» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
18/04/2021 - ඉරිදා ලංකාදීප
පැවැත්මත් ජීවයත් දෙන මහා ජල ප‍්‍රවාහයකට කෙරෙන නමාමි ගංගා

ජලය අපගේ ජීවයයි. ලෝකයේ ජල අවශ්‍යතාව දිනෙන් දින වර්ධනය වෙමින් තිබේ. මිහිතලයෙන් සියයට හැත්තෑ එකක් ජලයෙන් තෘප්තය. නීල ග‍්‍රහලෝකයකි. මුනුෂ්‍ය සංහතිකයට ප‍්‍රයෝජනයට ගත හැකි ජල ප‍්‍රමාණය ඉතාම සීමිතය. එය සියයට දශම ගණනකි. සියයට අනූ හතක් පමණ මහා සාගරයයි. ඉතිරි කොටසින් පවා සියයට හැත්තෑ නමයක් පමණ හිම කදු හා ග්ලැසියර් බව දැක්වෙයි. ප‍්‍රයෝජනයට ගත හැකි ජල පරිශ‍්‍ර මහත් විනාශයකට මුහුණ පා තිබීම බලවත් ප‍්‍රශ්නයකි.

දැවැන්ත ඉන්දියාව හරහා ගලා බසින ගංගා විශාල ප‍්‍රමාණයකි. බ‍්‍රාහ්ම පුත‍්‍ර එයින් විශාලම ගංගාවයි. දිග කිලෝ මීටර් 3,848 ක් බව දැක්වෙයි. ඉන්¥ස්, ගංගා, බාග්වරීස්, මහන්දි ඇතුළු ගංගා අතර විශේෂ අවධානයට ලක් වූ තැන් දෙකකි. එය ගංගා හා යමුනා වශයෙන් දැක්විය හැකිය. විශාල භූමි ප‍්‍රමාණයක් ආවරණය කරගෙන කෘෂිකර්මාන්ත, කර්මාන්ත ප‍්‍රබෝධයක් ඇතිකරමින් මහා සාගරය වෙත සේන්දු වෙති. ගංගා නදිය හින්දු ජනයා ගේ ඉමහත් දයාවට ලක් වූ එකකි. ගංගා නදියෙන් ස්නානය හා අඩුම තරමින් දිය පොදක් පානය මහත් සැනසුමකට හේතුවකි. දේහ ආදාහනය කර අලූ ගංගා නදියට මුසු කිරීම ආත්මයට අස්වැසිල්ලක් බවට විශ්වාසයකි. ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ගංගා නදියේ පැන් පවස නිවා ගන්නා අතර අනෙක් තැනක දැවී යන මිනිස් කොටස්, පුජා කරන ලද ගණන් කළ නොහැකි තරම් පුෂ්ප, කිරි ආහාර, පූජා භාණ්ඩ පාවෙමින් තිබීම සාමාන්‍ය දර්ශනයකි.

ගංගා නදිය ප‍්‍රාන්ත එකොලහක් ඔස්සේ ගලා බසින්නීය. මනුෂ්‍ය පරිහරනය, කර්මාන්ත අපද්‍රව්‍ය හෙයින් විශාල වශයෙන් දූෂිතය. වාරනාසි ආශ‍්‍රිතව ගංගා නදිය මහත් පුද පුජා වලට ලක්වන තැනකි. බිලියන භාගයකට අධික ජනගහනයක් ගංගා නදියෙහි පහස ලබන අතර එය ලෝකයේ විශාලතම ජල පරිහරණය සිදුවන ස්ථානයකි. ඉන්දියාවේ උත්තර ප‍්‍රදේශයේ පිහිටි වරනාසි නගරය ආශ‍්‍රිතව පමණක් හින්දු දේවස්ථාන දෙදහසකට වැඩි ප‍්‍රමාණයක් පිහිටා තිබේ. නිති පතා එහි සංචාරය කරන බැතිමතුන් ප‍්‍රමාණය ගැනිය නොහැකි තරම්ය. ඉන්දියාවේ ගංගා දූෂණය හා එයින් ඇති කරන ප‍්‍රතිවිපාක හෙයින් වසරකට මිලියන 1.5 ක දරුවන් ප‍්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වන බව දැක්වෙයි. ගංගා නදිය ශුද්ධ තැනක් බවට බැතිමතුන් නම් කරන නමුත් එහි පවිත‍්‍රතාවය ගැන ප‍්‍රශ්න තිබේ. ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදි වසර ගණනකට කලින් නමාමි ගංගා යනුවෙන් ව්‍යාපෘතියක් ආරම්භ කළේය. ගග ශුද්ධ වූ තැනක් බවට හරවනු සදහා ජනතා සහභාගීත්වය පමණක් නොව විශේෂ කණ්ඩායම් යොදා නිරීක්ෂණය එහි අරමුණ වී තිබුණ’.

