» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
11/06/2023 - ඉරිදා ලංකාදීප
දුප්පතුන්ට ලැබිය යුතු ඉසුරු අතලොස්සක් අතට පත්වන සංවර්ධනයක්

සංවර්ධනය සිදුවන විට පහල තලයේ සිටින අඩු ආදායම්ලාභීන්ට ද එහි ප‍්‍රතිඵල කාන්දුවන බව විශේෂඥ මතයකි. ආර්ථික ප‍්‍රතිසංස්කරණ ගණනාවක් හදුන්වා දී ඇති ඉන්දියාව මෙම කාලයේ වඩාත් ඉහළ සංවර්ධන වේගයක් සහිත රට බවට පත්ව ඇති නමුත් දුප්පත්කම තවත් වර්ධනය වී ඇති බව පර්යේෂණ වාර්තා දක්වයි. නොබෝදා එළි දක්වන ලද ඔක්ස්ෆෑම් අනාවරණය එහි අභ්‍යන්තර තත්ත්වය දක්වයි. ඉන්දියාවේ සමස්ථ වත්කම්වලින් සියයට හැටක් ජනගහනයෙන් සියයට පහක් අයිතිකරගෙන සිටී. පහළ ආදායම් මටට්මක පසුවෙන සියයට පනහක කොටසට ඉන්දියාවේ ධනයෙන් අයිති ප‍්‍රමාණය සියයට තුනකි. ඇති නැති පරතරය පිලිබදව දැවැන්ත අනාවරණයක් මෙම ඉලක්කම් හෙළිකරයි.

ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයන්ගේ ධනය 2022 වසරේ දී සියයට හතලිස් හයකින් වැඩි වී තිබේ. 2017-21 කාලසීමාව තුළ හෙළිදරව් නොකරන ලද ඔවුන්ගේ වත්කම්වලින් බදු අය කළහොත් ඉන්දීය රුපියල් කෝටි 1.8 ක් උපයාගත හැකිවනු ඇති අතර එය කොපමණ විශාල මුදලක් ද යත් ඉන්දියාවේ ප‍්‍රාථමික පාසල්වල උගන්වන ගුරුවරු මිලියන පහකට වසරක් පුරා වැටුප් ගෙවිය හැකි බව ද ඔක්ස්ෆෑම් වාර්තාව කියා සිටී. ඉදිරි අය වැයක දී ධන බද්ද හදුන්වා දී ඉන්දීය භාණ්ඩාගාරයට මුදල් එකතු කරගන්නා ලෙස මෙම වාර්තාව එරට මුදල් අමාත්‍යවරියට යෝජනා කරයි.

2012- 2021 දක්වා ගත වූ වසර නමයක් තුළ ඉන්දියාවේ උත්පාදිත ධනයෙන් සියයට හතලිහක් ජනගහනයෙන් සියයට එකක් අත්පත්කර ගෙන ඇති අතර සියයට තුනක පමණ සුළු ප‍්‍රතිශතයක් ජනගහනයේ පහලම සියයට පනහ එනම් ඉන්දියාවේ ජනගහනයෙන් හරි අඩකට ලැබී තිබේ. මෙම සංවර්ධන විෂමතා සමග ඉන්දියාවේ බිලියනපතියන් ප‍්‍රමාණය 166 තෙක් ඉහළ ගොස් ඇත. ධනවත්ම සිය දෙනාගේ ධනය ඇමරිකානු ඩොලර් බිලියන 660 කි. එම මුදල, ඉන්දියාවේ වියදම් මාස දහ අටක් පියවන්නට තරම් ප‍්‍රමාණවත්ය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා 2014 දී බලයට පත්වන විට හොද දවසක් උදාවනු ඇති බව ජනතාව විශ්වාස කළ අතර පසු භාගය වන විට උද්ගත වූ කොවිඞ් වසංගත තත්ත්වය හා ලෝක ආර්ථිකයේ බලපෑම සමග දුප්පතුන් තවත් අභාග්‍යය කරා තල්ලූ කර ඇත. විරුකියාව, උද්ධමනය හා සෞඛ්‍ය විපත් හේතුවෙන් සාමාන්‍ය ජනතාව මහත් දුෂ්කරතාවයකට පත්ව සිටි අතර ඇතැම් පිරිස් ජීවත්වීමට අවශ්‍ය මුලික පහසුකම් පවා අහිමිව දුක්වි`දින බව දැක්වේ. ඉන්දියාවේ කාලගුණය අනුව අධික සීතල හා අධික උණුසුම පවතින වකවානුවල නිසි වාතාශ‍්‍රය රහිත කුඩා ආවරණවල ගතකරන දුප්පත් මිනිසුන් මහත් වේදනාවෙන් පසුවන බව ඉන්දීය මාධ්‍ය වරින්වර වාර්තා කර තිබුණි. සාගින්න පැතිරෙන අතර 2022 වසරේ දී අවුරුදු පහට අඩු ළමයින්ගේ මරණවලින් සියයට හැට පහක් මන්ද පෝෂණ තත්ත්වය හේතුවෙන් සිදුවූ බව ඉන්දීය ආණ්ඩුව පිලිගෙන තිබේ. ආහාර අඩු මිලට සපයන සහ දුප්පතුන්ට සහන දෙන ආධාර් කාඞ් ක‍්‍රමය පවා ක‍්‍රියාත්මකව තිබිය දී, තවත් සිද්ධි වාර්තාවීම ඉන්දීය රජයේ කනස්සල්ලට හේතු වී ඇත. එරට ප‍්‍රමුඛ රාජ්‍ය නොවන සංවිධානයක් වන ආක්ෂයා පත‍්‍ර පදනම සමග පාසල් දරුවන්ට ආහාර වේලක් සපයන සැලැස්මක් ද ක‍්‍රියාවට නංවයි. පාසල් පවත්වන දිනවල දිනපතා එරට පාසල් 22,367 ක සිසු සිසුවියන් මිලියන 2.3 කට දිවා ආහාරය සපයන අතර වියදමෙන් සියයට පනහක් ඉන්දීය රජය හා ඉතිරිය දානපතියන්ගෙන් සැපයෙන වැඩ පිලිවෙලකි.

