» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
14/03/2021 - ඉරිදා ලංකාදීප
අසූ වසරක යටගියාව ගැන විමර්ෂණයට විද්‍යාර්ථීන්ට අවස්ථාවක්

ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අසල්වැසි රටවල්ය. දෙරට අතර අඩුම දුර සැතපුම් විසි හයකි. භූගෝලීය වශයෙන් ඉතා සමීපය. නමුත් හදවත් වලින් දුරස්ථය. රටවල් දෙක අතර සම්බන්ධතා සෑහෙන ප‍්‍රමාණයක් තිබේ. ඓතිහාසික සිද්ධි ගණනාවකි. ගෞතම බුදු රජාණන් වහන්සේ තෙවතාවක් වැඩම කර තිබීම ඉහළින් සදහන්ය. විජයාගමනය, මහින්දාගමනය සැලකිය යුතු සන්ධිස්ථාන සේ සැලකේ. රාමායනය පොදුවේ විශ්වාස කරන වීර කාව්‍යයකි. වාල්මිකී රචනා කර තිබේ. රාවණා රජු දඩුමොණරයෙන් ගොස් සීතා දේවිය පැහැරගෙන පැමිණ ඇත. රාම කුමාරයා සේනාවකින් පැමිණ නැවත සිය මෙහෙසිය ගලවා ගෙන ඉන්දියාවට රැගෙන ගොස් තිබේ. ගජබා රජ සමයේ සිදුවූ සිද්ධි ගැන ද කියැවේ. බටහිරට රට යටත්වන කාලය වන විට ලංකාවේ රජවරු විවාහයට කුමාරිකාවෝ තොරා ගත්තේ ඉන්දියාවෙන්ය. එය ඉන්දීය ඇවැතුම් පැවැතුම් හා සංස්කෘතික ලක්ෂණ මෙරට ජන සමාජයට එකතු කරන්නට හේතු වී තිබේ. කාලිංග මාඝ ආක‍්‍රමණය සෑහෙන විපත් කර ඇත. රටවල් දෙක අතර සහෝදරත්වයේ බැදීමක් තිබේ. එක අවස්ථාවක සමීපය. තවත් වකවානුවක දුරස්ථය.

1942 වසර මෑත කාලීන ඉන්දු ලංකා සම්බන්ධතාවන්හි එක සංධිස්ථානයකි. නිදහස ලබන්නට කලින් කාල වකවානුව හා සම්බන්ධය. ශ‍්‍රීමත් ඞී. බී. ජයතිලක එහි නිර්මාතෘන්ය. එතුමන් සම්පාදිත යුගය සිහිපත් කිරීම උචිතය. තවත් අවුරුද්දකින් අසූ වසරක් සපිරෙයි.

දෙවන ලෝක යුද්ධය හමාරවන විට සතුරු පාර්ශව පමණක් නොව මිත‍්‍ර පාර්ශවයේ රටවල් ද යුද වියදම්වලින් හෙම්බත්වී සිටියේය. ලංකාවද බලවත් පීඩා විදි රටකි. අත්‍යවශ්‍ය ආහාර පවා ප‍්‍රමාණවත් නොවූ බව වාර්තා දක්වයි. බරපතල විනිමය හිගයක පසුවිය. බර කරත්තවල බඩු ප‍්‍රවාහනය කරන ගොනුන් ගේ ආහාරයට දෙන පුන්නක්කු පවා සලාක ක‍්‍රමයකට නිකුත් කිරීම අරඹා තිබුණි. එකල ලංකාව පාලනය කළ බි‍්‍රතාන්‍ය පාලකයෝ ඉන්දියාවෙන් ආහාර තොග ඉල්ලා දොන් බාරොන් ජයතිලක ශූරීහු විශේෂ නියෝජිතයෙකු සේ ඉන්දියාවට යැවූහ. එවකට ඉන්දීය පාලකයෝ ජයතිලකයන් පිලිගත්හ. රටවල් දෙකම නිදහස ලබා නොතිබුණි. බි‍්‍රතාන්‍ය පාලනය කරමින් සිටියේය. අධිරාජ්‍යවාදීන්ට එරෙහිව විරෝධතා නැග එන වකවානුවකි. නිදහස ඉල්ලා සටන් ඇවිලෙමින් තිබුණි. ශ‍්‍රීමත් ජයතිලකයන් ලංකාවේ ආහාර අවශ්‍යතා ඉන්දියානු පාලකයන් වෙත මැනැවින් සන්නිවේදනය කරන්නට සමත් වූහ. ප‍්‍රතිඵලය වූයේ අත්‍යවශ්‍ය ආහාර සෑහෙන තොගයක් රැගත් නෞකාවක් ඉන්දියාවෙන් පිටත්ව කොළඹට ළගාවීමයි. හෙතෙම තවත් කාලයක් ඉන්දියාවේ වාසය කළේය. සාර්ථක දූත මෙහෙවර හෙයින් ඉන්දියාව සදහා විශේෂ නියෝජිතයෙකු සේ පත් කරන්නට ලංකාණ්ඩුව පියවර ගත්තේය.

