» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
16/10/2022 - ඉරිදා ලංකාදීප
තුන් ඈදුතු සම්බන්ධතා සමග ගොඩනැගෙන අනාගතය

එක්සත් ජාතීන්ගේ සැසිවාරයට පසුගියදා සහභාගී වූ රාජ්‍ය නායකයෝ ජාත්‍යන්තරයේ දැනට පැන නැගී ඇති සංකීර්ණ මිශ‍්‍ර ස්වභාවය අධ්‍යයනය කළහ. ඉන්දියාව ප‍්‍රංශය සහ එක්සත් අරාබි එමිරේට්ස් යන රටවල් මෙම සැසිවාරය තුළ වෙනම ත්‍රෛපාර්ශවීය හමුවක් සංවිධානය කර තිබුණි. එම හමුවීමේ දී විදේශ ඇමැතිවරු තිදෙනා වෙනම සාකච්ඡා වටයකට සහභාගී වූ බව සදහන්ය. මෙහි දී, පළමුවතාවට ඉතාම සාර්ථක ත්‍රෛපාර්ශවීය සාකච්ඡාවක් පැවැත්වීමට හැකිවීම ගැන ඉන්දීය විදේශ ඇමැතිවරයා මාධ්‍යයට කරුණු දක්වා තිබුණි.

ලෝකයේ රටවල් දෙකක් අතර සම්බන්ධතා තිබේ. ආර්ථික, සංස්කෘතික වශයෙන් ඒවා විවිධ පැතිවලට විහිදේ. බහු පාර්ශවික සම්බන්ධතා ඇත. රටවල් ගණනාවක් එකතුවීමෙන් එක්සත් ජාතීන්, ආසියාන්, සාග්, ජී 20 වැනි මණ්ඩප සකස්වේ. ඒවායේ දී වර්තමානයට හා අනාගතයට අදාල කරුණු පිලිබදව අවධානය යොමු කෙරේ. තීරණ ගැනේ. මෙම සංවිධාන, පුලූල් අරමුණු ඇතිව ගන්නා තීරණ පැවැත්ම හමුවේ වැදගත් සන්ධිස්ථාන සනිටුහන් කරයි. ත්‍රෛයිපාර්ශවීය රාජ්‍ය තාන්ත‍්‍රික සබදතා අලූතින් භාවිතයට ගැණුන ක‍්‍රියා පටිපාටියකි. ලෝකයේ සමහර කලාප හෝ කලාපවලින් ඔබ්බට ඇති රටවල් එකට ක‍්‍රියා කරන්නට මෙමගින් ප‍්‍රයත්නයක් දරයි. සමාන අදහස් සම්බන්ධයෙන් එකට වැඩ කරන අතර සෑමවිටම එකම අදහසක සිටිය යුතු බවක් එකී ක‍්‍රියාවලියෙන් අදහස් නොවේ. වෙනම තීරණ ගැනීමට ඉඩ සහිත නමුත් රටවල් තුනක් අතර කිසියම් කාරණයක් සම්බන්ධව ප‍්‍රතිපත්ති එකගතාවයකට අවස්ථාවක් උදාකරගැනීම අපේක්ෂාවයි.

