» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
14/08/2022 - ඉරිදා ලංකාදීප
පස්වන පරම්පරාවේ තොරතුරු තාක්ෂණ පහසුව ඉක්මනින් ඇති කරන ලකුණු

පස් වැනි පරම්පරාවේ තොරතුරු සන්නිවේදන තාක්ෂණයට ඉන්දියාව ඇතුළුවෙමින් සිටී. එරට තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය දා නිවේදනයක් නිකුත් කළ අතර ප‍්‍රධාන නගර දහ තුනක 2022 වසර අවසන් වන්නට කලින් 5G තාක්ෂණය සන්නිවේදන පහසුව අත්පත් කරගනු ඇත. නවදිල්ලිය, බැංගලෝර්, කොල්කටා, චන්දිගාර්, අහමදාබාද්, දෙන්නයි, හයිද්‍රාබාද් ඇතුළු ප‍්‍රධාන නගර මෙම ලැයිස්තුවේ ඇත. එරට ප‍්‍රධාන දුරකථන හා අන්තර් ජාල සේවා සපයන ආයතන තුනකි. ජියෝ, එයාර්ටෙල් හා වුඩෝෆෝන් ය. මෙම සමාගම් 5G තාක්ෂණය ව්‍යාප්ත කිරීමට සූදානම් අතර අත්හදා බැලීමේ ස්ථාන සකස් කර තිබේ.

විදුලිය සංදේශ සේවාව පළමු පරම්පරාවේ සිට පස්වැනි පරම්පරාව දක්වා වේගවත් ගමනක් පැමිණ ඇත. එය ඇරඹෙන්නේ ලෝකය පුරා දැවැන්ත සන්නිවේදන විප්ලවයක් සනිටුහන් කරමින්ය. ජාත්‍යන්තර සන්නිවේදන පර්යේෂණ වාර්තා දක්වන පරිදි වසර 2025 වන විට ලෝක ජනගහනයෙන් බිලියන 1.7 ක් පස්වැනි පරම්පරාවේ සන්නිවේදනයෙහි වාසි අත් විදිනු ඇත. තාක්ෂණික තොරතුරු අනුව මෙම නව ව්‍යුහය බාගතකිරීමේ හැකියාව වේගවත් කරන අතර තත්පරයකට ගිගා බයිට් දහයක වේගයක් පවත්වාගෙන යයි. අන්තර් ජාල සේවා ඉතාමත් දියුණු මුහුනු වරක් ගනු ඇත. රැහැන් රහිත දුරකථනයේ සිට විවිධ තාක්ෂණික උපකරණ සමග වෙව්වත් සන්නිවේදනයක් ඇති කරගන්නට සමත්වේ. ඉතාම කාර්ය බහුල අවස්ථාවල පවා බාධාවකින් තොර සන්නිවේදන ප‍්‍රතිචාර දක්වයි.

තොරතුරු සන්නිවේදනයේ පස්වැනි පරම්පරාව සතු සුවිශේෂීතා හදුනා ගැනීම වැදගත්ය. හතරවැනි පරම්පරාවේ රැහැන් රහිත සන්නිවේදනයට වඩා දහ ගුණයක වේගවත් බවක් පෙන්වයි. වර්ග කිලෝමීටරයක් තුළ එකිනෙකට වෙනස් මෙවලම් මිලියනයක් එකිනෙකට සම්බන්ධ කළ හැකිය. දැනට භාවිතාවන සියළුම ගණන් ගැනීම් පරාජය කර ඉතා වේගයෙන් හා නිවැරදිව සන්නිවේදනයෙහි නිරත වනු ඇත. මෙය අද පවතින සන්නිවේදන ක‍්‍රම අභිබවා සමස්ථ සංහතිකය සමග කරන සන්නිවේදනයට සමත්වන ගුණාත්මක පරිවර්තනයකි. වාර්තා දක්වන පරිදි පස්වැනි පරම්පරාවේ තාක්ෂණයෙන් චිත‍්‍රපටියක් බාගත කරගැනීමට විනාඩියක්වත් ගත නොවේ. දැන් පැය ගණනක් වැය කරන්නට සිදුවන දත්ත හුවමාරුව ඉතා වේගවත් වනු ඇත. මෙමගින් යන්ත‍්‍ර හා යන්ත‍්‍ර අතර කරන සන්නිවේදන ව්‍යුහයක් බිහි කර ඇත. අවසානයේ දී එය ඉතාම බුද්ධිමත් රොබෝ තාක්ෂණ යුගයක් කරා ගමන් කරනු ඇතැයි විශ්වාස කෙරේ. 5G රැහැන් රහිත සන්නිවේදනය සමග කෘතීම බුද්ධි පරිනාමනය අතිශය සංකීර්ණ ක‍්‍රියාවලියක් වනු ඇති අතර එය පාලනය කරන්නේ කෙසේ ද යන්න ගැන ද ජාත්‍යන්තරය තුළ දැනටමත් සෑහෙන විවාදයක් තිබේ. මානව පැවැත්මට තර්ජනයක් වන තත්ත්වයට පත් විය හැකි ද යන ප‍්‍රශ්නය ද ගැඹුරෙන් සාකච්ඡා කරමින් සිටී. එහෙත් එයින් පසුබැසීමක් පෙන්වන්නේ නැත.

