» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
12/02/2023 - ඉරිදා ලංකාදීප
දුප්පත් ජනතාවගේ පානීය ජලපහසුව සදහා සුවිශේෂී අවධානයක්

ඉන්දියාව, ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත රට බවට පත්වෙමින් සිටී. ජනගහන වර්ධනය සමග පොදු අවශ්‍යතා කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන්නට සිදුවේ. ආහාර පාන, නිවාස, බලශක්තිය හා ප‍්‍රවාහන, අධ්‍යාපනය හා රැකීරක්ෂා ඇතුළු අවශ්‍යතා කෙරෙහි අලූතින් සැලසුම් කළ යුතුය. ජනතාවට අවශ්‍ය කරන පිරිසිදු පානීය ජල සම්පාදනය ද ප‍්‍රමුඛ අවශ්‍යතාවයකි. ජාත්‍යන්තර වාර්තා දක්වන පරිදි ලෝක ජනගහනයේ සියයට දහ අටක් පමණ ඉන්දියාවේ ජීවත්වෙති. ලෝකයේ පිරිසිදු ජල සම්පතින් ඉන්දියාව සතුව ඇති ප‍්‍රතිශතය සියයට හතරකි. 2019 වසරේ දත්ත අනුව ජනගහනයෙන් සියයට හැට පහකට පරිහරණයට ලැබෙන ජලය නියමිත ප‍්‍රමිතියකින් තොර බව දැක්වේ. වසර 2025 වන විට, ඉන්දියානුවන්ට පිරිසිදු පානීය ජල සම්පාදනය කරන ‘‘ජල ජීවන් ’’ මෙහෙයුම දැන් ක‍්‍රියාත්මක වෙමින් පවතී.

පිරිසිදු ජලය සැපයුම සදහා ග‍්‍රාමීය මටට්මින් කි‍්‍රයාවට නංවන ව්‍යාපෘති සදහා ඉන්දීය මධ්‍යම රජය සෘජු මැදිහත්වීමක නිරතය. ව්‍යාපෘති නිසි පරිදි ක‍්‍රියාත්මක කිරීම සහ වෙන්කරන මුදල් උපරිමව ප‍්‍රයෝජන ගැනීමට විධි විධාන යොදා ඇත. නල ජල සැපයුම සදහා යෝජනාවක් අරඹනවිට ස්ථර තුනක සබ`දතාවයක් ගොඩනැගේ. නිලධාරීන්, ප‍්‍රතිලාභීන් හා රාජ්‍ය නොවන සංවිධානයක එකමුතුවක් ඇති කෙරේ. ව්‍යාපෘතිවලට අවශ්‍ය උපකරණ මිල දී ගැනීම සදහා පොදු ටෙන්ඩර් කැදවීමක් සිදුකරයි. අවම මිලට මෙවලම් මිල දී ගෙන ව්‍යාපෘතියට සැපයේ. ඉදිකිරීම් කොන්ත‍්‍රාත් ආයතන තෝරාගැනීම ප‍්‍රදේශය අනුව වෙනස් වේ. මුලික කටයුතු සදහා ජනතා නියෝජිත පිරිසක් සහභාගීවන අතර ජල මුලාශ‍්‍රය තොරා ගැනීම, නල මාර්ගය සැලසුම් කිරීම, තටාක ඉදිකිරීම යනාදී කටයුතු වල දී ඔවුන්ගේ අදහස් ලබා ගැනේ. නිලධාරීන් රාජ්‍ය නොවන සංවිධාන හා ජනතාව එකතු වූ පසු අදහස් සෑහෙන ප‍්‍රමාණයකි. කතාව වැඩිවේ. ක‍්‍රියාත්මකවීම අඩපණවීමක් අපේක්ෂා කළ හැක. ජල ජීවන් සැලැස්ම අනුව ව්‍යාපෘතියකට මුදල් වෙන් කළ පසු කාලසීමාවක් ඇතුලත ව්‍යාපෘතිය අවසන් කළ යුතුය. ගිවිසුම් කාලය තුළ කටයුතු අවසන් නොකළහොත් ව්‍යාපෘතිය අවලංගු කෙරේ. ව්‍යාපෘතිය අවලංගුවන අවදානම ඉදිරියේ, යුහුසුළුව තීන්දු ගැනේ. එක පැත්තකින් පාරද්‍රෘශ්‍යභාවය ගැන සැලකිල්ල යොමුකරන අතර අනෙක් පැත්තෙන් අරමුණ කරා වේගවත් යාන්ත‍්‍රණය සකස් කරගෙන ඇත.