නිව්යෝක් හි මුණ ගැසුණ ඉන්දියා, ප‍්‍රංශ හා එක්සත් අරාබි එමිරේට්ස් ත්‍රෛපාර්ශවීය හමුවට පදනම පසුගිය ජුලි මාසයේ දි සැකැසුණි. ඉන්දියාවේ පැවැති විදේශ අමාත්‍යංශ ජේ්‍යශ්ඨ නිලධාරින්ගේ හමුවක දී, මුලික අදහස් හුවමාරු කරන ලද අතර විදේශ අමාත්‍යවරු සාකච්ඡා කළේ එයින් පසුවය. දශක කිහිපයකට කලින් ජාත්‍යන්තර සම්බන්ධතා ඉතාම සාම්ප‍්‍රදායික මුහුණුවරක තිබුණි. නිලධාරීන්, ලේකම්වරු, ඇමැතිවරු මුණගැසීම හා සාකච්ඡා කිරීම න්‍යාය පත‍්‍රයකට අනුව පරෙස්සමෙන් වචන භාවිතා කරමින් කරන රාජ්‍ය තාන්ත‍්‍රික පටිපාටියක් විය. කොවිඞ් කාලයේ දී මෙම මුහුණුවර වෙනස්විය. තොරතුරු සන්නිවේදනයට නැඹුරුවන ආකාරය දක්නට ලැබුණි. සන්නිවේදන තාක්ෂණයේ දියුණුව එහිලා බලපෑවේය. සම්ප‍්‍රදායික ක‍්‍රමයට ෆැක්ස් පණිවුඩ යැවීම වෙනුවට විද්‍යුත් ලිපි හුවමාරු වූ අතර විශේෂිත ඇප් මගින් කෙලින්ම සාකච්ඡා පැවැත්වීමට අවකාශයක් නිර්මාණය විය. රටවල් අතර ගමන් කර මුහුණට මුුහුණ කරන සාකච්ඡා හා සමානව කළ හැකි සජීවි අදහස් හුවමාරුව විදේශ සබදතා අංශයේ අභ්‍යන්තරික පරිවර්තනයක් කර තිබේ. එය බහු පාර්ශවීය සම්බන්ධතා වලට අමතරව ත්‍රෛපාර්ශවික සබදතාවලට ඉඩ සපයා ඇත.

මෑත භාගය තුළ රටවල් සෑහෙන ප‍්‍රමාණයක් ත්‍රෛපාර්ශවීය සබදතාවලට නැඹුරුවී ඇති බව පෙනේ. ඉන්දියාව, ජපානය හා රැසියාව සමග තවත් තුන් ඈදුතු රාජ්‍ය තාන්ත‍්‍රික භාවයක් නිර්මාණය වෙමින් පවතී. ඇමරිකාව, දකුණු කොරියාව හා ජපානය අතර ද ත්‍රෛපාර්ශවික සබදතාවයක් ඇත. ලෝකයේ බලවත් රටවල්, අප‍්‍රිකානු, මැද පෙරදිග හා යුරෝපා රටවල් සමග සාකච්ඡා කෙරෙමින් පවතින බව පෙනේ. කොවිඞ් ලොක්ඩවුන් සහ එයින් මතු වූ ආර්ථික ප‍්‍රශ්න මෙම සබදතාවලට අවස්ථාවක් සකස් කර ඇත. කොවිඞ් කාලයේ දී හුදෙකලා වු රටවල් තනි තීරණ ගත් අතර එය එතෙක් ගමන්කරමින් තිබුණ ගෝලීයකරණ ක‍්‍රියාවලියේ කිසියම් පරිවර්තනයක් බවට සැක පහල වී තිබුණි. එම අවසානය වෙනුවට අලූත් ආරම්භයක් සදහා අවකාශයක් නිර්මාණය කරගෙන ඇත. රටවල් නැවතත් අලූත් මුහුණුවරකින් එකතුවෙමින් සිටී. ආර්ථික අභියෝග පාලනය කරගන්නා අතර තාක්ෂණය, දැනුම, ව්‍යාපාරික අවස්ථා සහ සංස්කෘතික හැකියාවන් බෙදාගැනීමට මුල පුරා ඇත.

