» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
19/02/2023 - ඉරිදා ලංකාදීප
විශාලතම ඖෂධ නිෂ්පාදක අසල්වැසියාගෙන් රෝගීන්ට බෙහෙත්

ලෝකයේ විශාලතම ඖෂධ නිෂ්පාදකයන් අතර ඉන්දියාව ඉදිරියෙන් සිටී. බටහිර ඖෂධ නිපදවා අපනයන වෙළදාමෙන් සියයට විස්සක ප‍්‍රතිශතයක් අත්පත් කරගන්නට සමත්ව ඇත. වැඩිම එන්නත් ප‍්‍රමාණයක් නිපදවන රට වශයෙන් ද ඉන්දියාව වාර්තා අතර පසුවේ. එය සියයට පනහක ප‍්‍රතිශතයකි. අංග සම්පූර්ණ මෙවලම් සහිත කම්හල්වල පරීක්ෂාකාරීව නිපදවන බෙහෙත් වර්ග ඇමරිකාව, බි‍්‍රතාන්‍ය, යුරෝපා රටවල් හා කැනඩාව යන රටවලට බහුලව අලෙවි කෙරේ. මෙම රටවල පවතින ඉහළ ප‍්‍රමිති අවශ්‍යතා සම්පූර්ණ කරන්නට ඉන්දියානු නිෂ්පාදන සමාගම් සමත්ව ඇත.

ඖෂධ නිෂ්පාදනය, අලෙවිය හා මහජනතාවට දැරිය හැකි මිලකට සැපයීම පහසු කාර්යයක් නොවේ. ආර්ථික අර්බුදය සමග ශ‍්‍රී ලංකාවට ගෙන්වන ඇතැම් බෙහෙත් වර්ග පාලනය වී ඇත. සමහර වර්ග වෙළද පොලේ නැති බව වාර්තා වේ. රෝගීහු ඉතා දරුණු පීඩනයක පසුවේ. රජයේ හා පුද්ගලික රෝහල්වල ඇතැම් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග නැත. රෝහල්වල පිටතින් ගෙන ආ යුතු බෙහෙත් වර්ග වල දිග ලැයිස්තු ප‍්‍රදර්ශනය කර ඇති බව දැක්වේ. මාධ්‍ය වාර්තා කරන පරිදි ඉක්මනින් කළ යුතු නැති සැත්කම් පවා කල්දමා තිබේ. ඉන්දියාව විශාලතම ඖෂධ නිෂ්පාදකයා වන අතර ශ‍්‍රී ලංකාවට සපයන ලද සහාය අනුව රටට අවශ්‍ය බෙහෙත් වර්ග මිල දී ගැනීම සදහා ඇමරිකානු ඩොලර් මිලියන දෙසීයක ණය පහසුකමක් ද සපයා ඇත. ඇතැම් අංශ පවසන පරිදි ඉන්දියාවෙන් මිල දී ගත හැකි ඖෂධ වර්ග සෑහෙන ප‍්‍රමාණයකට මෙරට ඖෂධ පාලක මණ්ඩලයේ අනුමැතිය අවශ්‍යය. ආනයන ව්‍යාකූලතා හේතුවෙන් ගෙන්වීමට බාධා සිදුවී තිබේ. ඉන්දියාවෙන් බෙහෙත්වර්ග ගැන ඇතැම් ආනයනකරුවන් හා වෛද්‍යවරු විරුද්ධත්වය පළකරන බව ද වාර්තා වන කරුණකි.

දුෂ්කර ආර්ථික පසුබිමක් පවතින අතරවාරයේ සමාජය මුහුණ දෙන සංකීර්ණතා සලකා බලා ඉක්මන් විසදුම් සැපැයිය යුතුය. රෝගීන්ට බෙහෙත් නොලැබීම සුදුසු තත්ත්වයක් නොවේ. අණ පණත්, නීති රිති සහ ආයතනික රාමු පවතින නමුත් රෝහල් අඩපණවීම බරපතල කාරණයකි. ජීවිත ආරක්ෂා කරගැනීම සදහා පියවරක් අවශ්‍යය. වගකිවයුතු අංශ එකතුවිය යුතු අවස්ථාවකි. ආණ්ඩුව, වෛද්‍යවරු, සෞඛ්‍ය වෘත්තීය සමිති හා රජයේ ආයතන පොදු එකගතාවයකට පැමිණිම සුදුසුය. තද තීරණවල එල්බ නොසිට ජනතාවගේ පැත්තෙන් සලකා තීරණ ගැනීම වැදගත්ය.

ඉන්දියාවේ සෞඛ්‍ය වාර්තා අනුව ඉන්දියානු නිෂ්පාදකයන්ගේ බෙහෙත්වල මිල අඩු අතර නිෂ්පාදනය සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය, චීනයෙන් මහා පරිමානයෙන් ආනයනය කෙරේ. ශ‍්‍රම වියදම අඩු අතර අමුද්‍රව්‍ය අඩු මිලට ලබාගත හැකිවීම මිල පහසුවට හේතු වී තිබේ. ඉන්දියානු ඖෂධ දෙපාර්තමේන්තුවේ ඉලක්කය අනුව නිපදවන බෙහෙත් දේශීය අවශ්‍යතා සපුරන අතර කොටසක් අපනයනය කෙරේ. 2018 වසරේ දී ඖෂධ වර්ග දේශීය අලෙවිය ඇමරිකානු ඩොලර් බිලියන 18.12 ක් වන අතර අපනයනය කරන ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 17.28 කි.

