» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
13/02/2022 - ඉරිදා ලංකාදීප
උතුරු නැගෙනහිර ධීවරයන්ගේ ගැටළු ගැන ඉන්දියාවේ වගකීම

ඉන්දු ලංකා ධීවර ගැටළු ගැන දශක ගණනක් තිස්සේ සාකච්ඡුා කරමින් සිටී. පසුගිය සතියේ උතුරේ ධීවරයෝ විරෝධතාවයක නිරත වූහ. බහුලව මුහුදු සම්පත් සහිත ශ‍්‍රී ලංකාවේ මුහුදු කලාපයට, දකුණු ඉන්දියාවේ ධීවර කණ්ඩායම් අනවසරයෙන් ඇතුළුවන අතර නීති විරෝධී මසුන් ඇල්ලීම නතර කරන ලෙස විරෝධතාකරුවෝ බලකරමින් සිටිති. ඉන්දු ලංකා ධීවර ප‍්‍රශ්නය ගැන රටවල් අතර නිල සාකච්ඡා වට ගණනාවක් පවත්වා තිබේ. දෙපාර්ශවයෙහි අමාත්‍යංශ ලේකම්වරු සහ ධීවර සමිති අතර සබදතා ගොඩනගා ඇත. එම සහයෝගීතා අනුව සමථ තීරණ ප‍්‍රකාශයට පත් වෙයි.

මැදහත්ව කල්පනා කරනවිට දෙරට අතර ධීවර ප‍්‍රශ්නයක් මෙහි නැත. ප‍්‍රශ්නය පැන නැගී ඇත්තේ ශ‍්‍රී ලංකාවේ ධීවරයන්ටය. ඔවුන් ගේ අස්වැන්න බලහත්කාරයෙන් අල්ලාගෙන යන බව පෙනේ. සාමකාමීව විසදාගැනීම මෙහිලා ඇති වැදගත් අවශ්‍යතාවයකි.

ශ‍්‍රී ලංකාවේ මුහුදු සීමාව ආක‍්‍රමණය කරන්නේ ඉන්දියාවේ දුප්පත් ධීවරයන්ය. බලවත් ආර්ථිකයක් ඇති රටක් නමුත් ජනගහනයෙහි කොටසක් ඉතාම දිළිදුය. කර්මාන්තයෙහි නිරත ධනවත් පිරිස් අධිවේගී බෝට්ටු මිල දී ගෙන ඒවායේ සේවයට දුප්පත් මිනිසුන් යොදවන බව ප‍්‍රසිද්ධ කරුණකි. දහස් ගණන් බෝට්ටු සංවිධානාත්මකය මෙරට මුහුදු සීමාව ආක‍්‍රමණය කරමින් සිටී. ඔවුන් පැහැරගෙන යන්නේ ලංකාවේ උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල දුප්පත් ජනතාවගේ අයිතිය බව පෙන්වා දිය යුතුය. ත‍්‍රස්තවාදය පැවැති කාලය තුළ කර්මාන්තයෙහි නිරත විය නොහැකිව සිටි ජන කොටසක ගේ අයිතිවාසිකම්ය. එකල ධීවර කර්මාන්තය පවා තහනම් කර තිබුණි. එම ප‍්‍රදේශවල ජනතාව බලවත් පීඩනයක පසුවිය. ධීවර කටයුතු සීමා වී තිබුණ කාලයේ මෙරට මුහුදු සීමාවේ මත්ස්‍යයන් බෝ වී තිබේ. මසුන් බහුල කලාපයක ධීවර කර්මාන්තය කරගන්නට මෙරට ධීවරයන්ට ඇති අවස්ථා මුහුදු සීමා ආක‍්‍රමණය කරන ධීවර පිරිස් අත්පත් කරගනිමින් සිටිති. මුලින් දක්වන ලද පරිදි මෙම ධීවර ගැටුම දුප්පතුන් අතර පවතින එකකි. දකුණු ඉන්දියාවේ දුප්පත් ජනී ජනයා සහ උතුරු නැගෙනහිර අහිංසක ධීවර ජනතාව අතර පැන නැගී ඇති මානුෂික ප‍්‍රශ්නයකි.

