» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
15/05/2022 - ඉරිදා ලංකාදීප
පීඩිත පැලැන්තියේ හද ගැස්ම හදුනන නායකයෙකු නිර්මාණය කරන ලද ව්‍යවස්ථාවක්

බී. ආර්. අම්බෙඞ්කාර් මහතා මධ්‍යම ඉන්දියාවේ මහෝව් ගම්මානයේ උපත ලබන්නේ අපි‍්‍රියෙල් දහ හරවැනිදා දිනකය. එවකකට ඉන්දියාව යටත් විජිතයකි. කුල බේධය ඉතාමත් දරුණූ ලෙස ඉහ වහා ගිහින් තිබුණි. කුඩා අම්බෙඞ්කාර් රජයේ පාසලකට ඇතුලත් කරන නමුත් පංති කාමරයට පැමිණ ඉගෙන ගන්නට වාසනාවක් තිබුණේ නැත. කුලවන්ත සමාජය මෙම කුලහීන දරුවා කොන් කළහ. පංති කාමරය පෙනෙන මානයේ දුරින් සිටගෙන ගුරුවරයා කියන දේ අහගෙන ඉගෙන ගන්නට සිදුවිය. දුප්පත්කම, කුල පීඩනය ගැන අම්බෙඞ්කාර් තරමට අවබෝධකරගත් අයෙකු නැති තරම්ය. දුක දිනා, පීඩනය මැද හිස ඔසවාගෙන අවසානයේ ඉහළටම පැමිණි හෙතෙම ඉන්දියාවේ ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කරන මණ්ඩලයේ ප‍්‍රධානියා වශයෙන් පත් කරන්නට ඉන්දියාවේ පළමු අගමැති ජවහරලාල් මහතා තීරණය කළේය. සමස්ථ සමාජය එකතු කරන අලූත් ව්‍යවස්ථාවක් හදන්නට තෝරා ගත්තේ සමාජයේ දුක, වේදනාව හදුනන, අප‍්‍රමාණ අත්දැකීම් ඇති පුද්ගලයෙකු වශයෙනි. ඉන්දියානු ජනතාවගේ සියළුම උස් පහත්කම්, එකිනෙකට වෙනස් සංස්කෘතික ඇවැතුම් පැවැතුම් සදහා සමාන අවස්ථා සම්පාදනය කරන එරටට ගැලපෙන ව්‍යවස්ථාවක් නිර්මාණය කරන අභියෝගාත්මක කාර්යය සාර්ථක කරන ලද ඔහුට අද සමස්ථ ඉන්දියාවේ ගෞරවාචාරය හිමි වී තිබේ. අම්බෙඞ්කාර් මහතා උපත ලද දිනය ජාතික නිවාඩු දිනයකි.

ඉන්දිය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් පුරවැසියන් සඳහා පුලූල් පරාසයක සිවිල් නිදහස සහතික කර ඇත. ආරක්ෂාව, ආගමික නිදහස, පුද්ගලිකත්වය සහතික කර තිබේ. සියලූම ආකාරයේ වෙනස් කොට සැලකීම් තහනම් කිරීම ඉන්දීය ව්‍යවස්ථාවේ එන වැදගත් අංශයකි. ව්‍යවස්ථාව සම්පාදනය කරන අවස්ථාවේ දී අම්බෙඞ්කාර් මහතා කාන්තාවන් සඳහා පුළුල් ආර්ථික හා සමාජ අයිතීන් සඳහා තර්ක කළ අතර, පහත් යැයි කියැවුණ කුලවල හා සමාජ ස්ථරයේ දී නොසලකා හැර සිටි විවිධ ජන කණ්ඩායම් සහ අනෙකුත් පසුගාමී පංතිවල සාමාජිකයින් සඳහා සිවිල් සේවා, පාසල් සහ විද්‍යාලවල රැකියා වෙන් කිරීමේ ක‍්‍රමයක් හඳුන්වාදීම සඳහා ව්‍යවස්ථා සම්පාදක සභාවේ සහාය දිනා ගත්තේය. අම්බෙඞ්කාර් මහතා තමන් ඉගෙනගත් කාලයේ අත් විදින ලද කටුක අත්දැකීම් අනාගත පරම්පරාවට ඇති නොවෙන පරිදි සැලැස්මක් ව්‍යවස්ථාවෙන් හදන්නට තීරණය කරන්නට ඇත. අම්බෙඞ්කාර් මහතා ප‍්‍රධාන ඉන්දියාවේ ව්‍යවස්ථා නීති සම්පාදකයින් එමගින් බලාපොරොත්තු වූයේ හදුන්වාදෙන අලූත් පියවර ඔස්සේ ඉන්දියාවේ පීඩිත පංති ගොදුරු කොටගෙන සිටි සමාජ-ආර්ථික අසමානතා සහ අවස්ථා නොමැතිකම මුලිනුපුටා දැමීමය. මෙතුමාගේ ප‍්‍රධානත්වයෙන් සමම්ත කරන ලද ඉන්දීය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව 1949 නොවැම්බර් 26 දින ව්‍යවස්ථාදායක සභාව විසින් සම්මත කරන ලදී.