ඉන්දු ලංකා නිල සම්බන්ධතා වෙනුවෙන් පෙනී සිටි ජයතිලකයන් හදිසියේ අසනීප වූ අතර අසීරු තත්ත්වයක් මතුවිය. ඉන්දීය ආණඩුකාරවරයා විශේෂ ගුවන් යානයකින් ජයතිලකයන් ලංකාවට පිටත් කර එවන පියවර ගත් නමුත් බැංගලෝරයට ඉහළ අහසේ දී ජීවිතක්ෂයට පත් වූ බව සදහන්ය. ඉන්දියාව හා ලංකාව අතර රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා ගැන සදහන් කිරීමේ දී ජයතිලක නම බැහැර කළ නොහැකිය. එතුමාගේ අභාවයෙන් වසර කිහිපයකට පසු ඉන්දියාවත් ලංකාවත් නිදහස ලබාගත්තේය. නිදහස ලබන්නටත් කලින් සිට දෙරට අතර සහයෝගීතාව නිල වශයෙන් ස්ථාපිත කරන්නට එතුමන් විශිෂ්ඨ මෙහෙවරක් ඉටු කර තිබේ.

අධිරාජ්‍යවාදීහු ඉන්දීය සම්භවයක් සහිත ශ‍්‍රමිකයන් මෙරටට කැදවන විට යුක්ති සහගත ප‍්‍රතිපත්ති වෙනුවෙන් ඉන්දු ලංකා නායකයන් පෙළඹවීම ජයතිලක ශූරීන් අනුගමනය කරන ලද පිලිවෙලක් බව දැක්වෙයි. හෙතෙම අන්තවාදියෙකු සේ ක‍්‍රියා කළේ නැත. ජාතිවාදී අදහස්වල එල්බ සිටියේ නැත. වාමාංශික අදහස් අනුව තිරණ ගන්නට යුහුසුළු නොවීය. බුදු සුදහම ගැන පුලූල් අවබෝධයක සිටි හෙතෙම මැද මාවත ගැන විශ්වාස කරන ලද බව නිරීක්ෂණය කළ හැකිය. කරුණු සොයා බලා මැදහත්ව තීරණ ගත්තේය. විශේෂ නියෝජිතයෙකු සේ ඉන්දියාව සමග කටයුතු කරන අවස්ථාවල ඔහුගේ මෙම ස්ථාවරය දක්නට ලැබිණ. සත්‍ය සහ යුක්තිය වෙන්කර තෝරා බේරා ගන්නට සමත්ව සිටියේය. දෙරට අතර ඇති ව්‍යාකූල අදහස් පසෙක තබා අලූත් අදහස් අනුව සම්බන්ධතා ගොඩනගන්නට ඔහු ගේ තීරණ ඉවහල්විය.

ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර සබදතා වල ඉතිහාසය සෙවීම පහසු නැත. පර්යේෂණාත්මකව සනාථ කළ හැකි කරුණු වල සිට විවිධ මතිමතාන්තර දක්වා පුලූල් පරාසයකය. අසල්වැසියන් අතර එබදු පසුබිමක් තිබීම සාමාන්‍ය කරුණකි. නිල වශයෙන් තිබුණ සම්බන්ධතා වලට දශක අටක් සම්පූර්ණවීම සන්ධිස්ථානයකි. මෙම මෙහොත පදනම් කරගෙන රටවල් දෙකටම අලූත් යුගයක් ගැන කල්පනා කරන අවස්ථාවක් එළැඹ තිබේ. ඉන්දියාව එයට සූදානම්ය. පසුගිය දා පියවරක් ඉදිරියට තබා තිබේ. දෙරට අතර ඉපැරණි සම්බන්ධය ගැන ගැඹුරු මුහුදේ පරීක්ෂණ වලට ඉන්දීය රජය අවසර නිකුත් කර ඇත.. එරට පුරාවිද්‍යා මධ්‍යම උපදේශන කාර්යාංශය ගවේශන අනුමත කර ඇති බව ද දක්වයි. එයට අනුව විද්‍යාත්මක හා කර්මාන්ත පර්යේෂණ කවුන්සලය සහ ජාතික සමුදුර පර්යේෂණ ආයතනය මෙහි දී එක්ව කටයුතු කරන්නට ඉඩ ඇත. රාම සේතු සම්බන්ධතා, පැරණි පාලම හා එහි පාදම ගැන පුරා විද්‍යා දත්ත සොයා බලනු ඇති බව දැනට කියැවෙයි. අලූත් ආර්ථිකයක් ගොඩනැගිය හැකි අවස්ථා බව නිරීක්ෂණය කළ හැකිය. පැරණි සබදතා තුළින් අලූත් යුගයක් ගැන අවධානය යොමු කිරීම නූතන යුගයේ අවශ්‍යතාවයකි.