දියුණුව සමාජයේ පහල ස්ථරයට ප‍්‍රමාණවත් පරිදි නොලැබීම, සංවර්ධන සැලැසුම් ඉදිරියට ගෙන යන රටවල් මුහුුණ පා ඇති ප‍්‍රධාන ගැටළුවකි. ඉන්දියානු ආර්ථිකයයේ පවතින මෙම තත්ත්වය එයට උදාහරණයකි. 2022 හා 2023 වසරවල අය වැය ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම අරමුණු කරගෙන අලූත් ප‍්‍රතිසංස්කරණ ගණනාවක් ඇරඹීය. ප‍්‍රතිඵලයක් වශයෙන් සියයට හත ඉක්මවන වර්ධනයක් දක්වයි. ලෝකයේ බලවත් ජාතීන් පවා මෙම ප‍්‍රබෝධය දෙස අවධානයෙන් සිටී. එහෙත් අභ්‍යන්තරය සලකා බලන පසු දුප්පත් ජනතාව තවත් වටයකින් පහතට වැටී ඇත.

ඔක්ස්ෆෑම් ආයතනය දක්වන පරිදි බදු අය කරගතහොත් ඉන්දීය රජයේ ආදායම දෙගුණ තෙගුණ කරගත හැක. එහෙත් දෙපැත්තක් තිබේ. මෙම ධනය ලබාගෙන රජය පමණක් මෙහෙයවන සැලැස්මකට ගමන් කළහොත් එහි අකාර්යක්ෂමතාව, දුෂණ හා එකිනෙකට පැටලෙන දේශපාලන කාරණා ගණනාවක් මෙම පවතින විෂම තත්ත්වය තවත් උග‍්‍ර කරනු ඇතැයි සැක කෙරේ.

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය අලූතින් රාමුගත කරමින් සිටී. ජනගහයෙන් විශාල ප‍්‍රතිශතයක් අඩු ආදායම් මටට්මට වැටී ඇත. අස්වැසුම නමින් අලූත් ආධාර ක‍්‍රමයක් ද යෝජනා කර තිබේ. පාස්තු ඉරිදා ප‍්‍රහාරය හා එයින් පසු ගොදුරු වූ කොවිඞ් ලොක්ඩවුන් කිරීම ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය රින අගයකට පත් කළේය. වසර දෙකක් තුළ සියයට දහයකින් අවප‍්‍රමාණය වූ ආර්ථිකයේ ප‍්‍රතිඵල ජනතාව භුක්ති විදිමින් සිටී. ලක්ෂ ගණනකට ආදායම් අහිමි වී ඇත. දස දහස් ගණනකට රැකියා අහිමි වී තිබේ. අධික උද්ධමනය, පොලී අනුපාත පීඩාකාරී තත්ත්වය උග‍්‍ර කර ඇත. ජීවන වියදම අධික තැනක පසුවන රටට සංවර්ධනය ගැන සිහිනයක් ඇති නමුත් අවසානයේ දී ඇති නැති පරතරය වැඩි කරන සුළු පිරිසක් අතට ධනය බෙදීයන ස්වභාවයක් ඇතිවුවහොත් අනුචිතය.

ආණ්ඩුව අලූතින් බදු යෝජනා කර ඇත. බදු ගෙවන්නට හැකි රටක් ගොඩනැගීමට ක‍්‍රියාත්මකවීම වැදගත්වේ. ආදායම් උත්පාදන ව්‍යාපෘති සදහා පුලූල් අවධානයක් යොමු කරන ප‍්‍රතිසංස්කරණ ශ‍්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු අංශ අතර ඇත.