ගුජරාට් ප‍්‍රාන්තය ඖෂධ නිපදවන කේන්ද්‍රස්ථානය වශයෙන් දැක්වේ. එහි ප‍්‍රධාන නගරයක් වන වඩෝඩරා නොඑසේනම් බරෝඩා හි ස්ථාපිත කර්මාන්තපුරය ෆාමසි නිෂ්පාදනවලට බෙහෙවින් ප‍්‍රසිද්ධය. ඉන්දියාවේ භූමි ප‍්‍රදේශයෙන් සියයට හයක් පමණ වන ගුජරාට්, එරට සමස්ථ ඖෂධ නිෂ්පාදනයෙන් තුනෙන් එකකට දායකවන කම්හල් හාරදහස් හත්සියයකට වඩා ප‍්‍රමාණයක් පිහිටා ඇත. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ගුජරාට් මහ ඇමැති වශයෙන් වසර දහතුනක් සේවය කළ අතර මෙම කාලය තුළ අලූත් ආයෝජන සදහා කර්මාන්ත කලාපයක් ස්ථාපිත කළේය. එහි දී ලැබුණ බදු පහසුකම් අනුව පිහිටුවන ලද ඖෂධ නිෂ්පාදන ආයතන අද ජාත්‍යන්තර තලයට පැමිණ ඇත.

ප‍්‍රතිකාර සදහා අවශ්‍යවන බෙහෙත් වර්ග බහුලව නිපදවන ඉන්දියාව අසරණ රෝගීන්ට මිල දී ගැනීමට හැකිවන පහසුව ගැන ද, අවධානය යොමු කරයි. ඖෂධ දෙපාර්තමේන්තුව යටතේ ජාතික ඖෂධ මිල පාලනය අධිකාරිය 1997 වසරේ දී පිහිටුවන ලද අතර වෙළද පොල මිල ගණන්, වලංගු කාලය හා හිගයකින් තොරව සැපයුම යන අංශ කෙරෙහි අවධානය යොමු කරයි. හෘද, දියවැඩියා, පිලිකා, තයරොයිඞ් සහ තවත් රෝග ගණනාවකට අත්‍යවශ්‍ය බෙහෙත්වර්ග 97 ක් මිල පාලනයකට යටත් කර ඇත. පාලන මිලට අඩුවෙන් ඔසු සැල්වල අළෙවිය අනිවාර්ය කර ඇත. මහජනතාවට පහසුවක් වශයෙන් මිල ප‍්‍රදර්ශනය කළ යුතුවේ.

‘‘ජාන් ඖෂධී කේන්ද්‍රය’’ඉන්දීය ඖෂධ වෙළදාමේ තවත් අංශයකි. රජයේ මෙහෙයුම යටතේ ජාන් ඖෂධී මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇත. වැඩිම ප‍්‍රමාණයක් උත්තර ප‍්‍රදේශයේ තිබේ. අඩු ආදායම් ලබන ජන කොටස්වලට මෙහි පැමිණ අඩු මිලකට බෙහෙත් ලබාගත හැක. මෙම මධ්‍යස්ථානවල තොරතුරු ඇතුලත්කර අන්තර් ජාල ඇප් එකක් හදුන්වා දී තිබේ. බෙහෙත් ගන්නට එන රෝගීන්ට එම ස්ථානවල පවතින ඖෂධ වර්ග, ඒවායේ මිල ගණන් ගැන කලින් දැන ගන්නට එමගින් ඉඩ සලසා දී ඇත.

ඉන්දියාව රජයේ වියදමෙන් පාලනය වන රෝහල් සමුහයක් නඩත්තු කරයි. සාමාන්‍යයෙන් වසරකට ඉන්දීය රුපියල් බිලියන හතලිහක් පමණ නොමිලේ ප‍්‍රතිකාර සදහා වැය කෙරේ. බාහිර හා අභ්‍යන්තර රෝගීන් සදහා ප‍්‍රතිකාර කරන රෝහල්පවතින අතර ඒවායේ රෝගීන්ගේ අවශ්‍යතා සදහා බෙහෙත් නොමිලේ සැපයේ. ඒ හැරුණු කොට පුරවැසියන් සාමාන්‍ය වෙළද පොලෙන් වෛද්‍යවරු නියමකරන බෙහෙත් මිල දී ගත යුතුය. වාර්තා දක්වන පරිදි රජයේ රෝහල් ප‍්‍රමාණවත් නැත. වෛද්‍යවරු හිගය. පුද්ගලික ප‍්‍රතිකාර මධ්‍යස්ථාන බහුලය. ඒවායේ ප‍්‍රතිකාර පතා එන රෝගීන් ප‍්‍රමාණය ද විශාලය. රජයේ හා පුද්ගලික අංශයේ සහභාගීත්වයෙන් පවත්වාගෙන යන රෝහල් සෞඛ්‍ය හා සනීපාරක්ෂාව කෙරෙහි වගකීමකින් කටයුතු කරයි. දියුණු රක්ෂණ ක‍්‍රම ද පවතින අතර රක්ෂණ පහසුකම් සහිත රෝගීන්ට පුද්ගලික රෝහල්වල ප‍්‍රතිකාරවල දී වියදම රක්ෂණ ආයතනයෙන් පියවන ක‍්‍රම තිබේ.