කලාපයේ රටවල් අතර සහයෝගීතාව වැදගත්ය. ඉන්දියාවේ සබදතා තීරණාත්මකය. අතීතයෙන් ලැබුණ අත්දැකීම් සමග වර්තමානයේ ඇති ශඛ්‍යතා අධ්‍යයනය කිරීම අවශ්‍යය. වෙන්ව අධීක්ෂණය කරන්නටත් එකතු වී තීරණ ගන්නටත් හැකි සමාජ ආර්ථික ව්‍යුහයක් රටට උවමනා කෙරේ. දෙරට අතර හොද හිත පමණක් නොව, නරක තරගතාරීත්වය තුළ දේශපාලනය තිබේ. පටු අරමුණු සහිත දේශපාලනඥයන්ගේ ප‍්‍රහාර දෙරට අතර මතබේධ අවුලූවා ඇත. ජනතාව අවුලූවන සිද්ධි ඉදිරියේ ප‍්‍රවේසම්වීම වැදගත්ය. කුඩා රටක්, දියුණුවන ආර්ථිකයක් නමුත් බලවත් රටක දැවැන්ත ආර්ථිකයකට අවනතවීම අනවශ්‍යය. සහයෝගීතාවයෙන් කටයුතු කළ හැකි ආකාරය කෙරෙහි අවධානය යොමු කිරීම සුදුසුය.

දෙරට අතර පැවැතිය යුතු ආර්ථික සහ සමාජ පැවැත්ම ගැන අලූතින් හිතන්නට අවශ්‍යය. දෙරටෙහි විද්වතුන් හා බුද්ධි මණ්ඩල පර්යේෂණ වල නිරත විය යුතුය. විශ්ව විද්‍යාල වල අධ්‍යයනය ලබන දූදරුවන් අසල්වැසි ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව ගැන පර්යේෂණ වල නිරත විය යුතු අතර අලූත් ද්‍රෘෂ්ඨිකෝණයකින් නිබන්ධන සකස් කර, ඒවායේ නිගමන පොදු ජනතාව වෙත සන්නිවේදනය වැදගත්ය. අලූත් පරම්පරාව නිවහල්ව කරුණු ගවේශණය කරන තැනට යොමු කිරීම මෙරට විශ්ව විද්‍යාල පද්ධතියේ වගකීමකි. අඩුම තරමින් ඞී. බී. ජයතිලක ශූරීන් ගේ ප‍්‍රතිපත්ති හා මෑත කාලයේ පළමු ලාංකේය රාජ්‍ය නියෝජිතයා වශයෙන් හැසිරී ඇති අන්දම සොයා බලා විවිධ පැතිවලින් වාර්තා කිරීම අතිශය වැදගත්ය. දශක අටක් යනු පරම්පරාවකි. අලූත් පරම්පරාවකට අයිතිය ඇතුළු විය යුතු තිබේ. එය තාක්ෂණික භාවිතාව සහිත පරපුරක් වනු ඇති අතර සිතන පතන හා ක‍්‍රියා කරන ආකාරය තොරතුරු තාක්ෂණයේ අලූත් අත්දැකීමක් වෙන්නට ඉඩ තිබේ. රටවල් අතර ඇති සම්ප‍්‍රදායික බැ`දීම් හා නිලධාරී ක‍්‍රියාකලාපය ඉක්මවා යන අවකාශයක් වෙත බලාපෙරොත්තු තැබීය හැකිය

මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපියනට යොමු කළ හැකිය.