» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
12/06/2022 - ඉරිදා ලංකාදීප
හයිඩ‍්‍රජන් බලශක්ති උත්පාදනය සදහා ඉන්දියාවට බල කරන යුරෝපා සංගමය

ඉන්දියාව දැවැන්ත බලශක්ති ඉල්ලූමක් ඇති රටකි. දැනට භාවිතා කරන බලශක්ති ප‍්‍රමාණය මෙන් දෙගුණයක් වසර 2040 වන විට අවශ්‍ය වෙතැයි සැලකේ. යුරෝපා සංගමයට රටවල් විසි හතක් සම්බන්ධ අතර දැනට ලෝකයේ වැඩිම බලශක්ති භාවිතා කරන රටවල් ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයේ සිටින යුරෝපා සංගමය හතරවැනි තැනට ඇද දමා එතැනට ඉන්දියාව පත්වනු ඇතැයි ප‍්‍රකාශ වි තිබේ. බලශක්ති අංශයෙහි හරිත යුගයක් සදහා ඉන්දියාව හා යුරෝපා සංගමය අතර එකගතාවයක් ඇති කරගෙන තිබේ. එය සංකීර්ණ කි‍්‍රයාවලියකි.

කාබනීහරණයක් ගැන අවධානය යොමු කරන යුරෝපා රටවල් එමගින් ගෝලීය උණුසුම වැඩිවීමේ වේගය පාලනය කරගත හැකි වනු ඇතැයි විශ්වාස කරයි. පොසිල ඉන්ධන භාවිතය ඉතාම අඩුකරන යුරෝ රටවල්, විදුලිය නිපදවීමට අලූත් තාක්ෂණය භාවිතා කරයි. හයිඩ‍්‍රජන් විදුලි උත්පාදනය එයින් එක මාධ්‍යයකි. හයිඩ‍්‍රජන් නිපදවන සහ එයින් බලශක්තිය උත්පාදනය කරන කලාප තිස් පහක් ලෝකයේ ඇත. එයින් විසිපහක් යුරෝ සාමාජිකයන්ය. පොසිල ඉන්ධන දහනය කර කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රතිශතය නංවන්නට හේතුවුවහොත් යුරෝපය පරාජය කර බලශක්ති භාවිතාවෙන් ඉදිරියට එන ඉන්දියාව ලෝකයේ පැවැත්මට අහිතකර ලෙස බලපාන බව යුරෝපා සංගමය අවධානයට ගෙන ඇත. ඉන්දියාවේ බලශක්ති උත්පාදනය හරිතකරණ සැලැස්මකට ඇතුළු කරන්නට එම සංගමය සුදානම්ය. හයිඩ‍්‍රජන් උත්පාදනය, ප‍්‍රමිති සහිත ගබඩා කිරීම, ප‍්‍රවාහනය සහ ඒවාට අවශ්‍ය අරමුදල් සැපයීම අරමුණු කරගත් ආවරණිත සැලැස්මක් ගැන සාකච්ඡා කරමින් සිටී.

ඉන්දියාවේ විදුලිය උත්පාදයෙන් සියයට අසුවක් ඛනිජ තෙල් හෝ ගල් අගුරු භාවිතා කරන අතර වසර 2030 වන විට එය සියයට තිහ දක්වා අඩු කිරීමට ජාතික සැලැස්මක් සකස් කොට ඇත. මෙම ඉලක්ක සාක්ෂාත් කරගැනීම සදහා අලූත් ප‍්‍රතිපත්ති සම්පාදනය කෙරේ. රාජ්‍ය යාන්ත‍්‍රණය සකස් කරන අතරවාරයේ ඉන්දියාවේ ව්‍යවසායකයන් එකතු වි ස්වාධීන හයිඩ‍්‍රජන් විදුලිය නිෂ්පාදකයන්ගේ සංගමයක් ද පිහිටුවාගෙන ඇත. යුරෝපා සංගමය අනාගත අනතුර දකින අතර ඉන්දියාවේ කාබනීහරණයට මැදිහත්වීමට ඔවුන් සුදානම්ය. ඉන්දීය ආණ්ඩුව ලෝකයේ වෙනස්කම් පිලිගෙන එයට අනුව ක‍්‍රියා කරන්නට නීති සකස් කරයි. එය අතරවාරයේ පුද්ගලික ව්‍යවසායකයන් ස්වාධීන හයිඩ‍්‍රජන් නිෂ්පාදන සංගමයක් වශයෙන් සංවිධාන ගත වී ඇත. ඉන්දියාවේ සංවර්ධන බැංකු මෙම අලූත් සංකල්ප සදහා ණය පහසුකම් සපයන්නට පියවර ගනිමින් සිටී. මෙය ශ‍්‍රී ලංකාවේ මේ හා සමාන තත්ත්වයක් නිර්මාණය වන විට සැකසෙන රාමුවට හාත්පසින්ම වෙනස්ය.

