» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
17/10/2021 - ඉරිදා ලංකාදීප
ඉන්දියාවේ විදේශ වත්කම් ඉහළට ගුවන් සේවය පුද්ගලික අංශයට

ඉන්දියාවේ විදේශ වත්කම් වාර්තාගත ඉහළම මට්ටමකට පැමිණ ඇති බව එරට මුල්‍ය වාර්තා පෙන්වයි. එය එරට නිවැරදි ආර්ථික ප‍්‍රතිපත්තිවල ප‍්‍රතිඵලයකි. නිෂ්පාදන සහ සේවා අංශ වල විශාල පිබිදීමක් ඇති බව දැක්වෙයි. කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ එරට ජන සමාජය මහත් පීඩාවකට පත්ව තිබුණි. අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ගේ ක‍්‍රියා කලාපය දෝෂ දර්ශනයට ලක්විය. ඔහුගේ ජනප‍්‍රිය භාවය පහත වැටී ඇති බව ජනමත විචාරණ උපුටා දක්වන ලදී. එහෙත් හෙතෙම නොසැලී ඉදිරියට ගමන් කරමින් සිටින බව සදහන් කළ යුතුය.

ආර්ථිකය තවත් වේගවත් කරනු සදහා වැදගත් තීරණ ගණනාවක් පසුගිය මාස දෙක තුළ ගෙන ඇත. ඉන්දීය රජයට අයත් ව්‍යවසාය පුද්ගලීකරණය එය අතර කැපී පෙනේ. මුදල් අමාත්‍යවරිය එය ඉතාම පැහැදිලිව අනාවරණය කර තිබේ. නිර්මලා සීතාරම් මහත්මිය මෑතක දී එරට පුද්ගලීකරණ වැඩ සටහන හෙළි කරන ලද අතර වසර හතරක් තුළ ඇමරිකානු ඩොලර් බිලියන 84 ක මුදලක් උපයා ගන්නට සැලසුම් කර ඇත. මුදල් ඇමැතිනිය මාධ්‍ය අමතා කතා කරමින් පුද්ගලිකරණය යනු රටේ සම්පත් විකුණා දැමීමක් නොවන බව ඉතා තද ස්වරයකින් කියා සිටියේය. ඇය ආරක්ෂක ඇමැතිනිය වශයෙන් ක‍්‍රියා කරන ලද අතර එරට ඉතිහාසසේ කාන්තාවක් එම තනතුර දරන ලද දෙවැනි අවස්ථාවයි. මුදල් අමාත්‍යවරියක වශයෙන් ද දෙවැන්නිය බව දැක්වෙයි. ෆෝබ්ස් සගරාව නම් කරන ද ලෝකයේ බලවත්ම කාන්තාවන් සිය දෙනාගේ ලැයිස්තුවෙහි හතලිස් එක්වැනි ස්ථානය උසුලන්නීය. නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා හා මුදල් ඇමැතිනියගේ තීන්දු ඉන්දියාව තවත් ප‍්‍රබල තැනකට කැදවා ඇත. පසුගිය සතියේ එරට ජාතික ගුවන් සේවය පුද්ගලීකරණය කළේය. එම තීරණය තවත් වටයකින් ඉන්දියානු ආර්ථික ප‍්‍රතිපත්ති සකස්වන ආකාරය ගැන සන්ධිස්ථානයකි.

කොවිඞ් වසංගතය හෙයින් එරට සිදුවූ පසුබෑම සියයට අනූවක ප‍්‍රතිශතයකින් නැවත ආවරණය කරගෙන ඇති සහ විදේශ වත්කම් සම්බන්ධයෙන් ඉහළම තැනකට පත්ව ඇති රටකට සිය ජාතික ගුවන් සේවය නඩත්තු කිරීම ආකාරයකින් කිසිම ප‍්‍රශ්නයක් නොවේ. ගුවන් සේවය පැවැරීම එරට ගුවන අහිමි කරගැනීමක් හෝ අභිමානයට කැළලක් වනු ඇතැයි කල්පනා කර නැත. ඉන්දීය වැසියන් ගෙවන බදු, විශාල වශයෙන් අලාභ ලබන ගුවන් සේවාවක් පවත්වාගෙන යන්නට වැය කළ යුතු නැති බවට තීරණයක් ගෙන ඇත. ගුවන් සේවාව පුද්ගලීකරණය කරන බව වසර හතරක් තිස්සේ ප‍්‍රමාද කරමින් සිටි තීරණයක් බව ද මෙහි දී මතක් කළ යුතුය.

