» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
16/05/2021 - ඉරිදා ලංකාදීප
ඉන්දියාවේ සමාජ සංස්කෘතික ස්වභාවය සහ කොවිඞ් ව්‍යාප්තිය

කොවිඞ් -19 වෛරසය ඉතා භයානක අන්දමට ඉන්දියාව තුළ පැතිරෙමින් තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය පවතින දැවැන්ත රටක්, ලෝකයේ විශාලතම ආර්ථිකයක් සහ දැවැන්ත ජනගහනයක් අකර්මන්‍ය වී සිටී. වෛරසයේ බිහිසුණු බව සහ ව්‍යාප්තිය ගැන වෛද්‍ය විශේෂඥයෝ අනේක වාරයක් කරුණු දක්වා තිබේ. පළමුවරට රෝගය හදුනාගත් අවස්ථාවේ සිට අද දක්වා පර්යේෂණ අංශ සෑහෙන වෑයමක් දරා තිිබේ. එන්නතක් සොයා ගැනීමම එහි බරපතලම කාර්යය විය. එනමුත් විවිධ හේතුමත වෛරසය ද ප‍්‍රබේධ වලට බෙදී පැතිරීමක් පෙන්නුම් කරයි.

ඉන්දියාව මුහුණ පා ඇති තත්ත්වය ගැඹුරින් සලකා බැලිය යුතුය. පසුුගිය සතියේ මැද වන විට දිනකට ආසාදිතයන් තුන් ලක්ෂ හැට හය දහසකි. කලින් සතියේ සාමාන්‍ය දිනකට ලක්ෂ හතරකට ආසන්නය. දැනට මිලියන 22.7ක් ආසාදිත වී ඇති අතර මිලියන 18.7 ක් සුවපත්වී ඇත. දෙලක්ෂ හතලිස් හය දහසක් පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ. සුළු කොටසක් හැරෙන්නට සමස්ථ ඉන්දියාවම තාවකාලිකව වසා දමන ලද අතර භයානක ආපදා තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ජන ජීවිතය දුෂ්කර තැනකය. රෝහල් පහසුකම් සීමාසහිත බව වාර්තා වෙයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ පාලනය බලවත් විවේචනයකට ලක්ව ඇත. සමාජ ක‍්‍රියාධරයන් සෘජුව ඔහුගේ තීරණ විවේචනයට ලක් කරයි. ප‍්‍රකට කි‍්‍රයාකාරිණියක වන අරුන්දතී රෝයි ලිපියක් ලියමින් අසාර්ථක බව හුවා දක්වා ඇත. අධිකරණ තීරණ පවා පවතින තත්ත්වය සම්බන්ධ නිකුත් කර ඇති තීන්දු ඉතාම අභියෝගාත්මකය. එහෙත් ජගත් ප‍්‍රජාව ඉන්දියාව හුදෙකලා කරන්නට සූදානම් නැත. නොයෙක් රටවල් සහයෝගය පළ කර ඇත. එයට හේතුවක් තිබේ. විශාල නිෂ්පාදනයක්, විශාල වෙළ`ද පොලක් සහිත රටකි. අනෙක දක්ෂතම මානව සම්පත ලොව පුරා විහිදී සිටී. තොරතුරු තාක්ෂණය සම්බන්ධව ඉහළම පිරිස් ඉන්දියානුවෝය. ලෝකයේ බලවත්ම රටවල ආර්ථිකය පණ ගැහෙන්නේ ඉන්දියාවේ ද සහාය ඇතිවය. එබදු පසුබිමක වසංගතයේ බලපෑම හුදෙක් ඉන්දියාවට පමණක් නොව සමස්ථ ලෝක ප‍්‍රජාවටම ප‍්‍රශ්නයකි.

