» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
15/01/2023 - ඉරිදා ලංකාදීප
රටවල් අතර කරන සංචරණයට ඇති බාධා ලිහිල්වන ගිවිසුම්

පුද්ගලයන් හෝ ආයතන අතර ගිවිසුම් අත්සන් කෙරේ. තෝරාගත් විශේෂිත ක්ෂේත‍්‍රයක් සම්බන්ධයෙන් බලපවත්වන කොන්දේසි අනුව ප‍්‍රතිපත්තියකට ඇතුළුවීම මෙහි දී සිදුවේ. රටවල් අතර ද ආර්ථික, සමාජ හා සංස්කෘතික කරුණු සලකා ගිවිසුමක් අත්සන් කරන අවස්ථා ඇත. ඉන්දු ලංකා ගිවිසුම මෑත කාලයේ ආන්දෝලනයක් ඇති කරන ලද ගිවිසුමකි. ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර නිදහස් වෙළද ගිවිසුමක් අත්සන් කර ඇති අතර එයින් රටවල් දෙකටම විවිධ පැතිවලින් අවස්ථා නිර්මාණයක් සිදුවේ. ආර්ථික ගිවිසුම තවත් පුලූල් කරන සාකච්ඡාවක් ඇත. ඉන්දියාව සමග පමණක් නොව ඇමරිකාව, චීනය, ජපානය, යුරෝපා සංගමය ඇතුළු තවත් රටවල් විශාල ප‍්‍රමාණයක් අත්සන් කරන්නට ශ‍්‍රී ලංකාව සමත්ව ඇත.

ඉන්දියාව 2021 වසරේ දී බි‍්‍රතාන්‍ය සමග ගිවිසුමක් අත්සන් කළේය. එය මෙතෙක් පැවැති සාමාන්‍ය අවබෝධතාවය ඉක්මවන්නට ඉඩ සලසන ලද බව සදහන් කළ යුතුය. එය සංක‍්‍රමණ හා සංචරණය සදහා අලූත් රාමුවක් නිර්මාණය කර තිබේ. රටවල් දෙක අතර ගමන් බිමන්වල නිරතවන වැසියන්ගේ සාධාරණ අවශ්‍යතා වේගයෙන් සාක්ශාත් කිරීම අරමුණ බව දැක්වේ. වීසා ඉක්මනින් නිකුත් කෙරේ. තරුණ ඉන්දියානුවන්ට බි‍්‍රතාන්‍යයේ වෘත්තිය අවස්ථා ලබාගැනීමට පහසුවක් වන අතර බි‍්‍රතාන්‍ය ජාතිකයන්ට ද අවශ්‍යනම් ඉන්දියාවට පැමිණ ශ‍්‍රම වෙළද පොලට ඇතුල්වීමට අවකාශය සම්පාදනය කරයි. වීසා ලබාගැනීමේ දී මෙතෙක් පැවැති රළුභාවය ඉවත්කර සරල ක‍්‍රමයකට අවතීර්ණවීමකි.

ගිවිසුමට අනුව ඉන්දියන් ශිෂ්‍යයින්, විද්‍යාර්ථීන්, පර්යේෂකයන් හා තරුණ මහාචාර්යවරුන්ට වැඩිදුර අධ්‍යාපනය හෝ සේවය සදහා අවසර ලබාගත හැක. අනෙක නීති විරෝධී සංක‍්‍රමණ හා මිනිස් ජාවාරම් මැඩපවත්වන සාධකයක් බවට පත් කර ඇත. ලිහිල් කොන්දේසි අනුව සාධක සහිත ජන කොටසට රටවල් අතර සංචරණයට වඩාත් පහසුව සපයන පසු අනවශ්‍ය මාර්ග වලින් පැන එන පිරිස් පාලනය කිරීම පහසුබව නිලධාරීහු පෙන්වා දී ඇති කරුණකි. බි‍්‍රතාන්‍යයේ රැකියා කරන්නට අපේක්ෂා කරන ඉන්දියානුවන්ට දැනට පවතින නීති හා රෙගුලාසි බලනොපවත්වන ඇතැම් වගන්ති ගිවිසුමට ඇතුළු කරන්නට ද රටවල් දෙක සමත්ව සිටී.

