» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
11/09/2022 - ඉරිදා ලංකාදීප
චීන අභියෝගවලට මුහුණදිම සදහා විශ්වාසනීය උපාය මාර්ග

චිනය, ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර පවතින තුන්කොන් සබදතා ගැන නොයෙක් අර්ථකතන මතුවෙමින් පවතී. ආර්ථික සහ සාමාජයයීය වශයෙන් සලකනවිට රටට විශ්වාසවන්ත විදේශ සම්බන්ධතා අවශ්‍යම කාල වකවානුවකි. ඉන්දියාව අසල්වැසි රාජ්‍යයයි. රාවණා පුරාවෘතයය අනුව දෙරට අතර ඉතිහාසගත බැදීම් වසර හත්දහසකට වැඩි කාලයක් දක්වා පැතිරේ. බුදුන්වහන්සේ ගේ වැඩමවීම, මිහිදු මහ රහතන්වහන්සේ ගේ ධර්ම ප‍්‍රචාරක කටයුතු අනුව සලකන විට වසර දෙදහස් හයසියයක පමණ ඉතිහාසයක් ඇත. සමීප රටවල් වශයෙන් සමාජ සංස්කෘතික සම්බන්ධතා ජාලයකි. චීනය හා ශ‍්‍රී ලංකාව අතර සබදතා වසර දහසක පමණ ඉතිහාසයක් තිබේ. මෑත කාලය තුළ චීනයේ ආර්ථික වර්ධනය, ලෝක බලවතෙකු වශයෙන් නැගී අනන්‍ය ආකාරයකට ක‍්‍රියාකිරීම ජාත්‍යන්තරයේ විශේෂ සාකච්ඡාවකට හේතු වී ඇත. ශ‍්‍රී ලංකාව එක පැත්තකින් දිග ඉතිහාසයකට සම්බන්ධ සමීප ඉන්දියාව සමග ගනුදෙනු කරමින් සිටින අතර චීනයේ ආර්ථික නැඹුරුවට අනුව ක‍්‍රියා කරමින් සිටී.

කොමියුනිස්ට් ක‍්‍රමය අනුව චීනයේ තීරණ ගැනේ. ප‍්‍රතිපත්ති සකස්වේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක සිටින රටවල් චීන ප‍්‍රතිපත්ති, සහ වැඩ පිලිවෙල දෙස බලන නුරුස්සන ආකාරයක් ඇත. ලෝක බලවතා වශයෙන් සැලකෙන ඇමරිකාව හා චීනය අතර සියුම් බල අරගලයක මුහුණුවර පවතින අතර රටවල් දෙකට ගැලපෙන පරිදි හැසිරෙන්නට කුඩා රටවල් සෑහෙන ප‍්‍රයත්නයක් දරන බව සදහන් කළ යුතුය. ශ‍්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථික ප‍්‍රශ්න ඉදිරියේ බටහිර, සහ නැගෙනහිර කලාප වෙත දක්වන නැඹුරුව ඉතාම තීරණාත්මකය. රටට අනන්‍ය ප‍්‍රතිපත්ති සකස් කරගත යුතුව ඇත. විදේශීය ණය, ආයෝජන හෝ වෙනත් ආධාර මත තීරණ ගැනීම නුසුදුසුය.

හම්බන්තොට වරායට සේන්දු වූ චීන නෞකාව සම්බන්ධයෙන් තිරණයක් ගැනීමේ දී උද්ගත වූ කරුණු අමතක කළ යුතු නැත. 2014 වසරේ දී ද චීන සබ්මැරීන් යාත‍්‍රාවක් කොළඹට පැමිණීම මහත් ආන්දෝලනයක් ඇති කළේය. ශ‍්‍රී ලංකාව පිහිටා ඇති සුවිශේෂි භූ කලාපය අනුව නිතර ජාත්‍යන්තර අත පෙවීමකට ලක්වේ. ලන්දේසි, පෘතුගීසි සහ ඉංග‍්‍රීසි ජාතිකයන් ලංකාව ආක‍්‍රමණය කරන්නේ එවකට තිබුණ වෙළද හා නාවික කේන්ද්‍රස්ථානයේ හැඩතල අනුව බව සදහන් කළ හැකිය. වර්තමානයේ තාක්ෂණය හා සන්නිවේදනය අතිශය දියුණු නමුත්, කේන්ද්‍රීය ස්ථාන සම්බන්ධව පවතින වැදගත්කම පිරිහී නැත.