ලෝකයේ සෑම රටකටම කොවිඞ් වෛරසය එක හා සමාන බලපෑමක් එල්ල කරන ලද බව පිලිගත හැකිය. ව්‍යාප්තිය පාලනය කිරීම සදහා ඉතාම දක්ෂ ලෙස ක‍්‍රියා කරන ලද රටවල් ආරක්ෂා වී සිටී. සමාජ දුරස්ථභාවය ඉතාම වැදගත්ය. මීටරයක පරතරය පරතරය පවත්වා ගැනීමේ අවශ්‍යතාව විද්‍යාත්මකව පැහැදිලි කරන නමුත් සමහර සමාජ එයට සූදානම් නැත. මුව ආවරණ පැළ`දීම අනිවාර්ය කෙරේ. නිතර අත සෝදන අතර පොදු ස්ථානවල ගැවසීමෙන් පසු සෞඛ්‍ය ආරක්ෂාවට අනුගමනය කළ යුතු පිලිවෙත් ප‍්‍රකාශයට පත් කර තිබේ. එම කරුණු පිලිගෙන හැසිරෙන සමාජ පමණක් නොව තද පාලනයක් සහිතව කරගෙන යන වැඩ පිලිවෙල වලින් සාර්ථක ප‍්‍රතිඵල ලැබී තිබේ. ඉන්දියාවේ බරපතල ස්වභාවය, චීනය අනුගමනය කළ ක‍්‍රියා පටිපාටිය සහ ඇමරිකාව හා බි‍්‍රතාන්‍ය වැනි රටවල් අනුගමනය කරන ලද ක‍්‍රමවේද මෙහි දී සැලකිල්ලට ගත හැකිය. ඉන්දියාව ද ඇතුළුව සලකා බලන මෙම රටවල් කොවිඞ් එන්නත නිෂ්පාදනය කරයි. ඉන්දියාව පවා එන්නතක් සොයා ගත් අතර ඔක්ස්ෆඞ් විශ්ව විද්‍යාලය සොයා ගත් එන්නත මහා පරිමානයෙන් නිපදවන්නේ ඉන්දියාවේ ය. ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙන පරිදි සෞඛ්‍ය අංශයට ඉතාම වැදගත්වන ලෝකයේ භාවිතා වන ඕනෑම එන්නතක් වානිජ වශයෙන් නිෂ්පාදනය කිරීමේ දී ඉහලින්ම සිටින්නේ ඉන්දියාවය.

ඇමරිකාව හා බි‍්‍රතාන්‍ය කොවිඞ් පැතිරෙන පළමු වටයේ දී සෑහෙන දුෂ්කරතාවයකට පත් වූ බව මතක් කළ යුතුය. රටවල් ලොක්ඩවුන් අතර එහි දී එම රටවල තිබුණ සංස්කෘතික රාමුව අනුව ජනකොටස් සමාජශීලී ව්‍යුහයෙන් ඈත්කර තැබීම පහසු වූයේ නැත. සමහර පිරිස් පාරට බැස විරෝධය පළ කරන ලද අවස්ථා තිබුණි. සහන ලැබිය යුතු පිරිසට වහාම ආධාර දෙන අතර කර්මාන්ත හා ව්‍යාපාර අඩපණ නොකර තබාගැනීම සදහා එම රටවල බලධාරීහු විශේෂ සැලසුම් සකස් කරන ලද බව ද මතක් කළ යුතුය. එවැනි පියවර වෙනුවෙන් අවශ්‍ය ආර්ථික ශක්තිය ඇමරිකාව හා බි‍්‍රතාන්‍යය සතු විය. එම ක‍්‍රියාමාර්ග අතරවාරයේ රජය, පුද්ගලික ව්‍යවසාය හා සමාජ සුබසාධනය වෙනුවෙන් ධනය වැය කරන පුද්ගලයෝ එකතු වී කොවිඞ් ප‍්‍රතිකාර ක‍්‍රමයකට පර්යේෂණ ඇරඹූහ. ලෝකයේ කොතැනක හෝ සිදුවන සොයා ගැනීම් වල දී අනුග‍්‍රහය දක්වන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළහ. මහජන චීන සමුහාණ්ඩුව කටයුතු කළේ වෙනස් ආකාරයකින්ය. ඔවුන්ගේ පාලන ක‍්‍රමය හා දේශපාලන තීන්දු ගැනීම එහි තිබුණ ශක්තියයි. චීනයේ ව්‍යාප්ත වන ප‍්‍රදේශ වහාම ලොක්ඩවුන් කරන ලද අතර ඒවා ඉතා තද පියවර බව මාධ්‍ය වාර්තා කළේය. සමහර අවස්ථාවල පවුලේ සාමාජිකයන්ට පවා වෙන්වී සිටින්නට සිදුවිය. ව්‍යාප්තිය සිදුවන ආකාරය නිරීක්ෂණය සදහා විශාල වශයෙන් පී.සී.ආර්. පරීක්ෂණ කරගෙන ගියේය. රෝහල් සහ ඒවායේ දැඩි සත්කාර ඒකක වහාම ස්ථාපිත කළේය. එන්නත් ගැන පරීක්ෂණ කරන ලද අතර ඒවා සොයා ගැනීමත් සමග එරට පුරවැසියන් සියළුම දෙනා පාහේ විධිමත් ක‍්‍රමවේදයකට අනුව සම්පූර්ණයෙන් එන්නත්කරණය ආරම්භ කරන ලද බව සදහන් කළ යුතුය. ඇමරිකාව, බි‍්‍රතාන්‍ය හා චීනය එකිනෙකට වෙනස් පාලන ක‍්‍රම සහිත එහෙත් පරිපාලනයේ සංවිධානාත්මක බව හා ආර්ථික ශක්තිය සමග භයානක අවස්ථාවට මුහුණ දෙන්නට සමත් වී ඇති බව පෙනේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය ඉහළින් ඇති ඉන්දියාව තුළ පවතින සංස්කෘතික වටපිටාව හා ආවේනික පැවැතුම් කොවිඞ් ව්‍යාප්තියට සෑහෙන තල්ලූවක් දී තිබේ. දැනටත් උතුරු ඉන්දියාවේ ගංගා නදිය දෙපස කොවිඞ් වලින් ජීවිතක්ෂයට පත් වූ සිරුරු දෝවනය කරමින් වතාවත් කරන බව දැක්වෙයි. දිනපතා අවම වශයෙන් හතලිහත් සියයත් අතර ප‍්‍රමාණයක් පමණ බව සදහන්ය. කුම්භමේලා ආගමික උත්සවය දරුණු ප‍්‍රතිඵල අත්කර දී තිබේ. ගංගා නදිය අසබඩ ස්ථාන හතරක දැවැන්ත පුද පූජා පසුගිය මාසයේ පවත්වන ලදී. ඒවාට සහභාගී වූ දස ලක්ෂ සංඛ්‍යාත ජනකායක් සෞඛ්‍ය නීති රීති කිසිම ආකාරයකින් අනුගමනය කළේ නැත. දෙවියන් අභිබවා යන්නට කොවිඞ් වෛරසයට නොහැකි බව දක්වමින් ඇතැම් ආගමික නායකයන් පවා හා සමහර දේශපාලනඥයන් බැතිමතුන්ට විවෘතව ආරාධනා කරනු දක්නට ලැබිණ. අනෙක් අතට තමිල්නාඩු මහ මැතිවරණය පැවැත්විණි. එහි ප‍්‍රචාරක කටයුතු වල දී සහ ප‍්‍රතිඵල නිකුත්වීමෙන් පසු අනුගාමිකයන් වීදි බැස සටන්පාඨ කියමින් හැසිරුණ ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය මහ ඉහලින් වාර්තා කළේය. එම හැසිරීම තුළ කිසිම ආකාරයක ආරක්ෂාවක් නොතිබුණ බව සදහන් කළ යුතුය. මෙවැනි ආසන්න අවස්ථාවල අවසාන තීන්දුව අද වනවිට ප‍්‍රකාශයට පත්වෙමින් තිබේ. එහි ඇ`ගිලි එසවෙන්නේ නරේන්ද්‍ර මෝදි පාලනයට එරෙහිවය. එය ඉතා අසමාන අවස්ථාවකි.

