» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
19/06/2022 - ඉරිදා ලංකාදීප
රට එක් සේසත් කළ ගෞරවය උදෙසා ලෝකයේ උසම පිලිරුව නිර්මාණය වෙයි

යුගයක් උදෙසා කැප වූ අද්විතීය පුද්ගලයන් සදහා ප‍්‍රතිමා නිර්මාණය කෙරේ. සදාකාලිකව හදවත් තුළ ජීවත් කරන වෑයමකි. ලෝකයේ විශාලතම ප‍්‍රතිමාව ඉන්දියාවේ ගුජරාට් ප‍්‍රාන්තෙයේ ඉදිකර ඇත. ජාතික සමගිය සදහා වූ ප‍්‍රතිමාව වශයෙන් නම් කර ඇති එය ඉන්දිය නිදහස් සටනේ නායකයෙකු වූ සර්ධාර් පටෙල් ගේ පිළිරුවකි. මෙම දැවැන්ත ප‍්‍රතිමාව අඩි පන්සිය අනූ හතක් උස අතර ටොන් ගණනක් බර එකක් බව දැක්වේ.

ඉන්දියාවේ ඉතිහාසය ගවේශනය කරන පසු මුණ ගැසෙන චරිත සෑහෙන ප‍්‍රමාණයක් සිටී. නිදහස උදෙසා කරන ලද සටන තුළ අමරණීය චරිත බවට පත්ව ඇත. ජයග‍්‍රහණයට පසු තනතුරු බෙදා ගන්නට වෑයම් නොකළ ඔවුහු අනාගතය සදහා පදනමක් සකස් කළහ. ගාන්ධි, නේරු, අම්බෙත්කාර්, සුභාෂ් චන්ද්‍රබෝෂ් සහ ලාල් ශාස්ත‍්‍රි ඇතුළු මහා පිරිසක් අතරින් පටෙල් වෙන් කරගන්නට බලපා ඇති බරපතල සාධකයක් තිබේ. අති විශාල ප‍්‍රතිමාවක් නෙලා ගෞරවය පිරිනමන්නට තරම් දැවන්තයෙකු බවට පටෙල් පත් වූයේ කෙසේද? ඉන්දියාවේ පළමුවැනි උප අගමැති සහ ස්වදේශ කටයුතු ඇමැතිවරයාය වශයෙන් රට එකට එකතු කරන්නට හෙතෙම අසම සම කාර්ය භාරයක නිරත විය. අධි රාජ්‍යවාදීන් ට යටත්ව සිටි සමයේ ඉන්දියාව පුරා මහා රාජාවරු පාලනය කළ කුඩා රාජ්‍ය පන්සිය හැට ගණනක් තිබුණ බව සදහන්ය.

ප‍්‍රාදේශීය ප‍්‍රධානීන් වූ මෙම බලවත් පුද්ගලයෝ විශාල ධනයක් එකතු කරගෙන සිටි අතර අවට වැසියන්ගෙන් බදු එකතු කරගනිමින්, ඔවුන්ටම අනන්‍ය කර්මාන්ත හා ව්‍යාපාර හසුරුවමින් සිටියහ. නිදහස ලබාගත් පසු ඉන්දියාවට එක පාලන ක‍්‍රමයක් ස්ථාපිත කරන්නට අවශ්‍ය වූ අතර ව්‍යවස්ථාවක් නිර්මාණය කර ආර්ථිකයක් ගොඩනගන්නට සැලසුමක් සකස් කරමින් තිබුණි. නියොජ්‍ය අගමැති පටෙල් මෙහි දී මහා රාජවරුන්ගේ බලය අඩු කරන හා ඔවුන්ගේ සම්පත් පවරාගෙන ඉන්දීය ජාතිකයන් ගේ සුබ සිද්ධිය ඇති කරන වැඩ පිලිවෙල ආරම්භ කරන ලද බව සදහන්ය. ඉතා සංයමයකින්, ජාත්‍යාලයෙකින් යුතුව ගෙන ගිය සියුම් පිලිවෙලකි. බලවත් ප‍්‍රාදේශීය නායකයන් වූ මහා රාජාවරුන් සමග හැසිරෙන අතර මහත් ආත්ම ශක්තියක් ඇතිව ගෙන ගිය අරගලය අවසානයේ දී මහාරාජාවරුන්ගේ කුඩා රාජ්‍ය වෙනුවට එක ඉන්දියාවක් නිර්මාණය විය.

