» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
13/06/2021 - ඉරිදා ලංකාදීප
ශ‍්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් අල්ලන ඉන්දියානු අනවසර ධීවරයෝ

මීගමුව ප‍්‍රදේශයේ ධීවරයෝ තමන් ගොඩබිමට ගෙන එන ලද මාලූ පිස අනුභව කරන සිද්ධියක් වාර්තා විය. බස්නාහිර මුහුද විශාල අනතුකට පත්ව ඇති අතර මුහුදු ආහාර පරිභෝජනයට නුසුදුසු බවට මතයක් තිබේ. එයට හේතුව කොළඹ වරායට නාවික සැතපුම් දහයක් පමණ ඔබ්බෙන් භාණ්ඩ ප‍්‍රවාහන නැවක් ගිණි ගැනීමේ සිද්ධියයි. නැව තුළ තිබුණ රසායනික ද්‍රව්‍ය මුහුදට එකතු වී ඇත. එය මත්‍ය ආහාර පරිභෝජනය සීමා කරන ලද බව පෙනේ. ධීවර කර්මාන්තයේ නියුතු ජනතාවට මුහුද ඉතාම වැදගත් සම්පතකි. ධීවර කටයුතු සම්බන්ධයෙන් ඉල්ලූම ආරක්ෂා කරගත යුතුය. එය සාධාරණය. ගිණිගත් නැව සම්බන්ධ සිද්ධිය හදිසියේ පැන නැගී ඇති තත්ත්වයකි. එයට විසදුමක් තිබිය හැකිය. විශේෂඥයෝ නොයෙක් පැතිවලින් සලකා යෝජනා ඉදිරිපත් කරමින් සිටිති. මෙරට ධීවර කර්මාන්තයට බලපා ඇති, මෙම හදිසි සිද්ධියට එහා ගිය අතිශය තීරණාත්මක පැත්තක් ද තිබේ. ඉන්දීය ධිවරයන් ශ‍්‍රී ලංකා මුහුදු සීමාව තුළ අනවසරයෙන් මසුන් අල්ලමින් සිටී. නිතර උණුසුමක් ඇති කරන මාතෘකාවකි. ප‍්‍රතිපත්ති සම්පාදකයන් සහ ධීවර ප‍්‍රජාව මෙරට මත්‍ය සම්පත ගැන අවධානය යොමු කළ යුතුය. විවිධ පැතිවලින් සලකා බලා රාජ්‍ය තාන්ත‍්‍රික මට්මින් විසදාගත යුතු ප‍්‍රශ්නයකි.

දෙරට අතර මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර රා්‍ය නායක සාකච්ඡුා වල දී අනිවාර්යයෙන් ගැනෙන එක කරුණකි. පසුගිය සාකච්ඡුා වල දී කිසිම අවස්ථාවක ස්ථිර නිගමනයකට පැමිණ නැත. ප‍්‍රශ්නය නිරාකරණය නොවී පවතින අතර එය සමාජ ගැටළුවකි. ඉන්දීය ධීවරයෝ මෙරට මුහුදු සීමාවේ දී අත්අඩංගුවට ගැනෙන අතර ඉන්දියානු මුහුදු සීමාවේ දී ලාංකේය ධීවරයන් අත්අඩංගුවට ගන්නා අවස්ථා ද අනාවරණය වෙයි. දෙරට අතර පවතින නීති හා රෙගුලාසි කෙසේ වෙතත් අවසානයේ දී අවබෝධාත්මකව සලකා බලා, සෑහෙන පරිශ‍්‍රමයකින් පසු සිද්ධි සමථයකට පත් කර ගැනේ. එයට වැය කරන කාලය හා වෙහෙස ගැන විශේෂ අවධානය යොමු කිරීම සුදුසුය. දෙරට අතර මුහුදු සීමාවේ එනම් දකුණු ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව උතුර අතර ඇති මසුන් බහුල පටු ප‍්‍රදේශයේ ධීවර කටයුතු සදහා බලපත‍්‍ර ක‍්‍රමයක් ඇති කරන යෝජනාව ද තිබේ. එහෙත් එය මෙම අවස්ථාවේ දී සලකා බැලීමට වාතාවරණයක් නැත. ඉන්දීය ධීවරයන් සම්පූර්ණ අවස්ථාව අත්පත් කරගැනීම අවාසියකි.

