» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
18/12/2022 - ඉරිදා ලංකාදීප
ආර්ථිකයට මුහුණ දෙන්නට බිහි කළ සංවිධානයේ නායකත්වය ඉන්දියාවට

ප‍්‍රමුඛ පෙලේ රටවල එකමුතුව එනම් ජී 20 සංවිධනයේ නායකත්වය ඉන්දියාවට ලැබී ඇත. අනූ ගණන්වල ලෝකයේ ඉදිරියට පැමිණෙමින් තිබුණ රටවලට ආර්ථික ප‍්‍රශ්ණ මතු වූ අතර සංවිධානගතව මුහුණදීම අරමුණු කරගෙන ඒකාබද්ධවීමේ අවශ්‍යතාව මතුවිය. මුදල් ඇමැතිවරු හා මහ බැංකු අධිපතිවරුන්ගේ සාකච්ඡා වටයක් වශයෙන් ජර්මනියේ බර්ලින් නගරයේ දී පළමු වතාවට මෙම සංවිධානයේ සාමාජිකයෝ හමු වී තිබේ. ආර්ථික ස්ථාවරත්වයක් උදෙසා ප‍්‍රතිපත්ති සම්බන්ධීකරණය එහි පළමු අරමුණ වී තිබුණි. ඉනික්බිතිව වසරක් පාසා සංවිධනය වූ මෙම නිල නොවන සාකච්ඡා සදහා 2002 වසරේ දී පහසුකම් සපයන්නේ ඉන්දියාවයි. එයින් වසර හයකට පසු පිලිගත් සමුළුවක් වශයෙන් වැදගත් පියවරක් ඉදිරියට තබයි. එය රාජ්‍ය නායක මටට්මින් ජී 20 කණ්ඩායම පිහිටුවීම බව සදහන් කළ හැක. මෙහි ස්ථිර ලේකම් කාර්යාලයක් නැත. කාර්ය මණ්ඩලයක් ද නඩත්තු නොකෙරේ. සභාපතිධුරයට පත්වන රාජ්‍ය තාවකාලික ලේකම් මණ්ඩලයක් පත් කරගනී. එහි විශේෂත්වයක් ඇත. තුන් ඈදුතු සම්බන්ධතාවයක් ලේකම් කාර්යාලයට ඇතිවේ. කලින් වසරේ සිටි සහ ඊළගට පත්වන රාජ්‍ය අතර අත්දැකීම් බෙදාගැනීමක් වශයෙනි. පසුගිය අවුරුද්දේ ඉන්දුනීසියාව, 2023 වසරේ ඉන්දියාව හා 2024 වසරේ සභාපතිත්වයට පත්වීමට නියමිත බ‍්‍රසිලය ලේකම් රාජකාරි සදහා වර්තමානයේ දී එකට එකතුවී කටයුතු කරයි.

රටවල් දහ නමයක් සහ යුරෝපා සංවිධානය ජී 20 සාමාජිකත්වය උසුලයි. ආර්ජන්ටිනා, ඔස්ටෙ‍්‍රිලියා, බ‍්‍රසිල්, කැනඩා, චීනය, ප‍්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉතාලිය, ජපානය, මෙක්සිකෝ, රුසියාව, සවුදි අරාබිය, දකුණු අප‍්‍රිකාව, දකුණු කොරියාව, තුර්කිය, බි‍්‍රතාන්‍ය, ඇමරිකාව හා යුරෝපා සංවිධානය වේ. යුරෝපා සංවිධානයේ රටවල් විසි හතකි. අභ්‍යන්තරය අනුව රටවල් හතලිස් පහක සංයුතියක් වශයෙන් දැක්වීම වැරදි එකක් නොවේ. ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකක් පමණ මෙහි ආවරණය වේ. එය ලෝක වෙළදාමෙන් සියයට අසූවක් වන අතර සාමාජික රටවල දළ දේශීය නිෂ්පාදිතයේ එකතුව සමස්ථ ලෝක නිෂ්පාදිතයෙන් සියයට අනූවක් බව දැක්වේ. සංවිධානයේ ශක්තිය හා බලවත්භාවය එයින් තක්සේරු කළ හැක. ආර්ථික ස්ථාවරත්වය සදහා පැවැති මුලික අවධානය පසුව කාලගුණ විපත් සහ තිරසාර සංවර්ධනය යන අංශ දෙක දක්වා ද පුලූල් කර තිබේ. ජී 20 සංවිධානයේ හමුවීම්, ඒවායේ දී ගන්නා තීරණ ජාත්‍යන්තරයේ පැවැත්ම කෙරෙහි බලපාන තීරණාත්මක සාධකයක් බව සදහන් කළ යුතුය.