එයාර් ඉන්දියා සේවාව ආරම්භ කරන්නේ පුද්ගලික ව්‍යවසායයක් වශයෙනි. ටාටා සමාගමේ නිර්මාතෘ ජේ. ආර්. ඞී. ටාටා 1932 වසරේ ටාටා එයාර් සේවාව ආරම්භ කරයි. පසුව 1947 වසරේ එහි කොටස් ප‍්‍රමාණයක් මිල දී ගත් ඉන්දීය රජය 1953 වසරේ දී සම්මත කරගත් පණතක් අනුව ඉතිරි කොටස් ප‍්‍රමාණය ද රජයට පවරා ගෙන ඇත. එයාර් ඉන්දියා යනුවෙන් නැවත නම් කරන ලද අතර එරට ජාතික ගුවන් සේවය වසර හැට අටක් නොයෙක් අඩු ලූහුඩුකම් මැද නඩත්තු කර තිබේ. මේ වන විට එයාර් ඉන්දියා සමාගමේ අලාභය ඇමරිකානු ඩොලර් බිලියන 9.5 කි. එම අලාභ සහිතව තවදුරටත් කරගෙන යා නොහැකි බව ඉන්දීය බලධාරීහු ප‍්‍රතිපත්ති තීරණයක් ගත් අතර ලෝක ව්‍යාප්තව ටෙන්ඩර් කැදවීම එහි ප‍්‍රතිඵලයකි. මුලින් සමාගම නිර්මාණය කරන ලද ටාටා සමාගමේ අලූත් පරම්පරාව එයාර් ඉන්දියා අයිතිය ලබාගෙන ඇත. බිලියන ගණනක් අලාභ ලබන එයාර් ඉන්දියා ගුවන් සේවය මිල දී ගැනීම සදහා ඇමරිකානු ඩොලර් බිලියන 2.4 ක් ගෙවන්නට ටාටා සමාගම එකග වී තිබේ. එයාර් ඉන්දියා සමාගම පුද්ගලීකරණය වන අවස්ථාව වන විට ලෝකයේ ඉතාම කාර්ය බහුල හීත්‍රෝ ද ඇතුලත් ගුවන් තොටුපොල 900 ක අංගන පහසුකම් තිබුණි. ගුවන් යානා 141 බලඇනියක් දහස් ගණනක පුහුණු නියමුවන් සහිත කාර්ය මණ්ඩලයක් අයිති කරගෙන සිටියේය. එහෙත් එම වටිනාකම් වෙනුවෙන් ඉන්දීය ජනතාව බරපතල වන්දියක් ගෙවමින් සිටි බව අමතක කළ යුතු නැත. නිතිපතා සිදුවන අලාභ වෙනුවෙන් දෙස් විදෙස් මුල්‍ය ආයතන වලට ණය හා පොලිය ගෙවමින් සිටි අතර එය ඉන්දීය ජාතික අය වැය ලේඛනයේ සටහන්ව තිබුණ කලූ පැල්ලමකි. සහිතව පවත්වාගෙන යන අපකීර්තිමත් ව්‍යාපාරය වෙනුවට පුද්ගලීකකරණය එරට ජාතික ධනය ආරක්ෂා කරගැනීම සුදුසුම උපාය මාර්ගය බව ඉන්දීය රජය තීරණය කර ඇත.