යුරෝපා සංගමය ශ‍්‍රී ලංකාව සමග සාකච්ඡා කළහොත් සිදුවන්නේ කුමක්ද? ජාතික සම්පතක් වන ‘විදුලියට අත නොතබනු’ යැයි යුරෝපා සංගමයට එරෙහිව පළමු වෙඩි මුරය නැගෙනු ඇත. යුරෝපය විදුලිය පරිභෝජනයෙන් තුන්වැනි තැනට වැටෙන විට ශ‍්‍රී ලංකාවේ ව්‍යුහය කුමන්ත‍්‍රණකාරී ලෙස විනාශ කරන්නට සුදානම්වන විජාතික බලවේගයක් බව දෙවැනිව කියැවෙන බව නිසැකය. එම මතවාද මාධ්‍යවල දේශපාලන වැඩසටහන් හි දී එළියට එනු ඇති අතර අලූතින් හදන ප‍්‍රතිපත්ති වලට එරෙහි වෙමින් ජනතා බලවේගයක් ගොඩනැගෙනු ඇත. ස්වාධීන හයිඩ‍්‍රජන් නිෂ්පාදක සංගමය වෙනුවට ලංකාවේ බිහිවන ආයතනය වෙනස්ම එකක් වනු ඇති අතර එයින් නොකරන්නේ විදුලිය උත්පාදනයට ඉඩ දීම බව සහතික කර ප‍්‍රකාශ කළ හැක.

තිරසාර විදුලිය නිෂ්පාදන පරිවර්තනීය අවකාශයක් සදහා ඉන්දියා යුරෝපා හවුලක් නිර්මාණය වන මෙම අවස්ථාවේ දී පාරිභෝගිකයන්ට ලැබෙන වාසිය ගැන ද අවධානය යොමු කළ යුතුය. විදුලිය නිෂ්පාදනයේ දී සිදුවන කාබන් විමෝචනය වේගයෙන් පහත වැටෙන හා සමානව විදුලිය උත්පාදන වියදම ද විශාල වශයෙන් අඩුවෙයි. විදුලිය ඒකකයක නිෂ්පාදන පිරිවැය ඉන්දීය රුපියල් 17 ක සිට රු. 2 දක්වා අඩුවනු ඇති අතර සූර්ය කෝෂ හා හයිඩ‍්‍රජන් විදුලිය උත්පාදන මිශ‍්‍ර ව්‍යාපෘතියකින් මෙම වාසිය අත්පත් කරගත හැකිවෙතැයි ගණන් බලා තිබේ.

විදුලිය බල මණ්ඩලය ලබන පාඩු අවම කරගැනීම සදහා පාරිභෝගිකයන්ගෙන් අය කරන විදුලිය ගාස්තු දෙගුණයක් දක්වා නංවන්නට සිදුවන බව ප‍්‍රකාශවන අතරවාරයේ අසල්වැසි ඉන්දියාව අනුගමනය කරන නිදහස් පිලිවෙල අධ්‍යයනය කිරීම සුදුසුය. නිර්භීත තීරණ සහ අවසානයේ දී පාරිභෝගිකයාට ලැබෙන සහනය සලකා ප‍්‍රතිපත්ති සැකැසිය යුතුය. වැඩිම වියදමකින් විදුලිය නිපදවන ශ‍්‍රී ලංකාව එයට අවශ්‍ය දැවිතෙල් හා ගල් අගුරු ආනයනය කෙරේ. විනිමය හිගවන විට බලාගාර අක‍්‍රීය කෙරේ. දහවල් කාලයේ හොදින් හිරු පායන රටක සුර්ය කෝෂ විදුලිය ගැන අවධානය අල්පය. මන්නාරම ගොඩබිම ප‍්‍රදේශයේ හා නොගැඹුරු සාගරයේ සුළං බලාගාර පිහිටුවිය හැකි අතර එතැනින් නිපදවිය හැකි විදුලිය ඒකක ප‍්‍රමාණය මෙගාවොට් 35,000 ක් බව ගණන් බලා ඇත. රටට අවශ්‍ය ප‍්‍රමාණය මෙන් අට ගුණයකි. රටට එම ආයෝජනය සදහා ආර්ථිකයක් නැත. තාක්ෂණ අවබෝධය ද ප‍්‍රමාණවත් නැත. සම්ප‍්‍රදායික තෙල් -ගල් අගුරු විදුලියෙන් හැර අනෙක් ක‍්‍රමයක් යෝජනා කළහොත් ඒකාබද්ධ වෘත්තීය සටන් ඇවිලේ. තමන් බලයට පත් කරන නායකයන් ගොදුරු වී ඇති ඉරණම ජනතාව දැන ගත යුතුව තිබේ.