1974 වසරේ ඉන්දු ලංකා මුහුදු සීමා සම්මුතිය ක‍්‍රියාත්මකය. එතැන් සිට දෙරට මුහුදු සීමා උල්ලංඝනය තහනම්ය. අනවසරයෙන් එන බෝට්ටු අල්ලාගැනීමට නාවික හමුදා මුර සංචාර ක‍්‍රියාත්මකය. ධීවර කටයුතු අතරවාරයේ ඇතැම් බෝට්ටු මගින් කරගෙන යන මත් ද්‍රව්‍ය ජාවාරම්, හොරබඩු ප‍්‍රවාහනය මෙහි තවත් පැත්තකි. නීති විරෝධී මිනිස් ජාවාරම් සහ අනවසර සංක‍්‍රමණ සලකා බැලෙමින් පවතින තවත් ප‍්‍රශ්නයකි. දෙරට අතර කරන ජාවාරම් මැඩ පැවැත්වීමට ඉන්දියාව හා ශ‍්‍රී ලංකාවේ වෙරලාරක්ෂක අංශ දැඩි විමසිල්ලක පසුවෙයි.

අහිංසක ධීවරයන් මැඩ, ඔවුන්ගේ පැවැත්ම අවහිර කරන්නට රටවල් දෙකම කැමැති නැත. වෙරළාරක්ෂක පිරිස්වලට ඉතා පරෙස්සමෙන් ක‍්‍රියාත්මකවීමට සිදුවේ. පරීක්ෂා කිරීම්වල දී පවා සුළු අතපසුවීමක් පසුව බරපතල සිද්ධි බවට හැරෙන්නට ඉඩ ඇත. වාසිගන්නට බලා සිටින අන්තවාදී දේශපාලනඥයෝ සුළු සිද්ධි විශාල කොට දක්වති. ජංගම දුරකථන භාවිතා කර පටිගත කරන කොටස් ප‍්‍රශ්න මතු කරන ලද අවස්ථා ගණනාවකි. ආරක්ෂක අංශ කරන මැදිහත්වීම් ඉතා ඉවසිලිවන්තව හා උපායශීලීව කරන්නට සිදුවී තිබේ. මෙරට ආරක්ෂක අංශ අනුගමනය කරන ඉවසිලිවන්ත පිලිවෙල සැහැල්ලූවෙන් තැකීම සුදුසු නැත.

මුහුදු සීමා උල්ලංඝනය කරන අවස්ථා දැඩි පාලනයක් කරන ශ‍්‍රී ලංකා නාවික හමුදාව සිය මුර සංචාර ශක්තිමත් කර ඇත. අනවසර ධීවරයන් ගැන ක්ෂණික ප‍්‍රතිචාර නොදැක්වීම මෙරට ධීවරයන් සමහර අවස්ථාවල නගන චෝදනාවකි. මහා සාගරයක ආරක්ෂාව තරකිරීම පහසු නැත. අනවසර ධීවර සිද්ධි සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත‍්‍රිකව මතුවිය හැකි අර්බුද ගැන ද සැලකිල්ල යොමු කරන්නට සිදුවේ. නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ඉන්දීය පිරිස් ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල එම ඉවසීම සහ පරීක්ෂාකාරීවීම දුර්වලතාවයක් සේ කල්පනා කරන්නේ නම් වරදකි.

