» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
16/01/2022 - ඉරිදා ලංකාදීප
ස්වාමි විවේකානන්ද ලංකාව ඔස්සේ ඉන්දියාවට ගිය ගමන

ස්වාමි විවේකානන්ද දහ නමවැනි සියවසේ විසූ ඉන්දීය දාර්ශනිකයෙකි. හින්දු පූජකවරයෙකු වූ හෙතෙම ඉන්දියාවේ වේදන්ත සහ යෝග පිළිබද දැක්ම ජාත්‍යන්තරයට ගෙන ගිය විද්වතෙකි. හින්දු ආගම ලෝකයේ ප‍්‍රධාන ආගම් අතරට ගෙන එන කාර්ය භාරය වෙනුවෙන් අප‍්‍රමාණ මෙහෙවරක නිරත වූ ආගමික නායකයෙකු සේ ඉතිහාසයට එකතු වී සිටී.

එතුමා අවස්ථා තුනක දී ලංකාවට ද පැමිණ තිබේ. 1883 දී ලෝක ආගමික නායකයන් ගේ සැසිවාරය චිකාගෝ නගරයේ දී පැවැති අතර එය අවසන් කර ඉන්දියාව බලා පෙරළා පිටත්ව යන ගමනේ දී එතුමා බි‍්‍රතාන්‍ය හා ලංකාවට පැමිණ ඇති අතර දේශන කිහිපයක් පවත්වා ඇත. ඔහු ගේ අදහස් විද්වත් අවධානයට යොමු වී තිබේ. ස්වාමි විවේකානන්ද ලංකාවට පැමිණ වසර එකසිය විසි පහක් සම්පූර්ණ වී ඇත. පළමු වතාවට ලංකාවට පැමිණි හෙතෙම 1897 ජනවාරි 15 සිට 25 දක්වා දින දහයක් ලංකාවේ ගත කරන ලද බව පැරණි වාර්තා සනාථ කරයි. ඉන්දු ශ‍්‍රී ලංකා සබදතාවල ඉතිහාසයට අනුව විවේකානන්ද ස්වාමිවරයා ගේ පැමිණීම වැදගත් තැනක සනිටුහන් වී තිබේ.

බි‍්‍රතාන්‍යයේ සිට කොළඹට නැව් මාර්ගයෙන් පැමිණි ස්වාමිවරයා කොළඹ දී මෙරට සමාජ නායකයන් හා විද්වතුන් හමුවේ කෙටි දේශනයක් කර ඇත. අනතුරුව මුහුදු මාර්ගයෙන් ඉන්දියාව බලා ගමන් කිරීමට යාපනය තෙක් පිටත්ව තිබේ. එකල දුම්රිය මාර්ග නොතිබුණි. අශ්ව රථයකින් ගමන් කරන ලද බව පැරණි වාර්තා දක්වයි. සැතපුම් දෙසියක් පමණ ගමන් කළ යුතු අශ්ව රථය දඹුල්ලේ දී කැඞී ඇති අතර පසුව එතැන් සිට අනුරාධපුරය දක්වාත් අනතුරුව වව්නියාවටත් වෙනත් රථයකින් ගමන් කර ඇත. යාපනයට ළගා වූ විවේකානන්ද ස්වාමිවරයාට එතැන් සිට එලිෆන්ට්පාස් දක්වා ගමනේ දී, ලාංකේය හින්දු ආගමික බැතිමත්හු ඔහු වෙත මහත් හරසර පුද කර තිබේ. එතුමා යාපනයේ හින්දු දේවස්ථාන ද වන්දනා කරගෙන ඇත. හින්දු විද්‍යාලයේ දී ඔහු මුණ ගැසුනු ජනී ජනා අමතා දර්ශනය හා ආත්මය සම්බන්ධ ප‍්‍රධාන දේශනය පවත්වන ලද බව ද සදහන්ය.

විවේකානන්ද ස්වාමිවරයා සහ අනගාරික ධර්මපාල තුමන් අතර සමීප මිත‍්‍රත්වයක් තිබුණි. මෙම දෙදෙනා එකම අරමුණක් සහිතව ලෝක ආගමික නායක සම්මන්ත‍්‍රණයට සහභාගීවී ඇත. හින්දුත්වය ගැන විවේකානන්ද තුමන් අදහස් දක්වන අතර අනගාරික ධර්මපාල තුමා බෞද්ධ දර්ශනය ගැන කරුණු දක්වා ඇත. ආගම් අතර සම්බන්ධය, ලෝක සාමය හා සහජීවනය වෙනුවෙන් අවශ්‍ය බව මෙම දෙපොල එක මතයක පිහිටා ක‍්‍රියා කරන ලද බව සම්බන්ධිත වාර්තා අනාවරණය කරයි. මෙම සබදතාවය මත ලංකාව හා ඉන්දියාව අතර අන්තර් ආගමික බැදීමක්, අධ්‍යාත්මික එකමුතුවක් ගොඩනැගී ඇති අතර බටහිර අදහස් ප‍්‍රතික්ෂේප කර අලූත් යුගයක් සදහා ඇතුළුවන ධෛර්යය ඇති කර තිබේ. නිදහස් සටනට පණ පොවන්නේ මෙම එකමුතුවයි. අධිරාජ්‍යවාදයට එරෙහිව නැගෙන ජන මතය දෙරට එකට එක හා සමගාමීව වැඩෙන්නට මෙම දාර්ශනික සම්බන්ධතා වලින් ලැබුණ බලපෑම මහත් ශක්තියක් වී තිබේ.