1800 ගණන් වල සිට ආශ‍්‍රත ජලය විද්‍යුත් මගින් හයිඩ‍්‍රජන් හා ඔක්සිජන් වෙන් කරගැනීමේ විද්‍යාව හදුනාගෙන තිබුණි. මෙම ව්‍යුහය රසායනිකව බිදීමේ දී විද්‍යුතයක් උපදින අතර එය සාමාන්‍ය විදුලිය බවට හරවා ගැනීමට තාක්ෂණය දැන් පවතී. හයිඩ‍්‍රජන් විදුලිය උත්පාදනය මුල් කාලයේ වියදම් අධිකය. ව්‍යාපාරික වශයෙන් ප‍්‍රතිඵලදායක වූයේ නැත. 2018 දී කියුබික් මෙටි‍්‍රක් ටොන් එකක හයිඩ‍්‍රජන් සදහා ඇමරිකානු ඩොලර් 7,600 ක් පමණ වැය වූ අතර 2020 වන විට එය ඇමරිකානු ඩොලර් 4,900 දක්වා සීමා වී තිබේ. තාක්ෂණය දියුණු කිරීම සමග ඉදිරියේ දී, පිරිවැය තවත් පහතට වැටෙනු ඇත. යුරෝපා ප‍්‍රජාව, ඇමරිකාව හා චීනය ඇතුළු රටවල හයිඩ‍්‍රජන් විදුලිය උත්පාදනය ප‍්‍රචලිත වෙමින් තිබේ. හයිඩ‍්‍රජන් නිපදවන කලාප ආශි‍්‍රතව අලූත් ආර්ථිකයක් ඇති වෙයි. රසායනිකව නිපදවන තැන්වල සිට ප‍්‍රවාහනයට වෙනම නෞකා නිෂ්පාදනය වන අතර සවුදි අරාබි වරාය දැනටමත් හයිඩ‍්‍රජන් ප‍්‍රවාහන වරායක් සේ නවීකරණය කර ඇත. නිපැයුම, ප‍්‍රවාහනය, ගබඩාකිරීම, ප‍්‍රමිති මැනීම වැනි ක්ෂේත‍්‍රවල අලූත් රැුකියා ලක්ෂ ගණනින් බිහිවන බව වාර්තා වෙයි. හුදෙක් විදුලිය නිපැයුම පමණක් නොවේ. එයට සමාන්තරව අධ්‍යාපනය හා පුහුණුව ද සැකසේ. මෙරට තරුණන්ට හයිඩ‍්‍රජන් ක්ෂේත‍්‍රයේ නිපුණතාවයක් ඇති කරන විෂය ගැන හිතන්නට හැකිය. අධ්‍යාපන ආයතන මෙහි ලා සැලකිල්ල යොමු කළ යුතුය.

ලෝකයේ ඇතිවන අවස්ථා ලබාගැනීමේ තරගයක් ඇති වේ. බි‍්‍රතාන්‍ය වසර 2024 වන විට ගිගා වොට් හයක විදුලියක් සදහා හයිඩ‍්‍රජන් බලාගාර ඉදි කරනු ඇත. දැනටමත් එහි ගිගාවොට් එකක විදුලියක් නිපදවන අතර නෝර්වේ ද ගිගාවොට් දෙකක බලාගාරයක් ස්ථාපිත කරයි. චිලී, ඊජිප්තුව, දකුණු අප්‍රිකාව සහ ඔමානය ඉදිරියේ දී හයිඩ‍්‍රජන් විදුලියට නැඹුරුවන බව වාර්තා දක්වයි. ඇමරිකාව, චීනය හා යුරෝපා සංගමයේ ද ස්ථාපිතව ඇති අතර තව දුරටත් ව්‍යාප්ත වෙමින් තිබේ. ඩුබායි වරාය හයිඩ‍්‍රජන් ප‍්‍රවාහනය සදහා වෙන් කිරීම මගින් මැද පෙරදිග කලාපයේ නැඹුරුව නිරීක්ෂණය කළ හැක. මේවා අලූත් අවස්ථා වනු ඇති අතර ක‍්‍රමය පරිවර්තනයට හේතුවනු ඇත.

සාමාන්‍ය ආර්ථික පසුබිමක් සහිත රටවලට හයිඩ‍්‍රජන් විදුලිය උත්පාදනය පහසු නැත. ආරක්ෂාව ගැන ද තවමත් බියක් තිබේ. රසායානාගාර වාර්තා අනුව ගිනිගැනීමක්දහා අවශ්‍ය කරන පසුබිම අනෙක් ඉන්ධන වලට සාපේක්ෂව හයිඩ‍්‍රජන් වලදී අඩුය. පැරිස් සම්මුතියට අත්සන් කරන ලද රටක් වශයෙන් ගෝලීය ප‍්‍රවනතා කෙරෙහි අවධානය යොමු කරන වගකීමක් අප රටට ඇත. විදුලිය උත්පාදනය සදහා හරිත ප‍්‍රභව සොයා යා යුතුය. හයිඩ‍්‍රජන් විදුලි උත්පාදනය භාරධුර කර්තව්‍යයක් නමුත් එය කෙරෙහි රට තුළ කරන පර්යේෂණ අත්හැර දැමිය යුතු නැත. අලූත් මාධ්‍ය ගැන විමර්ශනය සුදුසුය. ඉන්දියාවේ කරනගෙන යන කටයුතු ගැන පරෙස්සමෙන් අධ්‍යයනය කිරීම අවශ්‍යය. යුරෝපා සංගමය ලබාදෙන පිටිවහල ගැන සූක්ෂම අවධානයක් යොමු කළ යුතුය.