» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
13/03/2022 - ඉරිදා ලංකාදීප
ලෝකයේ විශාලතම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයේ ප‍්‍රාන්ත මැතිවරණ

ඉන්දියාවේ ප‍්‍රාන්ත පහක මැතිවරණ පැවැත්වීමට නියමිතය. උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ මැතිවරණ ප‍්‍රතිඵලය ඉකුත් බ‍්‍රහස්පතින්දා එනම් මාර්තු දහ වැනිදා නිකුත් කිරීමට නියමිතව තිබුණි. පියවර ගණනාවක් ඔස්සේ පැවැති මැතිවරණයේ පළමු වටය පෙබරවාරි 10 ඇරඹුන අතර ඡන්ද ප‍්‍රකාශ කිරීමේ අවසන් අවස්ථාව යෙදී තිබුනේ මාර්තු හත්වැනිදාය. අනෙක් ප‍්‍රාන්තවල මැතිවරණ කඩින්කඩ පැවැත්වේ.

උත්තර ප‍්‍රදේශ් කලාපයට අයත් ග‍්‍රාමීය පාලන ව්‍යුහය පත් කරගැනීමේ ඡන්ද සටන 2021 වසරේ දී පැවැත්විණි. පංචායත් රාජ්‍ය වශයෙන් හැදින්වෙන මෙම ග‍්‍රාමීය ව්‍යුහය නගර සභා සහ සුළු නගර සභා පාලනයකට හා සමානය. පංචායත් රාජ්‍ය ක‍්‍රමය ස්ථාපිත කරන්නේ 1992 දී කරන ලද 73 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙනි. උත්තර ප‍්‍රදේශ් පංචායත් මැතිවරණයේ දී අගමැති නරේන්ද්‍ර මෝදි ගේ භාරතීය ජනතා පක්ෂයේ ජනප‍්‍රියතාව ගැන ප‍්‍රශ්න මතුකරමින් සමාජවාදී පක්ෂය මන්ත‍්‍රී ධුර 760 ක් උත්තර ප‍්‍රදේශයෙන් දිනාගත් අතර භාරතීය ජනතා පක්ෂයට ලබාගත හැකි වූයේ මන්ත‍්‍රී ධුර 719 කි. බහුජන සමාජවාදී පක්ෂය ද මන්ත‍්‍රී ආසන 381 ක් ලබාගත් බව දැක්වේ. මෙම ප‍්‍රතිඵලය මතක තබාගෙන උත්තර ප‍්‍රදේශ් මැතිවරණය මෙහෙයවු දේශපාලන පක්ෂ බලයේ සිටින භාරතීය ජනතා පක්ෂයට අවාසියක් වනු ඇතැයි කල්තබා තීන්දුකර සිටි බව මතක් කළ යුතුය.

මැතිවරණයේ දී ඡන්දය ප‍්‍රකාශ කිරීමේ ප‍්‍රතිශතය සියයට පනස් හයක් බව ඉන්දියන් එක්ස්ප‍්‍රස් පුවත් පත වාර්තා කරන ලද අතර ඉන්දියාවේ ඇතැම් මාධ්‍ය ප‍්‍රතිඵල නිකුත් කරන්නටත් කලින් ඔවුන් ගේ මතය හෙළිකර සිටියේය. භාරතීය ජනතා පක්ෂයේ අපේක්ෂක යෝගී ආදිත්‍යන් හිටපු මහ ඇමැතිවරයා යළි බලයට පත්වන බව අනාවැකි පලකර තිබුණි. එය උත්තර ප‍්‍රදේශ් දේශපාලන ඉතිහාසයේ හිටපු ඇමැතිවරයා නැවත පත් කරන පළමු වතාව බව වැඩි දුරටත් දක්වන ලද කරුණකි.

