» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
18/06/2023 - ඉරිදා ලංකාදීප
නවීන් ගේ යෝජනාවකින් නම් කළල, කලාම් දූපතේ සිට මිසයිල් අත්හදාබැලීම

ඉන්දියාව පසුගිය සතියේ අලූත්ම පරම්පරාවේ න්‍යශ්ඨික මිසයිලයක් සාර්ථකව අත්හදා බැලීය. වඩාත් සූක්ෂම මිසයිල් අත්හදා බැලීම සදහා පමණක් වෙන්කර ඇති අබ්දුල් කලාම් දුපතේ දී මෙම මිසයිලය ගුවන් ගත කරන ලදි. මෙය කිලෝ මීටර් දහසක සිට දෙදහස දක්වා ප‍්‍රහාරක පරාසයක් සහිතව ක‍්‍රියාත්මක කළ හැකි බව දැක්වේ. ආකාශ්, අග්නි, ප‍්‍රතිවි ආදී වශයෙන් ඉන්දියාව සාර්ථකව අත්හදා බලන ලද මිසයිල් විශේෂ සදහා භාවිතා කළ කලාම් දූපත ඔඞීෂා ප‍්‍රාන්තයේ වෙරළට නුදුරින් අක්කර තුන්සිය අනූවක භූමි ප‍්‍රමාණයක් සහිතය. ඉන්දියාවේ මිසයිල් මිනිසා යනුවෙන් විරුදාවලි ලත් ආචාර්ය අබ්දුල් කලාම් හිටපු ජනාධිපතිවරයා ගේ නමින් මෙම දූපත නම් කිරීමට ඔඩිෂා මහ ඇමැති නවීන් පට්නායික් 2005 වසරේ දී පියවර ගත් බව සදහන් කළ යුතුය.

ති‍්‍රවිධ හමුදා මුලෝපායික බලකා විධානය යටතේ පවත්වන ලද මෙම මිසයිල් අත්හදාබැලීම රාත‍්‍රී කාලයේ දී සිදුවූ අතර පද්ධතියේ නිරවද්‍යතාවය හා විශ්වාසනීයත්වය වලංගු කරන ලද බව දැක්වේ. ආරක්ෂක ප‍්‍රධානීන් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මෙම සාර්ථකත්වය සම්බන්ධයෙන් ප‍්‍රබෝධවත්ව ප‍්‍රකාශ නිකුත් කර ඇත. වසර අටකට කලින් වෙනත් රටවලින් ආයුධ මිල දී ගන්නා ලෝකයේ විශාලතම රට වශයෙන් සනිටුහන්ව තිබුණ ඉන්දියාව දැන් ඇතැම් ආරක්ෂක මෙවලම් සෑහෙන ප‍්‍රමාණයක් නිෂ්පාදනය කරමින් සිටී. න්‍යශ්ඨික මිසයිල් සදහා කරන පර්යේෂණ ඒ අතර ප‍්‍රධාන තැනක් ගෙන තිබේ. වාර්තා දක්වන පරිදි පමණ මිසයිලයක් මහා පරිමානයෙන් නිෂ්පාදනයේ දී ඒකක මිල සදහා ඇ. ඩො. මිලියන 15 ක් පමණ වැයවේ. පර්යේෂණ කර පළමු නිෂ්පාදන වියදම එය මෙන් තුන් ගුණයකි. ඉන්දියානු ආර්ථිකය තුළ ආයුධ නිෂ්පාදනය තීරණාත්මක තැනක පසුවන අතර පකිස්තානයේ හා චීනයේ හැසිරීම අනුව තීරණ ගැනීමක් බව ජාත්‍යන්තර යුද විශේෂඥයෝ දක්වයි.

යුද්ධයක දී ඉතාම අන්තරාදායක පුපුරන ද්‍රව්‍ය මෙහෙයැවීම සදහා මිසයිල භාවිතා කෙරේ. අන්තර් මහද්වීපික මිසයිල් තෝරාගත් ඉලක්කවලට කිලෝ මීටර් පන්දහසක සිට අට දහස දක්වා යොමු කළ හැක. නිපදවීම හා භාවිතා කිරීම සම්බන්ධයෙන් අන්තර් ජාතික සීමා පැනැවී තිබේ. ඇමරිකාව, රුසියාව, චීනය, ප‍්‍රංශය, බි‍්‍රතාන්‍ය, ඊශ‍්‍රායලය හා උතුරු කොරියාව යන රටවල් පමණක් දැනට අන්තර් මහද්වීපික මිසයිල් බලය සහිතව ජාත්‍යන්තර යුද පෙරමුණෙහි පසුවේ. ආර්ථික වශයෙන් නැගී සිටින අතර යුද තාක්ෂණයෙන් ද බලවත් වන ඉන්දියාවේ හැසිරීම දෙස ලෝක ප‍්‍රජාව අවධානයක පසුවේ. දැවැන්ක ආර්ථිකයක් හිමි ඉන්දීයාව එරට පමණක් මිලියන පහකට ආසන්න ආරක්ෂක අංශයක් නඩත්තු කරන අතර ගොඩබිම යුද වාහන දස දහස් ගණනක්, නාවික බලය හා ගුවන් ශක්තිය සහිතව පසුවේ.