ගුජරාට් ප‍්‍රාන්තයේ ඇති පරිපාලන දිස්ත‍්‍රික්ක තිස් තුනක් අතරින් කේධා හි උපත ලැබූ පටෙල් වෘත්තියෙන් නීතිඥයෙකි. මහත්මා ගාන්ධි ගෙන ගිය ජාතික ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයෙකු වන හෙතෙම වල්ලබාබාහි ජවහර්බාහි පටෙල් වූ අතර ආදරයෙන් කතා කළේ සර්ධාර් යන ගෞරවනාමයෙන්ය. ප‍්‍රධානියා යන අදහස හින්දි සහ උර්දු භාෂාවෙන් ‘සර්ධාර්’හි ගැබ්ව තිබේ. ඉන්දියානු නිදහස් සටන පෙළ ගැසෙන විට අවිහිංසාවාදී නායක මහත්මා ගාන්ධි අධිරාජ්‍යවාදී පාලකයන්ගේ අධික බදුවලට විරුද්ධව ගමින් ගම යමින් ජනතාව පෙළ ගස්සවන ලද අතර ලූනු බද්දක් පැනැවීමෙන් පසු මහා පාගමනක් සංවිධානය කළහ. ලූනු සකස් කරගැනීම සදහා, ජනතාව සාමකාමී ලෙස මුහුද කරා යන අතරවාරයේ දී අධිරාජ්‍යවාදී සේනාංක ඔවුන්ට අවහිර කළහ. ගාන්ධි අත් අඩංගුවට ගත්හ. නොයෙක් අතවර නැගෙන අවස්ථාවක තැලෙන පෑගෙන ජනතාවට විකල්ප නායකත්වය සපයන්නේ සර්ධාර් පටෙල්ය.

නිදහස සමග පිහිටුවනු ලැබූ ඉන්දීය ආණ්ඩුවේ අගමැති ජවහර්ලාල් නේරු සමග ගමන් සගයා බවට පත්වන්නේ පටෙල්ය. දිගු කාලීන මිතු දමක් තිබුණු ඔහු අගමැතිවරයාගේ විශ්වාසදායකම ඇමැතිවරයා වශයෙන් ක‍්‍රියා කළ අතර ඉන්දීය පරිපාලන සේවය ඇති කළේය. එය රටට අත්තිවාරමක් සදන යකඩ රාමුවක් සේ සැලකිණ. අගමැති නේරු සහ ස්වදේශ කටයුතු ඇමැති පටෙල් දෙපොල මනා ගැලපීමක් ඇතිව තීරණ ගත් අතර විචාරකයන් සදහන් කරන අන්දමට නේරු දර්ශනයක් සහිතව ගමන් කරන අතර රටට දැවැන්ත ශක්තිය බවට පත්වූයේ පටෙල්ය.

සමගිය සදහා වූ පටෙල් ගේ ප‍්‍රතිමාව ගුජරාට් ප‍්‍රාන්තයේ පිහිටා ඇති අතර එය ඉදිකරන සැලසුම ප‍්‍රකාශයට පත් කළේ 2010 වසරේ දී ය. මෙම විශිෂ්ඨ ඉන්දියානුවා ගේ 143 වැනි ජන්ම දිනයේ දී එය නිරාවරණය කෙරිණ. නර්මදා නදිය හරස් කර දැවැන්ත වේල්ලක් ඉදිකරන ලද ගුජරාට් ප‍්‍රාන්තය එයින් ජලය ගෙන ගොවිතැන සාරවත් කරන ව්‍යාපෘතියක් අරඹන ලද බව දැක්වේ. එය ප‍්‍රාන්තයේ කෘෂි නවෝදයකට හේතු විය. ජනගහනයෙන් සියයට අසූ පහක් කෘෂිකාර්මික ජීවිත ගත කරති. වේල්ලට නම තබන්නේ ද සර්ධාර් සිහිපත් කරමින්ය. එහි නිදහස් භූමියක මෙම දැවැන්ත ප‍්‍රතිමාව ඉදිකරන ලද අතර එහි පිරිවැයෙන් හරි අඩක් ගුජරාට් ප‍්‍රාන්තය වියදම් කරයි. කෘෂි කර්මයෙන් යැපෙන ජනතාවගේ ජීවිත තවත් අලූත් පැත්තකට හරවන්නට මෙම ප‍්‍රතිමාව උපයෝගීවනු ඇතැයි ඉලක්ක කෙරිණ. දැනට එම ප‍්‍රදේශයට වසරකට ලක්ෂ විසිපහක් පමණ දෙස් විදෙස් සංචාරකයෝ පැමිණෙති. විශාලතම ප‍්‍රතිමාව දැකබලා ගැනීම සංචරකයන්ග් අරමුණය. ලෝකයේ විශාලතම ප‍්‍රතිමාව දෙස බලා සිටින ඔවුහු ඉන්දියාවේ දැවැන්ත පරිවර්තනයකට නායකත්වය දුන් මනුෂ්‍යයෙකු ගැන කල්පනා කරති.