ගොව, මානුපූර්, පන්ජාබ්, උත්තරාකාන්ද් යන ප‍්‍රාන්තවල මැතිවරණ මෙම වසරේ ඉදිරි කාලයේ දී පවත්වන්නට නියමිතය. පන්ජාබ් ප‍්‍රාන්තයේ ආසන ගණන 117 කි. උත්තරාකාන්ද් හි ආසන 70 ක්, මානිපුර් හි ආසන 60 ක් සහ ගෝවා ප‍්‍රාන්තයේ ආසන 40 ක් සදහා අපේක්ෂකයෝ දහස් ගණනක් ඉදිරිපත් වී සිටී.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන ක‍්‍රියාමාර්ග ගණනාවක් අනුගමනය කරන්නට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. මැතිවරණය නිරීක්ෂණය කිරීමට ජාත්‍යන්තර ප‍්‍රජාවට ඉඩ හසර ලබා දී ඇත. කොවිඞ් වසංගත තත්ත්වයට පසු පැවැත්වෙන විශාලතම මැතිවරණය වන අතර මසමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගන්නට උපරිම වෑයමක නිරතය. නිරීක්ෂකයන්ට අන්තර් ජාලයෙන් තොරතුරු දැනගැනීම සදහා විවෘත අවස්ථාවක් මැතිවරණ කොමසාරිස්වරයා ලබා දී තිබේ. මැතිවරණය සිදුවන ආකාරය හා එහි අන්තර්ගත කරුණු ගැන සවිස්තරාත්මකව පැහැදිලි කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා පියවර ගත්තේය. ඉන්දියාවේ සිටින රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන්ට අන්තර් ජාලය භාවිතා කර විශේෂ වැඩසටහනක් ද මැතිවරණය අතරතුර සංවිධානය කර තිබුණි. තානාපති හා මහ කොමසාරිස් කාර්යාලවල ප‍්‍රධානීහු එයට සහභාගී වී මැතිවරණය පවත්වන ආකාරය ගැන ප‍්‍රශ්න කරන්නට ද එහි දී අවස්ථාව සලසා ගත් බව සදහන් කළ යුතුය.

1950 සිට බලපවත්වන ව්‍යවස්ථාපිත ක‍්‍රමය අනුව මැතිවරණ කොමිසම ක‍්‍රියා කරයි. 1990 වසරේ එයට සංශෝධනයක් ගෙන එන ලදී. මැතිවරණ කොමසාරිස්වරු තිදෙනෙකු සිටින අතර ඔවුන් අතරින් අයෙකු ප‍්‍රධානියා බවට පත්කෙරේ. තීරණාත්මක අවස්ථාවක බහුතර ඡුන්දයෙන් තීරණ ගැනීමට මැතිවරණ නීතිය ඉඩ දී ඇත. මෙම කොසමාරිස්වරු ජ්‍යෙශ්ඨ විශ‍්‍රාමික පරිපාලන නිලධාරීහු වන අතර මැතිවරණ කොමසාරිස්වරයා සේවයෙන් ඉවත්කිරීමට ලෝක් හා රාජ්‍ය සභාවේ තුනෙන් දෙකක ඡන්දයක් අවශ්‍යය. එමගින් මැතිවරණ පැවැත්වීමේ සම්පූර්ණ බලත කොමිසමට පවරා ඇත. මැතිවරණ කොමසාරිස්වරයා සම්බන්ධයෙන් විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කළ නොහැකි පරිදි නීති පනවා තිබීම තවත් විශේෂත්වයකි.

උත්තර ප‍්‍රදේශ් මැතිවරණයේ දී ද විද්‍යුත් ඡන්ද ප‍්‍රකාශ කිරීමේ ක‍්‍රමවේදය අනුගමනය කෙරිණ. 1982 වසරේ ලෝකයේ පළමු වතාවට විද්‍යුත් ඡන්ද ප‍්‍රකාශ කිරීම අත්හදා බලන්නේ ඉන්දියාවයි. ඡන්ද සලකුණු කරන ලද කඩදාසි භාවිතය ඉවත් කෙරේ. කුඩා බැටරිවලින් භාවිතා වන මැෂින් ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථාපිත කරන අතර ඒවා යේ පාට පුවරුවලට ඇගිල්ල තබා ඡන්ද ප‍්‍රකාශ කළ හැක. 2001 වසරේ සිට එය උපරිම වශයන් භාවිතාවට ගැනේ. මෙවර ඡන්දයේ දී එක මධ්‍යස්ථානයක අවම වශයෙන් එක උපකරණයකක් හෝ භාවිතා කිරීම අනිවාර්ය කර ඇත. වර්ණ හදුනාගත නොහැකි සහ කඩදාසි අවශ්‍යම බව කියන ඡන්ද දායකයෙකුට පැරණි ක‍්‍රමයට ඡන්ද පත‍්‍රිකාවක් නිකුත් කරන අතර එය සලකුණු කර පෙට්ටියට බහා තම ඡන්දය භාවිතා කරන්නට ද අවස්ථාව තිබේ. වයස අසූවට වැඩි හා කායික දුබලතා ඇති ඡන්දදායකයන්ට තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීමට අවස්ථාව ඇත.

