» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
20/03/2022 - ඉරිදා ලංකාදීප
උත්තර ප‍්‍රදේශ් මැතිවරණ ප‍්‍රතිඵලය උගන්වන පාඩම

උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්ත මැතිවරණය පසුගිය දා අවසන්විය. එහි ප‍්‍රතිඵලය ගැන බලවත් උන්දුවක් තිබුණි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ජනප‍්‍රියත්වය උරගා බලන අවස්ථාවක් වන අතර භාරතීය ජනතා පක්ෂයේ ඉරණම තීරණය කරන හැරවුම් ලක්ෂයක් වෙතැයි ජාත්‍යන්තරය බලා සිටියේය.

කොවිඞ් වසංගත තත්ත්වය සමග ඉන්දියාවේ දේශපාලන තත්ත්වය නරක පැත්තකට හැරිණ. එකල පැවැති සමීක්ෂණ වාර්තා අනුව අගමැතිවරයා ගේ ජනප‍්‍රිය භාවය පහතට හැරෙමින් තිබුණ බව මතක් කළ යුතුය. කෙසේ වෙතත් උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්ත මැතිවරණය මධ්‍යම ආණ්ඩුවේ පැවැත්ම දේශපාලන වශයෙන් ශක්තිමත් කර ඇත.

ආසන 403 කින් 255 ක ජය තහවුරු කරගන්නට භාරතීය ජනතා පක්ෂය සමත් විය. එය සමස්ථ ආසන සංඛ්‍යාවෙන් සියයට 57ක් දිනා ගැනීමකි. සමාජවාදී පක්ෂයට ලබාගත හැකි වූයේ ආසන 111 කි. ඉන්දීය ජාතික කොන්ග‍්‍රස් පක්ෂයට ආසන දෙකක් හිමිවිය. සමජවාදී පක්ෂ නායක අකිලේෂ් යාදෙව් පසුගිය 2017 වසරේ පැවැති ඡන්දයට වඩා ආසන 64 ක් දිනා ගැනීමට සමත් වූ අතර භාරතීය ජනතා පක්ෂයේ නායක වත්මන් මහ ඇමැති යෝගී ආදිත්‍යනාත් තමන්ට හිමිව තිබුණ ආසන 302 ක ප‍්‍රමාණය ආසන 52 කින් අඩු කරගත් නමුත් වසර තිස් හතක ඉතිහාසය තුළ දෙවතාවක් බලයට පත් වූ එකම මහ ඇමැතිවරයා වශයෙන් මාධ්‍යයේ අවධානයට ලක්ව තිබේ. ඉන්දීය කොන්ග‍්‍රස් පක්ෂය ගැන මහත් උනන්දුවක් තිබුණ නමුත් පි‍්‍රයංකා ගාන්ධිට ජයගත හැකි වූයේ ආසන දෙකකි. කලින් වතාවේ තිබුණ ප‍්‍රමාණය ආසන හතක් වන අතර එය විශාල පසුබෑමක් සේ පෙනේ.

විපක්ෂ වේදිකාව, උත්තර ප‍්‍රදේශ් මැතිවරණ ප‍්‍රචාරක කටයුතු අතර දෙස් විදෙස් අවධානය ගත් තැනක් බවට පත්ව තිබුණි. 2021 වසරේ පවත්වන ලද පංචායත් එනම් පලාත් පාලන ආයතන ඡන්දයෙන් භාරතීය ජනතා පක්ෂය කොට්ඨාශ 720 ක් දිනා ගන්නාවිට සමාජවාදී පක්ෂය කොට්ඨාශ 719 ක් ජය අත්කරගෙන තිබීම එයට පසුබිම් විය. ඡන්ද වේදිකාවේ දී විපක්ෂය නගන ලද ප‍්‍රබල චෝදනා මධ්‍යම රජය අසීරු තැනකට තල්ලූ කළේය. කොවිඞ් වසංගත තත්ත්වයට මුහුණ දීමේ දී මධ්‍යම රජයේ දුබලතාව ගැන තියුණු විවේචන තිබුණි. මහ ඇමැතිවරයා ඇතුළු භාරතීය ජනතා පක්ෂ නියෝජිතයන්ගේ හැසිරීම ගැන ඡන්ද වේදිකාවේ දී මහත් කතාබහක් ඇති විය. එය කොපමණ තීරණාත්මක තැනකට පත් වී ද යත් අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඡන්ද ව්‍යාපාරය තමන්ගේ අතට ගෙන මෙහෙයවන ලද බව සදහන් කරන්නට අවශ්‍යය. දැවැන්ත ජන හමු ගණනාවක් සංවිධානය කර ප‍්‍රාන්තය පුරා ගමන් කරන ලද අතර සාමාන්‍ය ජනතාව අතර ගැවසෙමින් ප‍්‍රශ්න සාකච්ඡා කරන්නට පෙළැඹී සිටියේය. එම මැතිවරණ ව්‍යාපාරයේ එකී පෙළැඹවීම ප‍්‍රතිඵලය කෙරෙහි බලපෑමක් ඇති කරන ලද බව දක්වයි.

