» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
21/03/2021 - ඉරිදා ලංකාදීප
ලෝකය පුරා අත දිග හරින ඉන්දියන් ඩයස්පෝරාව

ඉකුත් ඇමරිකානු ජනාධිපතිවරණය අතරතුර කමලා දේවී හැරිස් නම ආසියාකරය තුළ අවධානයට ලක් විය. එයට හේතුව ඇය ඩිමොක‍්‍රටික් පක්ෂයේ අපේක්ෂිකාව වශයෙන් උප ජනාධිපති ධුරයට තරග වැදීමය. ඉන්දියානුවන්ගේ සිහින සැබෑ කරමින් ඇය ඇමරිකාවේ උප ජනාධිපති ධුරයට තේරී පත්වූවාය. එය ඇමරිකානු දේශපාලන ඉතිහාසය තුළ කාන්තාවක පත් වූ ඉහළම තනතුර බව සදහන්ය. කමලා හැරිස් ගේ ජීවිත කතාව අනාවරණය වන තෙක් ඉන්දියානු ඩයස්පෝරාවේ තරම ගැන වැඩි අවධානයක් නොතිබුණි. ලෝක ප‍්‍රජාව ඉහළට නැගෙන ඉන්දියානුවන් ගණන් කිරීම අරඹා තිබේ. ලෝකයේ සෑම රටකම පාහේ ඉන්දියානුවෝය. ඔවුන් දේශපාලන, පරිපාලන හෝ ව්‍යාපාරික අංශ වල ඉහළ තැන්වලය. තාක්ෂණයට පෙරැළිකාරයෝ වී ඇත. සංගීතයෙන්, චිත‍්‍රපට අංශ වලින් ඉදිරියට පැමිණ තිබේ. ඩයස්පෝරාව ගැන ඉන්දියානු සමාජය ආඩම්බර වන අතර අලූතින් නැගෙන පරපුර තව තවත් කුසලතා විදහා දක්වමින් සිටී.

ලෝකයේ රටවල් පහලොවක රාජ්‍ය නායකයන් අතර ඉන්දියානු සම්භවයක් සහිත පුද්ගලයෝ විශාල ප‍්‍රමාණයකි. ඔවුන් අතරින් වැඩි දෙනෙකු ඡන්දයෙන් පත්ව සිටී. වෙනත් රටක සිට පැමිණි, අනෙක් අනන්‍යතාවයක් සහ සංස්කෘතියක් සහිත පිරිසක් නායකයන් වශයෙන් තෝරා ගැනීමට එම රටවල ජනී ජනයා පැකිලී නැත. ජනාධිපතිවරු, අගමැතිවරු, අගවිනිසුරුවරු සහ රාජ්‍ය තාන්ත‍්‍රිකයෝ ඒ අතර සිටිති. මෙම ජන නායකයෝ විවිධ අධ්‍යාපන පසුබ්මක බව දැක්වෙයි. ඉන්දියානුවෝ සීමා මායිම් පැත්තකට කර අලූත් ව්‍යුහයක් කරා ගමන් කරමින් සිටිති. සංස්කෘතික අනන්‍යතා තිබිය දී රටවල කැපී පෙනෙන තනතුරුවලය. 2021 ලෝක දේශපාලන නායකයන්ගේ නාම ලේඛනය තුළ ඉන්දියානු ඩයස්පෝරා නියෝජිතයෝ දෙසීයකට වඩා සිටින බව සදහන් කළ යුතුව තිබේ. රටවල් පහලොවක් තුළ ඉතා වැදගත් තැන්වලට ඉන්දියානු සම්භවයක් සහිත දේශපාලන නායකයන් පත් වන විට එම නායකත්වයෙන් පාලනය වන සමස්ථ ජනගහනය මිලියන 515 පමණ බව ගණන් බලා තිබේ.

