» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
19/12/2021 - ඉරිදා ලංකාදීප
පරිසර හිතකාමී දුම්රිය ධාවනයකට සූදානම් වන රටක්

ගෝලීය උණුසුම ඉහළ යන හේතු පාලනය කිරීමට ලෝක නායකයෝ මහත් වෙහෙසක් දරති. පොසිල ඉන්ධන භාවිතාව අවම කරන ප‍්‍රතිපත්ති යෝජනා කර ඇත. එදිනෙදා කරන සංචරණය සදහා විශාල යාන වාහන ප‍්‍රමාණයක් අවශ්‍ය කෙරේ. භාවිතා කරන ඉන්ධන පරිසරයට ඉතාම අහිතකරය. අඩුම ඉන්ධන ප‍්‍රමාණයක් උපයෝගී කරගෙන මගීන් හා භාණ්ඩ වැඩිම ප‍්‍රමාණයක් එහා මෙහා ගෙනයන දුම්රිය සේවය පරිසරයට අවම හානියක් කරන ප‍්‍රවාහන මාධ්‍ය වශයෙන් සැලකේ. එහෙත් දුම්රිය ධාවනයට වැය කරන ඉන්ධන ප‍්‍රමාණය ද රටකට විශාල ආර්ථික හානියකි. අඩුම වියදමක් දරන, කාර්යක්ෂම ක‍්‍රම කරා දුම්රිය සේවය විකාශය වෙමින් පවතී.

ජාත්‍යන්තර වාර්තා දක්වන පරිදි එදිනෙදා ගමන් කරන ලෝක ජනගහනයෙන් සියයට අටක් හා හැසිරවෙන භාණ්ඩවලින් සියයට හතක් ප‍්‍රවාහනය කරන්නේ දුම්රිය සේවාවෙන්ය. ඉන්දියන් රේල්වේ, මිලියන විසි හතරක් මග දිනපතා ප‍්‍රවාහනය කරති. එය ඔස්ටේ‍්‍රලියානු මහද්වීපයේ ජනගහනයට ආසන්න ප‍්‍රමාණයක් බව දැක්විය යුතුය. ඉන්දීය රේල්වේ වාර්තා දක්වන පරිදි 2015 වසරට කලින් ඉන්ධන පිරිවැය ඉතාම අධික ප‍්‍රශ්නයක් වී තිබුණි. දැන් ඞීසල් භාවිතය සියයට තිස් තුනක් දක්වා පහත වැටී ඇත.

වසර 2000 සිට දුම්රිය ගමන විදුලියට හැරෙමින් තිබේ. ඒවාට තව දුරටත් දුම්රිය යැයි හදුන්වන හැකියාවක් නැත. මැදිරි විශාල සංඛ්‍යාවකින් සමන්විත විදුලිය රියකි. ජපානය හා යුරෝ රටවල දුම්රිය සේවය සදහා ඉන්ධන භාවිතා කිරීම අඩුවෙමින් පවතී. රැසියාව, චීනය හා ඉන්දියාව තවමත් සැලකිය යුතු ප‍්‍රමාණයකින් ඉන්ධන පුලූස්සමින් සිටී. ඉන්දියාවේ දුම්රිය සේවය පරිසර හිතකාමී තත්ත්වයකට පරිවර්තනය වෙමින් පවතී. ඞීසල් එන්ජින් පාවිච්චිය සීමා වන අතර ක‍්‍රමයෙන් විදුලිය රිය පරිහරණයට නැඹුරුවක් ඇත. ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තු වාර්තා අනුව 2021 මාර්තු අවසන්වන විට එරට දුම්රිය සේවයෙන් සියයට හැත්තෑ එකක් විදුලියට හැරවී තිබේ. වසර 2030 වන විට රේල් සේවාව සම්පූර්ණයෙන්ම විදුලිය බලයට සීමා කරන සැලැස්මක් ඉන්දියාවට ඇත. දුම්රිය මාර්ග දිගේ විදුලිය රැුහැන් පද්ධති සවිකරන ඉන්දීය කාර්මික ශිල්පීහු පියවරෙන් පියවර ඉලක්කය කරා ගමන් කරමින් සිටිති. දුම් පිටකරන කෝච්චි වෙනුවට විදුලියෙන් ධාවනය වන ලෝකයේ පැවැත්මට වැදගත්ය.

ඉන්දියන් රේල්වේ ආයතනය යටතේ රේල්ලූව විදුලියට හරවන මධ්‍යම සංවිධානයක් ස්ථාපිත කර ඇත. 1979 වසරේ දී එය ආරම්භ කරන්නේ උත්තර ප‍්‍රදේශයේය. ඉන්දීය රජය, රේල්වේ අමාත්‍යංශය හා ඉන්දියන් රේල්වේ ආයතනයට අයත් එම මධ්‍ය සංවිධානය රට පුරා ශාඛා කිහිපයක් නඩත්තු කෙරේ. රේල්වේ පද්ධතිය විදුලිය බලයට හැරවීම එහි වගකීම බව දැක්වේ.