ඉන්දියාව ජී 20 සමුළුවේ රාජ්‍ය නායක ගාම්භීර ස්වභාවය ආරක්ෂා කරන අතර එය ජනතාව හමුවට ගෙන යන පියවරක් සූදානම් කර ඇත. ‘මහජන ජී 20’ යනුවෙන් අර්ථකතනය කර තිබේ. සංවිධානයේ සැසිවාර 215 ක් ඉන්දියාවේ ප‍්‍රධාන නගර 55 ක පැවැත්වීමට කටයුතු යොදා ඇත. ජනතා සහභාගීත්වය හා විශාල පිරිසක් එකතුවන අවස්ථා මගින් ආර්ථිකය හා සමාජයීය පැවැත්ම සම්බන්ධ සංකල්ප සමාජගත කෙරේ. පසුගිය සතියේ දින තුනක් තිස්සේ ජී 20 ක‍්‍රියාකාරී කමිටුව මුම්බායි හි දී මුණ ගැසුණි ඉන්දියාව ජී 20 නායකත්වට පත්වීමේ උද්දාමය සමරනු සදහා විශ්ව විද්‍යාල හැත්තෑපහක් එකට එකතුවීම විශේෂ සිද්ධියකි. විදේශ අමාත්‍යංශය හා අග‍්‍රාමාත්‍ය කාර්යාලය සම්බන්ධීකරණයෙන් ඉන්දියාවේ විවිධ ප‍්‍රාන්තවල විශ්ව විද්‍යාවල ඉගෙනගන්නා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එකමුතු වූ අතර තරුණ ජවය ජී 20 සැලැස්මට සම්බන්ධ කරගැනීමේ වෑයමකි.

එයට අමතරව පාසල් මටට්මින් ද ජී 20 නායත්වය ඉන්දියාවට ලැබීම සමග වැඩසටහනක් පැවැත්විණ. අධ්‍යාපනය පමණක්නොව ලෝකයේ අනෙක් රටවල් සමග ජාලගතවන අතර ලෝකයේ සිදුවන ක‍්‍රියාකාරකම්වලට අනුගතවීම ගැන මෙහි දී ශිෂ්‍ය ප‍්‍රජාවට අත්දැකීමක් ලැබුණි. ජී 20 නායකත්වය පලක් නැති තනතුරක් බවට ඉන්දියාවේ දේශපාලනඥයෝ මත පළ කළේ නැත. ශිෂ්‍ය විරෝධතා හටගත්තේ නැත. සියළු බලවේග ඉන්දීය රජයේ සැලැස්ම සමග පෙනීසිටියේය. තරුණ විශ්ව විද්‍යාල ප‍්‍රජාව පවා ඉන්දියාවේ අනන්‍යතාව, අභිමානය හා සමගි සම්පන්න භාවය කදිමට ප‍්‍රදර්ශනය කළහ.

ජී 20 සමග ඉන්දියාව දැවැන්ත ප‍්‍රතිරූපයක් නිර්මාණය කරගනිමින් සිටී. ඉන්දියාවේ පෞරාණික නගර හා ඓතිහාසික ස්ථාන අලලා විශේෂ අවස්ථා සංවිධානය කර තිබුණි. ඒවායේ අවස්ථා සම්පූර්ණයෙන් මහජනතාවට විවෘතය. කොවිඞ් වසංගතයෙන් පසු ඇති වූ මහජන එකතුවීම් මහත් උණුසුම් මුහුණුවරක් ගෙන තිබුණි. සෙල්ෆි ඡායාරූප ලබාගෙන සමාජ මාධ්‍ය ප‍්‍රචාරාත්මක සැලැස්මක් සදහා සාමාන්‍ය ජනතාව බද්ධ කරගැනීම විශේෂ සිද්ධියකි.

