» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
13/08/2023 - ඉරිදා ලංකාදීප
එක රටක් තුළ එක නීතියක් පැනවීමට නීති කොමිසම සූදානම්

විවාහය හා දික්කසාදය ඇතුළු කරුණු ගණනාවක් අලලා එක රටක් තුළ එකම නීතියක් සම්මත කරගැනීමේ අවශ්‍යතාව ඉන්දීය නීති කොමිසම පසුගියදා අවධාරණය කළේය. පවුලේ උරුමය, අනුප‍්‍රාපතිය, භාරකාරත්වය, දරුකමට හදා ගැනීම හා විවාහයෙන් පසු දේපොළ යන තීරණාත්මක කරුණු අරභයා සමාන නීති පද්ධතියක් අනුගමනය කිරීමේ අවශ්‍යතාවය වසර පහක් තිස්සේ සාකච්ඡාවන බව පෙන්වා දෙන කොමිසම මෙම සංශෝධන පැනවීම කාලෝචිත ද යන්න ගැන මහජන අදහස් ඉල්ලා ඇත. දැනට පවත්වාගෙන යන විවිධ නීති අනුව කුළය, ආගම, අනෙක් ප‍්‍රාන්ත ගතානුගතික සිරිත් ඉන්දීය සම්මත විවාහ නීතිය අභිබවන අතර පොදු නීතියක් අනවශ්‍ය බව තීරණය කළහොත් මෙම යෝජනාව අත්හැරිය හැකි බව නීති කොමිසම නිවේදනය කර තිබේ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා භාරතීය ජනතා පක්ෂ නියෝජිතයන් භෝපාල් හි දී හමු වූ අතර පවුලේ එක සාමාජිකයෙකුට එක නීතියක්, තවත් සාමාජිකයෙකුට අනෙක් නීතියක් විශ්වාස කරන්න මෙහෙම පවුලකට පැවැත්මක් තිබේද? ඔහු ප‍්‍රශ්න කළේය. ඉන්දීය රජය 2022 වසරේ දී ශේෂ්ඨාධිකරණයට කරුණු දක්වමින්, විවාහය හා දේපොල අයිතිය සම්බන්ධ වෙනස් නීති බලපවත්වන ක‍්‍රමය ජාතියේ එක්සත්කමට අපහාසයක් බව පෙන්වා දී ඇත.

ඉන්දීය නායකත්වය එක නීතියක් සම්මත කරගැනීමට දක්වන අභිලාශය ලබන වසරේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ දී තීරණාත්මක සාධකයක් විය හැකි බව ඉන්දීය විද්වතුන් දක්වයි. රාජස්ථාන්, මධ්‍ය ප‍්‍රදේශ්, චෙත්තිගාර් හා තෙලංගානා යන ප‍්‍රාන්තවල ප‍්‍රතිඵල ජයග‍්‍රහණය සදහා බලපවත්වන අතරවාරයේ ඉන්දියාව එක නීතියක් යටතේ එක්සත් කිරීමට ගන්නා පියවර කැළඹීමක් ඇති කර ඇත. කෙසේ නමුත් භාරතීය ජනතා පක්ෂය 1989 මැතිවරණයේ දී ජනතාව හමුවේ තබන ලද පොරොන්දු තුනෙන් එකක් වන මෙම සමාන විවාහය, දික්කසාදය හා දේපොල අයිතිය ඇතුළු කරුණු ගැන සමාන නීතිය සම්මත කරගතහොත් පක්ෂයේ සාර්ථකත්වයට හේතුවේ. අනෙක් පොරොන්දු දෙක බවට පත්ව තිබුණ රාම් මන්දිරය ඉදිකිරීම හා ජම්මු කාශ්මීර් ප‍්‍රාන්තයට 1947 සිට පනවා තිබුණ විශේෂ බලතල අහෝසි කිරීම දැනටමත් ඉටුකර ඇත.

රාම් මන්දිරය ඉදිකිරීමෙන් පසු එය ලෝකයේ විශාලත්වය අතින් තෙවැනි තැනට පත්වන හින්දු දේවස්ථානය වශයෙන් විවෘත කෙරෙනු ඇත. 1992 දී හින්දු මුස්ලිම් ගැටුම් අතරවාරයේ එහි තිබුණ හින්දු අනන්‍යතා විනාශ වූ අතර වසර විසි හතකට පසු, හින්දු දේවස්ථානයක් එහි ඉදිකිරීමට ඉන්දීය අධිකරණය අවසර නිකුත් කළේය. අගමැති මෝදි මහතා ඉන්දියාවේ විශාලතම රාම් මන්දිරය ඉදිකරන අතර ලෝකයේ විවිධ රටවලින් රාමායණයට සමබන්ධ සාධක එකතු කර එහි නැන්පත් කිරීමට ද යෝජනා කළේය. සීතාඑළිය කෝවිල ආසන්නයේ පිහිටි ජලාශයෙන් ලබාගත් පාශාණයක් ද මෙහි තැන්පත් කිරීමට ශ‍්‍රී ලංකාවෙන් පිරිණැමිණ.

