» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
20/08/2023 - ඉරිදා ලංකාදීප
හදෙන් වතුර ගෙන එන සැලැස්මක් මැතිවරණයට කලින් කරළියට

ශ‍්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයට අනුව හාල් හදෙන් හෝ ගෙනැවිත් දෙන පොරොන්දුවක් තිබුණි. එවකට ශ‍්‍රී ලංකාවේ සහල් හිගයක් තිබුණ අතර වෙළදපොල සහල් මිල ගණන් වැඩිවීම මහජනතාව මුහුණ පෑ දුෂ්කර තත්ත්වයකි. බලයට පත් වූ පසු ජනතාවට සහල් සහන මිලට දෙන අතර අවශ්‍ය හාල් හදෙන් හෝ ගෙනැවිත් දෙන බව ප‍්‍රකාශ කිරීම මෙහි පසුබිම වී තිබුණි.

මෑත කාලය තුළ කෘෂිකර්මයේ නවෝදයක් ඇති කරන ලද ඉන්දියාව ආහාර නිෂ්පාදනයේ ඉහළින්ම පසුවේ. පිරිසිදු ජලය ඔවුන්ට ප‍්‍රශ්නයකි. හැත්තෑ හත්වැනි නිදහස් දිනයේ දී ජනාධිපති නරේන්ද්‍ර මෝදි මහතා සිය ජල් ජීවන් ප‍්‍රතිපත්තිය නැවතත් අවධාරණය කළේය. සංවර්ධිත දේශයක් කරා ගමන් කරන අතරතුර සෑම නිවසකටම පිරිසිදු පානීය ජලය සපයන අතර එහි ස්ථිරභාවය හෙතෙම පැහැදිලිව කියා සිටියේය.

ඉන්දියානුවන් පිරිසිදු පානීය ජල හිගය සහ ආණ්ඩුවෙන් ලැබන නල ජලය ගැන අවධානය යොමුකරන අතරතුර ඉන්දියාව මෙහෙයවන සද ජයගැනීමේ චන්ද්‍රයාන් ක‍්‍රියාන්විතය එහි අනෙක් අවස්ථාවක් සනිටුහන් කරයි. පළමු වතාවට අභ්‍යවකාශ යානයක් චන්ද්‍රයාගේ දකුණු ප‍්‍රදේශයට සාර්ථකව පැමිණ ඇති බව වාර්තා කර තිබේ. දකුණු ප‍්‍රදේශයේ ජලය ඇති බවට පර්යේෂකයෝ විශ්වාස කරති. ජලය තිබීම ජීවීන්ට සුදුසු පරිසරයක් වන අතර සද ගැන භූ විද්‍යාත්මකව දැනට සිදුවන පරීක්ෂණවල ඉදිරි පිම්මක් සනිටුහන් කරනු ඇත. සද ගැන පර්යේෂණ කරන ස්ථිර සධ්‍යස්ථානයක් ගොඩනගන්නට ජලය සොයාගැනීම හේතුවක් වනු ඇත. චන්ද්‍රයාන් ගමන ජලය හිග ඉන්දියාවට හදෙන් හෝ ජලය සොයාගැනීම සදහා බලාපොරොත්තු ඇති කරන පණිවුඩයක්ම නොවේ. ලෝකයේ නොයෙක් රටවල් පානීය ජලය සැපයීම සදහා පර්යේෂණ කරමින් සිටී. මුහුදු ජලය පිරිසිදු කර බෙදාහැරීම ක‍්‍රමයකි. අධි ශීතල ප‍්‍රදේශවල අයිස් කදු බිද ඒවා මහ මුහුද ඔස්සේ ගෙනැවිත් පානීය ජලය වශයෙන් බෙදාහැරීමට ද සමහර රටවල් තීරණය කර ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමක් අයිස් කන්දක් බිද කිලෝ මීටර් දස දහසක් දුර ගෙවා ප‍්‍රවාහණය කිරීමට සැලසුම් කළ අතර ගැලූම් බිලියන විස්සක අයිස් කුට්ටියක් මිලියන ගණනක ජනතාව සදහා වසර පහකට පමණ ප‍්‍රමාණවත් වනු ඇති බව ගණන් බලා තිබුණි. රසායනිකව හයිඩ‍්‍රජන් හා ඔක්සිජන් එකතු කිරීමෙන් ද ජලය නිපදවා ගත හැකිබවට පර්යේෂණ කෙරේ. ඉන්දියාව සද මතුපිටින් ජලය සොයාගැනීම පානීය ජල අවශ්‍යතා සදහා බව උපකල්පනය කිරීම සාධාරණ තත්ත්වයක් නොවේ.

ජලය පිහිටි බවට සැක කරන සද මතුපිට දකුණු ප‍්‍රදේශය ඉලක්ක කරගෙන ආරම්භ කළ චන්ද්‍රයාන් -2 මෙහෙයුම 2019 වසරේ දී අසාර්ථක වූ නමුත් තුන්වැනි වතාවේ දී සාර්ථකව ගුවන් ගත කරන්නට සමත්ව ඇත. කලින් වතාවේ සද මත ගමන් කළ හැකි රෝද හයකින් යුතු වාහනයක් ගෙන ගිය නමුත් මෙම වතාවේ දී තියුණු කැමරා පද්ධති සහිතව දින හතලිස් දෙකක් සද මතුපිට පර්යේෂණ කරනු ඇති බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය නිවේදනය කරයි. ‘ඉන්දියානු අභ්‍යවකාශ ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන සිද්ධියක් සනිටුහන් කරමින් අපගේ දේශයේ සිහින සහ අපේක්ෂා මල්ඵල ගන්වන්නට චන්ද්‍රයාන් අභ්‍යවකාශ මෙහෙයුම සමත්‘ බව ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ට්වීට්ර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.