ශ‍්‍රී ලංකාවට ද එය ආදර්ශයක් විය හැකිය. සංවර්ධන ව්‍යාපෘතියක් සැලසුම් කරන විට නොයෙක් පාර්ශව අදහස් දක්වයි. දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, ප‍්‍රදේශවාසීන් පමණක් නොව ආගමික නායකයන් පවා වෙනම මතයක් ඇතිව ක‍්‍රියාකරයි. මෑත කාලයේ ශ‍්‍රී ලංකාවේ සංවර්ධනය සදහා ඉදිරිපත් කරන සැලසුම් උග‍්‍ර විවේචනවලට හසුවන අතර අවසානයේ විශාල විරෝධතාවලින් කෙළවරවේ. වරාය නගරය, විදුලිය බලාගාර ඉදිකිරීම, වරාය සංවර්ධනය, අධිවේගී මාර්ග හෝ ගුවන් තොටුපොල වැනි මහා පරිමාන ව්‍යාපෘති සැලසුම් කිරීමේ සිට අවසන් කරන දිනය දක්වා කල්ගතවීම සෑහෙන ආර්ථික අවාසි ඇති කරන පසුබිමක් නිර්මාණය කළ බව දැක්විය යුතුය.

ඉන්දියාවේ ජල සම්පාදන ව්‍යාපෘතිවල අලූත් තොරතුරු අන්තර් ජාලයෙන් යාවත්කාලීන කෙරේ. පාරිභෝගිකයෙකු ජලය පරිහරණය කරන ප‍්‍රමාණය පමණක් නොව ජල සාම්පලවල තත්ත්වය මැන බැලීම, ඒවායේ ප‍්‍රතිඵල පවා විවෘතව පවතී. ආධාර් කාඞ් ක‍්‍රමය අනුව ජල ගාස්තු සදහා සහනාධාර ලැබෙන ක‍්‍රමයක් ද ඇත. සහනාධාර ලැබෙන නිවාස ගැන තොරතුරු අනුව, අය කරන බදු අවසානයේ දී සහන වශයෙන් හිමිවන ජන කොටස නිවැරදිව හදුනාගැනීමට ද අවස්ථාව ඇත.

2019 වසරේ දී ජල ජීවන් ව්‍යාපෘතිය හදුන්වාදෙන කාලයේ ඉන්දියානු නිවාස ලක්ෂ තුන්සිය විස්සකට නල ජලය සැපයුමක් තිබුණි. අද වන විට නිවාස ලක්ෂ එක්දහස් එකසියයකට පිරිසිදු පානීය ජලය, නල මාර්ගයෙන් සැපයේ. පාසල් ඇතුළු පොදු ස්ථාන විශාල ප‍්‍රමාණයක් ආවරණය වී ඇත. සැපයෙන ජලයේ ප‍්‍රමිතිය පරීක්ෂා කිරීම සදහා සාම්පල් පරීක්ෂා කරන පර්යේෂණ මධ්‍යස්ථාන දෙදහසකට වඩා රට තුළ ඇත. ඒවායේ කටයුතු ගැන පරීක්ෂාකරන කාන්තාවන් ලක්ෂ ගණනක් පුහුණු කර තිබේ.