පැරණි වාර්තා තවදුරටත් සදහන් කරන පරිදි විවේකානන්ද ස්වාමිවරයා වරින්වර පැමිණි අවස්ථා තුනක දී සාකච්ඡා සහ දේශන පවත්වා තිබේ. කැලණිය රජමහා විහාරය එතුමා ඇසුරු කළ ස්ථානයකි. කොළඹ දී හින්දු නායකයෝ මුණ ගැසී ඇත. නතරවී සිටි ස්ථාන අදටත් සංරක්ෂණය කෙරේ. කොළඹ බාන්ස් පෙදෙසේ නතරවී සිටි හෙතෙම එහි දී ජාතික හා ආගමික නායකයන් සමග නිරතුරුව සාකච්ඡා පවත්වන ලද බව දැක්වෙයි. ආගමික සහජීවනය එතුමාගේ උතුම් ක‍්‍රියාවකි. එකල අධ්‍යාපන ප‍්‍රබෝධයක් උදෙසා කටයුතු පෙල ගැසෙමින් තිබුණි. ඕල්කොට් තුමන් සහ මාරි මියුසියස් හිගින්ස් මැතිනිය ස්වදේශීය අධ්‍යාපනය නංවනු සදහා පාසල් පද්ධති අරඹන ලද කාලයයි. බාන්ස් පෙදෙසේ ආරම්භ කර තිබුණ මියුසියස් විදුහලට ගමන් කරන ලද විවේකානන්ද ස්වාමීවරයා හිගින්ස් මැතිනිය ද මුණ ගැසී ඇත. අධ්‍යාපනය නංවන ක‍්‍රියාමාර්ගවලට අනුබලය දී තිබේ. මෙම සංචාර හා මුණ ගැසීම් සම්බන්ධ ලේඛන වල දැක්වෙන පරිදි ප‍්‍රබෝධයක් උදෙසා ලංකා ඉන්දියා නායකයෝ පෙළගැසෙන්නට මෙතුමා ගේ අදහස් මහත් ප‍්‍රයෝජනයක් වී ඇත. නිදහස ලබාගත් ශ‍්‍රී ලංකාව විවේකානන්ද ස්වාමීවරයාගේ දර්ශනය අමතක කර නැත. ජාතීන් අතර ආගම් අතර සහයෝගීතාවය වෙනුවෙන් දක්වන ලද ආදර්ශය කෙරෙහි කෘතවේදී වී තිබේ. එතුමා ගේ පළමු ලංකා සංචාරයට වසර 100 ක් සම්පූර්ණ වන දිනයේ දී එනම් 1997 වසරේ දී සහ ජන්ම ලාභය ලබා වසර එකසිය පනහක් සම්පූර්ණ නිමිත්තෙන් 2013 වසරේ දී වශයෙන් අවස්ථා දෙකක දී මුද්දර දෙකක් නිකුත්කර ලාකේය ජනතාවගේ උපහාර පිරිනමා ඇත.

අධිරාජ්‍යවාදී කාලයේ පැවැති සමාජ ප‍්‍රතිසංස්කරණ බලවේග අතර විවේකානන්ද ස්වාමිවරයා ධෛර්යවන්ත චරිතයකි. නිදහස උදෙසා වූ ජාතිකවාදී පෙරමුණ ශක්තිමත් කළේය. විජාතික ආගම් සහ බටහිරට ගැති මතිමතාන්තර යටපත් කර ස්වදේශික සංකල්ප මතුකළේය. උද්යෝගය වඩන ව්‍යාපාරයක් ගෙන ගියේය. එය රට තුළ පමණක් නොව ජාත්‍යන්තරවය ද පැතිරී ගිය දැවැන්ත හඩක් වූ අතර ජනී ජනයා ඔහුගේ දර්ශනය වෙත නතු වූහ. ඉන්දීය නිදහස් සටනට එය මහත් ශක්තියක් වූ බව සදහන් කළ යුතුය. ලංකාවේ නිදහස් ව්‍යාපාරයට ද එය අනුබලය සැපයීය.

විවේකානන්ද ස්වාමිවරයා, හින්දු ගුප්ත විද්‍යාඥයෙකු වශයෙන් සලකන රාමක‍්‍රිෂ්ණන් ගේ අනුගාමිකයෙකි. රාමක‍්‍රිෂ්ණන් කාලි දේවතාවිය කෙරෙහි භක්තියෙන් වේදාන්තයෙහි පරිසමාප්තත්වය සහිතව විසූ අසමාන පුද්ගලයෙකු සේ සැලකේ. ඔහු දිව්‍ය අවතාරයක් සේ සලකා වන්දනා කරන ලද බව ඉන්දීය සාහිත්‍ය දක්වයි. බෙංගාලියේ විසූ රාමක‍්‍රිෂ්ණන් වෙත ආධ්‍යාත්මික සහ සමාජ නායකයන් එකතු වී සිටි අතර විවේකානන්ද ස්වාමිවරයා ඔහුගෙන් පසු වඩාත් ව්‍යාප්තව හින්දු දර්ශනය ජනතාව ඉදිරියේ තබා ගෞරවාදරයට පත්වූහ.