ඉන්දු ලංකා මහුදු සීමා සම්බන්ධ සම්මුතිය අත්සන් කරන්නේ 1974 වසරේ දී ය. එයට වසර දෙකකට පසු එය තවත් වැඩි දියුණු කර ඇත. මෙම ගිවිසුම් අනුව රටවල් දෙකටම බලපාන ජාත්‍යන්තර නීති බලාත්මක කර තිබේ. ගිවිසුමෙහි වගන්ති අනුව රටවල් දෙකට වෙනම සීමා වෙන්කර ඇත. තමන්ට අයත් සීමාව හැර අනෙක් කලාපයකට අවසරයකින් තොරව ඇතුළු විය නොහැකිය. පැහැදිලිව අනුගමනය කළ යුතු වගකීමකි. 1976 මාර්තු 23 වැනි දා හුවමාරු කරගත් ලිපියක දක්වන පරිදි මුහුදු සීමා නීර්ණය කිරීමෙන් පසු තමන්ට අයත් කලාපයෙන් බැහැරව ධීවර කටයුතු නීති විරෝධී බව දක්වා තිබේ. සාගරයේ වෙසෙන මසුන් සීමා මායිම් නොතකන පරිදි ධීවරයෝ ද මසුන් බහුල ස්ථාන සොයමින් කර්මාන්තයෙහි නියැලෙන බව නිරීක්ෂණය කළ හැකිය.

ත‍්‍රස්තවාදය පැවැති කාලවකවානුවේ උතුර නැගෙනහිර ධීවර කටයුතුවලට තහනමක් පනවා තිබුණි. නාවික හමුදාව මුර සංචාරවල නිරතවිය. ඉන්දියානු ධීවරයෝ සිය මුහුදු සීමාවේ කටයුතු කරගෙන ගියහ. එම කලාපයේ මතස්‍ය අස්වැන්න නෙලා ගෙන අවසන්ය. එහි මසුන් හිගය. ධීවර කටයුතුවලට ඉඩ දුන් වහා මසුන් බහුලව සිටින ශ‍්‍රී ලංකාවේ මුහුදු සීමාවට ඇතුළු වෙමින් සිටී. දෙරට අතර නිරීක්ෂණ වාර්තා පෙන්වන පරිදි ඉන්දියානු ධීවරයෝ ට්‍රෝලර් යාත‍්‍රා භාවිතා කරන අතර බොටම් ත්‍රෝලිං නමැති ක‍්‍රමයක් අනුගමනය කරයි. එමගින් දැල මුහුදු පත්ලටම එලන අතර ගැඹුරු මුහුදේ සිටින මසුන් පවා එකවර අල්ලා ගනිමින් සිටිති. එය මසුන්ගේ බෝවීම වලකන බරපතල අනතුරකි. ශ‍්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ පවතින නීති අනුව පවා බොටම් ත්‍රෝලිං දැල් ක‍්‍රමය තහනම්ය. භාවිතා කළ හැකි දැල් වල ප‍්‍රමිති නියම කර තිබේ. එය තිරසාර කර්මාන්තයකට අවකාශයක් සලසන බව පැහැදිලිය. මෙරට ධීවරයෝ සාමාන්‍ය අන්දමට කර්මාන්තයෙහි නිරතවන අතරවාරයේ ඉන්දීය අනවසර ටෝලර් යාත‍්‍රා මගින් විශාල වශයෙන් කරන ධීවර කර්මාන්තය අනාගතයේ මෙරට මත්ස්‍ය සම්පත සීමාවිය හැකි එක බරපතල සාධකයක් ද විය හැකිය. ක්ෂේත‍්‍රයේ නිරත විද්වත්හු එය අවධාරණය කරති. අනවසර ධීවර කටයුතු පමණක් නොව ධීවර කර්මාන්තයේ යෙදෙන ඉන්දීය ධීවරයන්ගේ ස්වභාවය ද රටට ගැටළුවක් බව පෙනේ.