ඉන්දීය රේල්වේ ආයතනය ඉන්දීය රජයට අයත් ව්‍යාපාරයකි. කිලෝ මීටර් 115,00 ක පීලි මාර්ග ධාවන පථ පද්ධතියක් සහිතය. එයින් ආවරණය කරන දුර ප‍්‍රමාණය කිලෝ මීටර් 67,956 කි. දැනට මගී ප‍්‍රවාහනයේ යෙදෙන දිගම මාර්ගය තමිල්නාඩුවේ කණ්‍යාකුමාරි සිට ඇසෑම් හි දිබ්රුගාර් නැවතුම දක්වාය. රාත‍්‍රී තුනක් ප‍්‍රාන්ත නමයක් හරහා ගමන් කරන මෙම දුම්රිය දැවැන්ත සංස්කෘතික ලක්ෂණ ආවරණය කරන සේවාවක් වශයෙන් සංචාරකයන් අතර මහත් කැමැත්තක් දිනා ගෙන ඇත. ධාවනය වන දුර කිලෝ මීටර් දෙදහස ඉක්මවන දුම්රිය මාර්ග පද්ධති පමණක් 132 ක් ඉන්දියන් රේල්වේ මගින් පාලනය කරයි. සේවාවේ දැවැන්ත භාවය මැනැවින් විදහා දක්වන බව සදහන් කළ යුතුය.

ඉන්දියන් රේල්වේ සේවාව සමග සසදන්නට අවශ්‍ය තවත් පැත්තක් තිබේ. මහ පොලව මත පමණක් නොව පොලවට ඉහළින් හා පොලව යට ගමන් කරන මෙට්‍රෝ සේවා දෙකක් ද ඇත. විදුලියෙන් ධාවනය රේල් මෙට්‍රෝ සේවාව ඉන්දියානුවන් අතර ජනප‍්‍රිය ප‍්‍රවාහන ක‍්‍රමයකි. එය මිල අඩුය. තදබදයක් නැත. කාලය ඉතිරි කරයි. පළමුවෙන්න එය කල්කටාවේ අරඹන ලද අතර දිල්ලියට ව්‍යාප්ත වී තිබේ. කල්කටාවේ මෙට්‍රෝ සේවය සැලසුම් කරන්නේ 1984 දී ය. 1995 සැප්තැම්බර් වන විට කි‍්‍රයාවට නැගේ. විදුලියෙන් ධාවනය වන මෙට්‍රෝ රියවල ප‍්‍රවේශපත‍්‍ර අන්තර් ජාලයෙන් ලබාගත හැකිය. මුදල් ගෙවන්නට බැංකු ගිණුම ඉඩ දෙයි. ස්මාට් දුරකථනය පරිහරණය කරන පිරිස එහි ඇති ඇප් මගින් ආසන වෙන් කරගනිති.

තව දුරටත් ඉන්දියන් රේල්වේ සේවය ව්‍යාප්ත කරන්නට ඉන්දියාව සුදානම්ය. මධ්‍යම රජය ඉන්දියන් රුපියල් ටි‍්‍රලියන හයක අලූත් ආයෝජන සැලැස්මක් සකස් කර ඇත. නැවතුම්පොල නවීකරණය, ද්විත්ව මාර්ග සංවර්ධනය, විදුලියට හැරවීම, භාණ්ඩ ප‍්‍රවාහනය වෙනුවෙන් අලූත් මාර්ග ඉදිකිරීම ඇතුළු විශාල වපරිසයක් එයින් ආවරණය කෙරේ. වසර 2050 සදහා වන මගී අවශ්‍යතා සලකා වසර 2030 වන විට සියළු සැලසුම් සකස් කිරීම ඉන්දියන් රේල්වේ අභිප‍්‍රාය වී ඇත. රට තුළ කරන භාණ්ඩ ප‍්‍රවාහනයෙන් සියයට හතලිස් පහක් තමන් සතු කරගැනීම ඉලක්කය බව එහි පාලන අධිකාරීහු ප‍්‍රකාශ කර තිබේ.

රේල්ලූව විදුලියට හැරවීම පමණක් නොව ධාවනයට අවශ්‍ය විදුලිය ද තමන් නිපදවා ගැනීමට සැලසුම් ක‍්‍රියාත්මකය. පසුගියදා ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශ් හි, මෙගාවොට් දෙකකට ආසන්න විදුලිය ප‍්‍රමාණයක් නිපදවන සුර්ය බලාගාරයක් ඉන්දියන් රේල්වේ මගින් ස්ථාපිත කළේය. කොවිඞ් වසංගත කාලය තුළ තමන් ලැබු ජවයක් සේ එහි ප‍්‍රධානීහු උදම් අනමින් සිටිති. දුම්රිය ස්ථාන දහසක සුර්ය කෝෂ විදුලිය නිපදවා විදුලිය බලයෙන් ධාවනය වන රේල් සේවාවට ලබා දෙන්නට යෝජනාවක් දැන් ක‍්‍රියාත්මකය. වසර 2030 වන විට විදුලි දුම්රිය සදහා පමණක් විදුලිය ඒකක බිලියන තිස් තුනක් අවශ්‍ය කෙරේ. රේල්වේ ඉඩම්වල සූර්ය කෝෂ ව්‍යාපෘති ඇරඹෙනු ඇත. ඒවායේ ජනනය කරන අතිරේක විදුලිය ජාතික පද්ධතියට විකුණා ලාබ උපයන්නට ද රේල්වේ සූදානම්ය. එරට වාර්තා දක්වන පරිදි දුම්රිය ධාවනයේ දී ඞීසල් පරිහරණය අවම කිරීමෙන් පරිසරයට පමණක් නොව ආර්ථිකයට ද වාසියක් ලැබී ඇත. ඉන්ධන වියදම අඩුවීම හේතුවෙන් ඉන්දියන් රුපියල් කෝටි දහ තුන් දහසකට වඩා වසරකට ඉතිරි කරගනී.

