» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
17/04/2022 - ඉරිදා ලංකාදීප
දුප්පතුන්ට හා ආධාර අවශ්‍ය අයට කෙලින්ම සල්ලි බෙදන ක‍්‍රමයක්

ගෘහස්ථ ඉවුම් පිහුම් වලට භාවිතා කරන ගෑස් මිල ගැන පාරිභෝගිකයන්ට විශාල ප‍්‍රශ්නයක් තිබේ. ඉන්ධන මිල, දරා ගත නොහැක. විදුලිය බිල වැඩි කරන බව කියැවේ. ජනතාව ගෑස් පෝලිමේ සිටින අතරවාරයේ පොහොසතුන්ට ගෑස් හිගයක් නැත. ඉතාම ධනවත් අයවලූන්ටත්, දුප්පතුන්ටත් ගෘහස්ථ ගෑස් ලැබෙන්නේ එකම මිලකටය. ලෝක වෙළද පොලේ ගෑස් මිල වැඩි නමුත් අඩු ආදායම් ලාභීන් සලකා සහන මිලකට විකුණන බව රජයේ අදහසය. සහන මිලට ගෑස් භාවිතා කරන පොහොසතුන් එහි බර ජනතාව මත පටවා තිබේ. අඩු මිලට ඉන්ධන විකුණන්නේ ද මෙපරිදිමය. රජයේ අලාභය දෙගුණ - තෙගුණ කරමින්ය. ඇති තරම් සම්පත් ඇති ජන කොටස් එහි වාසිය ලබති. සහන සදහා රජය වැය කරන මුදල උපයා ගන්නේ ජනතාව මත පනවන බදු වලින්ය. මාසික විදුලිය බිල ගෙවා ගත නොහැකි විදුලිය පාරිභෝගිකයන් පිරිසක් සිටිය දී දස ලක්ෂ ගණනින් මාසික විදුලිය බිල් ගෙවන අයටත් අඩු විදුලිය ගාස්තුවලින් වාසියක් ලැබේ. මෙම සමාජ අසාධාරණය වෙනස් කරන්නේ කෙසේද? සහන ලැබිය යුතු කොටස පමණක් තෝරා ඔවුන්ට සමාජ ආරක්ෂණයක් සපයන ක‍්‍රමය කුමක්ද ? අඩු ආදායමක් ලබන පිරිස ඉලක්ක කර සපයන සහන අත්පත් කරගන්නේ සහන නොලැබිය යුතු ධනවත් පිරිසක්ය.

ගෑස් සිලින්ඩරයක් මිල දී ගත් වහා, අඩු ආදායම්ලාභීයෙකු ගේ බැංකු ගිණුමට මුදලක් ආපසු ලැබෙන ක‍්‍රමයක් හදන්නට බැරිද? සහනාධාර තමන්ගේ ගිණුමට ලැබුණ බව එස්.එම්.එස්. පණිවුඩයකින් දැනගැනීම පමණක් නොව ආපසු බැංකුවට ගොස් බැංකු කාඞ්පතෙන් එය ලබා ගත හැකි ක‍්‍රමයක් අපට හදා ගන්නට නොහැකිද? ගොවියන්ට පොහොර සහනාධාරයක්, ගැබිණි මව්වරුන්ට දීමනාවක්, ශිෂ්‍යත්වය හෝ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන දරුවන්ට රජයේ ආධාරයක් කෙලින්ම ගිණුමකට ගෙවන ක‍්‍රමයක් යෝජනා කළ නොහැකිද? ආධාර ගන්නට ග‍්‍රාම නිලධාරී ඉදිරියේ බයාදුවන අතර උප දිසාපති කාර්යාලයේ ද නිලධාරීන් ඉදිරියේ කාලය නාස්ති කර මාස ගණන් බලා සිටින්නට සිදුවීම කොපමණ අපහසුවක් ද?