විද්වත් වාර්තා අනාවරණය කරන පරිදි ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ රාමේශ්වරම්, පුදුක්කෝට්ටි සහ නාගපට්ටියම් වෙරළවලින් පන්දහසකට වැඩි ට්‍රොලර් බෝට්ටු ධීවර කටයුතු සදහා මුහුදු සීමාවට පැමිණෙති. සතියකට තෙවතාවක් පමණ එන මෙම ධීවරයෝ අතරින් සෑහෙන පිරිසක් ශ‍්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළුවන අතර බොටම් ත්‍රෝලිං ක‍්‍රමයට කර්මාන්තයෙහි නිරත වෙති. නොයෙක් සීමා පනවන නමුත් එහි අවසානයක් නැත. මන්නාරම, යාපනය, කිලිනොච්චිය හා මුලතිව් දිස්ත‍්‍රික්ක වල ධීවර කර්මාන්තයෙහි නිරත පනස් දහසකට වැඩි ප‍්‍රමාණයක් එයින් අසරණ වී සිටින බව අනාවරණය වෙයි. දිවයිනේ සෙසු ප‍්‍රදේශවලින් ගැඹුරු මුහුදට යන ධීවරයන්ට ද එහි අවාසිය අත්පත්වන බව නොරහසකි. හෙළිදරව් වන තොරතුරු අනුව එක සතියක දී රටට අහිමිවන මතස්‍ය සම්පත දළ වශයෙන් මෙටි‍්‍රක් ටොන් හය සියයකි. වසරක දී රටට අහිමිවන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන හතලිහක් පමණ වන බව ගණන් බලා තිබේ. මෙම තත්ත්වය පාලනය කර මෙරට ධීවරයන් ගේ පැවැත්ම ආරක්ෂා කරගැනීම අරමුණු කරගෙන සාකච්ඡා වට ගණනාවක් 2004 වසරේ සිට 2013 දක්වා පවත්වා ඇත. එහෙත් ඒවායෙන් ස්ථිර එකගතාවයකට පැමිණ නැති බව දැක්විය යුතුය. පසුව මෙරට ධීවර පණත සංශෝධනය කර ඇත. අනවසර ධීවරයන්ට විශාල දඩයක් නියම කරන සහ ධීවර යාත‍්‍රා රාජසන්තක කරන නීති බලගන්වා තිබේ. එහෙත් ඒවා අකුරටම ක‍්‍රියාත්මක නොවේ.

අනවසර ධීවර කටයුතු සම්බන්ධ ගැටළු ඉන්දු ලංකා මුහුදු සීමාවට පමණක් බලපා ඇති ප‍්‍රශ්නයක් නොවේ. ලෝකයේ නොයෙක් තැන්වල අර්බුද මතුකර ඇත. ඇමරිකාව හා කැනඩාව අතර සෑහෙන කාලයක් තිස්සේ පවතී. බි‍්‍රතාන්‍ය හා ප‍්‍රංශය අතරත් ප‍්‍රශ්න ඇත. නැගෙනහිර ආසියාවේ තත්ත්වය සංකීර්ණය. රටවල් අතර ධීවර ප‍්‍රශ්න විසදීමට ජාත්‍යන්තර බේරුම්කාර මණ්ඩල පිහිටුවා තීරණ ගෙන තිබේ. ඒවායේ පසුබිම හා මානුෂික පැති සලකා බලා විස`දුම් නිර්මාණය කර ගෙන ඇති බව දැක්විය යුතුය. අනවසර ධීවර කටයුතු පමණක් නොව සීමාව ඉක්මවා අධික මසුන් ඇල්ලීම ද ජාත්‍යන්තරයේ අවධානයට ලක්ව ඇති තවත් කරුණකි. ධීවර කටයුතු වල දී සාගරයට කරන හානි ගැන ද වෙනම පැතිවලින් අධ්‍යයනය කෙරේ. විශාල සාගර කලාප ඇති රටවල් ඒවායේ සම්පත බෙදාගැනීමට බලපත‍්‍ර ක‍්‍රම හදුන්වා දී ඇත. නමුත් ධීවර කර්මාන්තයෙහි නිරත ප‍්‍රජාව සතු බෝට්ටුවල බලය හා භාවිතා කරන දැල් ආම්පන්න අනුව ඒවායේ අසමතුලිත තත්ත්ව පැන නැගේ. රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා සහ රටවල් අතර මතබේධ වෙනම ධීවර කර්මාන්තය ජීවින අරගලය සදහා කරගෙන යන වෘත්තියකි. එහි දී මතුවන පැති ගැන සියුම් අවධානයක් යොමු කිරීම අවශ්‍යය.

ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර සම්බන්ධතා වලට ඉතිහාසයක් තිබේ. අතීතයේ දී ධීවර කටයුතු වල දී සීමා මායිම් එපමණ ගැඹුරින් සලකා බලා නැත. වානිජ ව්‍යුහය බලනොපැවැත්වීම එයට හේතුව බව පැහැදිලිය. පවතින සංකීර්ණ ස්වභාවය අනුව රටවල් සතු සම්පත් සීමිතය. ජනී ජනයා ආදායම සොයා වෙහෙස වෙමින් සිටිති. සම්පත් කළමණාකරනය සහ සම්පත් විධිමත්ව භාවිතාව ගැන පුලූල් අවධානයක් යොමු කිරීමට සිදුවෙයි. මෙම ධීවර කර්මාන්තයෙහි පැන නැගී ඇති තත්ත්වය ද මෙහි දී සලකා බැලිය යුතු එක වැදගත් සාධකයක් විය යුතුය.