සංවර්ධනය සදහා වූ ආයතනය මැතිවරණයේ දී ඡන්දය ප‍්‍රකාශ කරන්නට බලපාන ලද කරුණු විශ්ලේෂණය සදහා සමීක්ෂණයක් පවත්වා තිබුණි. ප‍්‍රාන්ත මැතිවරණයේ දී භාරතීය ජනතා පක්ෂය ආගමික වටපිටාවක් නිර්මාණය කරන ලද අතර අලූතින් ඉදිකෙරෙන රාම් මන්දිරය විශාල ප‍්‍රචාරයක් දුන් කරුණකි. හින්දුත්ව සංකල්ප මැනැවින් ආයෝජනය කිරීම මැතිවරණ ව්‍යාපාරයේ ලක්ෂණයක් විය. එම කරුණු කෙසේ වෙතත් මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති සහ ඉන්දීය අගමැතිවරයාගේ ජනප‍්‍රියත්වය ඡන්දය ප‍්‍රකාශ කරන්නට හේතු වූ බව මෙකී සමීක්ෂණය හෙළිකරන වැදගත් කරුණකි.

සමීක්ෂණය පවත්වන ලද ආයතනයේ ප‍්‍රධානී මහාචාර්ය සංජේ කුමාර් මාධ්‍යවලට නිකුත් කරන ලද වාර්තාව අනුව සංවර්ධන යෝජනා ක‍්‍රමවල පිටිවහල මැතිවරණයේ දී ඡන්දය දැමීමේ දී සියයට 38 ක් දායක වී ඇත. සියයට 12 ක් වෙනසක් හෝ ආණ්ඩුව පරාජය කිරීම තමන් ඡන්දය ප‍්‍රකාශ කළ බව දක්වයි. අගමැති නරේන්ද්‍ර මෝදි මහතා නිසා තමන් ඡන්ද පොලට ගිය බව තවත් සියයට දහයක් කියා ඇත.

