» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
17/07/2022 - ඉරිදා ලංකාදීප
සෞඛ්‍ය දියුණු කරන සමුපකාර වෛද්‍ය විද්‍යාල ව්‍යාපෘතිය

සෞඛ්‍ය හා සනීපාරක්ෂාව ඉලක්ක කරගෙන පැති තුනක සැලැස්මක් කේරළ ප‍්‍රාන්තයේ ක‍්‍රියාත්මකය. රජයෙ රෝහල් පද්ධතිය එයින් ප‍්‍රධානය. පුද්ගලික අංශය හා සමුපකාර රෝහල් සේවා අනෙක් දෙපැත්තකින් ක‍්‍රියා කරයි. රජයේ රෝහල්වල නොමිලේ සේවා පවත්වාගෙන යන අතර පුද්ගලික අංශය අය කරන ගාස්තු සමුපකාර රෝහල් සේවා පද්ධතියෙන් සමබර කර තිබේ. කේරළයේ වැසියන්ට තමන්ගේ ආදායම අනුව ප‍්‍රතිකාර විධි සදහා නැඹුරු විය හැක. 2018 වසරේ සිට 2020 දක්වා තිරසාර සංවර්ධන සැලැස්ම අඛණ්ඩව වර්ධනය වී ඇති අතර සෞඛ්‍ය, අධ්‍යාපන සහ ජීවන මට්ටම ඉන්දියාවේ ප‍්‍රාන්ත අතර ඉහළම මටට්මට පැමිණ ඇති බව වාර්තා වෙයි.

ඇලෝපති, ආයුර්වේද, සිද්ධා, යුනානි සහ හෝමියෝපති යන ප‍්‍රතිකාර ක‍්‍රම එක හා සමානව පිලිගැනීමට කේරළ ප‍්‍රාන්තය තීරණය කර තිබේ. සමුපකාර ක‍්‍රමය අනුව පිහිටුවන ලද රෝහල් ගණන අනූ අටකි. රෝහල් පද්ධතියේ පාලනයට මුලස්ථානයක් ස්ථාපිත කර ඇති අතර එම මුලස්ථාන වාර්තා අනුව මුලින් සදහන් කරන ලද සියළු ප‍්‍රතිකාර ක‍්‍රම සදහා රෝහල් කේරළ ප‍්‍රාන්තියේ දිස්ත‍්‍රික්ක විසි හතර තුළම පවත්වා ගෙන යයි. රෝගවලට ප‍්‍රතිකාර කරන අතර රෝග වලක්වාගැනීමට ජනතාවට උපදෙස් සැපැයීම මෙහි දි ප‍්‍රධාන කර්තව්‍යයක් වී තිබේ. සමූපකාර සමිති ඇති සෑම ස්ථානයකම ඖෂධ අලෙවි සැලක් ස්ථාපිත කර ඇත. නිසි ප‍්‍රවාහන පහසුකම් රහිත, ග‍්‍රාමීය ප‍්‍රදේශවල පවා ඇති සමුපකාර සැල්වල මෙම ඖෂධ ශාලා ස්ථාපිත කර තිබේ. අඩුම මිලට අත්‍යවශ්‍ය බෙහෙත් අලෙවි කිරීම එහි දී සිදුවෙයි. සමුපකාර ව්‍යාපාරය පැතිරී ඇති ආකාරය සම්බන්ධ හොද නිදසුනකි.

ප‍්‍රියරාම් වෛද්‍ය විද්‍යාලය කේරළ ප‍්‍රාන්තයේ සංකේතයකි. සමුපකාර වෛද්‍ය විද්‍යාලයක් වන එය අරඹන්නේ 1995 වසරේ වන අතර ඉන්දීය වෛද්‍ය පාලක සභාවේ අනුමැතිය සහිතව ජනතාවගේ කොටස් වලින්, සම්පූර්ණයෙන් නිර්මාණය කරන ලද පළමු වෛද්‍ය විද්‍යාලය බව සදහන් කළ යුතුය. කේරළ ප‍්‍රාන්තයේ උසස් අධ්‍යාපනය හදාරන දරු දැරියන්ට එහි පහසුකම් සැපයේ. වෛද්‍ය උපාධියට අමතරව ප‍්‍රශ්චාත් උපාධි පාඨමාලා දොලහක් ද හදුන්වා දී තිබේ. සමුපකාර බැංකු ක‍්‍රමයේ අනුග‍්‍රහයෙන් පිලිකා හදුනා ගැනීමේ වැඩ සටහනක් 2011 වසරේ දී අරඹා ඇත. එය පවත්වාගෙන යන්නේ ප‍්‍රජා සේවාවක් වශයෙනි. එහි සාර්ථකත්වය අනුව ඉන්දීය රුපියල් කෝටි 400 ක් වැය කර පිලිකා රෝහලක් ද කේරළ ප‍්‍රාන්තයේ ඉදිකර තිබේ. මෙම රෝහලේ රෝගී සත්කාර සේවා සම්පූර්ණයෙන්ම පාහේ ලාභ රහිතව සමුපකාර ක‍්‍රමය යටතේ පවත්වාගෙන යන බව දැක්වේ. සියළුම පරීක්ෂණ හා හදිසි ප‍්‍රතිකාර වියදම පමණක් ආවරණය කරගන්නා ආකාරයට හෝ පුද්ගලික අංශයේ රෝහල්වල ගාස්තු වලට වඩා ඉතාම අඩු මිල ක‍්‍රමයකට පවතී. වෛද්‍ය අධ්‍යාපනය, ප‍්‍රතිකාර හා ඔසු සැල සමුපකාර පද්ධතියට ඇතුලත්ව තිබීම විශේෂයෙන් සැලකිය යුතු කරුණකි.