ඉන්දීය ජාතික ගුවන් සේවාව මිල දී ගත් ටාටා සමාගම අනුබද්ධව තවත් කුඩා ගුවන් සේවා ආයතන දෙකක් තිබේ. එයින් එකක් ඉන්දියා විස්ටාරා සේවය වන අතර එය සිංගප්පුරු ගුවන් සේවය සමග හවුල්කාර එකකි. මලයාසියාවේ ගුවන් සමාගමක් සමග අනුබද්ධව එයාර් ඒෂියා ඉන්දියා සමාගම පවත්වාගෙන යයි.

විවිධ කාලවකවානුවල එල්ලවෙන පීඩනය අනුව, ඉන්දියාවේ ආණ්ඩු ක‍්‍රියා කර තිබේ. මන්මෝහන් සිං අගමැතිවරයා ගේ පාලන කාලය තුළ නොයෙක් ප‍්‍රතිසංස්කරණ හදුන්වා දුන් නමුත් පුද්ගලීකරණය කෙරෙහි නැඹුරුවක් නොතිබුණි. ඔහුගේ දස වසර තුළ ඉන්දියාවේ රාජ්‍ය ව්‍යවසයාය ශක්තිමත් කෙරිණ. එහෙත් එයට කලින් තිබුණ වජ්පායි ආණ්ඩුව පුද්ගලික ව්‍යවසාය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරමින් සිටි අතර අකාර්යක්ෂම රාජ්‍ය ව්‍යාපාර රජයෙන් ඉවත් කර ප‍්‍රකට දෙස් විදෙස් සමාගම් වලට විකුණා දැමීය. නරේන්ද්‍ර මෝදි රජය ද එකී ප‍්‍රතිපත්ති අනුගමනය කරමින් සිටින බව ආර්ථික විශේෂඥයෝ දක්වන අතර ඉතා දුෂ්කර කාලපරිච්ඡේදයක ගත යුතු නැනවත්ම ක‍්‍රමෝපාය අනුගමනය කරන බව ඔවුහා ප‍්‍රකාශ කරති.

එයාර් ඉන්දියා ගුවන් සේවාව සියයට සියයක කොටස් පුද්ගලික සමාගමකට පැවැරීමෙන් පසු ලෝකයේ ප‍්‍රකට ගුවන් සේවා සමාගම් අතර ව්‍යාපාරික වශයෙන් තර`ගයකට එකතු වනු ඇතැයි සැලකේ. ලෝකයේ දියුණුම රටවල ජාතික ගුවන් සේවා පුද්ගලික අංශය භාරයේ තිබේ. ඔස්ටේ‍්‍රලියාවේ ක්වාන්ට්ස් සමාගම එයින් එකකි. කැනඩා ජාතික ගුවන් සේවය වන එයාර් කැනඩා, ජර්මනිියේ ජාතික ගුවන් සේවාව වන ලූප්තාන්සා, බි‍්‍රතාන්‍යයේ බි‍්‍රටිෂ් එයාර්වේස් යනාදිය ඉතාම දක්ෂ ලෙස පවත්වාගෙන යන පුද්ගලික ව්‍යවසාය වන අතර ඒවා එම රටවලට අනන්‍ය ජාතික කීර්ති නාමය ද ආරක්ෂා කරගෙන සිටී. අනෙක් අතට සිංගප්පුරුව, එමිරේට්ස් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් එටිහාඞ් යන සේවා එම රටවල ආණ්ඩුවලට අයත් ව්‍යවසාය වශයෙන් සාර්ථකව පවත්වාගෙන යන බව ද සදහන් කළ යුතුව තිබේ. වෙළද පොලට අනුව තීරණ ගන්නා අතර කාර්යක්ෂම භාවය ඉහළින්ම පවත්වා ගැනීම රාජ්‍ය හා පුද්ගලික අංශයේ සාර්ථකම ගුවන් සමාගම් අතර පොදු ලක්ෂණයකි. ව්‍යාපාරය සාර්ථකව මෙහෙයවන අතර, උපයන ධනයෙන් කොටසක් එම රටවල ජාතික අය වැයට ලැබේ. එය සංවර්ධන වැඩ සටහන් වලට වැය කළ හැකිය. දුප්පත් ජනතාවගේ සහනාධාර වෙනුවෙන් වෙන් කෙරේ. දේශපාලන බලපෑම් වලින් තොරව ස්වාධීන තීරණ ගැනීමට හැකි වගකිව යුතු නිලධාරීහු ලෝකයේ ප‍්‍රබල ගුවන් සේවා ගගන තලයෙහි ඉහළින්ම රදවා තිබේ.