විවේකානන්ද ස්වාමිවරයා ගේ ගිහි ජීවිතයේ දී නරේන්ද්‍රනාත් දත්තා ය. කල්කටාවේ ප‍්‍රභූ පවුලක උපත ලැබූ හෙතෙම මුලික අධ්‍යාපනයට පසු තර්ක ශාස්ත‍්‍රය, දර්ශනය සහ බටහිර ඉතිහාසය මැනැවින් හැදෑරීය. වේද, උපනිශ්ද් උගත්තේය. බගවත්ගීතාව, රාමායනය, සහ මහාභාරත් ඇතුළු මහා කාව්‍ය අධ්‍යයනය කර ඇත. තරුණ කලෙයේ දී නරේන්ද්‍රනාත් වේගයෙන් පොත පත කියවා අවබෝධ කරගන්නට සමත්කම් දක්වන ලද බව දැක්වෙයි. එකවර පොත් දෙක තුන කියවන ලද බව පැවසේ. තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමියන් ගැන සදහන් වන පරිදි හා සමානව, නරේන්ද්‍රනාත් දත්තා පවා හොද මතක ශක්තයක් සහිත අසමාන පුද්ගලයෙකුය. ඇතැම් පොතපත වේගයෙන් කියවා අවබෝධ කරගෙන ඇති අතර ඒවායේ කරුණු ගැන කරන වාද විවාදවලින් ඔහු පරාජය කළ නොහැකි වූ බව ඔහුගේ චරිතය ගවේශනය කළ පිරිස් පෙන්වා දී ඇත. හින්දු ආගමිකයෙකු වශයෙන් ජීවිතය හැඩගසා ගැනීමට නැඹුරු වූ නරේද්‍රනාත් ඔහුගේ පියාගේ අභාවයෙන් අනතුරුව රාමක‍්‍රිෂ්ණන් වෙත පැමිණ සම්පූර්ණයෙන් ම හින්දු දර්ශනය කෙරෙහි කැපවී පූජකත්වය ලබාගෙන තිබේ.

විවේකානන්ද ස්වාමිවරයා දේශපේ‍්‍රමී ආගමික නායකයෙකු වශයෙන් ඉන්දියානුවෝ මහත් භක්ත්‍යාදරයෙන් සලකති. එතුමා ගේ උපන්දිනය ඉන්දියාවේ තරුණ දිනයයි. 1984 වසරේ දී ඉන්දීය රජය එම තීරණය ගෙන තිබේ. සෑම වසරකම ජනවාරි 12 වැනිදා ඉන්දියාවේ තරුණ පෙල ඔහු ගේ ජන්ම දිනය හා සමගාමීව එකතුවෙති.

එතුමාගේ 150 වැනි ජන්ම දිනය යෙදුන දිනයේ එවකට අගමැතිව සිටි මන්මෝහන් සිං මහතා වසර හතරක් පුරා ඔහුගේ ගුණ සිහිපත් කරන කාලයක් ප‍්‍රකාශයට පත් කළේය. අධ්‍යාත්මික සත්‍ය හා ජීවිතයට තිබිය යුතු පරමාදර්ශය ජනිත කිරීම සදහා මහත්මා ගාන්ධි තුමන් ලැබූ ආභාෂය පරිදි මෙම තාක්ෂණ යුගයේ දී ද, අධ්‍යාත්මික ශික්ෂණයක් ඇති කරගැනීම සදහා විවේකානන්ද ස්වාමී චරිතය අධ්‍යයනය කළ යුතු බව අගමැතිවරයා එදින කියා සිටි කරුණකි.

ඉතිහාසයේ සිට ලංකාව හා ඉන්දියාව අතර ගමනක් තිබුණි. ආගමික, අධ්‍යාත්මික බැදීම් දෙරට අතර සවිමත් බලයක් බව නොඅනුමානය. ඉන්දීය ජන ප‍්‍රජාව ඔවුන්ගේ ආත්මය අමතක කර නැත. නිදහස් ස්වෛරී අනාගතයක් කරා ගමන් කිරීමේ දී ජාතිමාමක, දාර්ශණික සහ දේශපාලනික ප‍්‍රාමාණිකයන් අමතක කර නැත. අපට ආපසු හැරී බලන්නට සිදුවේ. ලාංකේය අනන්‍යතාව ගැන ප‍්‍රශ්න කරන්නට අවශ්‍යය. අපගේ උද්දාමය හා ධෛර්යය පැන නැගෙන්නේ කොතැනින්ද? ලංකාව එක්සත්ව, එක්සිත්ව නැගී සිටුවන අභීත මෙහෙවරක සිටි ජන නායකයෝ අප සිහිපත් කළ යුතුය.