» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
20/02/2022 - ඉරිදා ලංකාදීප
කොවිඞ් ඇති කළ පීඩනයෙන් ගැලවී වේගයෙන් නැගී සිටින ඉන්දියාව

පසුගිය වසර දෙක තුළ ඇති කරන ලද ආර්ථික පීඩනයෙන් ගැලවෙන්නට ඉන්දියාව සමත්ව තිබේ. ප‍්‍රතිසංස්කරණ ගණනාවක් තුළින් පැහැදිලි අවස්ථා පාදා ගෙන ඇත. මෙම මුල්‍ය වසර තුළ සියයට නමයක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කෙරේ. ඇමරිකාවේ ආර්ථික වර්ධනය සියයට හතරක් වනු ඇති බව ප‍්‍රකාශ වී ඇති අවස්ථාවක ඉන්දියාව දක්වන මෙම වර්ධනය ගැන එරට මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම් මහත්මිය විශේෂයෙන් සදහන් කර තිබේ.

කොවිඞ් වසංගතයේ දෙවැනි රැල්ල ඉන්දියාව තුළ විශාල කැළඹීමක් ඇති කළේය. ජන ජීවිත තර්ජනාත්මක තැනකට යොමු විය. රෝහල් පිරී ගිය අතර ඔක්සිජන් හිගය බරපතල ලෙස බලපෑ බම මතක් කළ යුතුය. තුන්වන රැල්ලක් ද පසුගියදා වාර්තා වූ අතර ප‍්‍රාන්ත ගණනාවක කටයුතු අඩාල කළේය. ජනවාරි මාසයේ සති අන්ත දෙකක නිරෝධායන ඇදිරි නීතිය පනවන ලද නවදිල්ලිය කාර්යාල ඇතුළු මහජනතාව ගැවසෙන ස්ථාන වසා පාලනයක් පැනැවීය. තෙවැනි වටයේ දී සිදුවූ ආර්ථික පරිහානිය බලවත් නැත. එහි බලපෑම මෙතෙක් ගණන් බලා නැති බව දැක්වේ. කෙසේ වෙතත් අභියෝග ජයගෙන අලූත් ජවයක් උත්පාදනය කරගෙන ඇත. ඉන්දීය ආර්ථිකය නැවත ගොඩනගනු සදහා ගෙන ගිය ප‍්‍රතිසංස්කරණ සාර්ථක බව දැක්වේ.

2022 වසර සදහා වන අයවැය මගින් ඉන්දියාව ලෝක ආර්ථිකයේ තවත් ඉහළට කැදවන යෝජනා ගණනාවක් ඉදිරිපත් කර ඇත. එම යෝජනාවල ගැබ්ව ඇති දර්ශනය අවබෝධ කරගැනීම වැදගත්ය. ඉලක්කම් වලින් අය වැය පරතරය පියවන හෝ ආදායම නංවන පියවර වලට එපිට ගිය වැඩ පිලිවෙලකි. අඛණ්ඩ සම්බන්ධතාව අය වැය තුළ දක්නට ඇති එක වැදගත් ලක්ෂණයක් බව ප‍්‍රකාශ කළ යුතුය. මෙවැනි අංශ හතරක් 2022 අය වැය යෝජනා තුළ නිරීක්ෂණය කළ හැක. ඉකුත් කාලය, වර්තමානය සහ එළැඹෙන කාලය ගැන දීර්ඝව සලකා බලන සැලැස්මක් තිබේ. වරින් වර වෙනස් නොවන අතර එය පාලන ක‍්‍රමය ගැන විශ්වාසයක් ඇති කරයි. දෙවැනුව නිවැරදිව ක‍්‍රියාත්මකවීමය. අවදානම අවම කරන අතර සම්පත් ආරක්ෂා කරගැනීමට යොමු කර ඇති අවධානය තුන්වැනි කාරණයයි. හතරවැනි කරුණ තරගකාරී ආර්ථික ක‍්‍රමය තුළ ඉතාම වැදගත්ය. එනම් ඉන්දීය රජය මුල්‍ය පද්ධතියේ සංචිත මුදල් තමන් වෙත එකතු කරගැනීම වෙනුවට පුද්ගලික අංශයට ප‍්‍රාග්ධනය ලබාගැනීමට හැකිවන පරිදි අවකාශය විවෘත කර දී තිබේ. එය මගින් ප‍්‍රාග්ධනය භාවිතා කර අලූත් ආයෝජන අවස්ථා ඇති කරයි.