ඉන්දියාව සමුපකාර ව්‍යාපාරය විශිෂ්ඨ ලෙස උපයෝගී කරගන්නා අතර කිරි නිෂ්පාදනය එහි තවත් ඉහළම පියවරකි. ශ්වේත විප්ලවය ලෙස හැදින්වේ. කිරි නිෂ්පාදනය නංවන ප‍්‍රධාන සාධකය ගුජරාට් ප‍්‍රාන්තයේ සමුපකාර ක‍්‍රමය බව සදහන් කළ යුතුය. විශාල ජනගහනයක් ඇති රටක කිරි අතිරික්තයක් පවතින තරමට නිෂ්පාදනය වර්ධනය කිරීම පහසු කාර්යයක් නොවේ. ඉන්දිය සමුපකාර කිරි නිෂ්පාදන සමාගම හැත්තෑ පස් වසරක් කටයුතු කර ඇත. අමුල් නමැති මෙම සමාගම එරට ආහාර වෙළද සන්නාම අතර ඉහළම තැනකට පත්ව තිබේ. ගුජරාට් ප‍්‍රාන්තයේ කිරි ගොවියෝ එකල, තමන්ට ලැබෙන අඩු මිල ගැන නොසතුටට පත්ව සිටියහ. නිතර පවත්වන විරෝධතා සාමාන්‍ය ජන ජීවිත අවුල් කළේය. ගොවියන්ට එකතු වී සමුපකාර ක‍්‍රමයක් සකස් කරගැනීමට යෝජනා කිරීම මෙහි ආරම්භව බව සදහන්ව ඇත. වෙළද පොල මිල අනුව එයින් සියයට අසූවක් කෙලින්ම කිරි ගොවියන්ට ලැබෙන පරිදි සැලසුම් සකස්කර තිබේ.

නැනෝ නයිට‍්‍රජන් නිෂ්පාදනය කර බෙදාහැරීමේ අයිතිය සමුපකාර ව්‍යාපාරය සතු කරගැනීම සියවැනි සංවත්සරය සමරන සාමාජික පිරිස ගේ සතුට ඉහවහා ගිය කරුණකි. ගොවි සමුපකාර සමිතිය නැනෝ දියර පොහොර නිපදවන්නට ඉදිරිපත් වෙන අතර 1967 දී ව්‍යාපාර අරඹන මෙම ගොවි සමිතිය සතු ශාඛා ගණන තිස් පන් දහස ඉක්මවයි. ගොවි සාමාජිකයෝ මිලියන පනහක් බව වාර්තා වෙයි. සමිතිය ඉන්දියාවට අවශ්‍ය කරන යූරියා පොහොර සැපයුමෙන් සියයට විස්සක් පමණ ප‍්‍රතිශතයක් සපයන ප‍්‍රබල ආයතනයකි. ආහාර නිෂ්පාදනය, නිවාස ණය, ගොවි ණය, පොහොර නිෂ්පාදනය හා සෞඛ්‍ය සේවා ඇතුළු අංශ ගණනාවකට සමුපකාර ව්‍යාපාරය පැතිරී ඇත. ව්‍යාපාරයේ සිය වැනි සංවත්සරය පසුගියදා ට යෙදී තිබුණි. රට පුරා ඉන්දියානුවෝ සිය සමුපකාර ව්‍යාපාරයේ ජයග‍්‍රහණ ගැන උද්දාමයට පත්ව සිටිති.