ප‍්‍රංශය, ජර්මනිය හා සයිප‍්‍රස් යන රටවල් සමග ද ඉන්දියා සංචරණ හා සංක‍්‍රමණ ගිවිසුම් අත්සන් කර ඇත. 2018 වසරේ දී ප‍්‍රංශ අගමැති මැක්රොන් ඉන්දියාවට පැමිණි අතර එහි දී දෙරට අතර සුහදතාවය නංවන පියවරක් වශයෙන් ලිහිල් සංචරණ අවස්ථා ජනතාවට සැපයෙන ක‍්‍රියාමාර්ගයක අවශ්‍යතාව අවධානයට ගෙන ඇත. එයින් වසර දෙකකට පසු ගිවිසුමකට ඇතුළුවන අතර එකගවන කරුණු සම්බන්ධයෙන් ඉක්මනින් තිරණ ගැනීම සාර්ථක වූ අවස්ථාවක් වශයෙන් දැක්විය හැක. රාජ්‍ය තාන්ත‍්‍රික කටයුතුවල දී අලූතින් එකගවන ඇතැම් අදහස් ක‍්‍රියාත්මකවීමට විශාල කාලයක් ගතවේ. විශේෂිත අත්දැකීම් අනුව රාජ්‍ය නායකයන්ට තම ධුර කාලයේ දී සාක්ෂාත් කරගත නොහැකි වූ අදහස් ගැන නොයෙක්විට සදහන්ව ඇත. එවැනි සිද්ධි රටවල් අතර ඇතිවන ඊළග වටයේ සාකච්ඡාවක දී බාධා වශයෙන් මතු කෙරේ. ප‍්‍රංශය හා ඉන්දියාව මෙම සංක‍්‍රමණ හා සංචරණ ලිහිල් ගිවිසුම ඉන්දීය අගමැති හා ජර්මන් චාන්සලර්වරයා අතර අත්සන් කරන්නේ පසුගිය වසරේ මැයි මාසයේ දී බර්ලින් නගරයේ දීය.

රටවල් අතර ගිවිසුම්වල දී විශ්වාසය ගැන අවධානය යොමු කෙරේ. ද්වි පාර්ශවික සම්බන්ධතාවල කුඩා පියවරක සිට ඉදිරියට යන අතර පසුව පුලූල් අවකාශයක් දක්වා විහිදේ. බි‍්‍රතාන්‍ය සමග ඉන්දියාව අතර ගිවිසුම දක්වන පරිදි වසරකට තුන්දහසක් දක්වා පිරිකට ලිහිල්ව රටකට ඇතුළුවීමට එකග වී ඇති අතර එය මෙම අවකාශයෙහි රාමුව මැනැවින් අවධාරණය කරයි.

