» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
12/12/2021 - ඉරිදා ලංකාදීප
ඉදිරි සියවසේ ඉදිකෙරෙන වැසිකිලි ගැන දුගදක් නැති කතාවක්

ටයිම්ස් සගරාව 2014 වසරේ මැයි කලාපයේ ලෝකයේ අද්විතීය කෞතුකාගාර දහයක් ගැන විශේෂ අනාවරණයක් කළේය. සුලාබ් ඉන්ටර්නැෂනල් නමැති ඉන්දියාවේ ප‍්‍රකට සමාජ සංවිධානයක් පවත්වාගෙන යන වැසිකිලි කෞතුකාගාරය එහි හතරවැනි තැනට නම් කර තිබුණි. හුදෙක් කෞතුකාගාරයක් පමණක් නොවේ. වැසිකිලි පරිහරණය සම්බන්ධ අලූත් අර්ථකතනයක් සමාජයට ලබාදෙන්නට උත්සාහ කරන ප‍්‍රබල සමාජ ව්‍යාපාරයකි.

වැසිකිලි කෞතුකාගාරයේ ලෝකයේ විවිධ රටවල භාවිතා කරන ඉහළම වටිනාකමක් දෙන පද්ධතිවල සිට කදවුරු වල භාවිතා කරන තාවකාලික පද්ධති දක්වා ප‍්‍රදර්ශන භාණ්ඩ ඇත. අපූරු නිර්මාණ තිබේ. තාක්ෂණය එකතු කර ඇති අතර මෙම කෞතුකාගාරය අන්තර් ජාලයෙන් ද නැරඹිය හැකිය. ආහාර සපයා ගැනීමට වෙහෙසුණ පැරණි සමාජය පසුව ජනාවාස ක‍්‍රමයකට ගොනුවෙන අතරවාරයේ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව ගැන පුලූල් අවධානයක් යොමු කර තිබේ. අපද්‍රව්‍ය බැහැර කිරීම ක‍්‍රමානුකූල කරන පියවරක් අනුගමනය කර ඇත. පිරිසිදුව තබා ගැනීමට උනන්දු වී තිබේ. පිලිකුල් සහගත තැනක් නොවන බවට වගබලා ගෙන ඇත. වැසිලිකි හා කැසිකිලි භාවිතා කරන ලද ආකාරය ගැන ලංකාවට අදාල පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් පවා තිබේ. රිටිගල ආශ‍්‍රිතව ඇතැම් සාක්ෂි ඇත. හයවැනි සියවසේ විසූ පරාක‍්‍රමබාහු රජ තුමාගේ කාලයේ ක‍්‍රමානුකූල පද්ධති තිබුණ බව මහා වංශය සදහන් කරයි. අභයගිරිය ආශ‍්‍රිත කැනීම් වල දී ශෛලමය පද්ධති සොයාගෙන ඇත. පැරණි බෞද්ධ සංඝාරාම පිහිටි තැන්වලින් දෙපා තැබීමට ස්ථාන සහිත මැටියෙන් කරන ලද ආකෘති හමු වී තිබේ.

