බිලියනයක් ඉන්දියානුවන් වෙත කොවිඞ් එන්නත්කරණ වැඩ පිලිවෙල සාර්ථකව ලබාදීම ගැන ඉන්දියාව සතුටට පත්ව සිටී. විශාල ජනගහනයක් සහිත ඉන්දියාව, වසංගතයෙන් දරුණු බලපෑමකට ලක් වූ අතර ජීවිතක්ෂයට පත්වන පිරිස ගැන හා ඔක්සිජන් හිගය ගැන බරපතල විවේචන තිබුණි. අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ගේ අසාර්ථකත්වය කෙරෙහි මතවාදයක් පැතිරිණ. ඔහුගේ ජනප‍්‍රියත්වය පහලට වැටුණ බව ජනමත සමීක්ෂණ වලින් හෙලි වූ කරුණකි. දිල්ලි මහාධිකරණය ඉන්දීය අගමැතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුවට නියෝගයක් ද, නිකුත් කළ අතර වහාම රටවැසියන්ට අවශ්‍ය කරන ඔක්සිජන් සැපයීමට පියවර ගන්නා ලෙස එයින් නියම කළ බව මතක් කළ යුතුය. බිලියනයක් එන්නත්කරණයට සමත්වීම සම්බන්ධව ඉහළ ප‍්‍රචාරයක් කරන්නේ මෙවැනි පසුබිමක් තුළය.
ඉන්දීය අගමැතිවරයා පසුගිය දා ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් කළේය. බිලියනයක් එන්නත් වාර්තා වූ දිනට පසුවදා ජනතාව අමතන ලද අතර, වසංගත තත්ත්වය පැන නැගීමෙන් පසු ජාතිය අමතන ලද දහවැනි අවස්ථාව වශයෙන් මාධ්‍ය එය හුවා දක්වා තිබුණි. එන්නත්කරණයේ ප‍්‍රගතිය පමණක් නොව, ආර්ථිකය නිසි මගට ගැනීමට හැකිවීම ගැන ද ඔහු ජනතාවට පැහැදිලි කරන ලදී. විවේචකයන්ට දුන් නිශ්ශබ්ද පිලිතුරක් වශයෙන් අර්ථදක්වන ලද අතර, විවේචන එල්ලවන සෑම අවස්ථාවකම ඡන්දයෙන් පත්වන මහජන නියෝජිතයෙකු ලෙස නොව පවුලක වැඩිහිටියෙකු සේ හැසිරෙන බව ඔහුට පක්ෂපාතී මාධ්‍ය පසුගිය දිනවල කරුණු වාර්තා කිරීම විශේෂ සිද්ධියකි. ඉන්දීය අගමැතිවරයා තමන්ට ලකුණු දමාගැනීම ගැන ද ඇතැම් මාධ්‍යවල සෑහෙන විවේචන ඇත. අගමැතිවරයා ගේ මුහුණ කොව්ඞ් එන්නත් කාඞ්පතේ ඇති එකම රට විය හැකි බව දක්වා තිබේ. ලෝකයේ අනෙක් රටවල නායකයෝ වසංගතය තමන්ට ප‍්‍රචාරයක් සදහා භාවිතයට නොගන්නා බව එකී මාධ්‍ය තදින් ප‍්‍රකාශ කර ඇත.
පසුගිය දෙවසර තුළ සිදු වූ ඉන්දියාවේ සිදුවීම් කොවිඞ් ප‍්‍රශ්නයට උත්තරයකි. මහජන සෞඛ්‍ය යටිතල පහසුකම් වල දුබලතා හෙළිදරව් කළේය. භාරතීය ජනතා පක්ෂය ජනප‍්‍රිය මැතිවරණ කොට්ඨාශවල අඩුපාඩු ගැන විපක්ෂය කරුණු දක්වයි. ඉන්දියාවේ කොවිඞ් -19 රෝගීන් මිලියන 3.4 ක් පමණ වාර්තා වී ඇති අතර එය එක්සත් ජනපදයට පමණක් දෙවැනි වන තත්ත්වයකි. හාර ලක්ෂ පනස් දෙදහසකගේ ජීවිත අහිමි වී ඇති අතර, බොහෝ විශේෂඥයින්ට අනුව එය දළ ගණන් ගැනීමකි. එයට වැඩි ගණනක් විය හැකිය. මරණ සංඛ්‍යාව අතින් දෙවැනි වෙන්නේ ඇමරිකාවට සහ බ‍්‍රසීලයට පමණකි. එන්නත් බිලියනය විශාල ඉලක්කමක් නමුත් නියමිත වයස් කාණ්ඩය තුළ මාත‍්‍රා දෙකම මෙතෙක් ලබා ගෙන ඇති පිරිස ජනගහනයෙන් සියයට 21.1 කි. ලෝක සෞඛ්‍ය දර්ශකය අතින් ඉතාම පහල