ඉන්දියාවේ පුරා සමුපකාර සමිති ලක්ෂ අටහමාරකට වඩා සක‍්‍රීයව පවතී. දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එහි සාමාජිකයෝය. ඉන්දියාවේ ගම්මාන වලින් සියයට අනුවක සමුපකාර ව්‍යාපාරය විහි දී ඇත. සමුපකාර සේවාව මෙහෙයවන ව්‍යාපාර අතර දෙවැනි ඉහළම පිරිවැටුම වාර්තා කරන ආයතනය බවට ඉන්දීය අමුල් කිරි නිෂ්පාදන සමාගම පත්ව තිබේ. ජාත්‍යන්තර වාර්තා අනුව සමුපකාර ව්‍යාපාරය බලවත්ම රටවල් අතර ජපානය, ප‍්‍රංශය, ජර්මනිය ඇමරිකාව හා බි‍්‍රතාන්‍ය සිටී. සමාජවාදී ක‍්‍රමය සමග හදුන්වා දෙන ලද ජනතා සහභාගීත්ව ක‍්‍රමයක් නමුත් පවතින සංකීර්ණ විවෘත ආර්ථික ක‍්‍රමයට ද සාර්ථකව මුහුණ දෙන්නට සමුපකාර ක‍්‍රමයට හැකි වී ඇත. නායකත්වය හා කොටස් හිමි ජනතාවගේ කැපවීම එහි ලා ඉතාම වැදගත් සාධකය බව සදහන් කළ යුතුව තිබේ.

සමුපකාර ව්‍යාපාරය ගැන ශ‍්‍රී ලංකාවට කියන්නට ඇත්තේ කුමක්ද? ඉන්දියාවට වඩා කලින් ආරම්භ කර ඇති බව දැක්වේ. නිදහස ලබන්නටත් වසර දහ හතරකට කලින් ලංකාවේ සමුපකාර ක‍්‍රමය හදුන්වා දී ඇත. සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව පසු කාලයක එනම් 1930 වසරේ පිහිටුවා තිබේ. පසුව එහි ව්‍යුහාත්මක වෙනස්කම් ගණනාවක් සිදුකර ඇත. ගම් මට්ටමින් ස්ථාපිත කර ඇති සමුපකාර අළෙවි සැල්, සණස සමිති, තේ සමිති ජනතාව සමග ඇති ආයතන අතරින් කිහිපයක් බව දැක්විය හැක. සෑම නගරයකම පාහේ සමුපකාර තෙල් බෙදාහැරීමේ මධ්‍යස්ථාන ඇත. මේවායෙන් වටිනා සේවයක් සිදුවේ. ඇතැම් ප‍්‍රධාන නගර ආශ‍්‍රිතව සමුපකාර රෝහල් ද ඇත. එහෙත් සමුපකාර ක‍්‍රමයේ ව්‍යාප්තිය සීමා සහිතය. ඇතැම් සමුපකාර අලෙවි ජාලා පවා අඩ පණ වී තිබේ. රෙදිපිලි නිෂ්පාදනය, සුළු කර්මාන්ත වැනි අංශ දුබලය. මේවායේ තනතුරු පවා දේශපාලනීකරණය වී ඇත. සමුපකාර ඡන්දය ආණ්ඩු බලය පෙන්වන තැන් බවට පත්ව තිබේ. සාමාන්‍ය සාමාජිකයන්ගේ ඡන්දයෙන් බලයට පත්වන සමුපකාර නිලධාරීහු එතැන් සිට දේශපාලනය ගමන අරඹන අතර පොදු අවශ්‍යතා කෙරෙහි අවධානය අඩු කරයි. ණය දෙන සමිතිය, තේ සමිතිය යනාදිය දේශපාලනීකරණයවීම සමග එකම ගම්මානයේ ජනතාව කොටස් දෙකට තුනට බෙදී ආරවුල් හට ගන්නා තැනට පත්ව ඇත. දීර්ඝ ඉතිහාසයක් ඇති, අත්දැකීම් බහුල පුද්ගලයන් ලවා ක‍්‍රමය වෙනස් කළ හැක. සමුපකාර ක‍්‍රමය නැවත ගොඩනැගිය යුතුය. ආර්ථිකය දුබල වී, විකල්ප ක‍්‍රම සොයන ජන සමාජය පාර්ලිමේන්තු ක‍්‍රමය වෙනස් කරන්නට පෙර තමන්ගේ ගම, තමන් ජීවත්වන වටපිටාව තුළ සමුපකාර සංකල්ප අනුව දියුණු කරන්නට මහන්සිවීම වැදගත්ය. රට අල්ලන්නට කලින් ගම තමන්ට දිනා ගැනීමේ ශක්තියක් තිබිය යුතුය. කැපවීමෙන් පදනම දියුණු කරගතහොත් වැඩ පිලිවෙල ගැන විශ්වාසයක් ඇතිවේ. අප සියළු දෙනා පාරිභෝගිකයෝය. අත්‍යවශ්‍ය අංශ සැලසුමක් අනුව දියුණු කරන ජනතා සහභාගීත්ව සමුපකාර ක‍්‍රම අපගේ අනාගතය නැවත ගොඩනගන්නට අත්තිවාරමක් වනු ඇති බව සදහන් කළ හැක.