» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
18/07/2021 - ඉරිදා ලංකාදීප
කාබනික කපු වගාව ගැන ඉන්දියාවෙන් ලැබෙන ආදර්ශය

රසායනික පොහොර හිගය ගැන විශාල විවාදයක් ජන සමාජය තුළ පවතී. ගොවි ජනතාව විරෝධතා ව්‍යාපාර අරඹා තිබේ. රසායනික පොහොර භාවිතය අඩු කිරීම රජයේ ප‍්‍රතිපත්තිය බව ප‍්‍රකාශ කර ඇත. වසර තුනක් තුළ රසායනික පොහොර හා කෘෂි රසායනික ආනයනය නතර කිරීම ඉලක්කය බව දැක්වේ. රසායනික පොහොර වලින් සිදුවන අනර්ථය ගැන විවිධ පැතිවලින් කරුණු හෙළි වී තිබේ. කාබනික පොහොර භාවිතා කිරීමෙන් වස විස රහිත ආහාර බෝග නිපදවිය හැක. එවැනි නිෂ්පාදන වලට හොද ඉල්ලූමක් තිබේ. ව්‍යුහය වෙනස් කර අලූත් පැත්තකට යොමුවීම පහසු නැත. ආකල්ප වෙනස් කිරීම සදහා සෑහෙන ප‍්‍රයත්නයක් දැරිය යුතුය.

ඉන්දියාව කාබනික කෘෂිකර්මයෙහි නිරතය. කපු වගාව එහි එක පැත්තකි. බහුලව කපු වගා කරන ඉන්දියාව එයින් එක කොටසකට කාබනික පොහොර පමණක් භාවිතා කරති. වාර්තා දක්වන අන්දමට දැනට ලෝකයේ සිදුවන කාබනික කපු නිෂ්පාදනයෙන් සියයට පනස් එකක ප‍්‍රතිශතයක් හිමිකර ගැනීමට ඉන්දියාව සමත්ව තිබේ. වැඩිම කාබනික කපු වගාවක් කරගෙන යන්නේ ඉන්දියාවයි. චීනය, කර්ගස්ථාන්, තුර්කිය, තජිකිස්ථානය හා ටැන්සානියාව යන රටවල ද කාබනික පොහොර භාවිතා කර විශේෂිත රෙදි පිලි නිෂ්පාදනයට අවශ්‍ය කපු වගා කෙරේ. ඇමරිකාව ද කාබනික කපු වගා කරයි. වෙළද පොළ අවශ්‍යතාවයෙන් සියයට දෙකක පමණ ප‍්‍රතිශතයකට දායක වන බව දැක්වෙයි.

ඉන්දියාවේ ප‍්‍රාන්ත අටක ගොවියෝ කාබනික ගොවිතැන් ක‍්‍රමය යටතේ කපු වගා කරති. වගාකරුවන් සෑහෙන පිරිසක් එහි නියැලෙති. මධ්‍ය ප‍්‍රදේශ්, මහා රාශ්ඨ සහ ඔරිස්සා ප‍්‍රාන්ත වල එය බහුලව සිදුවෙයි. කාබනික කපු වලට පවතින ඉල්ලූම ඉහළ යමින් තිබේ. ස්ථාවර මිලක් සදහා නිසි ප‍්‍රමිති සකස් කරගත යුතුව ඇති බව දැක්වෙයි. විෂ රසායනික වලින් තෙත් වී තිබුණ මහ පොලව කාබනික කපු වගාවට සුදුසු වන පරිදි හැරවිය යුතුය. රසායනික පොහොර යොදන්නට නැඹුරුවි සිටි ගොවියෝ පළමුවෙන් මුහුණ දුන් අභියෝගය එයයි. සැහෙන ප‍්‍රයත්නයකට පසු පොලව නැවත සකස් කරගත හැකිවිය. වගාවට අවශ්‍ය කරන බිජ සොයා ගැනීම ද පහසු වූයේ නැත. ජාන වෙනස්කම් කර වැඩි දියුණු කළ කපු බීජ දැනට විශාල වශයෙන් වෙළද පොල තුළ තිබේ. වානිජ වගාවලට ඒවා ගැලපේ. කාබනික වගාවට ජාන වෙනස් කළ බීජ ප‍්‍රයෝජනවත් නැත.