අයවැය මගින් රටක ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් ඇති කරන ප‍්‍රමිතිය වැදගත්ය. කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයන් ඇතුළු ව්‍යවසායකයන්ට ක‍්‍රමය ගැන විශ්වාසය තහවුරු කළ යුතුය. ආණ්ඩුවක් ගන්නා තීරණ, ඒවායේ නිරවුල්භාවය ගැන ආයෝජකයන් සැලකිලිමත් වෙති. වරින්වර වෙනස් කරන ප‍්‍රතිපත්ති හෝ පනවන බදු, විශ්වාසය පලූදු කරන්නටත්, ආයෝජන අධෛර්ය සදහාත් හේතුවෙයි.

ඉන්දීය මුදල් ඇමැතිනිය රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණය යෝජනා කර ඇත. රජය සතු ව්‍යවසාය පුද්ගලික අංශයට පැවරේ. එයාර් ඉන්දියා ගුවන් සේවාව පුද්ගලීකරණය එහි පියවරකි. අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග, විදුලිය බෙදාහැරීම රක්ෂණ සේවා ඇතුළු අංශ පුද්ගලිකරණය කරන අතර එයින් ආදායම් උපයා ගැනීමටත්, තරගකාරී සේවාවන්ටත් ඉඩ සලසයි. අය වැය සදහන් කරන පරිදි ජනතාවගෙන් බදු වශයෙන් අය කරගන්නා මුදල් ප‍්‍රාග්ධන වියදම් වෙනුවෙන් යෙදවේ. සහන වෙනුවෙන් හෝ රජයේ ආයතනවල අලාභ සදහා වෙන් නොකිරීම එහි අදහසයි. ඉන්දීය මහ බැංකුව කරන පර්යේෂණයක් අනුව රජය වැය කරන සෑම ඉන්දීය රුපියලකින්ම 2.45 ක ප‍්‍රතිලාභ පළමු වසරේ දී ලැබේ. දෙවැනි වසරේ ප‍්‍රතිලාභය ඉන්දීය රුපියල් 3.14 කි. ප‍්‍රාග්ධන වියදම් සදහා ණය වශයෙන් මුදල් ලබාගන්නා අවස්ථාවල රජයේ ආදායම කෙරෙහි අවධානයෙන් තීරණගන්නා බව ප‍්‍රකාශවීම විශේෂත්වයක් සේ දැක්විය හැක.

කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාර වලට මුහුණ දෙන්නට සිදුවූ සංකීර්ණ තත්ත්වය සලකා ඒවාට සහන දෙන සැලැස්ම තවත් වසරකින් දීර්ඝ කර ඇත. නිෂ්පාදනය හා අලෙවිය අඩාලවීමෙන් මුහුණ දුන් ප‍්‍රශ්න වලට එය උත්තරයකි. ඉලක්ක ජන කොටස් සදහා අය වැය මගින් ප‍්‍රකාශයට පත් කළ සහන ද සදහන් කළ යුතුය. දුප්පතුන් සදහා විදුලිය හා ජලය සැපයෙන යෝජනා ක‍්‍රම ක‍්‍රියාවට නංවා ඇත. මුදල් ඇමැතිනිය පෙන්වා දෙන පරිදි 2008-2009 කාලයේ දී ඉන්දියාවේ ආර්ථික අර්බුදයක් පැවැති අතර එකල එයට මුහුණ දුන් ආකාරයට වසා ශක්තිමත් හා සාර්ථක අන්දමට නරේන්ද්‍ර මෝදි ආණ්ඩුව පවතින දුෂ්කර අවස්ථාව කළමනාකරනය කරගෙන තිබේ. ජීවන වියදම අඩුය. උද්ධමනය එකල තිබුණ සියයට 9.1 ක ප‍්‍රතිශතය සමග සසදනවිට දැන් පවතින උද්ධමන අනුපාතිකය සියයට 6.1 කි.