මෙහි දී පෙන්වා දිය යුතු තවත් වැදගත් කරුණක් තිබේ. 1976 මාර්තු 23 වැනි දා ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර හුවමාරු කරගත් ලේඛන දක්වන පරිදි මුහුදු සීමා සලකුණු කිරීමෙන් සහ පිලිගැනීමෙන් පසු එකිනෙක කලාපවලින් බැහැරව ධීවර කටයුතු නීති විරෝධී බව පැහැදිලිව දක්වා තිබේ. කෙසේ නමුත් දෙරට අතර නිරීක්ෂණ වාර්තා වරින් වර පෙන්වන පරිදි ඉන්දියානු ධීවරයෝ ට්‍රෝලර් යාත‍්‍රා භාවිතා කරති. ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ධීවරයන් ගැඹුරු මුහුදට යොමු කිරීම සදහා බහු දින යාත‍්‍රා සහන ක‍්‍රමයකට ලබා දී ඇත. එයට විශාල මුදලක් ආයෝජනය කර තිබේ. එහෙත් මෙම ධීවර යාත‍්‍රා පවා අවට සාගරයට සීමා වී සිටිති. මෙම බහුදින යාත‍්‍රා බොටම් ත්‍රෝලිං ක‍්‍රමය බහුලව අනුගමනය කරයි. එමගින් දැල මුහුදු පත්ලටම එලන අතර මුහුද පත්ලේ සිටින මසුන් පවා එකවර අල්ලාගනිමින් සිටිති. එය මසුන්ගේ බෝවීම වලකන බරපතල අනතුරකි. එය බරපතල පරිසර ප‍්‍රශ්න වලට හේතුවක් බව විශේෂඥයෝ අනතුරු අගවා ඇත. ඉන්දියාවේ ධීවර නීති අනුව බොටම් ත්‍රෝලිං දැල් ක‍්‍රමය තහනම්ය. භාවිතා කළ හැකි දැල් වල ප‍්‍රමිති නියම කර තිබේ. එහෙත් ඒවා අනුගමනය කරන්නේ නැති අවස්ථා විශාල වශයෙන් අනාවරණය වෙයි.

දෙරට අතර ධීවර කර්මාන්තය ගැන මෙතෙක් පළකර ඇති විද්වත් වාර්තා අනාවරණය කරන පරිදි ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ රාමේශ්වරම්, පුදුක්කෝට්ටි සහ නාගපට්ටියම් වෙරළවලින් පන්දහස ඉන්මන ට්‍රෝලර් බෝට්ටු ප‍්‍රමාණයක් නිතිපතා දෙරට අතර මුහුදු සීමාවට පැමිණෙති. සතියකට තෙවතාවක් පමණ එන මෙම ධීවරයෝ අතරින් සෑහෙන පිරිසක් ශ‍්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළුවන බව දැක්වේ. එය හිතාමතාම කරන බව පෙනෙන අතර ඇතැම් පිරිස් නොදැනුවත්ව මුහුදු සීමාවට එන බව නිරීක්ෂණය කර ඇත. මන්නාරම, යාපනය, කිලිනොච්චිය හා මුලතිව් දිස්ත‍්‍රික්ක වල ධීවර කර්මාන්තයෙහි නිරත පනස් දහසකට වැඩි පිරිසකට මෙහි බලපෑමක් ඇති බව දැක්වේ.

ශ‍්‍රී ලංකාවේ අනෙක් ප‍්‍රදේශවලින් ගැඹුරු මුහුදට යන ධීවරයන්ට ද එහි අවාසියක් ඇත. නිගමන අනුව එක සතියක දී රටට අහිමිවන මතස්‍ය සම්පත දළ වශයෙන් මෙට්‍රි‍ක් ටොන් හය සියයකි. වසරක දී රටට අහිමිවන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන හැටක් පමණ වන බව ගණන් බලා තිබේ. මෙම තත්ත්වය පාලනය කර මෙරට ධීවර අයිතිය ආරක්ෂා කරගැනීම සදහා දෙරට අතර ඉහළ මටට්මේ සාකච්ඡා වට ගණනාවක් 2004 වසරේ සිට 2013 දක්වා පවත්වා ඇත. ස්ථිර එකගතාවයකට එන්නට ප‍්‍රමාණවත් අවකාශයක් ලැබී නැත. ගැටළු නිරාකරණය අරමුණු කරගෙන ශ‍්‍රී ලංකා ආණ්ඩුව ධීවර පණත පවා සංශෝධනය කර ඇත. මුහුදු සීමා උල්ලංඝනය කරන ධීවරයන්ට විශාල දඩ නියම කරන සහ ධීවර යාත‍්‍රා රාජසන්තක කරන නීති පනවා තිබේ. එහෙත් ඒවා අකුරටම ක‍්‍රියාත්මක නොවේ. සමහර අවස්ථාවල බෝට්ටු රදවා ගෙන ධීවරයන් නිදහස් කෙරේ. එහි අදහස අහිංසක ධීවරයන් වෙනුවට එහි නිරත ධනවත් පිරිසට පාඩමක් ඉගැන්වීමය.

