» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
16/07/2023 - ඉරිදා ලංකාදීප
වැඩි වටිනාකමක් සහිත නෝට්ටුවල අගය අවසන්වන දිනය

ඉන්දිය මහ බැංකුව වරින්වර මුදල් නෝට්ටු අවලංගු කරන්නේ ඇයි? වසර හයකට කලින් රු. දහස හා පන්සියයයේ නෝට්ටු අවලංගු කර අලූත් නෝට්ටු නිකුත් කළ අතර දැන් රුපියල් දෙහසක වටිනාකමක් ඇති මුදල් නෝට්ටු භාවිතයෙන් ඉවත් කරන්නට තීරණය කර තිබේ. පිරිසිදු මුදල් භාවිතය දිරිමත් කිරීමක් වශයෙන් ඉන්දීය මහ බැංකුව හදුන්වා දී ඇත.

2016 වසරේ දී භාවිත මුදල් නෝට්ටු අවලංගු කිරීමේ තීරණය සමාජයේ කැළඹීමක් ඇති කළේය. මුදල් මාරු කරගැනීම සදහා, ජනතාව දිග පෝලිම්වල සිටින දර්ශන ජාත්‍යන්තර මාධ්‍යයේ උණුසුම් ප‍්‍රවෘත්ති බවට පත්ව තිබුණි. රු. දෙදහසක වටිනාකමකින් යුතු ඉන්දීය නෝට්ටුව ලබන 2023 සැප්තැම්බර් අවසානයේ දී අවලංගු කරන අතර, දැනට එම මුදල් නෝට්ටු ඕනෑම බැංකුවකින් මාරු කරගත හැකි බව ප‍්‍රකාශ වී තිබේ.

ඉන්දීය මහ බැංකුවට දක්වන පරිදි වැඩි වටිනාකම් සහිත මුදල් නෝට්ටු සංසරණයට පහසුව වන නමුත් භාවිතය සීමා සහිතය. 2017 වසරේ දී මුද්‍රණය කළ නෝට්ටුවලින් සියයට අසූහතක් වෙළද පොලට නිකුත් කළ නමුත් වසර හතරකට පහකට පමණ පසු සංසරණය වන ප‍්‍රමාණය සියයට තිස්හත දක්වා පහත වැටී තිබුණි. භාවිතාවට නොගැනෙන මුදල් නිකුත් කිරීම ඉන්දීය මහ බැංකුවේ අදහස නොවන බව ප‍්‍රකාශ වී ඇත. මුල්‍ය විශ්ලේශකයන්ට අනුව ධනවත් පිරිස් නෝට්ටු ආරක්ෂිතව තබාගෙන සිටින අතර එය ඉන්දීය ආර්ථික වර්ධනයට බාධාවක් වී තිබේ. ඉන්දිය ආර්ථිකය ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියන 3.7 කි. 2029 වන විට ඩොලර් ටි‍්‍රලියන පහක ඉලක්කයක පසුවේ. සැගවුණු ධනය හෙළිකරගෙන ඒවා ආර්ථිකට සක‍්‍රීයව දායක කරගැනීම මහ බැංකුවේ ප‍්‍රතිපත්තිය විය හැකිය. තොරතුරුවලට අනුව ඉන්දියාවේ කලූ සල්ලි බහුලව ඇත. මෙම මුදල් නිත්‍යානුකූල පද්ධතියට ඇතුළු කිරීම ඉන්දීය රජයේ ආදායම නංවන හේතුවකි. ඉන්දියාවේ බැංකු පද්ධතිය තද නීතිවලින් ආවරණය වී ඇති අතර උපයා ගැනීම තහවුරු කළ නොහැකි ධනය තැන්පත් කළ නොහැක. දිනකට තැන්පත් කළ හැකි මුදල් සම්බන්ධ සීමාවක් තිබේ. විදේශ මුදල් තැන්පත් කිරීමේ දී විශේෂ ප‍්‍රශ්න කිරීම්වලට ලක්වේ. නීති විරෝධීව උපයන ධනය පද්ධතියට එකතුවීම වලක්වන උපායක් බව හදුනාගත හැකිය.

ඉන්දියාවේ ව්‍යවසාය විශාල ප‍්‍රමාණයක් අසංවිධානාත්මකව පවත්වාගෙන යයි. සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්තවලින් තුනෙන් දෙකක් පමණ කිසිම ලියාපදිංචියක් රහිත ඒවා බව දැක්වේ. මෙම ව්‍යවසාය ක‍්‍රමානුකූල කිරීම ඔස්සේ ජාතික ආර්ථිකයට ශක්තියක් ලබාගත හැකි වන බව විශ්වාස කෙරේ. සෑම පුද්ගලයෙකුටම ගිණුමක් අරඹන්නට පහසුකම දෙන ඉන්දියානු බැංකු, කාඞ්පත් මගින් ගනුදෙනු පියැවීමට අවසර දී ඇත. එලවලූ කරත්තයක් තල්ලූකරගෙන යන සාමාන්‍ය වෙළෙන්දෙකු පවා ඉලෙක්ට්‍රොනික් ගෙවීමකට කැමැතිය. ඔහුගේ ගිණුම හදුනාගත හැකි සලකුණ ස්කෑන් කිරීමන් පසු මුදල් ගෙවා ගනුදෙනුව සම්පූර්ණ කරගනී. බැංකු ගිණුම් ඔස්සේ කරන මුදල් හුවමාරුව ජනපි‍්‍රය වෙමින් පවතින අතර එය පිරිසිදු ගනුදෙනු ගණයට ද අයත්වේ. බැංකු සමග සම්බන්ධවන ව්‍යවසාය මගින් පුද්ගල හා ආයතනික පිරිවැටුම ගණන් බලන ඉන්දීය නිලධාරීහු නියමිත පරිදි බදු අය කරගැනීමට විධිවිධාන සම්පාදනය කර ඇත.