මහ ඇමැති යෝගී ආදිත්‍යනාත් ගේ ජයග‍්‍රහණය සදහා පෙළඹවීම කුමක්ද? ඉන්දීය වාර්තා දක්වන පරිදි උත්තර ප‍්‍රදේශ් හි සංවර්ධනය පළමු තැනට පැමිණ තිබේ. අධිවේගී මාර්ග, ගුවන් තොටුපොල සංවර්ධනය කැපී පෙනෙන කරුණකි. අධිවේගී මාර්ග හයක් ඉදිවෙයි. ප‍්‍රදේශයේ ගුවන් තොටුපොල අටක් තිබුණ අතර තවත් දහ තුනක් අලූතින් ඇරඹේ. ශ‍්‍රී ලංකන් ගුවන් යානයක් සමග කුෂිනගර් ගුවන් තොටුපොල විවෘත කරන්නේ ද මෙම සංවර්ධනයෙහි එක කොටසක් වශයෙන්ය. ‘කනෙක්ටිවිටි’ සමග ආයෝජනවලට ඉඩ දෙන අතර තොරතුරු තාක්ෂණ අංශයෙහි ද දැවැන්ත පියවරක් ඉදිරියට තබා තිබේ. රාජ්‍ය ව්‍යුහයේ ප‍්‍රතිසංස්කරණ කදිම අවස්ථාවක් බව දක්වයි. 2017 වසරේ සිට 2021 වසර වන විට උත්තර ප‍්‍රදේශය ව්‍යාපාර කිරීමට පහසු තැනක් වශයෙන් ඉන්දියාවේ දෙවැනි තැනට පත්ව ඇති අතර එය ස්ථාන 12 ක පිමම්ක් ඉදිරියට පැනීමකි. නිවාස් මිත‍්‍ර වශයෙන් සංකල්පයක් හදුන්වා දී ඇත. කොව්ඞ් කාලයේ පොදු ජනතාවටත්, ආයෝජනවලටත් අන්තර් ජාලයෙන් කටයුතු කරගැනීමේ පහසුව එයින් සපයන ලදී. මෙම පහසුව ඇති කරන්නට ගෙන ඇති පියවර දැක්විය යුතුය. වාර්තා දක්වන පරිදි උත්තර ප‍්‍රදේශ් ආණ්ඩුවට අයත් දෙපාර්තමේන්තු විසි හතක සේවා අංශ 340ක් සම්පූර්ණයෙන්ම ඔන්ලයින් ක‍්‍රමයට හරවා තිබේ. දෙපාර්තමේන්තු කටයුතුවල දී එක එක තැන්වලින් අවසර ගැනීම ඇතුළු වගන්ති 500ක් ප‍්‍රතිසංස්කරණය කර ඇත. මෙම ප‍්‍රතිසංස්කරණවලට පසු කර්මාන්ත හා ව්‍යාපාර ආරම්භ කරන ඔන්ලයින් ඉල්ලීම් හාර ලක්ෂ අනුදහසකින් හාර ලක්ෂ හත් දහසක්ම කිසිම පුද්ගල හමුවීමක් රහිතව අනුමත කරන ලද බව ද ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කර තිබුණි. සාමාන්‍ය ජනතාවට මෙවැනි සරල පියවර හැර වෙනත් යමක් අවශ්‍ය නැත.

තීරණ ගැනීමෙන් කළ හැකි වෙනස්කම්වලට ඉන්දියාවේ උත්තර ප‍්‍රදේශය හොද ආදර්ශයක් බව දැක්විය යුතුය. ගොවි ජනතාව, කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරිකයන් මෙම පරිවර්තනය සමග ආර්ථික ක‍්‍රියාකාරීත්වයට එකතු වී තිබේ. විශාල ආයෝජන ආරම්භ කර ඇති අතර ඒවා ජනතාවගේ ජීවන රටාව වෙනස් කරන්නට හේතු වී තිබේ.

මැතිවරණ වේදිකාවේ දී විපක්ෂ දේශපාලනඥයන් මෙම ආකෘති වෙනස ගැන අවලාද තබා ඇත. මහත් විනාශයක් බව පෙන්වා දී තිබේ. මහ ඇමැතිවරයා ගේ නිර්භීත තීරණ උත්තර ප‍්‍රදේශයට නවෝදයක් උදා කළේය. අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එයට අනුබලය ලබා දී තිබේ. මෙම කරුණු වලින් අපට ඉගෙන ගත හැකි පාඩමක් ඇත. රාමුව වෙනස් කළ යුතුය. යල්පැන ගිය නීති, නිලධාරීවාදය ජනතාව ප‍්‍රතික්ෂේප කරයි. වහාම තීරණගත හැකි, ක‍්‍රමවේද අවශ්‍යය. ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ආයකන දෙස බලන්න. දවසකින් කාර්යයක් කරගත් කෙනෙකු නැත. දවස් ගණන් නිලධාරීන් හමුවේ මැසිවිලි නගන්නට සිදුවී තිබේ. විශාලතම රාජ්‍ය සේවයක් නඩත්තු කරන, එයට රටේ ආදායමෙන් සියයට අසූවක් වෙන් කරන පසුබිමක කාර්යක්ෂමතාව බිංදුවට වැටීම කාගේ වරදක්ද? බලයට පත්වන ආණ්ඩුවලට අපේක්ෂා තිබේ. ඔවුන්ට දර්ශනයක් ඇත. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන වල ලස්සන වචන තිබේ. ක‍්‍රියාත්මක කරන්නේ ඉබි ගමනින්ය. ශ‍්‍රී ලංකාව ගමන් කරන තැන ගැන අපට ආපසු හැරී බලන්නට සිදුවී තිබේ.