» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
19/03/2023 - ඉරිදා ලංකාදීප
යුද උපකරණ අලෙවිය හා සමාන්තරව සුවිශේෂී අත්දැකීම් බෙදාගැනීම

යුද ගැටුම්වල අවසානයක් නැත. ඉතාම දුප්පත් රටක් පවා ආයුධ මිල දී ගනී. සිය ආරක්ෂාව තර කරන පියවරඅනුගමනය කෙරේ. ජාතික ආදායමෙන් ප‍්‍රතිශතයක් වශයෙන් සෞඛ්‍ය පහසුකම් වෙනුවන් වියදම් කරන ප‍්‍රමාණයට වඩා ධනයක් යුද මෙවලම් වෙනුවෙන් වැය කරන රටවල් ඇත. ආරක්ෂාව එපමණකට වැදගත් වී ඇති අතර ත‍්‍රස්තවාදී ක‍්‍රියා සහ කඩාකප්පල්කාරී සිදුවීම් වඩා බහුල බව පර්යේෂකයෝ පෙන්වා දෙති. මෙම පසුබිම යුද අවි නිපදවන රටවලට අවස්ථාවකි. එකිනෙකට වෙනස් දියුණු ආයුධ නිපදවන රටවල් ආයුධ වෙළදාම දැවැන්ත ආර්ථිකයක් බවට හරවා ගෙන ඇත.

ඉන්දියාව ක‍්‍රමයෙන් යුද මෙවලම් අපනයනයෙහි ප‍්‍රධාන තැනකට අවතීර්ණවෙමින් සිටී. පසුගිය මාර්තු හය වැනිදායින් අවසන් වූ අවුරුද්ද ඇතුලත ඉන්දියානු රුපියල් කෝටි 13,399 ක ආරක්ෂක මෙවලම් හා උපකරණ වෙනත් රටවලට අළෙවි කරන්නට ඉන්දියාව සමත්ව ඇත. 2017-18 කාලයේ දී මෙම මෙවලම් අපනයන ආදායම ඉන්දියානු රුපියල් කෝටි 4,682 කි. ඉන්දීය පාර්ලිමේන්තුවේ දී මෙම කරුණු හෙළිදරව් කරන ලද අතර මෑත කාලය තුළ, ඉන්දියාව මෙම ක්ෂේත‍්‍රයේ අත්පත් කරගෙන ඇති ප‍්‍රගතිය මෙමගින් දැක්වේ. ඉන්දියාවේ සලැස්ම අනුව වසර 2025 වන විට ලෝකයේ යුද මෙවලම් අලෙවියෙහි ප‍්‍රධාන රටවල් අතරට පැමිණීම ඉලක්ක කර තිබේ. වසරකට ඇමරිකානු ඩොලර් බිලියන පහක අපනයන ආදායමක් අපේක්ෂා කෙරේ. යුද මෙවලම් හා උපකරණ නිපදවීම හා ඒවා අපනයයට ඇති බාධා සලකන පසු මෙවැනි ඉලක්කයක් පහසු නැත.

සමීක්ෂණ වාර්තා අනුව ඉන්දියාව නිපචදවන ආරක්ෂක මෙවලම් හා උපකරණ මිල දී ගන්නා රටවල් ගණනාවකි. ඉතාලිය, රුසියාව, මාලදිවයින, නේපාලය, ප‍්‍රංශය, ඊජිප්තුව, බූතානය, ශ‍්‍රී ලංකව හා පිලිපීනය ඇතුළු රටවල් ඉන්දීය නිෂ්පාදන මිල දී ගැනීමට ගිවිසුම් අත්සන් කර ඇති බව දැක්වේ. ඉන්දියාව මෑතක දී බංගලාදේශය කෙරෙහි ද සිය අවධානය යොමු කර ඇත. එරට ඉහළ පොලේ ආරක්ෂක ප‍්‍රධානීන් ඉන්දියාවට පැමිණීමෙන් පසු පවතින ආරක්ෂක උපාංග හා ඒවායේ අලෙවිය සම්බන්ධයෙන් ණය පහසුකම් සැපයීම ගැන සාකච්ඡා පවත්වන ලද බව සදහන්ය. ඉන්දියාව අවට ඇති රටවල ආරක්ෂාව හා නිති විරෝධී සිද්ධි පාලනය කිරීම සදහා දැරෙන ප‍්‍රයත්නය තුළ ආයුධ හා උපකරණ වෙළ`දාම තීරණාත්මක සාධකයකි.