පස්වන පරම්පරාවේ එනම් 5G තාක්ෂණය සොයාගැනීමේ පුරෝගාමිත්වය සම්බන්ධ අයිතියක් තහවුරු කළ හැකි රටක් නැත. ඇමරිකාව, දකුණු කොරියාව හා බි‍්‍රතාන්‍ය වැනි රටවල් මුල් අවධියේ සොයාගැනීම් කර තිබේ. පින්ලන්තය මෙම තාක්ෂණය පළමුවෙන් භාවිතා කළ රටක් වශයෙන් කියැවේ. ඇමරිකාව, දකුණු කොරියාව හා චීනය දැනට වැඩිම භාවිතාවක් සහිත රටවල් ලැයිස්තුවේ සිටී. 2016 වසරේ සිට ඇමරිකාවේ අභ්‍යවකාශ පර්යේෂණ අංශවල සිට මහා මාර්ගයේ ධාවනය වන රියැදුරෙකු නැති වාහන දක්වා පරාසයකට 5G පරම්පරාවේ සන්නිවේදනය උපයෝගී කරගෙන ඇත. දකුණු කොරියාවේ නගර අසූ පහක 2020 වන විට පස්වැනි පරම්පරාවේ සන්නිවේදන තාක්ෂණය භාවිතා වූ අතර 2026 වන විට සම්පූර්ණයෙන්ම සන්නිවේදන පහසුකම් එම දියුණු අංශයට හැරවෙනු ඇතැයි සැලකේ. චීනයේ රොබෝ තාක්ෂණය බහුලව භාවිතා කරන අතර සෞඛ්‍ය, ප‍්‍රවාහන හා අභ්‍යවකාශ කටයුතු සදහා 5G සන්නිවේදන පහසුකම් ලැබී ඇත. බි‍්‍රතාන්‍ය, ජපානය, පමණක් නොව කුඩා රටවල් වශයෙන් ස්වීඩනය, තුර්කිය හා එස්ටෝනියාව පවා මෙම තාක්ෂණය සිය එදිනෙදා කටයුතුවලට යොදා ගනිමිනි සිටී. 2018 වසරේ සිට 5ඨ තාක්ෂණය භාවිතා කරන එස්ටෝනියාව ආණ්ඩුකරණය සදහා තොරතුරු සන්නිවේදනය මැනැවින් උපයෝගී කරගනී. රාජ්‍ය කටයුතු සම්පූර්ණයෙන්ම අන්තර් ජාලයට පවරා ඇත. එය එරට ජනතාව අත් විදින විශාල වරප‍්‍රසාදයක් බව දැක්වේ.

ආර්ථික, සමාජයීයය කටයුතු වලට 5G තාක්ෂණය විශාල වශයෙන් සම්බන්ධවීම සමග වසර 2035 වන විට අලූතින් බිහිවන රැකියා ප‍්‍රමාණය මිලියන 22.3 ක් වියහැකි බව ජාත්‍යන්තරය ගණන් බලා ඇත. සමස්ථ ආර්ථිකයෙන් ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියන 13.2 කට සම්බන්ධ වනු ඇති බව දැනටමත් ප‍්‍රකාශ වී තිබේ.

ඉදිරි මාස කිහිපය තුළ 5G තාක්ෂණ පහසුව ආරම්භ කරන්නට ඉන්දියාව සූදානම් වන අතර එය මහත් බලාපොරොත්තු සහිත යුගයක් බව ප‍්‍රකාශ වී ඇත. ඉන්දියාවේ ටෙලිකොම් අමාත්‍ය අශ්විනී විශේනාව් සදහන් කරන අන්දමට මෙම වසර අවසන්වීමට කලින් නගර 20-25 ක් 5G සන්නිවේදනය පහසුකම් සහිත වනු ඇති අතර එය දත්ත සන්නිවේදනය වේගවත් කරනු ඇත. දත්ත සදහා අයකරන ගාස්තු විශාල වශයෙන් අඩු කරන බව ද දැක්වේ. ඉන්දියාවේ සිදුවන තොරතුරු තාක්ෂණ සන්නිවේදන සංවර්ධනය දෙස ජගත් ප‍්‍රජාව අවධාරණයෙන් බලා සිටිති. මෙතෙක් දුරකතනයකින්, අන්තර් ජාලයට ප‍්‍රවේශවන තැනක පැවැති තාක්ෂණය යන්ත‍්‍ර අතර සන්නිවේදනය දක්වා පරාසයකට පුලූල් කෙරේ. සංවර්ධනයෙහි විශාල පරිවර්තනයකි. හතරවැනි පරම්පරාවේ සන්නිවේදනයේ දී සන්නිවේදන දෝෂ සමහරවිට පවතින අතර ඇතැම් බිද වැටීම් බරපතල ගැටළු ඇති කරයි. නමුත් අනාගතයේ දී කෘතීම බුද්ධිය බලගැන්වෙන පරිසරයක් තුළ බාධාවකින් තොරව අඛණ්ඩ මාර්ගගත සම්බන්ධතා අවශ්‍යය. එහි ලා පස්වැනි පරම්පරාවේ තොරතුරු තාක්ෂණය වැදගත්ය.