ගුයානා රාජ්‍යයේ ජනාධිපති හා උප ජනාධිපති ඉන්දියානුවෝය. දකුණු ඇමරිකාවට අයත් අත්ලාන්තික් උතුරු ප‍්‍රදේශයේ පිහිටි මෙම රට එම කලාපයේ වැඩිම ජනගහනයක් සහිත රටවල් අතර දෙවැනි තැන පසුවෙයි. සියයට හතලිස් එකක් දරිද්‍රතාවයේ පසුවන නමුත් ජනාධිපති මොහමඞ් ඉර්ෆාන් සහ උප ජනාධිපති භාරත් ජගේදෝ ජනතා ඡන්දයෙන් තෝරා පත් කරගෙන ඇත. පෘතුගාල් අගමැති අන්තෝනියෝ කොස්ටා ද ඉන්දියානු සම්භවයක් සහිතය. මුරෂිස් දිවයින වර්ග කිලෝ මීටර් දෙදහසකට මදක් වැඩිය. එහි අගමැති හා ජනාධිපති ඉන්දියන් සම්භවයක් සහිත නායකයෝය. පෘතිවිරාජ් සිං රාජන් ජනාධිපති ධුරය හොබවන අතර අගමැති ප‍්‍රවීන් ජගනාත් ය. සුරිනාම් හි ජනාධිපති, මුදල් ඇමැති මෙන්ම අයර්ලන්තයේ ව්‍යවසාය හා වෙළද ඇමති ද ඉන්දියානු සම්භවයක් සහිත නායකයෝය. ෆිජි හි අධ්‍යාපන ඇමැති, ටි‍්‍රනිඩෑඞ් සහ ටොබෙගෝ රාජ්‍යයේ නීති කටයුතු ඇමති, කැනඩාවේ රාජ්‍ය කටයුතු සහ තරුණ කටයුතු යන ඇමැති ධුර දෙකම ඉන්දියානුවන්ටය සිංගප්පූරුවේ විදේශ ඇමැති සහ සන්නිවේදන සහ තොරතුරු ඇමැතිවරු ඉන්දියාවට ඥාතීත්වයක් සහිතය. බි‍්‍රතාන්‍ය නිතිපති ධුරය හොබවන්නී ද ඉන්දියානු සම්භවයක් ඇති කාන්තාවකි. දකුණු අප‍්‍රිකාවේ රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය ධුරය සහ මලයාසියාවේ මානව සම්පත් අමාත්‍ය ධරය ද ඉන්දියානු සම්භවයක් සහිත නායකයෝ අත්පත් කරගෙන ඇත. මෙම රාජ්‍ය නායක ලැයිස්තුව තවත් දිග එකකි.

දේශපාලනය පමණක් නොවේ. ඉහළම පෙලේ ව්‍යාපාර හා කර්මාන්ත අංශ වල ප‍්‍රධාන තැන් හොබවන ඉන්දියානු සම්භවයක් සහිත පිරිස ද අති විශාල බව වාර්තා දක්වයි. ලෝක ජනගහනය තුළ ඉන්දියානු ඩයස්පෝරාව සියයට 0.2 කි. නමුත් ඔවුන් මුළු ලෝකයේ ප‍්‍රධාන ව්‍යාපාරික නායකත්ව අතරින් සියට දෙකක කොටසක් ඩැහැගෙන ඇත. රටවල් දහයක වෙසෙන ඉන්දියානු සම්භවයක් සහිත ව්‍යාපාරික නායකයෝ පනස් දෙනෙකු ගැන විශේෂයෙන් සදහන් වන අතර එම පනස් දෙනා රැකියා අවස්ථා මිලියන 3.5 ක් ආවරණය වන ප‍්‍රධාන සමාගම් වල ඉහළම තනතුරු හොබවති. මෙම සමාගම් දළ වශයෙන් ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියනයකට වඩා උපයන තැනක පසුවීම බලවත්කම පෙන්වන කදිම සාධකයකි.

තාක්ෂණය, ඖෂධ නිෂ්පාදනය, ඇගළුම් අලෙවිය, ඇතුළු එකිනෙකට වෙනස් අංශ ගණනාවක විහිදී ඇති මෙම ව්‍යාපාරික නායකත්ව වපරිසය පරම්පරා සම්බන්ධතා පවා තර කර තිබේ. තරුණ, අලූත් නායකයෝ ගණනාවක් බිහි වී ඇත. ඔවුන් සිය පැරණි නායකයෝ පරමාදර්ශයක් කරගෙන තිබේ. ඉන්දියානු සම්භවයක් ඇති පිරිස් ලෝකය පුරා විශාල පරිවර්තනයක නිරත අතර අභියෝග ජයගනිමින් ආසියාව ඉහළින් තබන්නට වෑයම් කරන බව ඉන්දියානුවන් ගැන හෙළිකරන ජාත්‍යන්තර වාර්තා සවිස්තරාත්මකව දක්වයි.