සෙසු ඡන්ද පොරොන්දු කෙසේ වෙතත්, විවාහ හෝ දික්කසාදය ඇතුළු කාරණා සම්බන්ධ පොදු නීතියක් ස්ථාපිත කිරීම පහසු නැති බව ඉන්දීය බහුජන සංවිධාන හා ආගමික අංශ මතු කරන කරුණු අනුව ප‍්‍රකාශ වේ. ගෝව ප‍්‍රදේශයේ කාන්තාවන් කණ්ඩායමක් මෙම යෝජනාවට විරුද්ධ බව දැනටමත් ප‍්‍රකාශ කර ඇත. යෝජනාව ගෙන එන ලද කාලයේ කරන ලද ජනමත විචාරණයකට අනුව කැමැත්ත ප‍්‍රකාශ කරන ප‍්‍රතිශතය සියයට තිස් අටකි. ප‍්‍රතිසංස්කරණ අවශ්‍ය නමුත් එය බලහත්කාරයෙන් කරන නිල ඇදුමක් ඇන්දවීමක් නොවන බව විරුද්ධ මතධාරී දේශපාලනඥයන් දක්වා ඇත. මුස්ලිම් ජනතාව අතර ද විවිධ අදහස් පැන නැගී තිබේ. ඉන්දියාව විශාල කුල ප‍්‍රමාණයක්, විවිධ ආගම් අදහස විවිධ භාෂා කතා කරන අතර මෙම පිරිස අතරට විවාහය හා දික්කසාදය සදහා තනි පොදු නීතියක් සම්මත කිරීම පහසු නැත.

එක රටක් තුළ එක නීතියක් පැනවීමෙන් සමානාත්මතාව ආරක්ෂාවන අතර යුක්තිය ඉශ්ඨ වනු ඇතැයි විශ්වාස කෙරේ. නීතියේ සමානතාවයක් නැති සමාජයක් සදහා අදහස් ඇවිලෙමින් පවතී, ශ‍්‍රී ලංකාවේ ද විවාහය, දික්කසාදය, දේපල අයිතිය හා දරුවන් ගේ භාරකාරීත්වය ගැන විවිධ නීති අනුගමනය කෙරේ. සාමාන්‍ය නීතියට අමතරව, උඩරට, තේසවලාමේ, කාතික් වැනි ක‍්‍රම භාවිතා වේ. ශ‍්‍රී ලංකාවේ අධිකරණ නීති ප‍්‍රතිසංස්කරණයේ දී මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සංශෝධනය කළ යුතු ආකාරය සොයා බැලීම සදහා විශේෂ කමිටුවක් පත් කරන ලද අතර මෙහි වාර්තා රජයට භාර දී ඇත. මෙහි දී කාන්තාවන්ට සිදුවන අගතිය ගැන සලකා බැලිණ. සමාජයක් දියුණුවන පසු ඇතැම් ගෝත‍්‍රික ලක්ෂණ ඉවත් කළ යුතු අතර කාන්තාවන්ට වෙනස් ආකාරයකින් සැලැකීම තුරන් කිරීම අවශ්‍යය. කෙසේ නමුත් සමාජ එකගතාවයක් අවශ්‍ය කෙරේ. වෙනස් සංස්කෘතීන්ට ගරු කරන අතර අනන්‍යතාවය ආරක්ෂා කිරීම ද වැදගත්ය. විද්වත් පිරිස් ස්වාමිපුරුෂයාට හා බිරිදට සමාන අයිතිවාසිකම් ලැබෙන හා ගෞරවය අත්පත් කරදෙන යෝජනා ඉදිරිපත් කරන නමුත් ගතානුගතික රාමුව මගින් මෙම අදහස් ප‍්‍රතික්ෂේප කිරීම ගැන සාකච්ඡා කිරීම අවශ්‍යය.

විවාහ වන අවස්ථාවේ දී, නොබැලෙන ඇතැම් සාධක පවුලේ ජීවත්වනවිට පැනනැගුණහොත් සාධාරණ හේතුමත දෙපාර්ශවයේ කැමැත්තෙන් වෙන්වීමකට පවා පරිශ‍්‍රමයක් දරන්නට සිදුවේ. අධිකරණ ක‍්‍රියාවලිය දීර්ඝ කාලයක් ගතවන අතර නීති ගාස්තු අධිකය. වන්දි ගෙවීමේ ක‍්‍රියාවලිය තුළ අසමානතා ඇත. මුස්ලිම් විවාහයක් දික්කසාදයකින් කෙළවරවීමක දී කාන්තාව පත්වන දුෂ්කරතා ගැන එම සමාජයේ නූතන පරම්පරාව මහත් කම්පාවකින් පසුවේ. පුරුෂයාට ඇති අයිතින් සාමාන්‍ය සමාජය අනුමත නොකරනු ඇත. උඩරට හෝ යාපනයේ විවාහ සහ දික්කසාද නීති අනුව දේපොල අයිතිය වැඩි අවධානයට ලක්වන කරුණකි. පාරම්පරික දේපොල බෙදී අන්‍යයන් සතුවීම වලක්වන සම්ප‍්‍රදායික ක‍්‍රම අනුගමනයවීම සාමාන්‍ය සිද්ධියකි. පවුලේ උරුමය, දරවැන්ගේ භාරකාරීත්වය, දරුකමට හදාගැනීම සෑහෙන පරිශ‍්‍රමයකින් පසු සම්මතයකට පැමිණිය යුතු කරුණු අතර ඇත. වෙනස්කම් රහිත සමාජයක්, යුක්ති සහගත පරිසරයක් යෝජනා කිරීමේ දී පවුලේ රාමුවෙන් ආරම්භ කළ හැකි ද යන්න සාකච්ඡා කිරීම ඉතාම වැදගත්ය. ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය, විවාදාත්මක පියවරක් ඉදිරියට තබා ඇති අතර සංකීර්ණ සමාජයක් එකතු කරන්නට ගන්නා උත්සාහය විවිධ පැතිවලින් අධ්‍යයනය කළ යුතුව ඇත.