දොලොස් වසරක් ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජනය කළ පටෙල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංගවලින් සහ දැවැන්ත ආර්ථිකයකින් යුතු ඉන්දියාව ගොඩනගන වැඩ පිලිවෙලෙහි විශාල කාර්ය භාරයක් ඉටු කළ වග ජන සමාජය තහවුරු කරගෙන තිබුණි. ඉන්දියාවේ විශ්ව විද්‍යාල කිහිපයක් ඔහුට ආචාර්ය උපාධි පිරිනමන ලදහ. අද පවා ඔහුගේ නමට ඉදිරියෙන් දැවැන්ත පිලිම නිර්මාණය කරන්නේ ජනතාව වෙනුවෙන් ඉටුකරන ලද අසීමිත සේවාව ඉදිරියේ බව මතක් කළ යුතුය.

කාලාන්තරයකට පසු යුගය අලූත් කරන ජනී ජනයා පිළිම ඉවත් කරන තීරණ ගනිති. ප‍්‍රතිමා බිම හෙලා ඒවා වනසති. ලෝකයේ තැනින් තැන වරින්වර එවැනි සිද්ධි වාර්තා වූ බව සදහන් කළ යුතුය. මාවෝ සේතුං සදහා ඉදි වූ ප‍්‍රතිමාව ඉවත් කළේ එය අනුමැතියකින් තොරව ඉදිකරන ලද බව හුවා දක්වමින්ය. සෝවියට් දේශය බි`ද වැටුණ පසු යුක්රේනය එහි තිබුණ ලෙනින් ප‍්‍රතිමාව ගලවා ඉවත් කළහ. චීනයේ මාවෝ ගේ පිලිරුව ඉවත් කරන අතරවාරයේ පමණක් නොව යුක්රේනයේ තිබුණ ලෙනින් ප‍්‍රතිමාව ඉවත් කරන පසු ද එයට පක්ෂව හා විපක්ෂව දෙපැත්තක පිරිස් සිටියහ. සර්ධා පටෙල් ගේ ප‍්‍රතිමාව ඉදිකරන අතරවාරයේ පවා විපක්ෂ මතධාරීහු ප‍්‍රශ්න කළහ. අපට අවශ්‍ය ජලය හා ඉඩම් බව කියා ගොවීහු පෙළ ගස්සවන ලද බව වාර්තා වෙයි. ඉන්දියාවෙන් අමුද්‍රව්‍ය යවා චීනයේ දී ඉදිකරන ලද අතර පටෙල් ගේ ප‍්‍රතිමාව චීන නිෂ්පාදනයක් බවට ද මැසිවිලි නැගිණ. මිනිසුන්ගේ මතකයෙහි සදා නතරවන්නට ජනතාව වෙනුවෙන් කරන ලද කැපවීම ප‍්‍රමාණවත්ය. පිලිම නෙලා ඉහළින්ම ඔසවා තබන අපේක්ෂා ඇතිව විරුවෝ කිසි දිනක ස්වකීය යුතුකම ඉටු කරනු සදහා ඉදිරියට පැමිණියේ නැත. හරසර, ගරු තානාන්තර වෙනුවට සැනසිල්ල මහත් ආස්වාදයක් බව සදහන් කළ යුතුය.