අම්බෙඞ්කාර් මහතා ඉන්දියාවේ එවකට පැවැති කුල වාදයට එරෙහිව දැවැන්ත අරගලයක් ගෙන ගිය අතර එයට පදනම් කරගත්තේ බුද්ධ දර්ශනයයි. බුදුන් වහන්සේ දේශනා කළ සමානාත්මතාවයේ පණිවුඩය හා කෙනෙකු උසස් හෝ පහත් වන්නේ උපතින් නොව ක‍්‍රියාවෙන්ය යන්න තරයේ ඇදහූ අම්බෙඞ්කාර් මහතා ඉන්දියාව නිදහස ලබන විට සමාජය පැත්තෙන් දැවැන්ත නිදහස් චින්තනයක් ගොඩ නගන බලවේගයක් බවට පත්ව තිබුණි. හඩක් නැති සමාජය වෙනුවෙන් මතයක් ගොඩනැගීය. එම මතය ඉවසන්නට පමණක් නොව පහල පැලැන්තියේ ජනතාවගේ අවශ්‍යතා පදනම් කරගෙන අලූත් සමාජයක් නිර්මාණය කරන්නට ඉන්දීය නිදහස් සටනේ දැවැන්තයක් කරන ලද කැපවීම ද මෙහි දී ඉතාම ඉහළින් සනිටුහන් කළ යුතුය.

දුක් විදීමින් හිටි පවුලක අම්බෙද්කාර් ඉපදුන ඔහුට හිමිවූයේ අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව පමණකි. අනෙක් දරුවන් ඉගෙන ගන්න වෙලාවෙ පන්තියෙන් ඈත සිට ඉගෙන ගත් අතර විවේකකාලයේ දී ජල ටැංකිය අසලට හෝ පැමිණීමට ඉඩ නොලැබේ. එහෙත් අම්බෙද්කාර් තරුණයා මහත් ධෛර්යයෙන් ඉගෙන ගෙන ඇති අතර උපාධිය ලබාගෙන ශිෂ්‍යත්ව පදනම මත අමෙරිකාව සහ බි‍්‍රතානයයෙන් , අධ්‍යාපනය ලබන්නට ඉඩ හසර හිමිවිය. බටහිර ඉගෙනගෙන නැවත ඉන්දියාවට පැමිණි අම්බෙඞ්කාර් තැලෙන පෑගෙන ජන කොටස නගා හිටුවන්න පියවරක සිටි අතර ‘‘නිශ්ශබ්ධ නායකත්වය‘ නමින් කුල අභිමානය දනවන සති පතා ප‍්‍රකාශනයක් ආරම්භ කර ඇත. සමානාත්මතාව හා නිදහස සදහා සෑම ජන කොටසකගේම සම්බන්ධයෙහි අවශ්‍යතාව අවධාරණය කරන්නේ එමගින්ය.

