» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
11/12/2022 - ඉරිදා ලංකාදීප
මිල උච්ඡාවචනයෙන් කෘෂි ගොවියා ආරක්ෂා කරගැනීම

ආසියාවේ විශාලතම තක්කාලි වගා කලාපය ඉන්දියාවේ අන්ද්‍රා ප‍්‍රදේශ් ප‍්‍රාන්තයයි. එම ප‍්‍රාන්තයේ අනමයා හා චිට්ටෝර් දිස්ත‍්‍රික්ක තක්කාලි වගාකරන ප‍්‍රධාන වගාබිම් වශයෙන් සැලකේ. මෙවර කන්නයේ විශාල අස්වැන්නක් ලැබී ඇති අතර මිල පහත වැටී තිබේ. තක්කාලි කිලෝවක මිල ඉන්දීය රුපියල් පහකි. සිල්ලර වෙලෙන්දෝ කිලෝවක් විකිණීම ප‍්‍රතික්ෂේප කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. රුපියල් පහකට කිලෝ දහයක බෑගයක් විකිණේ. ගොවියෝ මහත් කනස්සල්ලට පත්ව සිටී. අස්වැන්න නෙලීම අත්හැර දැමූ අක්කර සිය ගණනක තක්කාලි වගාව ට‍්‍රැක්ටර් යොදා විනාශ කරන්නට ඇතැම් ගොවීහු පෙළැඹී සිටියහ. තමන්ගේ තක්කාලි තොග වෙළද පොලට නොලැබෙන විට අනෙක් වගාකරුවෙකුට එය සහනයක් වනු ඇති බව අක්කර තුනක තක්කාලි වගාවක් අත්හැර දැමූ ගොවියෙකු ‘ද එක්ස්ප‍්‍රස් පුවත් පතට කියා තිබුණි.

තක්කාලි කිලෝ 14 ක බෑගයක් කලින් වසරේ රුපියල් නමසියයකට විකිණූ ගොවියෙකුට අද ලැබෙන්නේ රුපියල් සියයක් වන අතර එය මහත් කනස්සල්ලකට හේතු වී ඇත. අස්වනු නෙලන්නට දවසකට ශ‍්‍රමිකයෙකු සදහා රු. තුන්සිය පනහක් ගෙවන්නට සිදුවී තිබේ. චිට්ටෝර් හි ගොවි සංවිධානය දක්වන පරිදි වෙනදා සාමාන්‍යයෙන් දිනකට තක්කාලි ටොන් 4-5 අතර ප‍්‍රමාණයක් වෙළද පොලට යැවේ. දැන් එය ටොන් දහය දක්වා ඉහළ නැග ඇත. ගොවියන් වැඩි ප‍්‍රමාණයක් තක්කාලි වගා කිරීම, හා උසස් තත්ත්වයේ බීජ භාවිතා කිරීම වැඩි අස්වැන්නක් හා මිල අර්බුදයට හේතු වී ඇත. චිට්ටෝරි දිස්ත‍්‍රික්කයේ ගොවීන් තුන් දහසක් පමණ අසරණ වී ඇති අතර ගොවි සංවිධාන කළ හැකි යමක් නැති තැනට පත්ව ඇත. අන්ද්‍රා ප‍්‍රදේශ් කෘෂිකර්ම බලධාරීහු දක්වන පරිදි මිල අඩුවීම තාවකාලික ප‍්‍රශ්ණයකි. ‘ලබන කන්නයේ දී ගොවීන්ට මෙම පාඩුව ද මග හැරෙන පරිදි හොද මිලක් උපයා ගත හැකි බව ඔවුන්ගේ තර්කයකි.

තක්කාලි වගාකරුවන් ගේ ඉරණම ගැන ඉන්දියාව තුළ සංවාදයක් පැන නැගී ඇත. වරින්වර මෙවැනි අවස්ථා මතුවී තිබේ. ගොවීහු ස්ථාවර මිලක් ඉල්ලන අතර අඩුම වශයෙන් අස්වැන්න කල්තබාගැනීම සදහා ශීතාගාර ඉල්ලා සිටිති. එහෙත් වගා කරන බිම් ප‍්‍රමාණය පාලනය නොවීම හා උසස් වගාක‍්‍රම හේතුවෙන් ලැබෙන අස්වැන්න වැඩිවීම ප‍්‍රශ්නවලට හේතු වී තිබේ. 2015 වසරේ දී අය වැය ඉදිරිපත් කළ එවකට මුදල් ඇමැති අරුන් ජෙට්ලි එක ගමක් එක නිෂ්පාදනයක් සංකල්පය යෝජනා කළේය. තක්කාලි, අර්තාපල් සහ ලොකුලූනු වගාව කෙරෙහි මෙහි දී අවධානය යොමු කෙරිණ. ඒ අනුව සම්පූර්ණ දිස්ත‍්‍රික්කයක් එද ගමක් සේ සලකන ලද අතර එම දිස්ත‍්‍රික්කය තුළ වගා කරන්නේ එක භෝගයකි. නිලධාරීහු ගොවීන්ට අවශ්‍ය මගපෙන්වීම කරති. නිෂ්පාදනයට පහසුකම් දෙන අතර අලෙවිය සදහා ද උපකාර කෙරෙන සැලැස්මක් මෙහි දී ක‍්‍රියාවට නැංවීය. මෙයට අමතරව කේ.වී.සී. යන හුරුබුහුටි නමින් හදුන්වන ‘කෘෂි විද්‍යාන් කේන්ද්‍ර’ඉන්දියාව පුරා ස්ථාපිත කර ඇත. 1974 වසරේ දී ඉන්දීය රජය එය හදුන්වා දෙනු ලැබීය. කෘෂි විද්‍යාන් කේන්ද්‍ර දහසක් පමණ දැනට රට පුරා ඇති අතර ඒවායේ නඩත්තුවට ඉන්දීය මධ්‍යම රජයෙන් ආධාර සැපයේ. කෘෂි විශ්ව විද්‍යාල ඒවාට සම්බන්ධය. ඉගෙන ගන්නා සිසුන් කරන අලූත් පර්යේෂණවල ප‍්‍රතිඵල වගා බිම්වලට යවන්නේ මෙම කේන්ද්‍රයේ මැදිහත්වීමෙන්ය. රජයේ නිලධාරීන්, කෘෂි පර්යේෂකයන්, රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු ගොවිතැනට සම්බන්ධ සියළුම දෙනා මෙම කේන්ද්‍රයේ සාමාජිකයෝ වෙති.