ස්වාධීන හා අපක්ෂපාත මැතිවරණයක් පැවැත්වීම සදහා ඉන්දීය මැතිවරණ කොමිසම විහේෂ විධිවිධාන පනවා තිබේ. සංදර්ශන, පාද යාත‍්‍රා, වාහන සංචාර තහනම් කර ඇත. ඡන්දයට බලපාන කිසියම් සිද්ධියක් වාර්තා වී මිනිත්තු සියයක් ඇතුලත වහාම දැනුම්දෙන්නට ක‍්‍රමයක් ප‍්‍රකාශයට පත් කර තිබේ. මුදල් බෙදන, බලපෑම් කරන ඕනෑම අවස්ථාවක් නිලධාරීන්ට පැමිණිලි කළ හැකි අතර එය ඡන්ද ප‍්‍රතිඵලයට තීරණාත්මක වනු ඇති බව ප‍්‍රකාශ වෙයි. මැතිවරණ කොමසාරිස්වරයා දක්වා ඇති පරිදි සියළුම දේශපාලන පක්ෂ සිය අපේක්ෂකයන්ට විරුද්ධව අපරාධ චෝදනා හෝ නඩුවක් අධිකරණයෙහි විභාගවෙමින් පවතීනම් ඒ බව ඔවුන්ගේ වෙබ් අඩවියෙහි පැහැදිලිව ප‍්‍රසිද්ධ කළ යුතු බව දක්වා ඇත. අනෙක එම චෝදනා තිබිය දී මැතිවරණයට ඉදිරිපත් කරන හේතුව ද ජනතාවට දැනගැනීමට සැලැස්විය යුතු බව දක්වා තිබීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංග ආරක්ෂා කරන්නට ගෙන ඇති පියවරකි.

කෙසේ නමුත් අපේක්ෂකයන් ගේ නීති විරෝධී ක‍්‍රියා විශාල වශයෙන් වාර්තා වී ඇති බව ප‍්‍රාන්ත මැතිවණය වාර්තා කරන ජනමාධ්‍ය හෙළිකර ඇත. කලූ සල්ලි නීති විරෝධී සිද්ධි අතර බහුලය. අත්අඩංගුවට ගෙන ඇති, උපයන ලද ආකාරය පැහැදිලි කළ නොහැකි මුදල් ප‍්‍රමාණය ඉන්දීය කෝටි තුන්සියයකට ආසන්න අතර ඒවා 2017 මැතිවරණයට වඩා සියයට 240 ක වැඩිවීමක් බව මැතිවරණ නිරීක්ෂකයෝ කියති. මත්පැන් ලීටර් ලක්ෂ අසූ දෙකකට වැඩි ප‍්‍රමාණයක් වටලා ඇත. කෝටි ගණනක් මිල කර ඇති මත්ද්‍රව්‍ය ප‍්‍රමාණයක් හා තෑගි භාණ්ඩඅති විශාල ප‍්‍රමාණයක් ද සහිත බව වාර්තා අනාවරණය කරයි. මේවා ඡන්ද දායකයන් අතර බෙදාදෙන්නට ප‍්‍රාන්ත පහ තුළ තිබිය දී වලටනලද සමහරක් බව දැක්වේ. මෙයට වඩා විශාල ප‍්‍රමාණයක් අපේක්ෂකයන් විසින් තරගයට බෙදා දෙමින් තිබෙන බව සදහන් කළ යුතුය. සාධාරණ මැතිවරණයක් සදහා මැතිවරණ කොමිසම කදවුරු බදින්නේ මෙවැනි පසුබිමත් තුඛ බව ද සදහන් කළ යුතු වැදගත් කරුණකි.