සිටින රටවල් ගණනාවක පවා මෙම ප‍්‍රතිශතය ඉහළ තැනක තිබේ. බඩු මිල ඉහළයෑම, ලක්ෂ ගණනක් කර්මාන්ත හා ව්‍යාපාර වැසීයාම, එය හේතුවෙන් ඉහළ ගිය රැකියා හිගය ගැන ජනී ජනයා වේදනාවෙන් සිටිති. විදේශ රටවල රැකියා කළ ලක්ෂ ගණනක් දෙනා ආපසු ඉන්දියාවට පැමිණ ඇත. ඔවුහු කනස්සල්ලෙන් පසුවෙති. පසුගිය වසර දෙක තුළ, අත්‍යවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ සහ එන්නත් සැපයීමේදී විපක්ෂය පාලනය කරන ප‍්‍රාන්තවලට වෙනස්කම් කර ඇති බවට විරුද්ධ පක්ෂ නිල වශයෙන් චෝදනා කර ඇත. කේරළය, බටහිර බෙංගාලය සහ චත්තිස්ගාර් වැනි ප‍්‍රාන්ත එන්නත් හිගය ගැන නිරන්තරයෙන් මැසිවිලි නගමින් සිටී. එවැනි පසුබිමක් තිබිය දී ඉන්දීය අගමැතිවරයා එක් එක් ප‍්‍රාන්තවල අවශ්‍යතා අනුව එන්නත් බෙදා හැර ඇති බව ආඩම්බරයෙන් කියා සිටින නමුත් එය ඇත්තක් නොවන බව සමහර මාධ්‍ය වල අදහස බව පෙනේ.
ඉන්දියාව එන්නත්කරණය අරඹන්නේ ඉකුත් ජනවාරියේය. එහි වවිධ හැල හැප්පිලි තිබුණි. විශාල ධනයක් යොදවන ලද අතර දැවැන්ත කාර්ය මණ්ඩලයක් එහි නිරත විය. හිටපු සෞඛ්‍ය ඇමැති හර්ෂ් වර්ධන් ඉවත්කරන්නට මෝදි ආණ්ඩුව පියවර ගත්තේය. දැනට සෞඛ්‍ය අංශය බාරව සිටින අමාත්‍ය මනුක් මන්දාවියා බිලියනයක ජයග‍්‍රහණය සැමරීම සදහා චිත‍්‍රපටයක් හා ගීතයක් නිර්මාණය කර ඇත. එය ඉකුත් දා එළි දැක්වීය. කෙසේ වෙතත් ඉන්දියාවේ වෛද්‍ය විශේෂඥයෝ ඉදිරි සීතල කාලයේ දී තුන්වැනි වටයකින් කොවිඞ් පැතිරෙන අවදානමක් කෙරෙහි අනතුරු අගවයි.
ලෝකයේ සියළු රටවල් එන්නත්කරණය කෙරෙහි උනන්දුවකින් සිටී. ඇමරිකාව එරට සියළු දෙනාටම පාහේ එන්නත් ලබාදී ඇති අතර තුන්වැනි මාත‍්‍රාවක් ද නිකුත් කරන්නට පියවර ගෙන ඇත. මහජන චීන සමුහාණ්ඩුව නිකුත් කර ඇති දත්ත අනුව බිලියන 2.4ක එන්නත් ලබා දී තිබේ. එය එරට ජනගහනයෙන් සියයට හැත්තෑ දෙකක පිරිසකි.
මෙම දත්ත සලකා බලන අතරතුර ශ‍්‍රී ලංකාව එන්නත්කරණයෙන් අත්පත් කරගෙන ඇති ප‍්‍රගතිය කැපී පෙනේ. මිලියන 21.9 ක ජනගහනයෙන් වයස අවුරුදු 16ටට වැඩි පිරිස මිලියන 16.2 ක් වන අතර එයින් සියයට අනූ හතකට අවම වශයෙන් එක එන්නතක් හෝ ලැබී ඇත. සියයට අසූ තුනකට මාත‍්‍රා දෙකක් නික්ෂේපනය කරන්නට සමත්ව තිබේ. ඉදිරිපෙල කාර්ය මණ්ඩලයට තුන්වැනි මාත‍්‍රාවක් ද නිකුත් කිරීම අරඹා ඇත. වැඩිහිටි ජනගහනයට ද එය සූදානම්ය. සියළුම දෙනාට නොමිලේ එන්නත් කිරීම විශේෂත්වයකි. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, යුද, නාවික හා ගුවන් හමුදාව මෙම සමාජ සත්කාරය සදහා උපරිම දායකත්වය ලබාදුන්නේය. ශ‍්‍රී ලංකා පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකාය ලබාදුන් සහාය නොවෙන්නට ඉලක්ක සාක්ෂාත් නොවනු ඇති බව දැක්විය යුතුය.