ඉන්දියානු ඉතිහාසය තුළ මළ අපද්‍රව්‍ය කළමනාකරණය ගැන විවිධ ආකාර සදහන්ය. විශාල ජනගහනය හා දැවැන්ත රටක ඇති ඉඩකට අනුව ආකෘති වෙනස්ය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි 2014 වසරේ දී ‘‘ස්වෙච් භාරත් ’’ නොඑසේනම් පිරිසිදු ඉන්දියාව (ක්ලීන් ඉන්ඩියා සංකල්පය අරඹයි. එයින් වසර පහකට පසු මහත්මා ගාන්ධි තුමන්ගේ 150 වැනි සංවත්සරය අවස්ථාවේ දී විශේෂ ප‍්‍රකාශයක් කරන හෙතෙම වසර පහක් තුළ රට පුරා වැසිකිලි පද්ධති මිලියන 110 ක් ඉදිකරන බව කියා සිටී. මිලියන 130 ක ජනගහනයක් සහිත ඉන්දියාවේ ජනගහනයෙන් අඩකට පමණ පිරිසකට නිසි වැසිකිලි පහසුකම් නැති බව එකල අනාවරණය වී තිබුණි. යුනිසෙෆ් වාර්තා අනුව එරට සෑහෙන ජනකොටසක් එළිමහන් ප‍්‍රදේශ භාවිතා කරති. එය සෞඛ්‍ය ගැටළුවක් වී තිබේ. දරුවන් හා කාන්තාවන් රාත‍්‍රි කාලයේ ශාරීරික අවශ්‍යතා සදහා බැහැරට පැමිණීම අතවර වැඩිවීමට හේතුවක් බව ද යුනිසෙෆ් වාර්තා දක්වයි. කෙසේ වෙතත් ස්වාධීන මතධාරීහු අලූතින් ඉදිකරන වැසිකිලිවලට පැරණි මතධාරීහු යොමු කිරීම පමණක් නොව ඒවා නිසි පරිදි නඩත්තුව ද පහසු කාර්යයක් නොවන බව අවධාරණය කර තිබේ.

රොයිටර් වාර්තා කරන පරිදි ක්ලීන් ඉන්දියා ව්‍යාපෘතිය ආරම්භ කරන අවස්ථාව වන විට එරට නිවාස ආශි‍්‍රත සනීපාරක්ෂක පහසුකම් සියයට තිස් නමයක පමණ ප‍්‍රතිශතයක සීමා වී තිබුණි. වැසිකිලි ඉදිකිරීමේ ව්‍යාපෘතිය ගැන පවත්වන ලද සමීක්ෂණයක තොරතුරු මෙම සැලසුම ක‍්‍රියාවට නංවන රජයේ ව්‍යාපෘතියේ ඇතුලත් කර ඇත. ක්ලීන් ඉන්දියා වෙබ් අඩවියෙහි එය තිබේ. එහි දක්වන පරිදි කාන්තාවෝ විශාල අපහසුතාවයකට පත්ව සිටියේය. අදුර වැටෙන තෙක් බලාසිටින්නට සිදුවූ බව දක්වන අතර දුර ඇවිදින්නට සිදුවීම බලවත් ප‍්‍රශ්නයක් බව සමීක්ෂණයේ දී කියා තිබුණ කරුණු අතර තිබේ. අගමැතිවරයා ඉදිරිපත් කළ අලූත් සැලස්ම අනුව පණිඩුවය සමාජගත කිරීම සදහා බොලිවුඞ් චරිත පවා උපයෝගී කරගෙන ඇත. කෙටි චිත‍්‍රපට නිර්මාණය කර ඒවා ප‍්‍රදර්ශනය කර තිබේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් අලූත් පරපුරේ යුවතියෝ විවාහ යෝජනාවක් ඉදිරිපත්වන විට ස්වාමිපුරුෂයාගේ නිවසේ වැසිකිලි පහසුකම් තිබේ ද යන්න සොයන තරමට දැනුම්වත් වූ බව දැක්වෙයි.