ශ‍්‍රී ලංකන් ගුවන් සේවාව ගැන විශාල ආන්දෝලනයක් ඇත. එහි මුදල් වියදම් ගැන කිසිම පාර්ශවයකට සතුටක් නැත. මහජනතාව එහි අභ්‍යන්තරය නොදනී. රට ඉතාම දරුණු විදේශ විනිමය හිගයක පසුවෙයි. දිනපතා ගුවන් සේවාවේ පැවැත්මට මුදල් වියදම් කරන්නට සිදුවී ඇත. වාර්තා දක්වන පරිදි වසරකට ඇමරිකානු ඩොලර් මිලියන තුන් සියය ඉක්මවා ධනයක් වැයවෙයි. පවතින විනිමය සංචිතය හා සසදන විට එයින් අටෙන් එකකට ආසන්න ප‍්‍රමාණයකි. ජනතාවට අවශ්‍ය සහල් තුන පහ හෝ මිල දී ගන්නට විනිමය නැති රටක් ජාතික ගුවන් සේවය වෙනුවෙන් සිය විනිමය සංචිතයෙන් අටෙන් එකක් පුලූස්සා දැමීම අගය කළ හැකිද? අනෙක සියළු පිරිවැය එකතුකරන විට ගුවන් සේවය පවත්වාගෙන යන්නට දවසකට රුපියල් මිලියන අනූනමයක් ගෙවන්නට මහා භාණ්ඩාගාරයට සිදුවී ඇත.

ජාතික ගුවන් සේවය ගැන ඇති අභ්‍යන්තර සත්‍යය එයයි. ජනතාව ද මෙම අපහසුවට කැමැතිය. ජාතික සම්පත් ආරක්ෂා කරගැනීම ස`දහා වන්දි ගෙවන්නට සූදානම්ය. ශ‍්‍රී ලංකාවේ අභිමානය බව විශ්වාස කරයි. කිසිම දවසක අහසින් ගමනක් යන්නට වරම් නැති දුගී දුප්පත් ජනතාව ඔවුන් ගෙවන බදු වලින් ශ‍්‍රී ලන්කන් නඩත්තු කරමින් සිටී. ඉන්දියාවට ඇති තරම් විනිමය තිබේ. ආර්ථිකය ශක්තිමත්ය. නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා ගේ ජනප‍්‍රියත්වය අඩු වී ඇත. ඉහළින් නැගෙන්නට ඔහුට ජාතික සම්පත් ආරක්ෂා කරන පිලිවෙලක් අනුගමනය කරන්නට ඉඩ තිබුණි. නිතිපතා ලබන ඩොලර් බිලියන ගණනක අලාභ නොතකා අලූත් තීරණයක් නොගෙනසිටින්නට බාධාවක් නොවීය. මුල් අයිතිකරුවන් වූ ටාටා සමාගමට ගුවන් සේවය පවරන විට ගජ මිතුරන්ට සලකන බව ට නැගෙන චෝදනාව එල්ල වෙන අවදානම සුළු පටු නොවේ. ද එහෙත් ඉතාම ශක්තිමත් ආර්ථිකයක් සහිත ඉන්දියාව ඉතාම දුර්වල ව්‍යවසාය පසෙකට කර අය වැය බර තවත් සැහැල්ලූ කරගෙන සිටී. ශ‍්‍රී ලංකාවට පාඩමකි. ජාතික ගුවන් සේවය තද ප‍්‍රතිසංස්කරණයකට පසු පුද්ගලීකරණය කිරීම ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට වාසිදායකය. බර අඩුවන විට එහි සැහැල්ලූව දැනේනේ පොදු ජනතාවටය.