බිලියනයක් එන්නත්කරණය නමුත් එය සම්පූර්ණයෙන් ම නොමිලේ සිදු වු යාන්ත‍්‍රණයක් නොවන බව ඉන්දියානු සමාජයේ විවිධ අංශ කියා සිටිති. ඉන්දීය රජය පුද්ගලික රෝහල් වලට ද කොවිඞ් -19 එන්නත් සදහා අවසරය නිකුත් කළේය. ඇතැම් රෝහල් ඉන්දීය රු. 800-2000 අතර මුදලක් එක මාත‍්‍රාවක් සදහා අය කළ බව පැවසේ. ඉන්දියාවේ සාර්ථකභාවය පිටුපස ජනතාව මුදල් ගෙවා තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමේ පැත්තක් ද සටහන්ව ඇති බව දැක්විය යුතුය.
ශ‍්‍රී ලංකාව කොවිඞ් එන්නත ගැන තොරතුරු වාර්තාවීම සමග විශේෂ කමිටුවක් මගින් රටට ලබාගන්නා ක‍්‍රමවේදය ගැන තීරණ ගෙන තිබේ. පළමු එන්නත් තොගය පරිත්‍යාගයක් වශයෙන් ඉන්දියාවෙන් ලැබුණ බව මෙහි දී සටහන් කළ යුතුය. චීනය අවස්ථා ගණනාවක දී විශාල එන්නත් ප‍්‍රමාණයක් රටට එවන ලදී. මෙම එන්නත් නියමිත ක‍්‍රමවේදයකට හසුරුවන ලද අතර ජනතා සහභාගීත්වයෙන් සාර්ථකව කරගෙන යන්නට හැකියාව ලැබුණි. සයිනොෆාම්, ඇස්ටාසෙනිකා, ෆයිසර්, මොඩෙර්නා සහ ස්පුට්නික් වී යන එන්නත් අප රට තුළ භාවිතා විය. විවිධ එන්නත් භාවිතා කරන ලද නමුත් ඉන්දියාවෙන් මිල දී ගන්නට ලැබුණ සිරින්ජර් නොතිබුණි නම් වැඩ පිලිවෙල සාර්ථක වෙන්නේ නැත. එක් අවස්ථාවක ඉන්දියාවට පවා සිරින්ජර හිගයක් මතුවිය. අපනයනය තහනම් කළේය. ශ‍්‍රී ලංකාවට අවශ්‍ය තරම නොඅඩුව සැපැයිණි.
ලෝකයේ ඕනෑම රටක දේශපාලනය තිබේ. ඉතාම පිරිසිදුව කරගෙන යන වැඩපිලිවෙලකට පවා විවේචන ඇත. ඉන්දීය ආණ්ඩුව ගෙන යන ප‍්‍රචාරය කෙරෙහි සමාජ මාධ්‍ය ඇතුළු සෑම අංශයකම අභ්‍යන්තර මතවාදයක් ඇත. ආණ්ඩුව කොවිඞ් විපත සිය පැවැත්ම ආරක්ෂා කරගැනීමට යොදවන බව දක්වති. සෞඛ්‍ය බලධාරීහු ඇතුළු පිරිස් පොදු ස්ථානවල දැන්වීම් ප‍්‍රදර්ශනය කරමින්, දුම්රිය පොලවල අදහස් විකාශනය කරමින් සිටින අතර එය ඇතැම් ඉන්දීය වැසියන්ගේ නොසතුටට හේතු වී ඇති බව පෙනේ. ජනතාව තුළින් පැන නැගෙන පෙල ගැස්ම අනුව ස්වභාවිකය මතුවන ප‍්‍රසාදය ඉතාම වැදගත්ය. ප‍්‍රචාරය නරකට සිටී. ඉන්දීය ආණ්ඩුව කරගෙන යා යුතු වැඩ පිලිවෙල තුළ කිසියම් ප‍්‍රශ්න තිබිය දී පවා ඒවා ස්වකීය වාසියට කරන ප‍්‍රචාරක කටයුතු කිසිසේත් නොකළ යුතුව තිබුණ බව මධ්‍යස්ථ විචාරක මතය වී ඇත.
ශ‍්‍රී ලංකාව ඉදිරි පියවර ගැන අවධානය යොමු කළ යුතුව තිබේ. එන්නත්කරණයෙන් ලබාගත් සාර්ථකත්වය ආර්ථිකය නගා සිටුවන්නට ද අත්දැකීමකි. රට තුළ පවතින ආර්ථික ගැටළු ගැන ජනතාව තුළ ප‍්‍රශ්න ඇත. ජීවන වියදම ගැන මැසිවිලි නැගේ. ආනයන පාලනය කිරීම ප‍්‍රශ්නයක් වී ඇත. පියවරෙන් පියවර අලූත් ව්‍යුහයකට අනුව කටයුතු කළහොත් රටට නැගී සිටීමේ අවස්ථාවක් ඇති බව සදහන් කරන්නට අවශ්‍යය.
|