අය වැය ප‍්‍රතිපත්ති, ඒවායේ කියැවෙන වගන්ති අනුව සලකා බලනවිට යමක් නොවැටහෙන ජනතාවට යතාර්ථය දැනෙන්නේ වෙළද පොලේ දී ය. නිෂ්පාදනය පහතවැටී, නිෂ්පාදන පිරිවැය වැඩිවුහොත් භාණ්ඩ මිල ඉහළ නැගේ. ඉන්දීය වෙළද පොල වාර්තා දක්වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිල ගණන් විශාල වෙනසක් නැත. ආහාර පාන මිල ජනතාවට දරාගත හැකි මටට්මකය. ඉන්ධන මිල නංවන ලද නමුත් පොදු ප‍්‍රවාහනය ශක්තිමත් කර ඇත. සාමාන්‍ය ජනතාව සදහා බස් රථ සහ දුම්රිය සේවා ක‍්‍රියාත්මකය. දිල්ලි නගරයේ පොදු ප‍්‍රවාහනයේ දී සමාජ දුරස්ථභාවය අනිවාර්ය කර ඇති අතර වසර ගණනක සිට කාන්තාවන්ගෙන් බස් ගාස්තු අය නොකෙරේ. ඉන්ධන භාවිතයක් නැති, විදුලියෙන් ධාවනය වන වාහන මිල දී ගන්නා පිරිස සදහා සහන වැඩ පිලිවෙලක් ද දැනට ක‍්‍රියාත්මකය. මධ්‍යම රජය පමණක් නොව ප‍්‍රාන්ත ආණ්ඩු ගණනාවක් ඔවුන්ගේ බලශක්ති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට පත් කර තිබේ. ඛනිජ තෙල් භාවිතා කරන වාහන පාලනය කරන නීති සම්පාදනය කර ඇත.

අලූත් කර්මාන්ත හා ව්‍යාපාර සදහා ඉන්දියාවේ ඇති පහසුව සලකා බැලිය යුතු තවත් පැත්තකි. අය වැය මගින් නවෝත්පාදනය ගැන සාකච්ඡා කර ඇත. මෙතෙක් පැවැති විශේෂ අනුකූලතා ලබාගත යුතු අවස්ථා විසි පන්දහසක් අහෝසි කරන යෝජනා අය වැය තුළ දක්වා ඇත. එයට සමාන්තරව නීති 1,500 ක් බලගන්වා තිබේ. එය ව්‍යාපාර පහසුකරන බව දැක්වේ. මෙගින් එදිනෙදා ජන ජීවිතයට බලපා තිබුණ රජයේ රෙගුලාසි අවම කෙරේ.

අද දක්වා පැමිණි ගමන තුළ ආර්ථික හා සමාජ අර්බුද ගණනාවකට මුහුණ දෙන්නට ඉන්දියාවට සිදුවිය. දේශපාලන වශයෙන් සංකීර්ණ අවස්ථා ඇති වූ බව මතක් කළ යුතුය. අවසානයේ දී නිසි සැලැස්මකට ඇතුළු වී තිබේ. ඉන්දීය ආර්ථිකයේ තත්ත්වය සමග ශ‍්‍රී ලංකාවේ ස්වභාවය සමාලෝචනය කළ හැකිය. ආර්ථික නිදහස ලැබූ දිනයේ සිට ශ‍්‍රී ලංකාව අනුගමනය කරන ලද ප‍්‍රතිපත්තිවලින් ඇති කරන පීඩනය අද අප හමුවෙහි තිබේ. ආර්ථිකය අවදානම් තැනෙකය. පුනර්ජීවනයක් සදහා වෑයම් කළ යුතු අවස්ථාවකි. ඉන්දියාව පමණක් නොවේ. ලෝකයේ අනෙක් රටවල් ද ආර්ථික ප‍්‍රශ්න වලින් ගැලවීම සදහා විවිධ ක‍්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටිති. මෙතෙක් පැවැති ක‍්‍රම වෙනුවට වෙනස්කම් හදුන්වා දෙන අතර ඒවායෙන් අලූත් රාමුවකට ඇතුළුවන ප‍්‍රයත්නයකය.

