» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
12/09/2021 - ඉරිදා ලංකාදීප
ඔක්සිජන් සැපයුම නංවන ආයෝජන පුද්ගලික අංශයට පැවරේ

කොවිඞ් වසංගත තත්ත්වය ලෝකයේ සියළුම රටවල් බලවත් කැළඹීමකට ලක් කර තිබේ. සෞඛ්‍ය හා සනීපාරක්ෂක සත්කාරක සේවා අවශ්‍යතාවය වර්ධනය වී ඇත. රෝහල් පද්ධති වඩාත් කාර්යක්ෂම කරන්නට සිදුවී තිබේ. ආයෝජනය, වෙළදාම හෝ ආරක්ෂක කටයුතු වලට වඩා ඉහළ අවධානයක් සෞඛ්‍ය අංශයට හිමි වූ කාල වකවානුවක් බව සදහන් කළ යුතුය.

ප‍්‍රතිකාර ක‍්‍රම කෙරෙහි අවධානයයොමු කළ පර්යේෂකයෝ යුහුසුළුව අලූත් එන්නත් සොයාගත්හ. කෙසේ නමුත් ආසාදිත ප‍්‍රමාණය සැලකිය යුතු තරමකින් පහත වැටී නැත.එයට හේතුව වෛරසයේ නොයෙක් ප‍්‍රබේධ බව දැක්වේ. ශී‍්‍ර ලංකාව ඇතුළු සමහර රටවල කොවිඞ් තෙවැනි රැල්ලක් ආරම්භ වී තිබේ. තවත් රටවල දෙවැනි රැල්ල අවසන් වූ බව දක්වන නමුත් තුන්වැනි වතාවක් භයානක ලෙස කොවිඞ් ඇතිවිය හැකි බවට මත ප‍්‍රකාශවෙයි. ලොක් ඩවුන් එනම් ජනයා ගැවසීම පාලනය කරන පියවර සෑම රටක්ම අනුගමනය කරමින් සිටී. රෝග ව්‍යාප්තිය පාලනය කරන අපේක්ෂාවෙන් ක‍්‍රියාත්මක උපක‍්‍රමයකි. ශ්වසන අපහසුතා කොවිඞ් ආසාදිත රෝගීන් වෙතින් නිරීක්ෂණය කළ හැකි බරපතල රෝග ලක්ෂණයකි. දුර්වල රෝගීන් සදහා, එක්තරා අවස්ථාවක දී ඔක්සිජන් අනිවාර්යයෙන් ලබා දෙන්නට සිදුවේ. ඔක්සිජන් සදහා ඉල්ලූම ඉහළ තැනකට පත්ව ඇත.

වැඩිම ජනගහනයක් ඇති රටවල් ලැයිස්තුවේ දෙවැනි තැන සිටින ඉන්දියාවට ඔක්සිජන් සම්බන්ධ සෑහෙන ප‍්‍රශ්නයක් පසුගිය කාලයේ ඇති විය. එය මෑත භාගයේ ජගත් ප‍්‍රජාවගේ දැඩි අවධානයට ලක් වූ සිද්ධියකි. රෝගීන් වැඩි ප‍්‍රමාණයක් වාර්තාවීම සහ ඔවුන් ගේ අසාධ්‍ය තත්ත්වය නිසා දැඩි සත්කාර ඒකක වලට යොමු කරන ලද ප‍්‍රමාණය ඉහළ ගියේය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඔක්සිජන් ඉල්ලූම පාලනය කරගත නොහැකි විය. ඉකුත් අප‍්‍රියෙල් මාසයේ දී තත්ත්වය ඉතාම දරුණු තැනක පැවැතිණි. ඇතැම් රෝහල්වල ඔක්සිජන් සැපයුම රහිත තත්ත්ව යටතේ රෝගීහු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වෙයි. එය ඉතා දුක්මුසු අවස්ථාවක් විය.

ඉකුත් අපි‍්‍රයෙල් විසි තුන් වැනිදා ඉන්දියාවේ ජායිපූර් හි රෝහලක ඔක්සිජන් සැපයුම අඩාල වූ අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් රෝගීහු විසි එක් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව හෙළිවෙයි. බාත්රා නමැති තවත් රෝහලක රෝගීහු අට දෙනෙකු ගේ ජීවිත අහිමි විය. රෝහල් අවශ්‍යතා සදහා වහා ඔක්සිජන් සපයන ලෙස දිල්ලි මහාධිකරණය ද තීන්දුවක් දී තිබේ. ඉතිහාසයේ නොතිබුණ මෙම අත්දැකීම ඉදිරියේ කම්පා වූ ඇතැම් පිරිස් සිය ඥාතීන් සදහා ඔක්සිජන් මිල දී ගැනීමට දිග පෝලිම්වල දවස් ගණන් සිටි අතර ඔක්සිජන් සිලින්ඩරවල ගණන් දෙගුණ තෙගුණ වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි. ඇතැම් දානපතියෝ ඔක්සිජන් මිල දී ගෙනන දුප්පත් ජනයාට බෙදාහරින ව්‍යාපෘති පවා ආරම්භ කළහ. එහෙත් අවශ්‍යතාවයේ තරමට ප‍්‍රමාණවත් වූයේ නැත.

