» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
19/09/2021 - ඉරිදා ලංකාදීප
ආධාර ලබන ඉන්දියානුවන් සුවිශේෂී අංකයකින් හදුනාගැනීම

ඉන්දියාව දැවැන්ත ජනගහනයක් සහිත රටකි. ඉදිරි වසර විසි පහ ඇතුලත තවත් මිලියන 277 ක් ජනගහනයට එකතු වෙතැයි සැලකේ. එක්සත් ජාතීන්ගේ සංගමය ගණන් බලා ඇති පරිදි වසර 2027 වන විට ඉන්දියාව ලෝකයේ වැඩිම ජනගහනයෙකින් යුතු රට බවට පත් වෙයි. දැනට එම වාර්තාව උසුලන්නේ චීනයයි. වාර්තා වන පරිදි මහජන චීන සමූහාණ්ඩුවේ වෙසෙන ජනගහනය මිලියන 1.47 ක් වන විට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉන්දියාවේ ජනගහනය මිලියන 1.37 කි. නවදිල්ලි නගරයේ පමණක් ශ‍්‍රී ලංකාවේ මුළු ජනගහනය තරමට ජනගහනයක් ජීවත්වන බව දැක්වෙයි. විශාල පුරවැසියන් ප‍්‍රමාණයක්, ඔවුන්ගේ එදිනෙදා රාජකාරි සහ විශේෂයෙන් රජයෙන් ලබාදෙන සහන වැඩ පිලිවෙල කි‍්‍රයාවට නැංවීම ඉතාම දුෂ්කර බව පසුගිය කාලයේ ප‍්‍රකාශ වූ කරුණකි.

ඉන්දියාව එයට සැලසුමක් සකස් කර තිබේ. අනන්‍ය සුවිශේෂී වූ අංකයක් සහත කාඞ් පතක් නිර්මාණය කරමින් සිටී. කලින් පැවැති ආණ්ඩුව ගත් තීරණය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ගේ රජය වේගවත් කර ඇත.

පුරවැසියන්ට සුවිශේෂි අංකයක් දෙන ව්‍යාපෘතිය ආධාර් කාඞ් යනුවෙන් නම් කර තිබේ. එම අංකය සියළුම ඉන්දියානුවන්ට අනිවාර්ය කර ඇත. සිය අනන්‍යතාව දැක්වෙන හැදුනුම්පතක් වශයෙන් ද භාවිතා කළ හැකි පරිදි වැඩි දියුණු කර තිබේ. අංක දොලහකින් සමන්විතය. පැරණි යටගියාව සහ ජීව විද්‍යාත්මක කරුණු එම අංකයෙන් බලගැන්වෙන දත්ත සටහනට ඇතුලත්ය. මෙම වැඩසටහන ආරම්භ කරන්නේ 2009 වසරේ දී ය. මුල් කාලයේ තරමක් අඩාල වී තිබුණ නමුත් මෝදි අගමැති තුමන් තාක්ෂණයට දක්වන ඇල්ම ඉදිරියේ නැවත වටයකින් ඉක්මන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියානුවන්ට සෑම අතින්ම ජීවිතය පහසු කරවන ක‍්‍රමයක් සේ ආධාර් කාඞ් ක‍්‍රමය හැසිරවිය හැකි බව දැක්වෙයි. සාමාන්‍ය ජනතාවට ගෘහස්ථ ගෑස් සදහා සහනාධාරයක් ගෙවන ඉන්දියාව ආධාර් කාඞ්පත් හිමියන්ට ගෑස් මිල දී ගැනීමේ දී මුදල ගෙවූ පසු සහනාධාරය කෙලින්ම ඔහුගේ බැංකු ගිණුමට බැර වෙයි. ගෑස් වැනි දේ මිල දී ගන්නා වාර ගණන සීමාකරන ක‍්‍රම මගින් සෘජු ප‍්‍රතිලාභ හා අයථා භාවිතය වලක්වා ඇති බව දැක්විය යුතුය. මෙම කාඞ්පතට ඉහළම පිලිගැනීමක් තිබේ. ගුවන් ගමන් බලපත‍්‍රයක් ලබා ගත යුතු අවස්ථාවක මෙම කාඞ්පත ඉදිරිපත් කළහොත් දින දහයක් තුළ එය ලැබෙන්නට සලස්වයි. නැවත නැවතත් ඉදිරිපත් කළ යුතු ලේඛන සම්පූර්ණ වශයෙන් කාඞ් පත තුළ ගොනුවේ පවතින අතර උප්පැන්න සහතිකය, පදිංචි සහතිකය වැනි ලේඛනවල මුල් පිටපත් ගෙන යන්නට හෝ ඒවා නැවත වතාවක් නිලධාරීන් ලවා සහතික කරගන්නට කිසිසේත් උවමනා නොකෙරේ. පුරවැසියන් රජයේ කාර්යාලවල අනවශ්‍ය ගැවසීම නතර කරන අතර එය දුෂණය මැඩපවත්වන මගකි. ආධාර් කාඞ් හදුන්වා දෙන්නට කලින් නිලධාරීන්ගේ මහත් බලපෑම් මැද පසුවූ ජන ජීවිත වඩා පහසු තැනකට කැදවා ඇති බව පැහැදිලිව ප‍්‍රකාශ වී ඇත. ගුවන් ගමන් බලපත‍්‍රය පොලිසිය සදහනක් කළොත් වහා අවලංගුවන අතර කලින් ක‍්‍රමය අනුව පොලිස් බලප‍්‍රදේශයේ නිර්දේශය මුලින් ලබාගත යුතු විය. ගමන් බලපත‍්‍රය ගන්නාවිට නිර්දෝෂී පුද්ගලයෙකු පසුව වැරදිකරුවෙකු විය හැකිය. ගමන් බලපත‍්‍රය භාවිතා කිරීම නීත්‍යානුකූලව අවහිර කිරීමට ආධාර් කාඞ් ක‍්‍රමය යටතේ නීතියට ඉඩ ලැබී තිබේ.