ඉන්දියාවේ පවතින තත්ත්වය පාලනය කිරීමට එන්නත පිටිවහලකි. එන්නත නිපදවිය හැකි තාක්ෂණය සහිත ඉන්දියාව එය සිය ප‍්‍රජාව වෙත ලබා දෙන පියවරකය. වසංගත තත්ත්වය පාලනය කරනු ස`දහා සෑහෙන වෙහෙසකින් ක‍්‍රියා කරමින් සිටී. ලෝකයේ දියුණු රටවල සිදුවන මෙවැනි සිද්ධි විමර්ශණය කරන විට ශ‍්‍රී ලංකාව අනුගමනය කළ යුතු පිලිවෙල ගැන ඉතාම පරීක්ෂාකාරී එකක් විය යුතුය. පැතිරීම වලක්වා ගැනීම වැදගත්ය. සෞඛ්‍ය පද්ධතියට දරාගත හැකි සීමාව තුළ රෝගීන් පවත්වා ගැනීමට උපරිම වෙහෙස දැරිය යුතුව තිබේ. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විශාල කැපවීමකින් කටයුතු කරමින් සිටී. ඔවුන් ඉතා වෙහෙසකර රාජකාරි ස්වභාවයක බව නිසැකය. දිනපතා සාම්පල් පරීක්ෂා කිරීම, රෝගීන් ඇතුලත් කරගැනීම, අවශ්‍ය පරිදි ප‍්‍රතිකාර සේවා කරගෙනයෑම සම්පූර්ණ අවධානයෙන් විසි හතර පැය තුළ අඛණ්ඩව වසර දෙකක් කරගෙන යෑම පහසු නැත. රෝගීන් ඇසුරෙහි සිටින අතර පුද්ගල ආරක්ෂාව සහ පවුලේ සාමාජිකයන් ආරක්ෂා කරගැනීම වගකීමකි. සියළු දෙනාටම වගකීමක් තිබේ. තත්ත්වය පාලනයට ගන්නා පියවර, සහ වාර්තාවන අලූත් ලක්ෂණ අනුව වෛරසයට මුහුණ දෙන ස්වභාවය තේරුම්ගැනීම වැදගත්ය.