එක්සත් ජනපදය, සෝවියට් දේශය හා චීනයට පසු සද ගැන පර්යේෂණ කරන රටක් වශයෙන් ඉන්දියාව ලෝක ඉතිහාසයට එකතු වී ඇත. ජාත්‍යන්තරයේ පැවැත්ම, බලය තහවුරු කරගැනීම සදහා ගෙන යන සීතල අරගලය තුළ අභ්‍යවකාශ පර්යේෂණ හා එහි වියදම සැලකිය යුතු අංශයකි. චන්ද්‍රයාන් අභ්‍යවකාශ වැඩ පිලිවෙල ආරම්භ කරන්නේ 2008 වසරේ දී පළමු යානය සද වෙත යොමු කිරීමත් සමගය. චන්ද්‍රයාගේ දකුණු පැත්තේ පවතින අන්ධකාරය හෙයින් ජලය තිබිය හැකි බව ජාත්‍යන්තරයට පළමුවෙන් ප‍්‍රකාශ කරන්නට මෙම චන්ද්‍රයාන් අභ්‍යවකාශ ගවේශන සැලැස්ම සමත්විය. ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ ශිල්පීන්, ගවේශකයන් හා විද්‍යාඥයන් දහස් ගණනක් චන්ද්‍රයාන් සැලැස්ම හා සම්බන්ධ වී සිටින අතර එය ඉන්දියානුවන්ගේ අභිමානයට හේතු වී තිබේ.

අභ්‍යවකාශ පර්යේෂණ සෑම රටකම උනන්දුවක් ඇති විෂෂයකි. සෝවියට් දේශයෙන් පසු බිහි වූ රුසියාව නැවතත් සද ගැන පර්යේෂණ ආරම්භ කර ඇත. ඇමරිකාව හා චීනය සද වෙනුවට ලෝකයේ ඈත කෙළවර පිහිටි ඉලක්ක කරා අවධානය යොමු කර ඇත. තාත්ෂණය හදාරන, ගවේශණශීලී තරුණ පරපුරට මෙම අදහස් අලූතින් හිතන්නට අවස්ථාවකි. තොරතුරු තාක්ෂණය ගැන හදාරා පසුව සමාගමකට සේවය කිරීම වෙනුවට ජාත්‍යන්තරයේ ප‍්‍රධාන රටවල් සමග අභ්‍යවකාශ වැඩසටහන් වලට සම්බන්ධ විය හැකිය. චන්ද්‍රිකා කක්ෂගත කිරීම සාමාන්‍ය ව්‍යාපාරයක මටට්මට පැමිණ තිබේ. ඉන්දියාව පුද්ගලික අංශයට චන්ද්‍රිකා කක්ෂගත කරන අවස්ථාව පැවැරීමට සූදානම්ය. එම තීරණ ගැනීමට විද්වත් මණ්ඩලයක් පත් කර තිබේ. ඩ්‍රෝන යානා, චන්ද්‍රිකා සහ අභ්‍යවකාශ යානා අංශවල අලූත් වෘත්තීය අවස්ථා පැන නැගෙනු ඇති අතර මෙම අංශ කෙරෙහි නැඹුරුවීමට තරුණන්ට හැකියාව තිබේ. ළමා කාලයේ දී අහස ගවේශනය කරන, තාරකා විද්‍යාව හදාරන සිසුන් දස දහස් ගණනක් සිටිති. ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමය අනුව අවසානයේ දී ඔවුන්ගේ ලැදියාව විශ්ව විද්‍යාලයෙකින් උපාධියක් ගෙන වෘත්තියක නිරතවීම බව පෙනේ. ආර්ථික පසුබිම අනුව තම අධ්‍යාශයන්ට වඩා පහත තැනකින් සැනසෙන්නට දරුවන්ට සිදුවී ඇත.

අසල්වැසි ඉන්දියාව සමග අභ්‍යවකාශ තාක්ෂණය අරමුණු කරගෙන සහයෝගීතාවයක් ඇති කරගැනීමට ඉදිරි පියවරකි. නවීන තාක්ෂණය පදනම් කරගත් තොරතුරු සමාජයක ජීවත්වන පරපුර දත්තවලින් එපිට ඇති විශාල වපරිසයට ප‍්‍රවේශ විය යුතුය. ආණ්ඩු අතර ඇති සහයෝගීතා උපයෝගීකරගෙන මෙම ප‍්‍රවේශය සදහා පහසු උපාය මාර්ග සැලසුම් කිරීම ආණ්ඩුවට හා නිලධාරීන්ට කළ හැකි කාර්යභාර අතර තිබේ. ආසන්න රටවල් දෙකක තාක්ෂණ සහයෝගීතාවය ඇති කිරීම අනාගතයේ දී ඉතාම ප‍්‍රයෝජනවත් වියහැකිය.