ආධාර් කාඞ් සමග බැංකුවක ගිණුමක් ඇරඹීම පහසුය. ඉන්දියානුවන් සෑහෙන පිරිසකට බැංකු ගිණුම් නැත. අසංවිධානාත්මක මුල්‍ය ක‍්‍රමවලින් ජනතාව ගලවා ගැනීම නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාගේ අභිලාශයකි. සියළුම පුරවැසියන්ට බැංකු ගිණුමක් අරඹන අවස්ථාව ලබා දෙන බව හෙතෙම වරක් ප‍්‍රසිද්ධියේ කියා සිටියේය. වෙනත් ලේඛන පෙන්වා බැංකු ගිණුම් ආරම්භ කළ හැකි නමුත් ආධාර් කාඞ් පතට විශේෂ පිලිගැනීමක් තිබේ. ඉන්දීය රජය ජනතාවගේ ලියැකියැවිලි ඇතුළු වැදගත් දේ ආරක්ෂා කරන්නට සුරක්ෂිතාගාර ක‍්‍රමයක් පවත්වාගෙන යයි. ඒවායේ ඉඩම් ඔප්පු පිටපත හො වෙනත් ලේඛන පවා තැන්පත් කිරීමට හැකියාව තිබේ. එහි රහස් අංකය මෙම ආධාර් කාඞ්පත බව දැක්විය යුතුය.

ඡන්ද හිමි ලැයිස්තුවට මෙම අංකය සම්බන්ධ වන අතර එකම පුද්ගලයාට වංචනික සේ ඡන්ද කාඞ් පත් කිහිපයක් භාවිතා කරන අවසරය ඇවිරෙයි. විශ‍්‍රාම වැටුප්, සේවක අර්ථ සාධක අරමුදලේ ප‍්‍රතිලාභ යනාදිය ද මෙම අංකය මගින් පහසුවෙන් ලබාගත හැකිවෙයි. උපත් ලේඛන හා මරණ සහතික සමග මෙම අංකය සැසෙදන අතර විශ‍්‍රාමිකයන් තමන්ම පෙනී සිට විශ‍්‍රාම වැටුප ඉල්ලන්නට අවශ්‍ය නැත. කාඞ් පත අනුව ගිණුමට මුදල් බැර කෙරේ. එය මහත් පහසුවක් වනු ඇති බව මෙම සුවිශේෂී අංකය ගැන තොරතුරු දක්වන ඉන්දීය රජයේ වෙබ් අඩවිය විස්තර කර තිබේ.

අලූතින් උපදින දරුවන්ට නිරායාසයෙන් මෙම අංකය ලැබෙන අතර මෙතෙක් නොලැබුණ කිසිවෙකුට එය ළගම ඇති ආධාර් කාඞ් කාර්යාලයෙන් කරගත හැකිය. මාස දොලහකට වඩා ඉන්දියාවේ ජීවත් වෙන්නට අපේක්ෂා කරන ඕනෑම පුද්ගලයෙකුට ද තාවකාලිකව මෙම කාඞ් පතට ඇතුළු වී විශේෂිත අංකයක් ලබා ගැනීමේ පහසුව තිබේ. කෙසේ වෙතත් ඉන්දීය පුරවැසියෝ මෙම අලූත් කාඞ් පත හා අංකය ගැන තවමත් විශේෂ උනන්දුවක් නැත. ඔවුහු පරණ පුරුදු ජීවිකාවට කැමැතිය. ඇතැම් පිරිසක් එය ගැන නොදන්නා බව පෙනේ. එහෙත් මෙම විශේෂිත අංකය ඉන්දියානුවන්ගේ ජීවන ක‍්‍රමය දැවැන්ත පරිවර්තනයකට හරවනු ඇත.