ජී 20 සමග වර්තමාන ලෝක දේශපාලනයේ වෙනත් පැති ගණනාවක් ද සාකච්ඡාවට ලක්වේ. ඉන්දියාව හා චීනය එකට එකතු වී ක‍්‍රියා කිරීම විශේෂත්වයකි. සාමාන්‍යයෙන් රටවල්දෙක අතර මතු පිටට පෙනෙන නොමනාපයක් පවතින අතර එය වරින්වර පුපුරා හැලේ. මෑත කාලයේ දී නවීන සන්නිවේදන තාක්ෂණික උපකරණ සහිත චීන නෞකාවක් හම්බන්තොට වරායට පැමිණීම මගින් ඇති කරන ලද ආන්දෝලනය මෙහි හැදෑරිය හැකි පැත්තකි. එහෙත් ජී 20 සමුළුවේ දී දෙරට අතර නායකයෝ අනාගත පැවැත්ම දෙස අවධානය යොමු කරනු ඇත. රුසියාව හා යුක්රේනය අතර පවතින ගැටුම අනෙක් කාරණයයි. ඉන්දියාව හා රුසියාව අතර සම්බන්ධතාවයක් ඇත. එහෙත් ජී 20 රටවල් සෑහෙන ප‍්‍රමාණයක් යුක්රේනයට එරෙහිව රුසියාව අනුගමනය කරන යුද ක‍්‍ර‍්‍රියාමාර්ගයට විරුද්ධව සම්බාධක පනවන කණ්ඩායම තුළ සිටී. එම කණ්ඩායම පමණක් නොව ඉන්දියාව හා රුසියාව ද එකම සමුළුවක දී මුණ ගැසීම විශේෂයෙන් සැලකිය යුතු පැත්තකි.

ජී 20 සමුළුවේ නායකත්වය ගන්නා රටට තමන් ගේ සමීප රටවල් කිහිපයකට ප‍්‍රතිලාභ සදහා සම්බන්ධ කරගැනීමේ අවස්ථාව ඇත. ලෝකයේ විශාලතම වෙළද පොල හා ජනගහනය සහිත සංවිධානයේ වාසි අත්පත් කරගන්නට අනෙක් රටවලට ඇත්තේ විශාල ප‍්‍රයත්නයකි. ඉන්දියාව ස්වකීය සමීප මිතුරන් ජී 20 සමුළුවේ අවස්ථා අතර එක පෙළට තබනු ඇත. බිම්ස්ටෙක් සංවිධානයට අයත් රටවල් සදහා අලූත් දොරටුවක් විවෘත විය හැකිය. ශ‍්‍රී ලංකාවට ලබාගත හැකි අවස්ථාව ගැන කල්තබා තීරණ ගත යුතුව තිබුණි. පසුගිය වසර කිහිපය තුළ ජී 20 සංවිධානයේ හැසිරීම හා ක‍්‍රියාකලාපය අනුව කලාපයේ එකමුතුවක් සහ මිත‍්‍ර රටවල් අතර සම්බන්ධීකරණයක් ඔස්සේ වෙනස් පැතිවලට අත දිගු කරන අවස්ථාවක් නිර්මාණය විය.

ශ‍්‍රී ලංකාව දැනට පවතින ආර්ථික හා සමාජ අර්බුදය තුළ ජී 20 රටවල සහයෝගය ඉතාම වැදගත්ය. ඉන්දියාව හා චීනය සමග එකට ගමන් කරන රටක් වශයෙන් ජී 20 කණ්ඩායම තුළ පවතින සමබරතාවය හදුනාගෙන කටයුතු කළ හැකිය. අපනයන අංශවලින් ද, ආධාර ලබාගත හැකි පැතිවලින් ද ජී 20 නායකත්වය ශ‍්‍රී ලංකාව අසලටම පැමිණ තිබීම මහත් ප‍්‍රයෝජනයකි’. තාක්ෂණය, සන්නිවේදනය, සමාජ ක‍්‍රියාකාරකම්, පරිසර සාධක ඉදිරියේ මෙහි අලූතින් සාකච්ඡාවන කරුණු අධ්‍යයනය කිරීම ශ‍්‍රී ලංකාවේ අනාගතයට වැඩදායක බව සදහන් කළ යුතුය.