ඉන්දියාව නිපදවන සුපර් සොනික් කෲස් මිසයිල් විකිණීම සම්බන්ධයෙන් පිලිපීනය සමග ගිවිසුමකට එළැඹෙන්නට ඔවුහු සමත්ව ඇත. එහි සාර්ථකත්වය අනුව තවත් රටවල් දොලහක් පමණ මෙම මිසයිල් මිල දී ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව සමග සාකච්ඡා අරඹා ඇති බව දැක්වේ. ඇමරිකාව, චීනය හා රැසියාව වැනි රටවලට වඩා වසර ගණනකට පසු යුද ආයුධ නිෂ්පාදනයට අවතීර්ණ වන නමුත් ඉන්දියාවේ තාක්ෂණය හා චන්ද්‍රිකා මෙහෙයැවීමේ හැකියාව වේගයෙන් ඉදිරියට පැමිණ ඇති බව එරට විද්වත්හු පෙන්වා දෙති. ඉකුත් මාස නමය තුළ ලෝකයේ රටවල් ගගන ගත කළ චන්ද්‍රිකා යානා 385කින් යානා 353කටම ඉන්දියානු තාක්ෂණය ලැබුණ බව එරටට අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය දක්වයි.

ආර්ථික වශයෙන් නැගී සිටින්නට අලූත් මාවත් සොයන ශ‍්‍රී ලංකාව සම්ප‍්‍රදායෙන් එපිට පැති අවධානය යොමු කළ යුතුය. භයානක ත‍්‍රස්තවාදී සංවිධානයක් පරාජය කළ, අත්දැකීම් සහිත දක්ෂ පිරිසක් අපට සිටී. මෙම මානව සම්පත නිසි සේ ආයෝජනය කළ හැකිය. දැනට ආරක්ෂක හමුදාව නඩත්තු කිරීම සදහා ජාතික ආදායමෙන් හරි අඩක් වැයවේ. ලෝකයේ අනෙක් රටවල සේනාංක පුහුණු කරන, ප‍්‍රායෝගික අත්දැකීම් සපයන පුලූල් වැඩ පිලිවෙල ඇරඹිය හැක’ය. ශ‍්‍රී ලංකාවට ද අයත් දුපත් ගණනාවක් තිබේ. ආතර් සී ක්ලාක් මහතා ජීවත් වූ රට වශයෙන් අභ්‍යවකාශ තාක්ෂණයේ දී ශ‍්‍රී ලංකාවට වරප‍්‍රසාද ඇත. චන්ද්‍රිකා කක්ෂ ගතකිරීම, සන්නිවේදන ජාලා පහසුකම් සැපයීම වැනි අංශ වල වේගවත් වර්ධනයක් සදහා මෙම සබදතා උපයෝගී කරගත හැකිවේ.

අනාගතයේ දී ඩ්‍රෝන තාක්ෂණයට අවස්ථාව එළැඹේ. ඉන්දියාව චන්ද්‍රිකා කක්ෂගත කිරීම හැසිරවීම පුද්ගලික අංශයට පවරන තීරණයක් ගෙන ඇත. ප‍්‍රතිපත්ති සකස් කිරීම සදහා අත්දැකිම ඇති පුද්ගලික අංශයේ ප‍්‍රධානීන් හදුනාගෙන තිබේ. එම පිරිස චන්ද්‍රිකා සහ ඩ්‍රෝන මෙහෙයුම් සදහා පුද්ගලික අංශය සංවිධානගත කිරීම සහ ප‍්‍රවර්ධනය අරමුණු කරගෙන කටයුතු කරමින් සිටී.

අත්‍යවශ්‍ය ඖෂධ හා ආහාර ප‍්‍රවාහනය, කෘෂිකර්මය, සිතියම් පරීක්ෂා කිරීම, ආපදා අවස්ථා වල හදිසි සේවා සැපයීම ඇතුළු ජන ජීවිතයට සම්බන්ධ විවිධ පැතිවලට ඩ්‍රෝන යාත‍්‍රා උපයෝගී කරගන්නා යුගයක් උදා වෙමින් පවතී. ඉන්දියාව හා සමානව මිසයිල් තාක්ෂණයට හෝ ආයුධ නිෂ්පාදනය කළ නොහැකි නමුත් දෙස් විදෙස් සමාගම්වලට චන්ද්‍රිකා හා ඩ්‍රෝන කටයුතුවල යෙදෙන අවස්ථාව සැපයීම අලූත් විනිමය උත්පාදන ක්ෂේත‍්‍රයක් විය හැකිය. ආරක්ෂක හමුදාවල පිරිස අනුයුක්ත වන අතර ඔවුන්ගේ විනය, කැපවීම හා අත්දැකීම් මනා සේ ප‍්‍රයෝජනයට ගැනීමකි. යුද්ධයක් අවසන් කර දශකයකටත් වඩා වැඩි කාලයකට පසු, උචිත කටයුතුවලනිරත නොකර ආණ්ඩුවෙන් නඩත්තු කරමින් කදවුරුවල සිටීම ආරක්ෂක අංශවල ධෛර්යය පිරිහීමක් විය හැකිය.

මිලින්ද මොරගොඩ