ජීවිත කාලයටම වැදගත් එක අංකයක් නිකුත් කරන මෙම කාඞ්පත ප්ලාස්ටික් එකක් නොවන බවට ද මෑතක දී වගබලාගෙන තිබේ. පරිසරය ආරක්ෂා කරන පිලිවෙතකි. බිලියන ගණනක් ජනතාවගේ කාඞ්පත් අවසානයේ දී විශාල ප්ලාස්ටික් තොගයක් වනු ඇති අතර කඩදාසිය කිලිටි වුවහොත් අයිතිකරුටම, වෙබ් අඩවියෙන් අලූත් කාඞ් පතක් මුද්‍රණය කරගත හැකි පරිදි වැඩි දියුණු කර ඇත.

මෙම ආධාර් කාඞ් අංක ක‍්‍රමය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහා අතර ඉකුත් කාලයේ දී සාකච්ඡා වූ වැදගත් ක්ෂේත‍්‍රයකි. ලාංකිකයන්ට ද එය හදුන්වා දීමට යෝජනා වී තිබේ. මෙරට විශේෂයෙන් නම් කරන ලද කණ්ඩායමක් එහි පසුබිම නිර්මාණය කරමින් සිටී. සියළු වැසියන්ගේ දත්ත සහිත අංකයක් සකස් කෙරේ. එමගින් බැංකු ගිණුමට සම්බන්ධවන විට රජයෙන් දෙන සහන කෙලින්ම යොමුවන වැඩ පිලිවෙලකි. රාජ්‍ය සේවය කාර්යක්ෂමවන අතර දේශපාලන බලපෑම් අනුව ආධාර බෙදන ක‍්‍රමය තව දුරටත් බලනොපවත්වන හේතුවක් වනු ඇතැයි දැක්වේ. ඉන්දීය රජය මෙම විශේෂ අංකය සහිත ක‍්‍රමය හදුන්වා දීම සදහා ඇමරිකානු ඩොලර් මිලියන පනහක ආධාර මුදලක් ද පරිත්‍යාග කරන්නට කැමැත්ත පළ කර තිබේ.

ඉන්දියන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති වැදගත් තීන්දුවක් ද මෙහි දී සැලකිල්ලට ගැනීම සුදුසුය. එම තීරණය අනුව පුද්ගලිකත්වය පුරවැසියන් ගේ අයිතිවාසිකමකි. එය උල්ලංඝනය නොකළ යුතුය. මෙම ආධාර් කාඞ් ක‍්‍රමයට අධිකරණයේ අනුමැතිය ලැබී තිබේ. සාමාන්‍ය ජනතාව තමන්ගේ දුක්ගැනවිලි කියමින් පුද්ගලිකත්වය හුවා දක්වා රජයේ ආධාර ඉල්ලීම වෙනුවට සුදුසුකම් අනුව කෙලින්ම බැංකුවට ආධාර හිමිවීම සමාජ ගරුත්වය ද තහවුරු කරයි. කෙසේ වෙතත් ඉන්දියාවේ ආධාර් කාඞ් පත සමග සිය තොරතුරු අනාවරණය වන බව හුවා දක්වමින් පුද්ගලිකව පවරන ලද නඩුවක් තවමත් විභාග වෙමින් තිබේ. එහි මුලික විරෝධතා අධිකරණය බැහැර කර ඇත. අංක වෙනස් කිරීමට හෝ වෙනත් පාරිශවයකට ඇතුළුවීමට අවකාශ නැති බව ප‍්‍රකාශ කරයි. කෙසේ වෙතත් පෙත්සම්කරුවන් දක්වන පරිදි වෙනත් රටක ඇති වත්කම් හෝ අදාල නොවන දේපොල ඇතුළු කර අපහසුතාවයක් ඇති වීමට තිබෙන අවදානම ගැන දිගින් දිගටම අධිකරණයේ දී විභාග කරමින් සිටී. යුක්තිය හා සාධාරණත්වය ඉටුවිය යුතු සාමාන්‍ය ජනතාව මෙම ආධාර් ක‍්‍රමය ගැන කැමැත්තෙන් පසුවෙති. කරදර රහිතව එදිනෙදා රාජකාරි කරගැනීමට පහසුවක් බව ද දක්වති. තාක්ෂණය උපයෝගීකරගෙන ජන ජීවිතය පහසුකිරීම ගැන විද්වත්හු ප‍්‍රසාදය පළ කරන බව පෙනේ.