කාබනික කපු වලින් නිපදවන රෙදි පිලිවලින් ඇගළුම් නිම කිරීම අධික පිරිවැයක් සහිත කාර්යයකි. වැඩිම ආදායමක් ලබාගත හැක. ධනවත් පිරිස් කාබනික කපු රෙදි වලින් සකස් කරන ලද ඇදුම් වලට උනන්දවක් දක්වන හෙයින් වාසිදායකය. 2010 වසරේ ඉන්දීය රජය කාබනික කපු වගාව නිසි පරිදි පාලනය සදහා අලූත් රෙගුලාසි පැනවිය. කෙලින්ම අන්තර් ජාලයෙන් ඔන් ලයින් තාක්ෂණය මගින් වගාව නිරීක්ෂණය කළ හැකිවෙන පරිදි විධි විධාන සකස් කර තිබේ. කර්මාන්තයේ විශ්වාසය තහවුරු කරගැනීම හා ප‍්‍රමිතිය පවත්වා ගැනිමට එවැනි පියවර ඉතා වැදගත්ය.

ජාත්‍යන්තර රෙදිපිලි හුවමාරු වෙළද වාර්තාව පසුගිය දා නිකුත් වූ අතර එයට අනුව 2019-20 වසරේ දී ලෝකය පුරා කාබනික කපු මෙටි‍්‍රක් ටොන් දෙලක්ෂ පනස් දහසක් පමණ නිපදවා ඇත. විශාල ප‍්‍රමාණයක් නොවේ. ලෝකයේ කෙරෙන කපු නිෂ්පාදනයෙන් සියයට එකක් පමණ කාබනික නිෂ්පාදන බව දැක්වේ. පසුගිය කාලය තුළ කාබනික කපු නිෂ්පාදනය සියයට හතරක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කර තිබේ. කෙසේ වෙතත් ඉදිරි වසර දෙක තුන තුළ කාබනික කපු වගාව සියයට හතලිස් අටක පමණ වේගයකින් වර්ධනය වනු ඇති බව මෙම ජාත්‍යන්තර රෙදි පිලි වෙළද වාර්තාව දක්වයි. ඉන්දියාව හා තුර්කිය එයට වැඩිපුර දායක වනු ඇති රටවල්ය. පවතින ඉල්ලූම අනෙක් රටවලට ද කාබනික කපුවගාව පැතිරෙන හේතුවක් විය හැකිය.

කාලගුණ විපත් සම්බන්ධව අවධානය යොමු කරන ජගත් ප‍්‍රජාව ගෝලිය උණුසුම අවම කරන පියවර වලට අවතිර්ණ වෙමින් සිටිති. ආහාර පාන නිෂ්පාදනය, කර්මාන්ත හා වෙළද පොල කටයුතුවල දී සිදුවිය හැකි අහිතකර වායු විමෝචනය අඩු කරන ප‍්‍රයත්නයක නිරතය. රසායනික පොහොර නිෂ්පාදනයේ දි හා යෙදවීමේ දි සිදුවන හානි සියුම්ව සලකා බලන විද්වත් ජන කොටස් ඒවා පිටුදකින ප‍්‍රතිපත්ති අනුගමනය කරති. කපු වගාව කාබනික පැත්තට හැරවිම ද එහි වැදගත් පියවරක් වශයෙන් සැලකේ.

ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර කපු වගාව සහ රෙදි පිලි සම්බන්ධයෙන් දීර්ඝ ඉතිහාසයක් ඇත. ශිෂ්ඨාචාරය දියුණු වූ ආකාරය හා සම්බන්ධය. ආර්යයන් නූල් වලින් මසා නිම නොකරන ලද රෙදි පිළි වලින් සැරසි සිටි බව ඉන්දියාවේ ඉතිහාසය දක්වයි. විජය කුමාරයා ලංකාවට ගොඩබසින අවස්ථාවේ දී කුවේණීය කපු කටිමින් සිටින ලද බව පුරාවෘත සදහන් කරයි. තම්මැන්නා ප‍්‍රදේශයේ කපු වගාව පවතින්නට ඇත. තහවුරු කරන සාක්ෂි සොයා ගත නොහැකි නමුත් එකල ලාංකිකයෝ ස්වකිය කපු ආශ‍්‍රිත රෙදි පිලි භාවිතා කරන ලද බව ඉතිහාසඥයෝ අනුමාන කරති. ලංකාව යටත් කරගත් ලන්දේසි පාලකයෝ එවකට පැවැති කපු වගාව ගැන ඔවුන්ගේ වාර්තාවල කරුණු දක්වා තිබේ. එහෙත් ඔවුන්ගේ අභිලාශයන්ට නොගැලපෙන වගාවක් හෙයින් පුළුල් අවධානයක් යොමු කර නැත. 1950 ගණන් වල ශ‍්‍රී ලංකාවේ කපු වගා කිරිම නැවත ආරම්භ කරන උත්සාහයක් තිබුණි. වලවේ ගග සංවර්ධන යෝජනා ක‍්‍රමය යටතේ ගොවියන්ට ජල පහසුව ලබා දී ඇති අතර යල කන්නයේ දි කපු වගා කිරීමට පහසුකම් සලසා ඇත. එවකට පැවැති රජයේ නියෝජ්‍ය කතානායක ඇතුලූ තනතුරු ගණනාවක් හෙබවූ ඞී. ඒ. රාජපක්ෂ මහතා දකුණු පලාත තුළ කපු වගාව නැවත ඇති කිරීමට උන්නදුව දක්වන ලද බව මෑත කාලින තොරතුරු දක්වයි. කෙසේ නමුත් එහි ව්‍යාප්තිය සීමිතය. වානිජ වශයෙන් වගා කිරිමට හැකියාවක් ලැබී නැත.