නිශ්ශබ්ධ නායකත්වයක් දැවැන්ත ඉන්දියාව වෙනස් කරන බලවේගයක් බවට පත්වන්නේ කෙසේද? එය අප හදුනගත යුතු වැදගත් කාරණයකි. තමන්ට ඉහළ සමාජයේ වැජබෙන්නට පාර කපා ගත හැකිව තිබිය දී සමාජයේ හැම දෙනෙකුම ඔසවා තබන්නට සමත්වන පරිදි ව්‍යවස්ථාවක් සම්පාදනය කළේය. ශ‍්‍රී ලංකාවේ ජන සමාජය ඉන්දියාවෙන් අම්බෙඞ්කාර් චරිතයෙන් ආදර්ශයක් ගත යුතු ඇයි? බලයට පත්වන ආණ්ඩු තමන්ගේ බලය ආරක්ෂා කරගන්නට ව්‍යවස්ථා හදති. පැලැන්තියට, තමන්ගේ පක්ෂයට පමණක් වාසි ලෙස ඒවා සංශෝධනය කරගනිති. අවසානයේ දී අපේක්ෂා භංගත්වයට පත්වන සාමාන්‍ය ජනතාව විසදුම් ඉල්ලන්නේ මහ පාරේ නගන විරෝධතා වලින්ය. පසුගිය මාසය තිස්සේ තිබුණ අරගලය හුදෙකලා සිද්ධියක් නොවේ. අවස්ථා අහිමි සමාජය අවස්ථා ගණනාවක දී ඇති කරන ලද කැරළි අතර තවත් එකකි. ධනය, බලය වෙනුවට හැකියාවට තැන ලැබෙන, දක්ෂතාවය අනුව ඉහළට එන්නට ඉඩ දෙන සමාජ ක‍්‍රමයක් මහජනතාව ඉල්ලා සිටී. නිදහස ලැබුණ දා සිට යෝජනා කරන ලද ව්‍යවස්ථා රටට වැඩදායක වී නැත.

1978 ව්‍යවස්ථාව විසි වතාවක් සංශෝධනය කරන ලද අතර අවසානයේ දී අද ඉතිරිවී ඇත්තේ ජනතාව ගේ සැලකිල්ලට ලක් නොවන, එහි නිර්මාතෘත්වය ගැන සමාජය නොදන්නා සැකිල්ලකි. එපමණක් නොවේ. අලූත් ව්‍යවස්ථා හදන බව කියා බලයට පත්වන ආණ්ඩු සදහන් කරන නමුත් පොදු ජනතාව එයින් ලැබිය හැකි ප‍්‍රයෝජනය කුමක්දැයි දන්නේ නැත. ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාව පාලකයන් ගේ උවමනා ආරක්ෂා කරන තරුණ අරගලකරුවන්ගේ රුධිරයෙන් තෙත් වී ඇති එකක් බව අමතක කළයුතු නැත. සාධාරණ අවස්ථා ඇති සමාජයක් නිර්මාණය කරන්නට ව්‍යවස්ථාවට හැකියාවක් තිබුණි නම් විජේවීර, ප‍්‍රභාකරන් වැනි චරිත පමණක් නොව ගෝල්ෆේස් අරගලය බිහිවන්නේ ද නැත. ක‍්‍රමය අසාධාරණ බව උතුර පමණක් නොව දකුණ ද මෑත පරම්පරාව තුළ අවධාරණය කර ඇත. තරුණ අසහනයට හේතු සොයන ජනාධිපති කොමිසම පමණක් නොව උතුරේ ත‍්‍රස්තවාදයට හේතු සොයන උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසම ද නිර්දේශ යෝජනා කර තිබේ. සමාජයක් වශයෙන් ඒවා කිසිසේත් අවධානයට ගෙන නැත.