ඉන්දියාවේ විදේශ අමාත්‍යංශය දක්වන පරිදි වෙනත් රටවල වෙසෙන ඉන්දියානුවන් ප‍්‍රධාන වශයෙන් වර්ග දෙකකට යටත්ව සලකා බැලේ. ඉන්දියාවෙන් පිටස්තරව වාසය කරන සහ ඉන්දියන් ඩයස්පෝරාවයි. ඩයස්පෝරාව යනු කිසියම් රටක වාසයෙන් ඉවත්ව ගිය පසු බිහිවන පරම්පරාවයි. දළ වශයෙන් මිලියන තිස් දෙකක් ඉන්දියාවෙන් පිටස්තරව වෙසෙති. එම ප‍්‍රමාණය ශ‍්‍රී ලංකාවේ ජනගහනයටත් වඩා විශාලය. මෙම කොටස අතරින් සෑහෙන පිරිසක් තවමත් ඉන්දියාව සමග සබදතා සහමුලින්ම අත්හැර නැත. එහෙත් එරට ව්‍යවස්ථාව අනුව ද්ව්ත්ව පුරවැසිභාවය ලබා ගත නොහැක. අවශ්‍ය නම් වෙනත් රටක පුරවැසි භාවය ලබා තිබිය දී ඉන්දියාවට ඇතුළුවීමේ දීර්ඝ කාලීන වීසා වරප‍්‍රසාදය ඉල්ලා සිටිය හැක. ඉන්දියාවට බදු ගෙවන පිරිසක් ද මෙම පිටස්තරව වෙසෙන්නන් අතර සිටී. මුල්‍ය විධි විධාන අනුව එකිනෙකට වෙනස් සංකීර්ණ ක‍්‍රම අනුව ඉන්දියාව තමන්ට සම්බන්ධ පිටස්තර වාසීන් සදහා බදු ව්‍යුහයක් සකසා ඇත.

ඉන්දියානූ උප මහද්වීපය පරා ජන ව්‍යාප්තිය ඉතිහාසය දක්වන සාක්ෂි සෑහෙන ප‍්‍රමාණයක් තිබේ. වෙළදාම පදනම් කරගත් ජන පර්යටන බොහෝය. ලංකාවට පවා වෙළදාම, රාජ්‍ය සම්බන්ධතා හා බුද්ධාගම ව්‍යාප්තවීම සමග සෑහෙන පිරිසක් පැමිණ සිටී. විජයාගමනය එක සංන්ධිස්ථානයකි. ආක‍්‍රමණ වශයෙන් පැමිණි පිරිස ද සැලකිය යුතුය. රාජකීය සම්බන්ධතා අනුව පැමිණ ලංකාවේ රාජ්‍යත්වයට පවා පත්විය. අශෝක අධිරාජ්‍යයාගේ කාලයේ දී සිද්ධි බහුලව සිදුවී ඇති බව දක්වයි. බුදු සසුන සමග අටලොස් කුලයක ශිල්පීන් පැමිණ නොයෙක් කර්මාන්ත හා ශිල්ප ක‍්‍රම අරඹන ලද බව ද ඉතිහාසය දක්වන අනාවරණයකි.

අධිරාජ්‍යවාදී පාලන කාලය තුළ ඉන්දියානුවන් විශාල වශයෙන් පෙරදිග හා යුරෝපා රටවලට සංක්‍රමණය වී තිබේ. ඉන්දියාව යටත් කරගත් බටහිර රටවල් එහි ඉහළම ජන කොටස් වලට පමණක් නොව පහලම පැලැන්තියේ පිරිස වලට ද අවස්ථාව දී ඇත. ශ‍්‍රමිකයන් වශයෙන් වද නැව් වල ලෝකයේ නොයෙත් තැන් වලට යාත‍්‍රා කර පසුව එහිම පදිංචි වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවා වතු ආශ‍්‍රිතව පැවැති ශ‍්‍රම හිගයට පිලියමක් වශයෙන් කේරළයෙන් ගෙන්වන ලද පිරිස් ගැන විශේෂයෙන් සදහන්ය. සිරිමා ශාස්ත‍්‍රී ගිවිසුම අත්සන් කර රටවල් දෙක අතර වැසියන් පසු කාලයක දී හුවමාරු කරගත් අතර කොටසකට පුරවැසි භාවය පිරිනමන තීරණ ගෙන තිබේ.

අතීත සිද්ධි හා ජන ව්‍යාප්තිය කෙසේ වෙතත් ඉන්දියන් ඩයස්පෝරාව ගැන වත්මන් ඉන්දියානු සමාජය බලවත් ආඩම්බරයෙකින් පසුවෙති. ලෝකය පාලනය කරන මර්මස්ථානවල තමන්ගේ සළකුණු තබන්නට හැකිවීම ගැන උද්දාමයකය. ඇමරිකානු ජනාධිපතිවරණය අවස්ථාවේ දී ඉන්දියානුවෝ පුද පූජා පවත්වමින් කමලා හැරිස් ගේ ජයග‍්‍රහණය ප‍්‍රාර්ථනා කළහ. විශාල රටක්, දැවැන්ත ජනගහනයක් ලෝකය කළඹවන තැනකට පත්ව ඇති අතර මෙහි ඇති වාසි හා අවාසි දෙස සාකච්චා කරමින් ශ‍්‍රී ලංකාවේ ඩයස්පෝරාව ගැන ද කල්පනා කරන්නට අපට ද අවස්ථාවක් ඇත.