ඉන්දියාව විශාලම ජනගහනයක් සහිත රට බවට පත්වන අතර මෙම ජනගහනයට අවශ්‍ය ආහාර සම්පාදනය බරපතලම අභියෝගය බව දැක්වේ. ලෝකයේ විශාලතම ආහාර නිෂ්පාදනයා ඉන්දියාවයි. කුළුබඩු නිපදවීමේ ප‍්‍රමුඛයා බවට පත්ව ඇත. අනෙක අඩුම මිලට ආහාර ද්‍රව්‍ය වෙළද පොලට සැපයේ. කෙසේ නමුත් මෙම රාමුව තුළ ඇතැම් කාලවල දී අස්වැන්න වැඩිවන අතර මිල පහතටම වැටේ. ගොවීහු මෙම වෙළද පොල හැසිරීම ගැන කම්පාවට පත්වෙති. මාධ්‍ය මෙම කරුණු ගවේශණාත්මකව වාර්තා කරන අතර සැලැස්මක් රහිත කෘෂිකර්මය ගැන ඉන්දීය රජයට චෝදනා කරයි. ගැටළුව සංකීර්ණ වන විට වෙනත් බෝගවලට මාරුවන සේ නිලධාරීහු යෝජනා කරති.

ශ‍්‍රී ලංකාවේ කෘෂිකර්මය ද මෙයට සමාන්තරය. අස්වැන්න වැඩි වී මිල පහත වැටෙන කාලයේ ගොවීහු තොග පිටින් ගෙනැවිත් මහ පාරේ හලන අතර විශාල විරෝධතා පළ කරති. පසුගිය කාලයේ තක්කාලි, වටට්ක්කා, වම්බටු ඇතුළු බෝග වගා කළ ගොවීහු ඒවා විකුණාගත නොහැකිව පත්වූ අසීරු තත්ත්වය අමතක කළ නොහැක. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා නිලධාරීන් කරන මැදිහත්වීම ගැන විවේචන තිබේ. කුඩා රටක්, සීමිත වෙළද පොලකට සැලැස්මක් සහිතව ආහාර සැපයුම ගැන විධිමත්ව කටයුතු කළ යුතුව ඇත. ජාත්‍යන්තර වාර්තා දක්වන පරිදි ජනගහනයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කිරීම ඉදිරියේ දී ගැටළු සහගත වියහැක. සීමිත ඉඩම් ප‍්‍රමාණය හා ශ‍්‍රමය හිගකම බවබෝග නිෂ්පාදනයට බාධාවක් බව දැක්වේ. අනාගතයේ දී ආහාර හිගයක් ඇති වන බව පර්යේෂණ වාර්තා දක්වයි. ප‍්‍රමාණවත්ව නිපදවීම හා වෙළද පොලට යැවීමට භාවිතාකරන නුතන ක‍්‍රම ගැන ගොවියා දැනුම්වත් කළ යුතුය.

කෘෂි අංශයෙහි වෙනස්කම් ඇති අතර තාක්ෂණය යහමින් භාවිතා කෙරෙන තත්තවයට පත්ව ඇත. මිනිස් ශ‍්‍රමය භාවිතා නොකරන ක‍්‍රම හදුන්වා දී තිබේ. බිම් සකස්කිරීම, පැල සිටුවීම, පොහොර යෙදීම හා අස්වනු නෙලා ඇසිරීම සදහා ස්වයංකීය යන්ත‍්‍ර ඇත. පොහොර හා කෘෂී රසායන යෙදීම සදහා ඩ්‍රෝන යාත‍්‍රා වානිජ වහයෙන් භාවිතා කිරීම ප‍්‍රචලිත වී ඇති අතර යානා කුලියට දෙන සමාගම් වෙනම ව්‍යාපාරයක් වශයෙන් බිහිවී ඇත. හරිතාගාරවල පස් රහිත මාධ්‍යයක වගාකිරීම ද ජනප‍්‍රිය වෙමින් පවතී. දියර පොහොර වර්ග එහි දී භාවිතා කෙරේ. කෘෂිකර්මයෙහි නව ප‍්‍රවණතා සහ වෙළද පොල හැසිරීම ගැන අවධානයක් ඇති ක‍්‍රමයක් කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය. ශ‍්‍රී ලංකාවේ කෘෂිකර්මය ද අතීතයෙන් පාඩම ම්ඉගෙන ගෙන අලූත් යුගයකට ඇතුළුකළ යුතුය. අලූත් දැනුම ගොවි ජනතාවට කාන්දු කරන සැලැස්මක් අවශ්‍යය.