මෙම ව්‍යුහය තුළින් ලබාගත හැකි අවස්ථා විස්මිතය. රියැදුරන් රහිත වාහන ධාවනය වනු ඇත. කම්හල්වල නිෂ්පාදනයට ශ‍්‍රමය අවශ්‍යම නැත. රොබෝ යන්ත‍්‍ර නිරීක්ෂණය කරන අතලොස්සක පිරිසක් ප‍්‍රමාණවත්ය. එය නිෂ්පාදනය දෙගුණ තෙගුණ කරන අතර කාර්යක්ෂමතාව ඇති කරයි. සෞඛ්‍ය අංශයේ වෙනස්කම් සිදුවනු නිසැකය. දුරස්ථ සැත්කම් සිදු කළ හැක. අධ්‍යාපන අංශය විවෘතවීම තවත් විශේෂත්වයකි. විශ්ව විද්‍යාලවල දේශන එම අවස්ථාවේ දීම ශිෂ්‍යයන්ට පරිශීලනය කළ හැකිය. අධ්‍යාපනයේ වියදම් විශාල වශයෙන් අඩුවන හේතුවකි. ජාත්‍යන්තර විශ්ව විද්‍යාලවල පාඨමාලා වලට දුප්පත් දරු දැරියන්ට ද දොරටු විවෘත කිරීමකි. ඩ්‍රෝන තාක්ෂණය හෙහි දී වඩාත් බලාපොරොත්තුු ඇති කර තිබේ. භාණ්ඩ ප‍්‍රවාහනට විශේෂ සේවාවන්ට යො දුගැනෙන ඩ්‍රෝන සදහා 5G අවශ්‍යය. ඇතැම් රටවල දැනටමත් හතරදෙනෙකුට ගමන් කළ හැකි කෙ ටිදුර ඩ්‍රෝන භාවිතා කරන අතර පියාඹන යානා නිෂ්පාදනය වෙයි. මේවා වෙහෙයවන්නේ 5G තාක්ෂණයෙන්ය. මෙවැනි අවකාශයක් වෙනුවෙන් පස්වැනි පරම්පරාවේ රැහැන් රහිත සන්නිවේදනය රටට අවශ්‍යය. කල් නොහැර තීරණ ගැනීමෙන් ලෝකයේ අනෙක් රටවලට කලින් අවස්ථා උදාකරගැනීමට ඉඩකඩ ලැබෙන බව පෙන්වා දිය යුතුය.

පස් වන පරම්පරාවේ සන්නිවේදනය සමග මෙහෙයුම් පිරිවැය අඩු වෙයි. නඩත්තුව සීමා සහිතය. එහෙත් ඒ වෙුනවෙන් කළ යුතු ආයෝජනය දැවැන්ත බව අනාවරණය වෙයි. අලූතින් යමක් හදුන්වා දෙන විට එසේ සිදුවෙයි. එහෙත් තාක්ෂණික පිරිවැය වේගයෙන් පහත වැටේ. අලූත් උපකරණ නිපදවෙයි. පස්වැනි පරම්පරෙවේ සන්නිවේදන පහසුව මගින් නිෂ්පාදන හා සේවා අංශ අතර එකිනෙක සම්බන්ධ වන වේගය හා එයින් ඉතිරි කරන කාලය රටකට ඉතාම වැදගත්ය. එය සෑහෙන ආර්ථික වාසි ඇති කරනු නිසැකය.

ශ‍්‍රී ලංකාව විශාල පරිවර්තන යුගයකට ඇතුළු විය යුතුය. 1978 දී ආර්ථිකය විවෘත කිරීමෙන් සමාජය අත් වි`දින ලද වාසි මහත්ය. ආනයන හා අපනයන, ආගමන සහ විගමන ක්ෂේත‍්‍රයන් හි විශාල පිබිදීමක් සිදුවිය. එවැනි ප‍්‍රබෝධයක් අද ඇති කරන්නට තාක්ෂණය භාවිතා කළ හැක.

ඉදිරි වසර කිහිපය තුළ සිදුවන මෙම වෙනස්කම්වලට අනුගතවීමට ශ‍්‍රී ලංකාව ප‍්‍රතිපත්ති තීරණයකට යා යුතුය. රජය මෙහෙයවන අතර පුද්ගලික අංශයට අවස්ථාව දිය යුතුය. නියාමනය ඉතාම වැදගත්ය. ශ‍්‍රී ලංකාවේ විනෝදාත්මක හා දැනුම සම්පාදන අංශ මෙම පරිවර්තනය හා එකතු විය යුතුව තිබේ.