සාමාන්‍යයෙන් දක්වන පරිදි, මෙතෙක් හුරු වී සිටි ඇබ්බැහිකම්වලින් ගැලවීම පහසු නැත. වෙනසක් යෝජනා කරන විට විරෝධතා ඇතිවේ. ආර්ථික ක‍්‍රමයෙහි කරන වෙනස්කම් ගැන ජනතාවට කරුණු පහදාදෙන වෑයම සංකීර්ණ එකකි. විපක්ෂ දේශපාලනඥයන් සහ වෘත්තීය සමිති ඒවාට විරුද්ධ වෙති. වෙනස් මතධාරීහු විවිධමත ඉදිරිපත් කරනු ඇත. සමාජයෙහි ඇති වන එවැනි ප‍්‍රතිරෝධ හමුවේ තීරණ ගැනීම දුෂ්කරය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ආර්ථීක ප‍්‍රතිසංස්කරණ වැඩපිලිවෙලක් සකස් කිරීමේ දී පුදුමාකාර නිර්භීතභාවයක් අවශ්‍යය. වෙනස්කම්වලින් පසු රට යහපත් පැත්තකට හැරවිය හැකි බව ඒත්තුගැන්වීම පමණක් නොව නිලධාරීන් මෙහෙයවා ඉලක්ක කරා යොමු කිරීමට ද සිදුවේ.

ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික පසුබිම හදාරන ඕනෑම කෙනෙකුට පසුගිය දශක තුන හතර තුළ අනුගමනය කළ ප‍්‍රතිපත්තිවලින් අත්පත් කරගත් ප‍්‍රතිලාභ ගැන විවේචනයක් තිබේ. ජන සමාජය තුළ පවතින වේදනාව එහි ස්වපය දක්වයි. ජීවන වියදම ඉහලය. උද්ධමන අනුපාතිකය වර්ධනය වී තිබේ. විනිමය අනුපාතිකය සහ පොලී අනුපාත පාලනය කිරීම සමග මතුවී ඇති ගැටළු වෙනම සාකච්ඡා කළ යුතුය. ආයෝජනයට ඇති බාධා වලින් රටට ඇති කර තිබෙන හිරිහැර සංකීර්ණය. ආණ්ඩුවේ නීති රීති හා විධිවිධාන පමණක් නොව වෘත්තීය සමිති හා දේශපාලන ව්‍යාපාර ඇති කරන විරෝධතා දියුණුවන රටකට කිසිසේත් ගැලපෙන ඒවා නොවේ. මෙවැනි පැති ගැන අලූතින්ම අවධානය යොමු කළ යුතුය. පරිවර්තන යුගයකට ඇතුළුවිය යුතු අතර මහජනතාවට කරුණු අවබෝධ කර දී ලෝකයේ පවතින ආර්ථික මුලධර්මවලට එකග ක‍්‍රියාමාර්ග අනුගමනය කිරීම වැදගත්ය. ඉන්දියාව පහල ආර්ථිකයක සිට ඉහළම තැනකට ලගා වී තිබේ. ඉන්දියාවේ වැසියන්ට එහි ප‍්‍රතිඵල ලැබී ඇත. අප ගමන් කරන්නේ කොයිබටද?