සහනාධාර ගැන කතා කරන ජගත් ප‍්‍රජාව තාක්ෂණය ප‍්‍රයෝජනයට ගෙන තිබේ. නම ගම, බැංකු ගිණුම ආදිය ලියා පදිංචි කරගත් පසු ඇත්තටම ආධාර අවශ්‍ය අය වෙන්කර කෙලින්ම අතට සල්ලි ලැබෙන ක‍්‍රම වැඩි දියුණු කර ඇත.

ඉන්දියාව එය සාර්ථකව ක‍්‍රියාවට නංවා ඇති රටකි. ආධාර් යනුවෙන් ඩිජිටල් කාඞ් පතක් නිකුත් කර ඇත. කාඞ් පත පෙන්වා ගෑස් ගත් දුප්පත් පාරිභෝගිකයෙකුගේ ගිණුමට සහනාධාර මුදල මොහොතකින් ආපසු ලැබේ. විදුලිය, ජලය සදහා ගාස්තු සමාජයේ හැම දෙනාටම එක සමානය. නිවාස ණය පොලිය වෙනස් නැත. එහෙත් ආදායම අඩු අය තෝරා ගන්නා ආධාර් කාඞ් පත ගනු දෙනු කරන හැම අවස්ථාවකම අතට කීයක් හෝ ගෙවන ක‍්‍රමයක් සකස් කර තිබේ. පොහොසතුන්ට නොලැබෙන ආධාර ලැබිය යුතු පිරිස තෝරා ගත හැකි විශේෂ ක‍්‍රමවේදයකි.

ආධාර් කාඞ් පත මගින් ඉන්දීය ජනතාවට සුවිශේෂි අංකයක් නිකුත් කර තිබේ. එම අංකය ලබා ගැනීම ඉන්දියානු පුරවැසියන්ට අනිවාර්ය කර ඇත. හැදුනුම්පතක් වශයෙන් ද භාවිතා කළ හැකි අතර අංක දොලහකින් යුතුය. එය පරිගණක ජාලයකට සම්බන්ධ වි රජයේ ආධාර වැඩ සටහන නිසි පරිදි කළමනාකරණය කරයි. සහන අවශ්‍ය පිරිසට එය නොපිරිහෙලා සපයන අතර නිලධාරීවාදව හෝ දේශපාලන මැදිහත්වීම තුරන් කර තිසඓ. ජනතාව දෙපතුල ල`ගට ගෙන්වා ආධාර බෙදන ක‍්‍රමය අහෝසි කර ඇත.

ආධාර් වැඩසටහන ආරම්භ කරන්නේ 2009 වසරේ දී ය. ආධාර් අංකය තුළ ඉන්දියානවන් ගේ ජෛව විද්‍යාත්මක තොරතුරු ඇත. ඇගිලි සලකුණ පවා තිබේ. ලෝකයේ විශාලතම දත්ත එකතුවක් කරන අතර එය නුසුදුසු බව ප‍්‍රකාශ කළ ඇතැම්හු ක‍්‍රමයට එරෙහිව 2012 වසරේ දී නඩු පැවරිය. දීර්ඝ නඩු විභාගයක් අවසානයේ දී දෙන ලද තීන්දුව තිදෙනෙකු ගේ සහ පස් දෙනෙකුගෙන් යුතු ශේෂ්ඨාධිකරණ දෙකකින් නැවත නැවතත් විභාග කර තිබේ. 2018 වසරේ දී දෙන තීරණය අනුව අවශ්‍යනම් නම දෙනෙකුගෙන් යුතු ශේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලකින් ජනතාවගේ පෞද්ගලිකත්වයට හානියක් සිදුවේ දැයි විමසන්නට හැකි බව ද අවධාරණය කර ඇත. ආධාර් කාඞ් ක‍්‍රමය ක‍්‍රියාවට නැංවීමේ දී තොරතුරු ආරක්ෂණ පනතකින් ආවරණය කළ යුතු බව තීන්දුවෙහි වැඩු දුරටත් කියැවෙයි. ආධාර නිසි සේ බෙදා දෙන සංවිධිත ක‍්‍රමයක් හදන්නට යෝජනා වූ කළ සමහර එයට විරුද්ධ වූහ. එය තේරුම් ගැනීම ඉතා සංකීර්ණය. ඉන්දීය අධිකරණය ඉතිහාසයේ ජනතාව ගැන හා පාලන ක‍්‍රමය අතර දෝලනය වූ කරුණු ගණනාවක් මෙම නඩුවේ දී සාකච්ඡා කරන ලද බව මෙහි දී සදහන් කළ යුතුය. අවසානයේ දී සාධාරණ පිලිවෙලකට ආධාර බෙදන තාක්ෂණය සදහා පියවර ගැනීම අනුමත විය.