මාස හතරක් ඇවෑමෙන් මෙකී ස්වභාවය සහමුලින්ම වෙනස් වී තිබේ. ඔක්සිජන් නිපැයුම නංවා ගන්නට ඉන්දියාව සමත් වී ඇත. මෑතක දී ශ‍්‍රී ලංකාවට ද ඔක්සිජන් අවශ්‍යතාවයක් මතුවිය. රාජ්‍යතාන්ත‍්‍රික මට්ටමින් කරන ලද ඉල්ලීමක් අනුව ශ‍්‍රී ලංකාවට ඔක්සිජන් සපයන්නට ඉන්දියාව පියවර ගෙන තිබේ. මෙරටින් පිටත් වූ නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව චෙන්නයි වරායෙන් ඔක්සිජන් රැගෙන පිටත්වන විට ඉන්දියාවේ ශක්ති නෞකාව විශාඛාපට්නම් වලින් තවත් ඔක්සිජන් මෙටි‍්‍රක් ටොන් විස්සක් සහිතව කොළඹ බලා යාත‍්‍රා කළේය. ශ‍්‍රී ලංකාවට අවශ්‍ය තරමට අඛණ්ඩව ඔක්සිජන් සපයන සූදානමක ඉන්දියාව සිටී.

ස්වල්ප කාලයකට කලින් ඔක්සිජන් හිගය හෙයින් රෝගීහු ජීවිතක්ෂයට පත්වූ රටක් දැන් වෙනත් රටකට පවා ප‍්‍රතිකාර වශයෙන් ඔක්සිජන් සපයන්නේ කෙසේද? එය විශාල පරිවර්තනයකි. පුලූල් අවධානයට ලක්විය යුතු කරුණකි.

ඉන්දියාවේ මධ්‍යම රජය සහ ප‍්‍රාන්ත ආණ්ඩු වේගවත් තීරණ රැසක් ගෙන තිබේ. අගමැති නරේන්ද්‍ර මෝදි පවතින ස්වභාවය ගැන විශේෂ විමර්ෂණයක් කර ඇත. ඉන්දියන් එක්ස්ප‍්‍රස් දුම්රිය සේවය හා ගුවන් හමුදාව යොදවා තොග ඇති තැන්වලින් ඔක්සිජන් අවශ්‍ය රෝහල් කරා බාධාවකින් තොරව වහා ප‍්‍රවාහනයට උපදෙස් නිකුත් කළේය. අගමැතිවරයා යටතේ ඇති අරමුදලක මුදල් වහා නිදහස් කර සාමාන්‍ය ප‍්‍රමාණයේ ඔක්සිජන් නිපැයුම් යන්ත‍්‍ර ගණනාවක් අලූතින් සවිකර ඇත. 2020 අගෝස්තු වන විට රෝහල් සදහා භාවිතා කරන දියර ඔක්සිජන් දිනකට මෙටි‍්‍රක් ටොන් 5,700 ක් නිපදවමින් සිටි අතර 2021 අප‍්‍රියෙල් වන විට එය මෙටි‍්‍රක් ටොන් 8922 දක්වා නංවා තිබිය දී පවාව මෙම ගැටළු මතුවීම ඉතා සංකීර්ණ තත්ත්වයක් බව අනාවරණය විය.

මධ්‍යම රජය ඔක්සිජන් නිපදවන කම්හල් ආරම්භ කරන අවස්ථාව පුද්ගලික අංශය ද විවෘත කරන ප‍්‍රතිපත්ති අනුමත කරන ලද අතර එවැනි ආයෝජන දිරිමත් කරන වැඩ පිලිවෙලක් ද ඇරඹීය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ප‍්‍රධාන පෙලේ සමාගම් ගණනාවක් නිපදවීම හා ගබඩාකිරීම සදහා දැවැන්ත ආයෝජනයක් කර තිබේ. අනෙක ප‍්‍රධාන රෝහල් හා නගර ආශ‍්‍රිතව දිනකට මෙටි‍්‍රක් ටොන් 148.11 ක් නිපදවිය හැකි සාමාන්‍ය ප‍්‍රමාණයේ යන්ත‍්‍රාගාර සවිකරන යෝජනාවක් ද කි‍්‍රයාවට නංවා ඇත. වෛද්‍ය අවශ්‍යතා වෙනුවෙන් දුර බැහැර ප‍්‍රදේශවල සිට ඔක්සිජන් ප‍්‍රවාහනය අනවශ්‍ය නාස්තියක් බව ආයෝජකයෝ පෙන්වා දී ඇත. දිල්ලි නගරයේ රජයේ හා පුද්ගලික රෝහල් ආශ‍්‍රිතව සාමාන්‍ය නිෂ්පාදනාගාර අනූ හයක් ඉදිරියේ දී සවිකරන තීරණයක් ද ගෙන තිබේ. එයින් යන්ත‍්‍ර දහයක් රජයේ රෝහල් ආශ‍්‍රිතවය. අනෙක් අසූ හතර පුද්ගලික අංශයේ රෝහල්වලටය. තෝරා ගත් ප‍්‍රදේශයක මෙටික් ටොන් 225 ක් ගබඩා කළ හැකි විශාල ටැංකි පහලොවක් වහාම ඉදිකරන්නට ද නාගරික පරිපාලනය පියවර ගෙන ඇත. හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකට පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයෝ එකතු කරගෙන තවත් වටයකින් ක‍්‍රියාත්මක වී තිබේ. රට තුළ තෝරාගත් ප‍්‍රාන්ත පුරා ඔක්සිජන් නිපදවන ස්ථාන පන්සියයක් ස්ථාපනය කිරීම එහි අරමුණය. එය ඉන්දියාවේ ප‍්‍රධාන මාධ්‍ය ඉහළ ප‍්‍රමුඛත්වයක් දී වාර්තා කර තිබුණි.