ඉන්දීය යුද හමුදාව සෙබල ගහනය අතින් ලෝකයේ දෙවැනි විශාලතම පිරිස් බලයකින් සමන්විතය. එය ලක්ෂ දොලහ ඉක්මවයි. ගුවන් හා නාවික බලය ද සැලකිය යුතු ප‍්‍රමාණයකි. ඉන්දීය හමුදාව සීමා කරන සැලැස්මක් ද දැනට ක‍්‍රියාත්මකය. බදවා ගැනීමේ පටිපාටිය වෙනස් කරන පියවරක් ද තිබේ. ආරක්ෂක අංශ පුහුණු කරන ස්ථාන එකසිය හලිහකට වඩා ස්ථාපිත කර ඇත. ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඒකාබද්ධ පුහුණු වැඩසටහන් ද පැවැත්වේ. ප‍්‍රධාන නිලධාරී පුහුණු මධ්‍යස්ථානය මධ්‍ය ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ පිහිටා ඇත. යුද, ගුවන් හා නාවික යන අංශවල ජේ්‍යශ්ඨ නිලධාරීන්ට මෙහි දී න්‍යායික හා ප‍්‍රායෝගික පුහුණුවක් සැපයේ.

ඉන්දියාව ආයුධ හා උපකරණ අලෙවිය ගැන අවධානය යොමු කරන මෙම කාලවකවානුවේ දී හමුදා හා ආරක්ෂක අංශ පුහුණු කරන සේවා කෙරෙහි යොමුවීමේ හැකියාවක් ශ‍්‍රී ලංකාවට ඇත. ඉන්දියාවේ පුහුණු ඇකඩමි හා ඒවා පවත්වාගෙන යන ස්වභාවය අනුව සලකනවිට, ශ‍්‍රී ලංකාවේ මානව සම්පත ඉතාම දක්ෂ හා අත්දැකීම් සහිත කණ්ඩායමකි. තිස් වසරක කාලයක් පැවැති දරුණු ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ අත්දැකීම් ලාංකේය ත‍්‍රිවිධ හමුදාවට ඇත. මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදී කණ්ඩායමක් පරාජය කළ බිහිසුණු යුද්ධයක අත්දැකීම් ලෝකයේ වෙනත් රටක හමුදාවකට ලැබී නැත. අවස්ථාවෝචිතව තීරණ ගෙන සතුරන් පරාජය කරන සංග‍්‍රාමික උපක‍්‍රම අතින් ශ‍්‍රී ලංකාවේ හමුදාව විශිෂ්ඨ අත්දැකීම් සහිතය. මෙම අත්දැකීම් ලෝකයේ අනෙක් රටවල් සමග බෙදාගන්නා අතර එමගින් වාතාවරණය අවබෝධකරගෙන තීරණ ගැනීමට හැකිවේ. අවදානම පලවා හැරීමට අවස්ථාව ලැබේ. වඩාත් සාමකාමී ලෝකයක් නිර්මාණය කිරීමට යමක් කළ හැකිවනු ඇත.