ආර්ථික අර්බුදයක සිටින ශ‍්‍රී ලංකාව සිය විදේශ සම්බන්ධතා හමුවේ අලූත් අදහස්වලට ඇතුළුවිය යුතුය. ගැටළු සහගත සංකීර්ණ පසුබිමක සිටින ශ‍්‍රී ලංකාවට හදිසියේ අවස්ථා සපයන්නට අතරමැදින් සිටින රටවල් සූදානමක නැත. ශ‍්‍රී ලංකාව සමග ගනුදෙනු කිරීමේ දී අවදානමක් සහිත බව ඇතැම් පාර්ශව කල්පනා කරමින් සිටී. හදිසි මානුෂිය ආධාරයකට එපිට සබදතා වලට ඉක්මන් වැඩි බව ඇතැම් රටවල් කල්පනා කරන බව පෙනේ. ශ‍්‍රී ලංකාව මානුෂිය ආධාරවලින් ඔබ්බට ගිය සැලැස්මකට යා යුතුය. කර්මාන්ත, ව්‍යාපාර සම්බන්ධ ආයෝජන අවශ්‍ය කෙරේ. රටවල් අතර ගනුදෙනු සුහද වූ පසු ආයෝජකයන්ට උනන්දුවක් ඇතිවේ. රටට විදේශ ආයෝජන අවශ්‍යය. එම ආයෝජන විනිමය අවශ්‍යතා සම්පූර්ණ කරන අතර අලූත් කර්මාන්ත ව්‍යාපාර ආරම්භ කරන්නට හේතුවේ. තාක්ෂණය, රැකී රක්ෂා අවස්ථා, බදු ආදායම එමගින් ලැබේ. ආයෝජන දිරිගන්වන අතර නිෂ්පාදන අපනයනය සදහා කි‍්‍රයාමාර්ග අවශ්‍යය. මෑත කාලය තුළ මතු වූ ගැටළු හමුවේ ඉන්දියාව විශාල සහයෝගයක් දක්වා ඇත. කුළුණු හතරකින් යුතු වැඩ පිලිවෙලක් අනුව ආහාර හා ඖෂධ, විනිමය සංචිත, ඉන්ධන, සංචාරක හා ආයෝජන යන අංශ එයට ඇතුලත්ය. ඉන්දියාව හා සමානව අනෙක් රටවල් ද ශ‍්‍රී ලංකාවට සම්බන්ධ කරගත යුතුව ඇත. මෙහි දී ත්‍රෛපාර්ශවික සම්බන්ධතා වැදගත් අංශයකි. ඉන්දියාවට මිතුරු එහෙත් ශ‍්‍රී ලංකාව දෙස දුරස්ථව බලා සිටින රටවල් සමග ත්‍රෛපාර්ශවික සම්බන්ධතා ජාලයක් නිර්මාණය කරගත හැකිය.

ජපානය, සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර්, ඊශ‍්‍රායලය වැනි රටවල් ඉන්දියාව සමග එකතු වී ශ‍්‍රී ලංකාවේ තුන් ඈදුතු රාජ්‍යතාන්ත‍්‍රික සම්බන්ධතාවලට සූදානම්ය. මෙම රටවල් ඉන්දියාවේ සහාය, ඔවුන්ගේ රටවල දක්ෂතා සහ ශ‍්‍රී ලංකාවේ පසුබිම අනුව ක‍්‍රියාකරන්නට මුලික සූදානමක් පවතී. එම අවස්ථාව ප‍්‍රයෝජනයට ගැනීම අවශ්‍යය. අලූත් තාක්ෂණය, නවතම නිෂ්පාදන, ලෝක වෙළදාමේ අවශ්‍යතා ඉදිරියේ රටවල් එකතු වී ගන්නා තීරණ වෙනම අවකාශයක් නිර්මාණය කරනු ඇත.

ශ‍්‍රී ලංකාව මුහුණ පා සිටින ආර්ථික අර්බුදය ජයගැනිම සදහා විදේශ සහාය අවශ්‍ය අතර කර්මාන්ත හා ව්‍යාපාර සදහා ආයෝජන ලබා ගැනීම උවමනා කෙරේ. කුඩා රටකට අවධානය අඩුය. වෙළද පොල ප‍්‍රමාණය ගැන ප‍්‍රශ්න තිබේ. රටවල් තුනක් එකතු වූ පසු ආයෝජනවලට අලූත් ව්‍යුහයක් සකස්වේ. කලාපීය වශයෙන් පමණක් නොව එයින් ඔබ්බට ද විහිදෙන විශේෂිත සම්බන්ධතා ජාලයක් ඇති කරගැනීම සදහා ශ‍්‍රී ලංකාවට හැකියාවක් තිබේ. අලූතින් ආරම්භ කරන්නට අවස්ථාවක් ඇත. ඉන්දියාව හා සමීප රටවල් සමග ත්‍රෛපාර්ශවික ජාත්‍යන්තර සම්බන්ධතා ඇති කරගැනීමේ උත්සාහය ඉදිරි ක‍්‍රියාමාර්ග සදහා ප‍්‍රයෝජනවත් වනු ඇත. රටට අවශ්‍ය කරන ව්‍යුහය සම්බන්ධ ප‍්‍රතිපත්ති තීරණ වලින් පසු ගැලපෙන තීරණ ගැනීම අවශ්‍යම කරුණකි.