ජාත්‍යන්තර ප‍්‍රජාව සමග ගනුදෙනු කිරීමේ දී නොබැදි ප‍්‍රතිපත්ති තව දුරටත් වලංගු නැත. එක රටකට හෝ අනුකූල නොවී ක‍්‍රියා කරන බව ප‍්‍රකාශ කළ හැකි නමුත් එවැනි අදහස් වර්තමාන ලෝක ස්වභාවය ඉදිරියේ සාධකයක් නොවේ. තීරණ ගැනීමේ අයිතිය තබා ගනිමින් රටට ගැලපෙන අනන්‍ය විදේශ ප‍්‍රතිපත්ති අනුව තීරණ ගැනීමට අපට අයිතියක් තිබේ.

ජාත්‍යන්තරයේ පැවැත්ම නිර්දේශපාලනික රාමුවකින් අධ්‍යයනය කිරීම සදහා බලවත් රාජ්‍ය ඒකකයක් රටට අවශ්‍යය. විද්‍යාර්ථීන් සහ පර්යේෂකයන් එකතු වී අලූත් ලෝක ප‍්‍රවණතා සාකච්ඡා කරන මණ්ඩපයක් උවමනා කර තිබේ. දේශපාලන පක්ෂ මතවාද සහ ආධාරවලට ගැතිවන ගතානුගතික ක‍්‍රමවලින් ගැලවී සෘජුව ක‍්‍රියා කරන ආකාරය ගැන සංවාදයක් ආරම්භ කළ යුතුය. එකී පැතැ ගැන අවධානය යොමු කරනවිට ඉන්දියාවේ ස්ථාපිත කර ඇති චීන අධ්‍යයන ආයතනයේ පාලන මණ්ඩල නියෝජිතයෙකු හා හිටපු විදේශ ලේකම්වරයෙකු වන ශ්‍යාම් සරන් නොබෝදා නිකුත් කළ - How China Sees India and the World කෘතිය ඉන්දියාවට කියා දෙන පාඩම අපට ද වැදගත් විය හැක.

ඉන්දු චීන සම්බන්ධතා පිළිබද විශේෂඥයෙකු වන ශ්‍යාම් සරන් පැරණි චීන රාජ්‍ය පරිපාලනයේ සම්ප‍්‍රදායයන් භාවිතා කරන්නේ කෙසේ දැයි විග‍්‍රහ කරන අතර සමාන අදහස් වලින් රටවල් දෙක එකට බැද තබා ගත හැකි කෙසේදැයි විග‍්‍රහ කරයි. එහි දී ඉන්දීය උප මහද්වීපයේ ඓතිහාසික පසුබිම භාවිතා කරයි. බුදු දහමේ ව්‍යාප්තිය සමග ඉන්දියානු ලක්ෂණ චීනයට ඇතුළුවූ බව පෙන්වා දෙන හෙතෙම දීර්ඝ කාලයක් තුළ කිසිම අවස්ථාවන ඉන්දීය විඥාණය තුළට චින ලක්ෂණ ඇතුළු වී නැති බව මෙම කෘතියේ පෙන්වා දෙන කරුණකි. නූතන දේශ සිමා ගැටළුව හමුවේ පමණක් චිනය ඉන්දියාවේ බලවත්ම ප‍්‍රශ්නය සේ සලකන්නට හුරු වී ඇති බව දක්වයි. චීනය ඉන්දියාව දෙස බලන ආකාරය ගැන කරුණු ගොනුකරන මෙම කෘතිය සදහන් කරන්නේ ‘‘ඇමරිකාව සමග චීනයේ ඇති සබදතා පිරිහීම හෝ නරක අතට හැරීම තුළින් ඇමරිකාව සමග හිතවත්කමක් ඇති ඉන්දියාව ගැන ද තක්සේරු කරන බවය. ඉන්දියාව ස්වාධීන චින්තනයක් ඇති නිවහල් රටක් සේ නොසලකන බව ශ්‍යාම් සරන් පෙන්වා දෙන වැදගත් කරුණකි.