සම්මත නීති අනුව කරන ගනුදෙනුවල දී ඉන්දීය ආණ්ඩුවට ලැබෙන ආදායම අනුව සංවර්ධන කටයුතු සහ සහන සේවා පවත්වාගෙනයෑම පහසු වී තිබේ. ආධාර් කාඞ් පත දක්වා කරන ගනුදෙනු අවසානයේ දුප්පත් ජනතාවට ආණ්ඩුවෙන් ලැබෙන සහන කෙලින්ම බැංකු ගිණුමකට බැර කෙරේ. බදු ක‍්‍රමය සරල හා විනිවිද පෙනෙන සැලැස්මකට අනුවක ක‍්‍රියාවට නංවන පසු, රජයේ ආදායම වැඩි කරගැනීම සදහා වරින් වර අධික බදු පැනවීමට අවශ්‍ය නැත. මුදල් නෝට්ටු අවලංගු කිරීම පදනම් කරගෙන ඒවා හෙළිදරව් නොකරන වත්කමක් ලෙස රැස්කර තබාගෙන සිටින ධනවතුන්ට ප‍්‍රශ්න මතුවේ. මුදල් නෝට්ටු නිකුත් කරන නමුත් ඒවා සංසරණයට නොලැබීමේ හේතුව ධනය රහසිගතව ආරක්ෂා කරන කණ්ඩායම්වල බලපෑම බව ඉන්දීය මුල්‍ය විශේෂඥයෝ විශ්වාස කරති.

සංවර්ධන කටයුතු සදහා මුදල් අවශ්‍යය. සහනාධාර ඉල්ලන, ඒවා ලැබිය යුතු ජන කොටස්වලට සහන සැපැයිය යුතුවේ. සංවර්ධනයටත්, සහනවලටත් පමණක් නොව රජයේ එදිනෙදා වියදම්වලටත් බදු ආදායම උපයෝගී කරගැනේ. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රශ්නය වෙනස්ය. අධික පිරිසක් රාජ්‍ය සේවයෙහි නිරත අතර රජයේ ආදායමෙන් සියයට හැත්තෑවකට වඩා වැටුප් හා විශ‍්‍රාම වැටුප් සදහා වැය කරන්නට සිදුවී ඇත. අය වැය පියැවිය නොහැකි වන පසුබිම මත තව තවත් බදු වැඩි කෙරේ. මෑතක දී කරන ලද බදු සංශෝධන එයට හොද උදාහරණයකි. පුද්ගලික අංශයේ විධායක නිලධාරීන්ට අධික බදු ගෙවන්නට සිදුවී ඇත. සෑම තරාතිරමක කොටසක්ම සාධාරණ බද්දක් ගෙවීමට නැඹුරු කළහොත් තෝරාගත් අංශවලට පමණක් වැඩිපුර ගෙවන්නට බලකිරීමට සිදුවෙන්නේ නැත.

බැංකු කාඞ්පත් භාවිතා කිරීම අන්තර් ජාල ගනුදෙනු යනාදිය මගින් ඉපැයීම හා වියදම නිසි පරිදි දැකගත හැකිවේ. ජිඩිටල් ක‍්‍රමයට ගනුදෙනු ප‍්‍රතිශතය ඇමරිකාවේ සියයට 82 ක් බව වාර්තාවන අතර බි‍්‍රතානයේ එම ප‍්‍රතිශතය සියයට 35 කි. ජපානයේ සියයට 36 කි. ඉන්දියාව ද වේගයෙන් මුල්‍ය හුවමාරු කටයුතු තාක්ෂණයට පවරන්නට වෑයම් කරන අතර මුදල් හුවමාරුව වෙනුවට ඩිජිටල් ගෙවීමට පොළඹවමින් සිටී. ශ‍්‍රී ලංකාව ද මෙවැනි ක‍්‍රම ගැන අවධානය යොමු කළ යුතුවේ. වැඩකරන ජනතාවගේ වැටුප් බැංකුවට යොමු කරන අතර කාඞ්පත්වලින් ආපසු ගැනීම වෙනුවට මිල දී ගැනීමේ දී හා සේවාවලට ඩිජිටල් ගෙවීමට හුරුකළ යුතුය. ව්‍යාපාර හා සේවා ස්ථානවල නොපෙන්වන ධනය හෙළිකරගැනීමට එයින් පිටිවහලක් ලැබේ. මුදල් නෝට්ටුවල වටිනාකම අවලංගුවනු ඇති අතර කාඞ්පත් හෝ ඩිජිටල් ගනුදෙනු පිරිසිදු මුදල් හුවමාරුවකට හා මුල්‍ය විනයකට මගපාදනු ඇත.