මෙම ලිපි පෙල උනන්දුවෙන් කියවන ලාල් ජයසිංහ මහත්මා වතාවක් මෙහි පහත ඊ මේල් ලිපිනයට වැදගත් කරුණු ගණනාවක් ලියා එවා ඇත. බි‍්‍රතාන්‍යයෙන් නිදහස ලබා ගැනීමෙන් පසු නැවත අපට උරුම වී තිබුණ කාෂිකර්මයට යා හැකිව තිබුණ බව හෙතෙම පෙන්වා දෙන කරුණකි. ඉතාම හොද ඉඩම්, ප‍්‍රමාණවත් ජලය, දවස පුරා හිරු එළිය ලැබෙන කාලගුණය සහ බුද්ධිමත් ජනතාව අපට ඇති සම්පත්ය. විජාතික පිරිස් රටට ලබා දි ඇති උපදෙස් අනුව කෘෂිකර්මය අනෙක් පසකට හරවා ඇති බව ඔහුගේ මතය වී තිබේ. ලෝක බැංකුව පළමු වරට මැදිහත් වූ අවස්ථාවේ සිට අද දක්වා කෘෂිකර්මය ගමන්කර ඇති දිසාව සලකා බලනවිට යොදන රසායනික පොහොර වලට වැය කරන වියදම පියවා ගැනිමටවත් අස්වැන්නක් නොලැබෙන තත්ත්වයට රට පත්ව ඇති බව හෙතෙම ඉරිදා ලංකාදීපයට දක්වයි. විවිධ අදහස් වලින් රටට ඇති ප‍්‍රයෝජන සලකා බැලිය යුතුය. නිදහස ලැබූ දිනයේ සිට අද දක්වා කෘෂිකාර්මික අංශයේ පිරිහීමකි. අපනයන කෘෂි අංශය දෙස අවධානය යොමු කරන නමුත් අනෙක් පැති ගැන විමර්ෂණය කර නැත.

ශ‍්‍රී ලංකාව ඇගළුම් අපනයනය කරන රටකි. උසස්ම තත්වයේ නිමි ඇදුම් සකස් කරන්නට හැකියාව ලැබී තිබේ. අනාගතයේ දි ඇගළුම් කර්මාන්තයේ පරිවර්තනයක් සිදුවිය හැකිය. රටට කරගෙන යා හැකි උසස් වර්ගයේ ඇනවුම් ඉතාම වාසිදායක වනු ඇත. මෙරට නිපදවන කාබනික කපු වලින් රෙදි නිෂ්පාදනය කර වෙළද පොලට ඉදිරිපත් කළ හැකිය. කෙටි කාලීන වශයෙන් ඉන්දියාවෙන් කාබනික කපු රෙදි ගෙන්විය හැකි අතර ඉල්ලූම තහවුරුවන විට මෙරට නිපදවන කාබනික කපු උපයෝගී කරගෙන ඇගළුම් නිපදවිය හැකිය. ශී‍්‍ර ලංකාව මෑත ඉතිහාසයේ රෙදි නිෂ්පාදනය අතින් සමත්කම් දක්වන ලද රටකි. ගෘහ කර්මාන්තයක් වශයෙන් රෙදිපිලි නිපදවීම කරගෙන ගියේය. ඒවා පාසල් අධ්‍යාපනයේ කොටසක් වී තිබුණි. පසුව මහා පරිමාන ආයෝජන කළේය. ප‍්‍රධාන රෙදිපිලි කම්හලක් වැල්ලවත්තේ තිබුණ බව අමතක කළ යුතු නැත. ඉන්දියාවේ මහාරාජාවරයෙකුට අයත්ව තිබුණ එම වැල්ලවත්ත විවීමේ හා කැටීමේ කම්හල පසුව කීර්තිමත් ස්වදේශික ව්‍යාපාරිකයෙකු මිල දි ගත්තේය. විදේශ ආනයන හා වෘත්තීය අරගල අවසානයේ වැල්ලවත්ත පෙහෙ කම්හල වසා දමන්නට සිදුවිය. අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන වර්තමානයේ ඇති අවස්ථා ගැන අවධානය යොමු කිරිම අවශ්‍යය. කාබනික කපු වගාව එහි දී යොමු විය හැකි එක පැත්තකි.