මුලින් සදහන් කරන ලද සුලාබ් ඉන්ටර් නැෂනල් ආයතනය මානව හිමිකම්, පුනර්ජණනීය බලශක්තිය, අපද්‍රව්‍ය කලමණාකරනය සහ අධ්‍යාපනය තුළින් සමාජ ප‍්‍රතිංස්සකරණ සදහා ක‍්‍රියා කරන රාජ්‍ය නොවන සංවිධානයකි. පනස් දහසකට වැඩි ස්වේච්ඡා සේවක පිරිසක් එහි සේවය කරති. ආචාර්ය බිදෙහ්වාර් පත්කා එහි ප‍්‍රධානියා වශයෙන් ක‍්‍රියා කරන අතර ඔහු පුලූල් දර්ශනයක් ඇති වැඩ කොටසක් ක‍්‍රියාත්මක කරයි. රජයේ ඉලක්ක වලට සමාන්තරව මුදල් අය කරන පොදු වැසිකිලි පද්ධති නගර වල ස්ථාපිත කිරීමට හවුල් වෙමින් සිටී. නවීන පද්ධති සහිතව බහුකාර්ය යෝජනා ක‍්‍රම හදුන්වා දී තිබේ. පරිපාලන ඒකකවලට ඒවායේ ප‍්‍රයෝජන ලබාගත හැකිය. සුළු මුදලක් ගෙවූ පසු පරිහරණය කළ හැකි අතර පිරිසිදුව නඩත්තු කෙරේ. වැඩි දියුණු කරන ලද මෙවලම් අනුව මිනිස් අපද්‍රව්‍ය වියෝජනයෙන් එන වායුව එකතු කර එයින් බලශක්තිය උත්පාදනය කළ හැකි බව ද ඔප්පු කර ඇත. එයින් නිපදවන විදුලියෙන් සාමාන්‍ය විදුලි පහන් දල්වන ආකෘතියක් සුලාබ් හි ප‍්‍රදර්ශනය කෙරේ. නිපදවන වායුව ගෑස් වශයෙන් භාවිතා කළ හැකිය. වැසිිකිලියෙන් එන වායුවෙන් ගිනි දල්වා ගත හැකි මෙවලමක් ද නිපදවා ඇත. ගල් අගුරු ආදිය භාවිතා කර සකස් කරන සූක්ෂම පෙරහනයක් තුළින් ජනතාව වැසිකිලිය පරිහරණයේ දී ගලා යන මුත‍්‍රා පසුව පිරිසිදු වතුර වශයෙන් මල් වගාවන්ට යෙදවෙයි. මුලික වශයෙන් අසතුටක්, අතෘප්තියක් ඇතිවන නමුත් අනාගතයේ දී ලෝකයේ පැවැත්ම වෙනස් වන ලකුණු මෙහි තිබේ. මිනිස් අපද්‍රව්‍ය කළමනාකරණය ගැන අලූත් ආකෘතියකි.

ධරණීය සංවර්ධනය, මානව අයිතිවාසිකම් හෝ අභ්‍යවකාශ යුගය ගැන කතා කරන සමාජයක ලොව පුරා පවතින වැසිකිලි භාවිතය සම්බන්ධ ගැටළු බලවත් අවධානයකට ලක් විය යුතුය. මෙකී පැති ඉන්දියාවට පමණක් බලපා ඇති දෙයක් නොවේ. ඉන්දියාවේ ජනගහනය අනුව සිද්ධි බහුලය. දියුණු රටවල ස්වභාවය වෙනස් වී ඇත. දියුණු වෙමින් පවතින රටවල තත්ත්වය තවමත් සාධාරණ නැත. ප‍්‍රකට ධන කුවේරයෙකු වන බිල් ගේට්ස් මහතා සම සභාපතිත්වය උසුලන බිල් හා මෙලෙන්ඩා පදනම 2011 වසරේ දී ඉදිරිපත් කළ ලෝක ව්‍යාප්ත අභියෝගය ද මෙහි දී සදහන් කළ යුතු කරුණකි. ගැන නිර්මාණාත්මක අදහස් ඉදිරිපත් කරන සේ නවෝත්පාදකයන්ට දන්වා තිබේ. වැසිකිලි පහසුකම් රහිත මිලියන සංඛ්‍යාත පිරිසකට ඒවා සකස් කරගැනීමට ආධාර කිරීම වෙනුවට ගැටළුව දෙස වෙනත් කෝණයකින් අවධානය යොමු කර ඇත.

