන්තරව ශ‍්‍රී ලංකාව ද නිදහස සදහා ක‍්‍රියා කළ ගමනක් අතර වෙන් වෙන්ව නිදහසට පසු පැමිණි ගමනේ එක්තරා සන්ධිස්ථානයක පැමිණ ඇත. දෙරට අතර පරතරය ගැන අවධානය යොමු කරන විට ගමන් කරන ලද මාවතේ උස් තැන් සහ පහල තැන් පැහැදිලිව පෙනේ. ශ‍්‍රී ලංකාව වරද්දාගත් තැන් සහ නිවැරදිව තීරණ ගත යුතුව තිබුණ තැන් ගැන අවබෝධ කරගත හැකිය. ලබන වසරේ පෙරවාරි හතරවැනි දා ශ‍්‍රී ලංකාවේ නිදහස් සමරුව තිබේ. ශ‍්‍රී ලංකාව සලකා බැලිය යුතු ඇති ප‍්‍රාණ පහ ගැන අද සිට අවධානය යොමු කළ යුතුය. නිදහසින් දශක ගණනාවකට පසු පවා ශ‍්‍රී ලංකාව නැවත නැවතත් අරගල කරමින් සිටී. පසුගිය දිනවල කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන රට පුරා දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් පැවැතිණ. මහජන කැළඹීම් සුලබය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය පවතින රටවල විවිධ මත, විවිධ අදහස්, මතුවන විට සමාජය නොසන්සුන් තත්ත්වයට පත්වේ. එහෙත් ඒවා ඉදිරි දැක්මක්, සැලැස්මක් තුළ පැවැතිය යුතුය.

ශ‍්‍රී ලංකාවේ පැවැති නොසන්සුන්භාවයට හේතුව කුමක්ද? ආර්ථිකය දුර්වල විය. ආදායම අඩු වී වියදම ඉහළ ගොස් තිබේ. විදේශ විනිමය සංචිත අඩුම තැනට පත්ව ඇති අතර දේශීය හා විදේශීය ණය බර උත්සන්න වී ඇත. මහජන අවශ්‍යතා සාක්ෂාත් කරන්නට නොහැකි විය. ආර්ථිකය හා සමාජය ගොඩනගන්නට ඉක්මනින් ගත යුතු තීරණ රැසක් ඇත. සමාජයේ විනය ගොඩනැගිය යුතුය. නීතිය අතට ගෙන හැසිරෙන, කඩාකපල්කාරී ක‍්‍රියාවලට ඉඩ දිය යුතු නැත. ආර්ථිකය නිසි මගට ගැනීමට සිදුවේ. අපනයන වැඩි කර විනිමය උපයා ගත යුතුය. වියදම කළමණාකරණය කරගත හැකි තරමට ආදායම සොයා ගැනීමට සිදුවේ. ඇතැම් බදු වැඩි කරන්නට සිදුවේ. නැත්නම් වියදම කපා හැරිය යුතුය. තරගකාරී ආර්ථිකයකට ගැලපෙන, අලූත් මුල්‍ය නීති සහ අණ පණත් රටට අවශ්‍යය. අලාභ, අසාර්ථක ව්‍යවසාය බවට පත්ව ඇති රාජ්‍ය ආයතන ගැන තීරණ ගැනීම ද අවශ්‍යතාවයකි. පෞද්ගලීකරණය කරන කරන්නට සිදුවේ. සහන අඩු කළ යුතු අතර සහන ලැබිය යුතු පිරිස තෝරා කෙලින්ම ආධාර කළ හැකිය. ආර්ථිකය ගොඩනගන සමාජය නැවත පුබුදුවන සහ ශ‍්‍රී ලාංකිකයන්ගේ සිහින සැබෑ කරන පාණ හා සමාන තීරණ පහක් රටට අවශ්‍යය.

අපගේ අධිශ්ඨානය කුමක්ද? මොනවා හෝ ක‍්‍රමයකින් බලය ලබා ගැනීමය. බලයට පත් වූ පසු ඉහළ තනතුරකි. පාලකයන්ට තනතුරු බෙදා, වරප‍්‍රසාදිත පංතියට තල්ලූ කර සදාකාලිකව තැලෙන, පෑගෙන තැන ජීවත්වෙන්නට සමාජය සූදානම් නැත. අපට ද ඉතිහාසයක් තිබුණි. ආඩම්බරවිය හැකි උරුමයක් ඇත. අධිරාජ්‍යවාදයෙන් ලැබුණ වහල්භාවයේ කොටස් වලින් ගැලවී, සමාජය එකතු කරන බලවත් අධිශ්ඨානයක් අවශ්‍යය. නායකයන් එකතු වුවහොත් සමාජය එකතු කළ හැක. අපට ඇත්තේ බෙදීම්ය. ජාති, කුළ, ආගම්, පංති, දේශපාලන පක්ෂ වශයෙන් බෙදුණු සමාජයක් එක අරමුණකට ගොනු කිරීම පහසු නැත. දැනට ඇති මාධ්‍ය බාවිතාව, සමාජ මාධ්‍ය හැසිරෙන වටපිටාව එය තවත් අසීරු කරයි. අපට අවශ්‍ය කරන්නේ අවුල් ඇති කරන ක‍්‍රමයක් ද? මතබේධ තුරන් කර පොදු සාධකයක් සොයාගන්නා ක‍්‍රමවේදයක්ද? උත්තරය සොයා ගත යුතුය. වගකීමක් ඇති, රට වෙනුවෙන් කැපවන පිරිසක් බවට පාලකයන් පමණක් නොව පුරවැසියන් ද පත්කර ගැනීම අවශ්‍යතාවයකි.

ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හැත්තෑ පස්වන නිදහස් සංවත්සර කතාවේ දී ඉතා දීර්ඝව දක්වන ලද අදහස් කෙරෙහි නැවතත් අවධානය යොමු කළහොත් තරුණන්, කාන්තාවන් හා දරුවන් වශයෙන් වෙන් වෙන් වශයෙන් සමාජයේ තිබිය යුතු තැන පැහැදිලි කළේය. තාක්ෂණික යුගය, පස්වැනි පරම්පරාවේ සන්නිදෙව්නය ගැන අදහස් දක්වන අතරවාරයේ සමාජ විනය ගැන අවධාරණය කරන ලදී. දියුණුවට පත් රටවල් තේරුම්ගන්නා අතර තරගකාරීව ඉදිරියට යා යුතු ආකාරය ගැන හෙතෙම කරුණු දැක්වීය. රජයේ වගකීම සහ පුරවැසියන්ගේ යුතුකම අගමැතිවරයා වරින් වර මතු කරන ලද පැත්තකි. විදුලිය බලයෙන් ස්වයංපෝෂිතවීම රජයේ වගකීම වන අතර පරෙස්සමෙන් පාවිච්චි කරමින් එක ඒකකයක් හෝ ඉතිරිකර ගැනීම පුරවැසියා ගේ යුතුකමකි. සෑම ක්ෂේත‍්‍රයකටම අවශ්‍ය ජලය සැපයීම රජයේ වගකීමක් වන අතර සෑම ජල බිංදුවක්ම ප‍්‍රයෝජනයට ගෙන ජල සංරක්ෂණයයේ යුතුකම ජනතාව සතු බව ද පෙන්වා දුන්නේය. රජයට පමණක් සෑම දෙයක්ම කළ නොහැකි අතර පුද්ගලික අංශය ද කොටස්කරුවන්ය. එකතු වී කැපවීමකින් ඉදිරියට යා යුතු බව පැහැදිලි කරන්නට අගමැති නරේන්ද්‍ර මෝදි මහතා උත්සාහ කළේය.

දූෂණය, ඥාති සංග‍්‍රහය සහ පවුල්වාදය ගැන ද අදහසක් පළ කරන්නට ඉන්දිය අගමැතිවරයා අමතක කළේ නැත. විශාල වශයෙන් සිදුවන දූෂණ නතර කරන පියවර වශයෙන් රජය හා ජනතාව අතර සම්බන්ධතාව සෘජු තැනකට කැදවියයුතු අතර තාක්ෂණය එහිලා උපයෝගී කරගත් බව ප‍්‍රකාශ කළේය. ආධාර් කාඞ් ක‍්‍රමය මගින් ජනතාවට ලැබෙන සහන සෘජුව සැපයේ. දේශපාලනඥයන්ගේ බලපෑම, නිලධාරීවාදය මග හැරේ. ජංගම දුරකතන, ජාලගත බැංකු ක‍්‍රම ඔස්සේ සමාජයට විශාල වාසියක් වී ඇත. දූෂණය නතර කරන්නට ජනතාවගේ සහාය ඉල්ලා සිටි අගමැතිවරයා වැරදි කරන ලද සහ දඩුවම් නියම කරන ලද පිරිසට සමාජයෙන් තව දුරටත් පිලිගැනීමක් ලැබිය යුතු නැත බව පැවැසීය. දූෂිත පිරිස සමාජයෙන් ප‍්‍රතික්ෂේප කරන තෙක් පිරිසිදු සමාජයක් නිර්මාණය කළ නොහැකි බව පෙන්වා දුන් අතර පවුල්වාදය දේශපාලනයේ පමණක් නොව සමාජයේ සෑම අංශයකම ඇති බව කියා සිටියේ එයින් සිදුවන අමිහිරි පැත්ත සිහිපත්කරමින්ය. තමන්ගේ පවුලට පමණක් එක ක්ෂේත‍්‍රයක් අයිතිකරගෙන සිටියහොත් සමාජයේ අනෙක් කොටසට අවස්ථා අහිමිවන බව නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා සිය නිදහස් දින දේශනයේ දී පෙන්වා දුන්නේය.

අලූතින් හිතන්නට, අලූත් දර්ශනයක් ගොඩනගා ගන්නට හැකි ආකල්ප අගමැතිවරයාගේ දේශනය තුළ තිබුණි. නිදහස් සටන එකට කරගෙන ගිය රටවල් දෙකක් වශයෙන් පැරණි, අධිරාජ්‍යවාදී හැගීම් නැත්තටම නැති කරගන්නට ද අලූත් මානසිකත්වයක් ඇති කරගන්නට ද ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව යන රටවල් දෙකට පුලූල් අවස්ථාවක් තිබේ. යුද්ධයෙන්, ස්වභාවික විපත්වලින් සහ ආර්ථික ව්‍යසනවලින් පාඩම් ඉගෙන ගෙන ඇති අප හරි දැක්මක් සදහා පොදු අරමුණකින් සටන් කළ යුතුව ඇත.