ප‍්‍රාන්ත ආණ්ඩු සහ මධ්‍යම රජය ජල සම්පාදන ව්‍යාපෘතිවල දී සම්බන්ධවී තීරණ ගැනෙන ප‍්‍රතිපත්තියක් අනුගමනය කෙරේ. ඉන්දියානු රුපියල් ටි‍්‍රලියන හතරක් පමණ දැනට වැය කර ඇති ජල සම්පාදන යෝජනා ක‍්‍රම අනුව අඩුම තරමින් ගම්මාන හැට දහසක් ආවරණය කර ඇති බව දැක්වේ. අපිරිසිදු ජලය පරිහරණය කරමින් සෞඛ්‍ය හා සනීපාරක්ෂක ගැටළුවල සිරවී සිටි ඉන්දියාව අද ජල පරිහරණය සම්බන්ධ අලූත් ව්‍යුහයකට ඇතුළු වෙමින් සිටී. අනාගතයේ දී ජල හිගයෙන් පීඩාවට පත්විය හැකි බවට අනතුරු අගවා තිබුණ රටක් සැලසුමකට අනුව ගමන් කරන ලද පියවර හේතුකොටගෙන ජයග‍්‍රහණය කරා අවතීර්ණ වෙමින් සිටී.

ජාත්‍යන්තර ප‍්‍රජාව ජල පරිහරණය ගැන විශාල අවධානයක පසුවේ. බිලියන දෙකක පමණ ජනගහනයකට නිතර පිරිසිදු පානීය ජලය නොලැබෙන අතර විශාල පිරිසක් ජලය සොයා අඩුම තරමින් පැය භාගයක දුරක් ගමන් කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය දක්වයි. 2010 වසරේ දී පිරිසිදු ජලය හා සනීපාරක්ෂාව මානව අයිතිවාසිකමක් වශයෙන් පිළිගැණින. දිනපතා රොහල්ගත වන පිරිසගෙන් සියයට 15ක් අපිරිසිදු ජල භාවිතාකර විපත්වලට ගොදුරුවූවෝ වෙති. වසරකට ලක්ෂ අටකට වැඩි පිරිසක් පානීය ජලය අපිරිසිදුවීමෙන් වැළෙදන රෝගවලින් ජීවිතක්ෂයට පත්වේ.

පරිසර තත්ත්ව අනුව ශ‍්‍රී ලංකාව ජලය හිග රටක් නොවේ. එහෙත් විශාල පිරිසක් ජල මුලාශ‍්‍ර සම්බන්ධ අපහසුතාවලින් පෙලෙති. පිරිසිදු ජලය රහිත තත්ත්ව යටතේ වකුගඩු රෝග පැතිරෙමින් පවතී. විශේෂ රෝහල්පවා ඇති කරන්නට රජයට සිදුවී ඇත. සැලැස්මක් අනුව පානීය ජලය පරිහරණය සහ නිසි අවශ්‍යතා සොයාබලා ජනතාවට ජල සම්පාදනය කිරීම බලවත් වගකීමකි. ජල ජීවන් ව්‍යාපෘතිය අනුව ඉන්දියාව කටයුතු කරන ආකාරය ආදර්ශයකි. ආණ්ඩුව, ප‍්‍රජාව හා රාජ්‍ය නොවන සංවිධාන එකතු කරගෙන අලූත් සැලැස්මක් ආරම්භ කළ හැකිය. ශ‍්‍රී ලංකාවේ ජල සම්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කරන පසු මැති ඇමැතිවරු, නිලධාරීන් හා කොන්ත‍්‍රාත්කරුවන් හැසිරෙන ආකාරය ගැන ජනතාවට අවබෝධයක් තිබේ. අදූරදර්ශී තීරණ සහ දූෂණ හා වංචා සුලබ පසුබිම මාධ්‍යවලින් වාර්තාකරයි. විගණන වාර්තා වලින් හෙළි කරන කරුණු තවත් පැත්තකි. මෙකී කරුණු ගැඹුරෙන් සලකා බලා ප‍්‍රජාව අතරින් නැගෙන ප‍්‍රතිචාර අනුව විනිවිද පෙනෙන ක‍්‍රමවේද සකස්කළ හැක. ජලයට මිලක් ගෙවන්නට වත්කමක් නැති පිරිස තෝරා කෙලින්ම ආධාර සැපයිය හැකි ක‍්‍රමවේද සකස් කිරීම ද මෙම අවස්ථාවේ දී ඉතාම වැඩදායක වනු ඇත.