චීන අභියෝගවලට මුහුණදීම සදහා විශ්වාසනීය උපාය මාර්ගයක අවශ්‍යතාව මෙහි මතු කර ඇත. කෘතියේ කර්තෘ ශ්‍යාම් සරන් ප‍්‍රකාශ කරන පරිදි අනන්‍ය සංස්කෘතික වටිනාකම් හා දේශපාලන ස්ථාවරත්වය පදනම් කරගෙන ඉන්දියාව ගොඩනැගෙන්නට කටයුතු කළ යුතුය. චීනයේ ආර්ථික සාර්ථකත්වයට මුලික හේතුව ගුණාත්මක අධ්‍යාපනය තුළින් මානව සම්පත් දියුණුවයි. එහි තද විනයක් තිබේ. අති නවීන යටිතල පහසුකම් සදහා විශාල ආයොජනයක් කර ඇත. එය චීන ආර්ථිකයේ වර්ධනයට හේතුවකි. ඉන්දියාව ඉගෙනගත යුතු පාඩම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් දක්වා ඇති රාමුව අනුව කටයුතු කරමින් සාරධර්මවලට කැපවීම සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංග රටට දෙන ආයතනික පද්ධතිය ආරක්ෂා කිරීම බව කතුවරයා යෝජනා කරයි. සමාජ හා සංස්කෘතික විවිධත්වය චීනයට අභියෝග කිරීමේ දී මතු කරගත හැකි බලවත්ම ශක්තිය බව ද දක්වයි.

රටවල්වල බලපෑම්වලට ගොදුරුවන සමාජයක් වශයෙන් ශ‍්‍රී ලංකාවට ද අවධානයට ගත යුතු පැති ගණනාවක් තිබේ. බලවත් රටවල් සමග උරෙන් උර ගැටෙන්නට අවශ්‍ය නැත. ඉන්දියාවට පමණක් නොව චීනයට ද වර්තමාන ලෝකයේ පැවැත්ම තුළ ස්ථානයක් තිබේ. ජපානයට, සිංගප්පූරුවට හෝ මැලේසියාවට ද එවැනි නියමිත තැනක් ඇත. සමාජයක් වශයෙන් අප සියළු දෙනා අපට ඇති තැන ගැන තීරණයක් ගත යුතුය. අනුන්ගේ බලපෑම් හෝ අන්‍යයන්ගේ උවමනා එපාකම් වෙනුවෙන් ක‍්‍රියා කිරීම වෙනුවට ශ‍්‍රී ලංකාව තමන්ගේ ශක්තිය තරකරගත යුතුය.

සමාජයක් වශයෙන් ශ‍්‍රී ලංකාව වර්තමානයේ ගැටුම්, ආරවුල් වලින් ගහනය. අපට එක අරමුණක් වෙනුවෙන් එකතු විය නොහැකි ඇයි? බෙදීම් නතර කර එකමුතු සමාජයකට ඇතුළු නොවන්නේ මන්ද? විදේශ ප‍්‍රතිපත්ති ඉදිරියේ සියළු බෙදීම් පසෙක තබා එකට එකතු විය යුතුය. මෑත කාලීන සිද්ධිවල දී දේශපාලනඥයන්, බුද්ධිමතුන්, සමාජ ක‍්‍රියාකාරකයන්, වෘත්තීය සමිති නායකයන් පමණක් නොව විවිධාකාර මුහුණුවර ඇති ජන මාධ්‍ය පවා එකිනෙකා හා නොපෑහෙන සේ ක‍්‍රියා කරන ලද බව රහසක් නොවේ. ජාති, ආගම්, පක්ෂ, පැලැන්ති, කුල පමණක් නොව ඉගෙනගන්නා පාසල අනුව පවා කණ්ඩායම්වලට බෙදී ඇත. සිද්ධිවල දී එම බෙදීම් හෙළිදරව්වේ. මෙම බෙදීම් රටට අත පොවන ඕනෑම බාහිර පාර්ශවයකට අතිරේක ශක්තියකි. අප ඉගෙන ගත යුතු පාඩම මෙය වන අතර රට ඉහළට ඔසවා තබන්නට නම් රටවල් වෙත වෙන වෙනම නැඹුරුව වෙනුවට ශ‍්‍රී ලංකාව වෙත එක ශක්තියක් ඇති කරගත යුතුය. රක රටක් ලෙස එකතුවෙන්නට අපට අවශ්‍යය.