අසාධාරණයට ගොදුරුවූ, අඩු ආදායමක් ලබන ජන කොටස තෝරා ඔවුන්ට පමණක් යමක් අතට දෙන්නට ඉන්දීය රජය අඛණ්ඩව ගෙනගිය මහත් පරිශ‍්‍රමයකට පසු අවසානයේ දී එය සාර්ථක වී ඇත.

අලූත් ගුවන් ගමන් බලපත‍්‍රයක් ලබා ගත යුතු අවස්ථාවක ආධාර් කාඞ්පත ඉදිරිපත් සමග ඉල්ලූම් කළහොත් දින දහයක් තුළ එය නිවසටම ලැබෙන්නට සලස්වයි. වෙනත් කිසිම ලියැකියැවිල්ලක් අවශ්‍ය නැත. රජයේ කාර්යාලවල අනවශ්‍ය ලෙස පැමිණීම නතර කර ඇති අතර එය දූෂණය මැඩපවත්වන මගක් සේ හදුන්වා ඇත. ආධාර් කාඞ් හදුන්වා දෙන්නට කලින් නිලධාරීන්ගේ මහත් බලපෑම් මැද පසුවූ ජන ජීවිත වඩා පහසු තැනකට කැදවා ඇති බව එරට මාධ්‍ය පැහැදිලිව ප‍්‍රකාශ කර තිබේ.

ආධාර් කාඞ් සමග බැංකුවක ගිණුමක් ඇරඹීම පහසුය. පදිංචිය ඔප්පු කරන සාක්ෂියකි. ඉන්දීය රජය ජනතාවගේ ලියැකියැවිලි ඇතුළු වැදගත් දේ ආරක්ෂා කරන්නට සුරක්ෂිතාගාර ක‍්‍රමයක් පවත්වාගෙන යයි. ඒවායේ ඉඩම් ඔප්පු පිටපත හෝ වෙනත් ලේඛන පවා තැන්පත් කිරීමට හැකියාව තිබේ. එහි රහස් අංකය මෙම ආධාර් කාඞ්පත බව දැක්විය යුතුය. ආධාර් කාඞ්පත සමග සුදුසු අයට සෞඛ්‍ය රක්ෂණයක් ලැබේ. ඡන්ද හිමි ලැයිස්තුවට මෙම අංකය සම්බන්ධ වන අතර එකම පුද්ගලයාට වංචනික සේ ඡන්ද කිහිපයක් භාවිතා කරන අවස්ථා ඇවිරෙයි. විශ‍්‍රාම වැටුප්, සේවක අර්ථ සාධක අරමුදලේ ප‍්‍රතිලාභ යනාදිය ද ආධාර් අංකය මගින් පහසුවෙන් ලබාගත හැකිවෙයි. උපත් ලේඛන හා මරණ සහතික සමග මෙම අංකය සැසදෙන අතර විශ‍්‍රාමිකයන් තමන්ම පෙනී සිට විශ‍්‍රාම වැටුප ඉල්ලන්නට අවශ්‍ය නැත. කාඞ් පත අනුව ගිණුමට මුදල් බැර කෙරේ.

අලූතින් උපදින දරුවන්ට නිරායාසයෙන් මෙම අංකය ලැබෙන අතර නොලැබුණ කිසිවෙකුට එය ‍ෙගම ඇති ආධාර් කාඞ් කාර්යාලයෙන් කරගත හැකිය. මාස දොලහකට වඩා ඉන්දියාවේ ජීවත් වෙන්නට අපේක්ෂා කරන ඕනෑම පුද්ගලයෙකුට ද තාවකාලිකව මෙම කාඞ් පතට ඇතුළු වී ආධාර් විශේෂිත අංකයක් ලබා ගැනීමේ පහසුව තිබේ.