ඉන්දියාවේ ගංගා පිරිසිදු කරන ව්‍යායාමය සංකල්පයක් වශයෙන් ආරම්භ කරන්නේ 1985 දී ය. අගමැතිව සිටි රජීව් ගාන්ධි එහි මුලිකත්වය ගත්තේය. ගංගා විසි පහක් ආවරණය කරන වැඩ පිලිවෙලක් විය. පසුව මන්මෝහන් සිං අගමැතිවරයා ප‍්‍රධාන ගංගා ආශි‍්‍රතව පැවැති මෙම ව්‍යාපෘතිය තවත් නගර හතලිස් තුනක් දක්වා ආවරණය කළේය. නරේන්ද්‍ර මෝදි මහතා 2015 දී තවත් පියවරක් ඉදිරිට තබයි. ඒ ගංගා හතලිස් හයක නගර 195 ක් ආවරණය කරන සැලැස්මක් බව සඳහන්ය.

ගංගා අපවිත‍්‍රවන තරම සහ ඉන්දීය ආණ්ඩුව ඒවා නැවත පිලිසකර කරන්නට ගන්නා පියවර මෙසේ තිිබිය දී ස්වේච්ඡා සංවිධානයක් ගංගා නදියට එකතුවන මල් එකතුකර ගග පිරිසිදු කරන සාමුහික වෑයමක් අරඹා තිබේ. වාර්තා අනුව මෙහි නිරත පිරිස කාන්තාවන් එකසිය විසි හය දෙනෙකි. ඔවුහු දිනපතා ගංගා නදියේ උත්තර ප‍්‍රදේශයෙන් මල් ටොන් 8.4 ක් වෙන් කරගනිති. ඉන්දියාව පුරා නොයෙක් ප‍්‍රදේශවලින් පුජා සඳහා වාරානාසියට ගෙන එන මෙම මල් තොගය හින්දු පුද සත්කාර වලින් පසු ගංගාවට විසි කරමින් තිබුණි. එයින් ගගට සිදුවන හානිය සැලකිය යුතු තරම් බව ප‍්‍රකාශ වෙයි. මල් වගා කරන පිරිස් එහි වර්ධනය සඳහා යොදන අධික රසායනික පවා ඒවායේ අඩංගු අතර ජලයට මිශ‍්‍රවන විෂ රසායන තවත් නරක ප‍්‍රතිඵල ඇති කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක කාලගුණ විපත් වලකන සමුළු අවස්ථාවක ගංගා නදියෙන් මල් එකතු කර ජල දූෂණය වලකන පියවර අගය කරන අතර එය ලෝකයේ මෙතෙක් පවතින රාමුව වෙනස් කරන දැවැන්ත ව්‍යාපෘති දහ තුනක් අතරින් එකක් සේ හඳුනාගනී. එක්සත් ජාතීන් දක්වන ලද පරිදි මෙම කාන්තා ව්‍යවසාය ආරම්භ කළ දිනයේ සිට එම ඇගයීමට ලක්වන අවස්ථාව වන විට මල් මෙටි‍්‍රක් ටොන් 11,060 ක් එකතු කරගෙන තිබේ. අදහාගත නොහැකි තරම්ය. තවත් වැදගත් කාරණයක් තිබේ. මෙම මල් තොගය තුළ තිබිය හැකි බව සිතන පොහොර හා විෂ රසායන ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 110 කි.