මෙහි දී සෑහෙන යෝජනා ප‍්‍රමාණයක් ලැබී ඇති බව ප‍්‍රසිද්ධ වී තිබේ. කැලිෆෝනියා තාක්ෂණික ආයතනය ඉදිරිපත් කරන ලද අදහසට ඇමරිකානු ඩොලර් ලක්ෂයක තෑග්ගක් බිල් හා මෙලෙන්ඩා පදනම පිරිනමා ඇත. එම යෝජනාව අනුව වැසිකිලියක එකතුවන මළ අපද්‍රව්‍ය, සූර්ය තාපය භාවිතයෙන් හයිඩ‍්‍රජන් හා විදුලිය උත්පාදනය කෙරේ. දෙවැනි තැන ගත් යෝජනාව ඉදිරිපත් කළේ බි‍්‍රතාන්‍ය විශ්ව විද්‍යාලයකි. ජෛව ගල් අ`ගුරු, ඛනිජ ද්‍රව්‍ය සහ පිරිසිදු වතුර එම වැසිකිලිය භාවිතා කිරීමෙන් පසු නිපදවිය හැකිය. තවත් නව නිර්මාණාත්මක අදහස් සෑහෙන ප‍්‍රමාණයක් යෝ්ජනා වී තිබුණි. සියළුම දෙනාට මිනිස් අපද්‍රව්‍ය කළමනාකරණය හා දැනට පවතින ක‍්‍රම වෙනස් කිරීම සම්බන්ධව බලවත් උවමනාවක් සහිත බව මෙහි දී සනාථ වූ එක කරුණකි.

අලූත් අදහස් ලෝකයේ පැවැත්ම වෙනස් කරනු ඇතැයි බිල් ගේට්ස් මහතා සදහන් කරන ආදර්ශ පාඨයකි. කරුණකි. වැසිකිලි පහසුකම් ක‍්‍රමානුකූල කිරීම වෙනුවෙන් ආයෝජනය කරන එක ඇමරිකානු ඩොලරයකින් ඇමරිකානු ඩොලර් නමයක ඵලදායීතාවයක් ලෝක සෞඛ්‍ය සංවිධානය ඉලක්ක කරයි. නිසි සනීපාරක්ෂක පහසුකම් නොමැතිකම ලෝක ආර්ථිකයට කොපමණ හිසරදයක් ද යන්න මෙවැනි ප‍්‍රකාශයකින් මැනැවින් අවබෝධ කරගත හැකිය. වැසිකිලිවල නරක තත්ත්වය නිසා පැතිරෙන විෂබීජ ජල ප‍්‍රවාහයන්ට එකතුවන අතර එයින් අසාදනය වන වයස අවුරුදු පහට අඩු දරුවෝ මිලියන 1.5 ක් එක වසරකට ජීවිතක්ෂයට පත්වන බව ගණන් බලා තිබේ. එම ජීවිත ආරක්ෂා කරගතහොත් ලෝකය වඩා වැදගත් තැනකට පත්වනු ඇත. නිසි සනීපාරක්ෂක පහසුව එහි දී ඉතාමත් වැදගත්ය.

වසර 2050 වන විට ලෝක ජනගහනය තවත් මිලියන දහයකින් ඉහළ යනු ඇත. මෙම පිරිස ජනගහනය අධික රටවලින් හා විශේෂයෙන් අධික තදබදයක් සහිත නගරවලින් වාර්තා වන බව දැක්වෙයි. අලූත් වැසිකිලි තනන්නටත්, මෙම ජනගහනය වැසිකිලි පාචිච්චි කිරීමෙන් පසු පරිහරණය කරන ජලය ප‍්‍රමාණයත් මිහිතලයට දරාගත නොහැකි වනු ඇතැයි සැලකේ. සියවස් ගණනක් එකම රාමුවක තිබුණ මළ අපද්‍රව්‍ය බැහැර කිරීම වෙනස් මානයකට නොකැදවුවහොත් ගැටළු ඇති විය හැකිය. පර්යේෂණ වලින් අලූත් අදහස් අනාවරණය කර තිබේ. මේවා අත්හදා බලන්නේ කෙසේද?