ඉන්දීය රජය හා ශ‍්‍රී ලංකාව අතර පවතින සාකච්ඡුා අතර මෙම ආධාර් කාඞ් ක‍්‍රමය මෙරටට හදුන්වා දීමට සූදානම්ය. කැබිනඞ් අනුමැතිය ලැබී තිබේ. සාමාන්‍ය ජනතාවට ලබාගත හැකි වරප‍්‍රසාද කෙලින්ම බැංකුවට යොමුකරන පරිදි තාක්ෂණය භාවිතා කරන්නට යෝජනා වී ඇත. දරුණු ආර්ථික අර්බුදයක සිටින ශ‍්‍රී ලංකාවේ ජාතික ආදායම පිරිහී තිබේ. විදේශ වත්කම් හිගය ප‍්‍රශ්නයකි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ගැන තාක්ෂණික කරුණු ගණනාවක් ඉදිරිපත් කර ඇත. කොවිඞ් අර්බුදයට පසු දුප්පත්කම වැඩි වී ඇති බව කියා තිබේ. 2019 දී ඇමරිකානු ඩොලර් 3.2 කට වඩා අඩු දෛනික ආදායමක් ලබන කොටස සමස්ථ ජනගහනයෙන් සියයට 9.2 ක් වූ අතර 2020 දී එය සියයට 11.7 ක් වී ඇත. මෙම පිරිස ඉලක්ක කර සහන දිය යුතු බව මුල්‍ය අරමුදල කියා ඇත. ක්ෂුද්‍ර සහ කුඩා පරිමාන ව්‍යවසාය වල ආදායම සියයට හතලිහකින් අඩු වී ඇති අතර ඔවුන්ට ද කෙලින්ම සහන දෙන්නට අවශ්‍ය බව යෝජනා කර තිබේ. මෙම සහන අවශ්‍ය පිරිස හදුනා ගන්නේ කෙසේද? එය රපට ඇති බරපතලම ගැටළුවකි. සමෘද්ධි සහන ලබන පිරිස තුළ ඉඩම් හිමි වැවිලි කරුවෝ සිටිති. එහෙත් ඇත්තටම සහන ලැබිය යුතු පිරිසට ලැබී නැත. අද රටට අවශ්‍ය රජයෙන් දෙන සහන කෙලින්ම ලැබිය යුතු ජනතාවගේ අතට ලැබෙන වැඩ පිලිවෙලකි. අතරමැදියන් නැති පිලිවෙලකි. නිලධාරීන් හා දූෂණය මඩින සැලැස්මකි. රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්නට අවශ්‍යය. දේශපාලන බලපෑම් අනුව ආධාර බෙදන ක‍්‍රමය තව දුරටත් අවශ්‍ය නැත.

පුද්ගලිකත්වය පුරවැසියන් ගේ අයිතිවාසිකමකි. පුද්ගලික තොරතුරු කැමැත්තකින් තොරව එකතු කිරීම ගැන ප‍්‍රශ්න තිබේ. එම දත්ත භාවිතා කර ක‍්‍රමය නිවැරදි කිරීම යුක්තිය හා සාධාරණත්වය ඉටුවිය යුතු සාමාන්‍ය ජනතාවට වාසියකි. ඉන්දියාව ආධාර් ක‍්‍රමය ගැන කැමැත්තෙන් පසුවෙති. කරදර රහිතව එදිනෙදා රාජකාරි කරගැනීමට පහසුවක් බව ද දක්වති. තාක්ෂණය උපයෝගීකරගෙන ජන ජීවිතය පහසුකිරීම ගැන විද්වත්හු ප‍්‍රසාදය පළ කරන බව පෙනේ, ඉතාම අමාරු ආර්ථික කාලයක පසුවන අපට, දේශපාලන රාමුවෙන් බැහැර කළ යුතු සහනාධාර ක‍්‍රම ගැන අවධානය සුදුසුය.