අනවසර ධීවර කටයුතු සම්බන්ධ ගැටළු ඉන්දු ලංකා මුහුදු සීමාවට පමණක් බලපා ඇති ප‍්‍රශ්නයක් නොවේ. ලෝකයේ නොයෙක් තැන්වල අර්බුද මතුකර ඇත. ඇමරිකාව හා කැනඩාව අතර සෑහෙන කාලයක් තිස්සේ මුහුදු සීමා උල්ලංඝනය සම්බන්ධ ගැටුම් පවතී. බ්‍රිතාන්‍ය හා ප‍්‍රංශය අතරත් ප‍්‍රශ්න ඇත. නැගෙනහිර ආසියාවේ තත්ත්වය සංකීර්ණය. රටවල් අතර ධීවර ප‍්‍රශ්න විසදීමට ජාත්‍යන්තර බේරුම්කාර මණ්ඩල පිහිටුවා තීරණ ගෙන තිබේ. ඒවායේ පසුබිම හා මානුෂික පැති සලකා බලා විසදුම් නිර්මාණය කර ගෙන ඇති බව දැක්විය යුතුය. අනවසර ධීවර කටයුතු පමණක් නොව සීමාව ඉක්මවා අධික මසුන් ඇල්ලීම ද ජාත්‍යන්තරයේ අවධානයට ලක්ව ඇති තවත් කරුණකි. පරිසර ප‍්‍රශ්න මතු කෙරේ. ධීවර කටයුතු වල දී සාගරයට කරන හානි ගැන ද වෙනම පැතිවලින් අධ්‍යයනය කර ඇත.

ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර මුහුදු සීමාවේ නිරත ධීවරයන් ගේ ප‍්‍රශ්න උත්සන්න වූ විට ආණ්ඩු අතර උණුසුම ඇතිවෙයි. ඉන්දීය මධ්‍යම ආණ්ඩුව තත්ත්වය පාලනය කරගැනනීම සදහා ඉන්දියාවේ වෙරළබඩ ප‍්‍රදේශ අයත් පලාත් ආණ්ඩුවලට පැහැදිලි නියෝග නිකුත් කර ඇත. රටවල් දෙක අතර නොමනාපයක් ඇති නොකරන ලෙස වගබලාගන්නා සේ දැනුම් දී තිබේ. එහෙත් ප‍්‍රාන්ත ආණ්ඩුවලට මෙම ධීවර ගැටළු ඔවුන්ගේ ඡන්ද දායකයන්ගේ එදිනෙදා පැවැත්ම ගැන ප‍්‍රශ්නයකි. මහ ආණ්ඩුවේ තරවටුව පැත්තකට විසි කරන අතර ජනතාවගේ පැත්ත ගෙන කතාකර ඡන්ද පදනම ශක්තිමත් කරගනිති. ධීවර සමිති, ඒවායේ ප‍්‍රධානීහු දේශපාලනඥයන් ගේ ඡන්ද බැංකු බවට පත්ව ඇති බව සැලකිය හැකිය. මෙහි පවතින සංකීර්ණ ස්වභාවය ගැඹුරින් අධ්‍යයනය කර ප‍්‍රතිපත්ති සකස් කළ යුතුව ඇත. සාගර සම්පත් සීමිතය. ජනී ජනයා ජීවත්වෙන්නට වෙහෙසෙමින් සිටිති. ශ‍්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයෙහි පැන නැගී ඇති සියුම් පැති ද මෙහි දී සලකා බැලිය යුතු එක වැදගත් සාධකයකි.