ශ‍්‍රී ලංකාවට ද රටවල් අතර සංචරණයේ දී ලිහිල් කොන්දේසි දිනාගත නොහැකිද? සංක‍්‍රමණය සදහා ඉඩ ලබාගැනීමක් කළ නොහැකිද? රට තුළ ඇති ආර්ථික ප‍්‍රශ්න හේතුවෙන් සැලකිය යුතු පිරිසක් වෙනත් රටවල් කරා සංක‍්‍රමණයට උත්සාහ කරන බව නිතිපතා ලැබෙන වාර්තා දක්වයි. අලූතින් ගුවන් ගමන් බලපත‍්‍ර අයැදුම් කිරීමට ඇති දිග පෝලිම් ගැන පළවන වාර්තා එයට සාක්ෂියක් වී තිබේ. ගමන් බලපත‍්‍රයක් ලබා ගැනීමෙන් පමණක් රටකට ඇතුළු විය නොහැක. වීසා ලබා ගත යුතුව ඇත. ශ‍්‍රී ලංකාවේ ගමන් බලපත‍්‍ර හිමි පිරිස් විදේශ රටකට පැන ගැනීමට දරන ප‍්‍රයත්නය උත්සන්නවීම සමග පාලනයට ද පියවර ගෙන ඇත. ඇතැම් පිරිස් විශාල අවදානමක් ගෙන බෝට්ටුවල නැගී ඔස්ටේ‍්‍රලියාවට පැන යන බවට තොරතුරු ඇති අතර එරට සංක‍්‍රමණ නීති අනුව පාලනය කිරීමට පියවර ගෙන තිබේ. ලාංකිකයන් පමණක් නොව වෙනත් රටවල පිරිස් ද එසේ සේන්දුවන අය අතර බහුලව ඇත. ශ‍්‍රී ලංකාව කේන්ද්‍ර කරගෙන පවතින එවැනි ජාවාරම් සදහා පැමිණි අසල්වාසි රටවල පිරිස් ආරක්ෂක අංශ මැදිහත්ව අල්ලාගත් අවස්ථා ද පසුගිය කාලයේ වාර්තා අතර විය. ඉන්දියාවට හෝ වෙනත් රටකට ගොස් ගොඩබිම ඔස්සේ සුරක්ෂිත ස්ථාන කරා ළගාවීම ද බහුලව සිදුවේ. මෙවැනි සිද්ධි ගැන අනාවරණයවන පසුබිම තුළ ශ‍්‍රී ලාංකික පුරවැසියන්ට දිනාගත හැකි අවස්ථා සීමිතය. සංක‍්‍රමණ හෝ සංචරණ අවස්ථා ගැන ගිවිසුමකට ඇතුලත්වීමට කලින් ප‍්‍රශස්ථබාවය පෙන්වා තිබිම සාධකයක් විය හැකිය.

සංක‍්‍රමණ හෝ සංචරණ ගිවිසුම්වලට කලින් රටවල් අතර සංස්කෘතික හා අධ්‍යාපන සහයෝගීතා ඇති විය යුතුය. ආර්ථික ගිවිසුම් සමග ඒවා වැඩි දියුණු කෙරේ. ආණ්ඩු පමණක් නොව රාජ්‍ය නොවන සංවිධාන, සමාජ ආයතන අතර ද බැදිම් තිබීම වැදගත්ය. එය ප‍්‍රජාව සමග සම්බන්ධතා ඇති කරන තරමට දියුණුවිය යුතු කරුණකි. විශ්වාසය හා උවමනාව එයින් මතු කෙරේ. රටවල් අතර බැදීම් ඇතිකරගන්නට පහසු වටපිටාවක් නිර්මාණය වේ. එහෙත් දැනට ඇති ආකාරය අනුව ඇමරිකාව, බි‍්‍රතාන්‍ය, ජපානය හෝ ඔස්ටේ‍්‍රලියාව වැනි රටකට සාමාන්‍ය විසා ලබාගැනීම පවා දුෂ්කරය. රාජ්‍ය නායකයන්ට පවා මැදිහත්වීම පහසු නැත. වීසා නිකුත් කිරීමේ දී සෑහෙන වතාවක් සොයාබලන අතර තද කොන්දේසි පැනවේ. රට තුළ පවතින ආකල්ප රටක තත්ත්වය ප‍්‍රතිනිර්මාණය කරයි. සාමාන්‍යයෙන් ගුවන් ගමන් බලපත‍්‍රය රටක අනන්‍යතාවය දක්වන ලියැවිල්ලකි. ලෝකයේ ඕනෑම රටක දී එයට ලැබෙන පිලිගැනීම රටක ගරුත්වය සම්බන්ධ සාක්ෂියකි.

ඉන්දියාව හා සමාන පරිදි බි‍්‍රතානයයෙන්, ජර්මනියෙන් හෝ සයිප‍්‍රස් රාජ්‍යය අතර සංක‍්‍රමණ හා සංචරණ ගිවිසුම් අත්සන් කරන්නට තරම් සාධාරණීකරණයවන වටපිටාවක් නිර්මාණය කරගැනීම මුලික අවශ්‍යතාවයකි. දියුණු රටකට ගොස් අනාගතය සදහා සැලසුම් කරන ඕනෑම පුරවැසියෙකුට තමන් ගේ රට ගැන අභිමානයක් ඇතිවන පරිදි ක‍්‍රියා කිරීමේ වගකීමක් තිබේ. එවැනි හැසිරීමක් අවසානයේ දී රටක අනන්‍යතාවය සහතික වනු ඇත.