දිල්ලි මහ ඇමැති කාර්යාලය ද ඔක්සිජන් නිපදවන කර්මාන්ත පුද්ගලික අංශයට විවෘත කරන වෙනම අනුමැතියක් ද වහා ලබා දී තිබේ. ‘දෙවැනි යෝජනාව’ යනුවෙන් ද ඔක්සිජන් නිපදවන තවත් යාන්ත‍්‍රණයක් අරඹා ඇත. එයට අනුව ඔක්සිජන් පමණක් නොව රෝගීන්ට ඒවා සැපයීම සදහා අවශ්‍ය කරන මෙවලම් ද නිෂ්පාදනය කෙරේ. එය සැලසුම් සහගත මහා පරිමාන යෝජනා ක‍්‍රමයකි. සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවෝ අසූ ගණනක් දැනටමත් එහි ලියා පදිංචි වී සිටිති. විවිධ සහන එම කර්මාන්ත වලට සැපයේ. කර්මාන්තකරුවන් දක්වන පරිදි මෙකී වැඩපිලිවෙල ව්‍යාපාරයක් නොවේ. ජීවිත ආරක්ෂා කරන මහා ක‍්‍රියාවලියකි. මධ්‍යම රජයේ අනුබලය හිමි වී ඇත. ලොකු කුඩා සමාගම් පවා මෙම පියවර හා අත්වැල් බැද ගෙන සිටී. සුප‍්‍රකට වෝල්මාට් වෙළද සංකීර්ණ ජාලය ඇතුළු සමාගම් මෙම සැලසුමට මුල්‍ය ආධාර සපයන්නට එකග වී ඇති බව ඉන්දියාවෙන් ලැබෙන වාර්තා තවදුරටත් අනාවරණය කරන කරුණකි. ආණ්ඩුව, ප‍්‍රාන්ත ආණ්ඩු, ආයෝජකයන් සහ කර්මාන්තකරුවන් වශයෙන් සියළු අංශ එක අරමුණකට සංවිධානය වී ඇත.

එතැනින් නතර නොවූ ඉන්දියාව අසල්වැසි රටවලට ද කුඩා ඔක්සිජන් නිෂ්පාදනාගාර පරිත්‍යාග කරන පිලිවෙලක් අරඹා තිබේ. කොවිඞ් ආසාදිත නේපාලයේ රෝගීන්ගේ ඉරණම සලකා බලන ලද ඉන්දියාව ඉකුත් අගෝස්තු 26 වැනිදා නේපාල බලධාරීන්ට තෑගි කළ යන්ත‍්‍රය මිනිත්තුවකට ඔක්සිජන් ලීටර පහක් නිෂ්පාදනය කරයි. එය කොතැනකින් හෝ ගෙන්වන තෙක් ජීවිත හයසියයකට වඩා ආරක්ෂා කරන්නට ප‍්‍රමාණවත් බව සැලකේ. හදිසි තත්ත්වයක දී සම්ප‍්‍රදායික රාමු වෙනස් කරන්නට බැරිකමක් නැත. එවැනි වෙනස්කම් ආයෝජන වලට අවස්ථාව සපයයි. අලූත් තාක්ෂණය සදහා ජාත්‍යන්තර සමාගම් සමග එකතු විය හැකිය. ඉන්දියාවේ කර්මාන්තකරුවන් සමග එකතුවන ලාංකේය ව්‍යවසායකයන්ට ඔක්සිජන් නිපදවන යාන්ත‍්‍රණයට සම්බන්ධවිය හැකිය. එය වෙනස් ආයෝජනයකි. රටට අවශ්‍යම කරන පැති සදහා වෙනස්ම මානයකින් අවධානය යොමු කළ යුතුය.