ජාත්‍යන්තරය තුළ විශාල පරිවර්තනයක් සිදුවෙමින් පවතී. පොසිල ඉන්ධන භාවිතය ඉතාම අඩු තැනකට පත්වනු ඇත. ප‍්‍රවාහනය විදුලියට හැරවීම දැවැන්ත පරිවර්තනයකි. අලූතින් හිතන්නට අවශ්‍ය කෙරේ. ජීවත්වන පරිසරය යහපත් තැනට හැරවීම පමණක් නොව කාර්යක්ෂමතාවය ගැන ද අවධානය යොමු කළ යුතුය. ඉන්ධන වෙනුවෙන් කරන පිරිවැය දරාගත නොහැකි අතර ප‍්‍රවාහන අවශ්‍යතා වැඩිවීමට සමාන්තරව අලූත් ප‍්‍රභව කරා අවතීර්ණවීම වැදගත්ය.

ශ‍්‍රී ලංකාවේ පොදු මගී ප‍්‍රවාහනය ගැන වෙනස්ව හිතන්නට අවකාශයක් තිබේ. දිග කාලයක් සලකා සැලසුම් සකස් කළ යුතුය. අසල්වැසි ඉන්දියාව ගමන් කරන පිලිවෙල අධ්‍යයනය කළ හැකිය. වැඩිවන ප‍්‍රවාහන අවශ්‍යතා සලකා වෙනම මෙට්‍රෝ රිය පද්ධති ඇරඹිය හැකිය. ආණ්ඩුවට මුදල් හග බව පෙනේ. නියමිත ප‍්‍රමිති අනුව පුද්ගලික අංශයේ ආයෝජනවලට ඉඩ ලබාදීම සුදුසුය. ජපානයේ ආධාර ඇතිව ආරම්භ කරන ලද සැහැල්ලූ දුම්රිය සේවාව අත්හරින්නට තීරණය කර ඇත. එය ද විදුලියෙන් ධාවනය වන පීලි මත ධාවනය වන රිය සේවාවකි. අලූතින් ජනාකීර්ණවන ප‍්‍රදේශවල ජනතාවට නගරයට එන පහසුකම් සදහා යෝජනා කර තිබුණි. කොළඹ හා අවට මාර්ගවල තදබදය සලකනවිට තවත් වාහන මංමාවත් වලට එකතුකිරීමෙන් කිසිම ප‍්‍රයෝජනයක් නැත. පැය ගණන් අධික තදබදයක ගමන් කරන වාහනයක පුලූස්සන ඉන්ධන ප‍්‍රමාණය ජාතික ආර්ථිකයට හිරිහැරයකි. රටට ගෙන්වන ඉන්ධන වලින් සියයට හැටක් ප‍්‍රවාහන අවශ්‍යතා සදහා බව විශේෂඥ වාර්තා දක්වයි. මෙකී රාමුව වෙනස් කරන්නට අවශ්‍යය.

ශ‍්‍රී ලංකාවේ දුම්රිය සේවය ලබන අධික අලාභ පියවාගන්නා ක‍්‍රම ගැන අධ්‍යයනය කළ යුතුය. ප‍්‍රයෝජනයට නොගත් විශාල ඉඩම් ප‍්‍රමාණයක් තිබේ. සෑම දුම්රිය ස්ථානයක්ම මෙරට ආර්ථිකයේ කොටසකි. එම තැන්වල සූර්ය විදුලිය නිපදවා බැටරි බලයෙන් ධාවනයවන වාහන ආරෝපනයට ස්ථාන සකස් කළ හැකිය. මගී අවශ්‍යතා පමණක් නොව බලශක්ති අවශ්‍යතා ද සලකා දුම්රිය සේවයෙහි කළ හැකි වෙනස්කම් ගැන සොයා බැලීම වැදගත්ය. ඉන්දියාවෙන් ඉගෙනගත හැකි පාඩමක් තිබේ. ගල් අගුරු දුම්රියක සිට විදුලිය දක්වා ගමනක් පැමිණ ඇත. එම වෙනස්කම් වලින් ජනතාව සතුටට පත්ව සිටී.