ශ‍්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ කාර්ය සාධක බලකායේ ඇතැම් පුහුණු සැසි වලට ඉන්දියාව, කෙන්යාව හා අප‍්‍රිකානු රටවල තෝරාගත් සෙබලූන් දැනටමත් සහභාගී වෙති. එම පුහුණු අංශ තවත් පුලූල් කළ හැකි අතර වෙනත් රටවලට ද අවස්ථාව සැපයීමට අවකාශයක් තිබේ. නාවික හමුදාවේ විශේෂ ඒකක වල කාර්ය පුහුණුව ඇතිකළ හැක. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ වේග ප‍්‍රහාරක යාත‍්‍රා, හෙලිකොප්ටර් වල පුහුණු වැඩසටහන්, ව්‍යාප්ත කළ හැකි තවත් අංශයකි. නාවික හා ගුවන් හමුදා විශේෂිත පුහුණු පිරිස් ත‍්‍රස්තවාදය පරාජය කරන සටනේ තීරණාත්මක සාධකයක් විය. නාවික ඒකකවලට මුහුදු කොටි සමග ගැටෙමින්, වෙරළාක්ෂිත ප‍්‍රදේශවල සමුද්‍රීය අසමමිතික තත්ත්වය පාලනය කරන්නට සමත් වූ අතර කොටි සංවිධානයට ආයුධ සැපයුම, මත්ද්‍රව්‍ය හා නිති විරෝධී දේ මුහුදෙන් ප‍්‍රවාහනය යනාදිය වලකන්නට විශේෂ හැකියාවකින් ක‍්‍රියා කළේය. දැනටත් එම අවධානයෙහි නියුක්තය. ගුවන් හමුදාවේ සෙබල බලඇණිය සාමාන්‍ය ජනතාව ගලවා ගන්නා අතර ත‍්‍රස්තවාදී ඉලක්ක ප‍්‍රදේශ ග‍්‍රහණයට ගත් සුවිශේෂී උපක‍්‍රම වෙනත් රටක අත්දැකීම්වලින් ලබාගත නොහැක. මෙම විශේෂිත වාසි සහිත ශිල්පීය දක්ෂතා ශ‍්‍රී ලංකාවේ ත‍්‍රිවිධ හමුදාවට තිබේ.

ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ත‍්‍රිවිධ හමුදාවේ වගකීම් ලිහිල් වී ඇත. එහෙත් පාස්කු ඉරිදා ප‍්‍රහාරය වැනි අනපේක්ෂිත සිද්ධි ගැන අවධානයෙන් සිටින්නට සිදුවී තිබේ. හදිසි ව්‍යසන වල දී කටයුතු කරන්නටට සිදුවී ඇත. විශේෂයෙන් කොවිඞ් වසංගත තත්ත්වය තිබිය දී ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යන්නට දක්වන ලද සහාය අමතක කළ යුතු නැත. කෙසේ වෙතත් ආර්ථික වශයෙන් ඉතා දුෂ්කර පසුබිමක පසුවන මෙම කාල වකවානුවේ ආරක්ෂක හමුදාවල නඩත්තුව, පුහුණුව හා වැටුප් පිරිවැය ගැන විවේචනයක් ද පවතින බව අමතක කළ යුතු නැත. පැරණි අත්දැකීම් පුහුණුවට යොදවන අතර තමන්ගේ අභ්‍යාසවල නිරතවෙමින් අලූත් දැනුම ලබාගැනීම අවශ්‍ය කෙරේ. එහිලා කලාපීය වශයෙන් පුහුණු වැඩසටහන් ඇරඹීය හැක.

ආසියානු රටවල ආරක්ෂක අංශවලට, මහජනතාව සමග ගැටෙමින් විශේෂ වගකීම් ඉටුකරන ඒකකවලට දැනුම අවබෝධය හා පුහුණුව සැපයෙන විශේෂ ක‍්‍රියාකාරකම් ආරම්භ කරන අවස්ථාවක් තිබේ. දැනටමත් එවැනි සේවා පවත්වාගෙන යන අතර ඒවා පුලූල් කළ හැක. රටට විදේශ විනිමය උපයන අතර ශ‍්‍රී ලංකාවේ අත්දැකීම් ජාත්‍යන්තරය සමග බෙදා ගැනීමට හොද අවස්ථාවකි. සංග‍්‍රාම භූමියේ සටන් කළ, එහි අත්දැකීම් සහිත විශේෂ පරිශ‍්‍රමය පොත් පත්වල ලියැවී නැත. ලියැවී ඇති රචනා කියැවීමෙන් පමණක් ප‍්‍රයෝජනයක් අත්පත් නොවේ. ඉන්දියාව යුද උපකරණ හා මෙවලම් අලෙවියෙහි පෙරමුණට එන විට සෙබලූන්ට අවශ්‍ය දැනුම හා ආත්ම ශක්තිය ඇති කරන වැඩසටහන් සම්පාදනය ශ‍්‍රී ලංකාවේ දක්ෂ නිලධාරීන්ට කළ හැකිය. මෙය අලූත් පියවරකි. සෙබලූන් නිරතවන අතර රටට විනිමය ද උත්පාදනය කළ හැකිවනු ඇත. අවශ්‍ය ප‍්‍රතිපත්ති තීරණ ගැනීම වැදගත්ය. මුලික වශයෙන් නියමු වැඩසටහන් සම්පාදනය මෙහි දී උවමනා කෙරේ.