මල් එකතු කරන කාන්තාවෝ ඒවා සොදා පිරිසිදු කර අඹරන අතර පල්පයක් සාදා ගනී. කොටසක් උත්සව වල දී විසි කර විනෝද වන වර්ණවත් කුඩු සමග මුසු කරන බව දැක්වෙයි. තවත් කොටසකින් හදුන්කූරු නිෂ්පාදනය කරයි. පල්පයට සුවද එකතු කරන අතර ඒවායෙන් නිපදවන ලක්ෂසංඛ්‍යාත හඳුන්කූරු බැතිමතුන් පූජා භූමිවල දල්වන බව වාර්තා වෙයි. මල් එකතු කරන මෙම කාන්තාවෝ මෙයට කලින් ඉතාම දිළිඳු අනාරක්ෂිත රැුකියාවල නියුතු වූවෝය. ඔවුන්ගේ දරුවන් පවා ඉතාමත් දුඛිත ජීවිත ගත කළහ. නමුත් පිලිගත් හොද වෘත්තීයක නිරත මෙම පිරිස් අද වන විට සමාජයේ සැලකුම් ලබන්නියන්ය. අනෙක සියළුම දෙනා බැංකු ගිණුම් අරඹා ආර්ථික කි‍්‍රයාවලියකට සම්බන්ධ වී සිටිති.

ගංගාවක සොබාව විසිතුරුය. එය එක තැනෙක පැනනැගෙන උල්පතකින් ඇරඹී තව තවත් දිය පහර එකතු කරගනිති. නොයෙක් හැඩ ගෙන පරිසරය සිසිල් කරමින් මහ පොලව අතර ඇති නිම්න තුළින් ගලාගෙන බසී. නොයෙක් ස්ථාන වල දී ගගකට එකතුවන ද්‍රව්‍ය අති විශාලය. එය දැවැන්ත ස්වභාවික ප‍්‍රතිචක‍්‍රීයකරණ පිලිවෙලකට යොමු වෙයි. ජලය නොමසුරුව ජීවයේ පැවැත්මට සිය ජවය පරිත්‍යාග කරයි. නොයෙක් තැනකින් එකතු වන කසල ගැන මැසිවිල්ලක් නැත. ගල් පර මහා බාධක සේ නැගෙයි. එහෙත් පෙණ පිඬු නංවා කැලතී එයින් ගැලවී පසුව නිසංසලයේ ගලා බසින්නීය. කෙත් වතු සරුකර කර්මාන්තයන්ට අවශ්‍ය තරමට ජලය සපයන අතර ජීවී පරිසරයක් ද නඩත්තු කරයි. අවසානයේ දී මහා සාගරය වෙත සපැමිණෙන අතර එහි කරදිය සමග මුසුවී කිසිවෙකුට නැවත පිරිසිදු කිරීමෙකින් තොරව ප‍්‍රයෝජනගත නොහැකි තැනට පත්වෙයි. මග දිගට ගග පැමිණි ගමන ගැන කිසිම මැසිවිල්ලක් නැත. කරන ලද සේවාව ගැන නොතකයි. මෙවැනි මහා වාරි පද්ධති ජීවයේ පැවැත්ම සුරක්ෂිත කරනු ඇත. දැනටමත් ලෝකයේ නොයෙක් ජලාශ හා ගංගා මනුෂ්‍ය බලපෑමෙන් කිලිටි වී තිබේ. අනාගතයේ දී ලෝකයේ රටවල් ගණනාවක් ජල ගැටළු වලට මුහුණ දෙන බව ප‍්‍රකාශ වී තිබේ. පානීය ජල අවශ්‍යතා පවා සපුරා ගැනීම ප‍්‍රශ්නයක් වනු ඇත. නමාමි ගංගා එයින් නික්මෙන එක සංධිස්ථානයකි.

ශ‍්‍රී ලංකාවේ ජලාශ, වැව්, අමුණු හා ගංගා ගැන වඩාත් සැලකිල්ලකින් ක‍්‍රියා කළ යුතු මොහොත බව සඳහන් කළ යුතුය. ඉන්දියාවේ තරමට මෙරට ගංගා කැළි කසල වලින් කිළිටි වෙන්නේ නැත. හින්දු ජාතිකයන් මෙන් ඇදැහිල්ලකින් දවා අලූ කරන ලද මිනිස් සිරුරු පවා ග`ගට එකතු කොකෙරේ. එහෙත් කම්හල් වලින් කාර්මික අපද්‍රව්‍ය එකතු වෙයි. ඒවා ගැන බලපවත්වන නීති හා විධිවිදාන ඇතත් නිසි අවධානයක් නැත. මෙම පසුබිම සම්බන්ධයෙන් අලූත් අවධානයක් යොමු කළ යුතුය.