අති විශාල විනාශයකට පසු නැවත වතාවක් ව්‍යවස්ථා ගැන සාකච්ඡා ආරම්භ වී තිබේ. අවස්ථාව අහිමි තැලෙන, පෑගෙන පැලැන්තියේ හදගැස්ම හදුනන නායකයෙකු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ නායකත්වය ගැනීම සුදුසුය. ශ‍්‍රී ලංකාවට සිටින අම්බෙඞ්කාර් චරිතය කවුද? එවැනි චරිතයක් සිටින්නේ නම් ඔහුගේ අදහස්වලට ඉඩ දෙන්නට අපට හැකියාවක් තිබේද? අඩුම තරමින් මහජන නියෝජිතයන් දෙසිය විසි පස් දෙනෙකුට එකට වාඩිවී දරුවන්ගේ අනාගතය ගැන කල්පනා කර එක තීරණයකට එන්නට අපට හැකියාවක් තිබේද?

බි‍්‍රතාන්‍යයට ව්‍යවස්ථාවක් තිබුණේ නැත. රට පාලනය කරන්නේ සම්ප‍්‍රදාය අනුවය. වැඩිහිටියන් ගොඩනගන ලද සම්ප‍්‍රදායට ගරු කරන්නට ඊළග පරම්පරාව කැපවූහ. ඇමරිකාවේ, ප‍්‍රංශයේ හෝ ඉන්දියාවේ ව්‍යවස්ථාව නිර්මාණය කරන්නේ ඉතා දීර්ඝ වශයෙන් මහජනතාවට බලපාන කරුණු සාකච්ඡා කර බැලීමෙන් අනතුරුවය. ව්‍යවස්ථා හදන ලද අපගේ ඉතිහාසය තුළ සංයමයක් ඇති එවැනි සාකච්ඡුාවක් තිබුණි ද යන්න මෙම අවස්ථාවේ දී සලකා බැලිය යුතු වැදගත් කරුණකි.

ජාතිය, ආගම දේශපාලනය හා පංති වශයෙන් සමාජය සාහසික ලෙස බෙදා තිබේ. කුල සාධකය ද බරපතලය. පැලැන්තිය, සමාජ පසුබිම හා අධ්‍යාපනය ලබන පාසල අනුව සමාජය බෙදී තිබේ. මානසික වහල් බව අනුව යමින් ලාංකික සමාජය, ඉංග‍්‍රීසි කතාකරන හා නොකරන වශයෙන් පටු අන්දමට වෙන්වී ඇත. මේ බෙදුණු සමාජය විසින් මහජනතාවගේ සමාන අයිතිවාසිකම් හා නිදහස සහමුලින්ම නොතකා නොසලකා හැර ඇත. මේ නිසා පැන නැගී ඇති අන්තවාදය රට ඉතාම විනාශකාරී තැනකට ඇදගෙන යමින් තිබේ. අද වන විට ආර්ථිකය බරපතල අනතුරකය. වෛරී කොටස් හැසිරෙන ආකාරය අනුව බොදුනු සමාජයක් ද යන්න සැක සිතේ. කිසිම ආගමක, මනුෂ්‍ය ගතිලක්ෂණයකට අනුව කටයුතු නොකරන බව මෑත සිද්ධි සාක්ෂි සහිතව දක්වයි. මෙම ඉරණඹ අපගේ අතීත වැරදි වල ප‍්‍රතිඵලයකි. පැලැන්ති හා සමාජ විශමතා පුපුරුවා හරින අලූත් බලවේග වශයෙන් පැන නැගුණ නායකත්වයන් රට එක්සේසත් කරන අලූත් ව්‍යුහයක්, දර්ශනයක් ගොඩනගන්නට කැප නොවීමේ ප‍්‍රතිඵලයකි. අද වන විට ශ‍්‍රි ලංකාව මුහුණ දී ඇති අභියෝගය නම් පවතින ක‍්‍රමය සංශෝධන සහිතව කරගෙන යනවාද නැතිනම් සමාජය ඉල්ලා සිටින අලූත් ව්‍යවස්ථාවක් බිහිකරනවා ද යන්නය.