» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
10/10/2021 - ඉරිදා ලංකාදීප
කොවිඞ් එන්නත දරුවන්ට අනවශ්‍ය බවට ඉන්දියාවේ පිලිගැනීමක්

ඉතාම දරුණු ව්‍යසනයක්ව පැතිරුණ කොවිඞ් වසංගත තත්ත්වය ක‍්‍රමානුකූලව පාලනය කරගන්නට ඉන්දියාව සමත්ව තිබේ. එරට වාර්තා පෙන්වන පරිදි පසුගිය සතියේ රෝගීහු විසි තුන්දහසකට ආසන්න ප‍්‍රමාණයක් පමණක් හදුනාගෙන ඇති අතර එයින් රෝගීහු දහතුන් දහසක් කේරළ ප‍්‍රාන්තයෙන්ය. එම සතියේ දී දිනකට ජීවිතක්ෂයට පත් ප‍්‍රමාණය දෙසිය පනහකටත් අඩු බව එරට සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති. ඉන්දියාව සාමාන්‍යකරණයට පත්ව ඇත. නවදිල්ලි නගරයේ සුපුරුදු ජනජීවිතය ඇරඹී තිබේ. සමාජ දුරස්ථ භාවය තවදුරටත් අනිවාර්ය කර ඇත. සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන සේ බලකර තිබේ. ඉදිරි සීත සෘතුවේ දී නැවතත් කොවිඞ් හිස ඔසවනු ඇතැයි ඇතැම් අංශ සැක පහල කරන නමුත් එන්නත්කරණ වැඩසටහන එයට ආවරණයක් වනු ඇතැයි සැලකේ.

ඉන්දියාව අනුගමනය කළ වේගවත් එන්නත්කරණ ක‍්‍රමවේදය අඩු තක්සේරුවකට පත් නොකරන සේ එරට සෞඛ්‍ය බලධාරීහු ජාත්‍යන්තර ප‍්‍රජාව වෙත නිකුත් කරන වැදගත් පණිවුඩයකි. සාර්ථක තැන් ඇති අතර වැරදි තීන්දු ගැන ද අනාවරණය කරයි. අවුරුදු දොලහට අඩු දරුවන්ට කොවිඞ් එන්නත අවශ්‍යම නැති බව ඉන්දීය වසංගත රෝග විශේෂඥවරුන්ගේ මතය වී තිබේ. එන්නත් ලබා දී ඇති ප‍්‍රමාණය දිනපතා දැකගත හැකිවන පරිදි විශේෂ අන්තර් ජාල ගොනුවක් පවතී. කො වින් (CoWin ) යනුවෙන් එය නම් කර ඇත. එහි ප‍්‍රවේශවීමෙන් පසු එන්නත් ලබා දී ඇති ආකාරය හා වසස් කාණ්ඩ යනාදී වශයෙන් විශ්ලේෂණ ඕනෑම අයෙකුට ලබාගත හැකිය.

ඉන්දියාවේ කොවිඞ් එන්නත්කරණය ගැන ජාත්‍යන්තර ප‍්‍රජාව දරන මතය ගැන විමසන විට එහි බලධාරීහු සදහන් කරන එක වැදගත් වචනයක් තිබේ. තොරතුරු යටපත් වී තිබේ. එයට හේතු සාධාරණ බව සෞඛ්‍ය විශේෂඥයෝ පිලිගනිති. ඉන්දියාව ලෝකයේ විශාලතම එන්නත් නිෂ්පාදකයාය. සරම්ප, පෝලියෝ සහ රැබෙල්ලා එන්නත් ව්‍යාපෘති දිගටම කරගෙන යන අතර ඒවායෙන් ඉතා හොද අත්දැකීම් ලබාගෙන තිබේ. යටිතල පහසුකම් ප‍්‍රමාණවත්ව ඇත. එහෙත් අභියෝග පවතී. ප‍්‍රමාණවත් පරිදි කොවිඞ් එන්නත් නිෂ්පාදනය නොවීම ප‍්‍රබල සාධකයක් බව දැක්වෙයි. අනෙක වැඩිහිටියන් එන්නත්කරණය ගැන අත්දැකීම් නොතිබුණි. පසුබැසීම් මැද පවා හොද ප‍්‍රතිඵල අත්පත් කරගන්නට සමත් වූ බව කියා සිටී. වෛද්‍ය විශේෂඥයන්ට අනුව අවුරුදු 18-44 අතර පිරිස පළමුවෙන් එන්නත් කළ අතර එය වැරදිමක් බව දැන් ප‍්‍රකාශ වන කරුණකි. එම පිරිස මිලියන නමසිය හතලිහකි. එහෙත් එන්නත් තිබුණේ මිලියන තිහක් පමණකි. අනෙක මධ්‍යම ආණ්ඩුව සතු රෝහල් හා ක‍්‍රමවේදවලට වඩා ප‍්‍රාන්ත ආණ්ඩු ශක්තිමත්ව ක‍්‍රියා කළේය. රාජ්‍ය මටට්මින් ක‍්‍රියා කිරීමේ දී රාජස්ථාන් හා අන්ද්‍ර ප‍්‍රදේශ් යන ප‍්‍රාන්ත වලට දුෂ්කරතා පැන නැගිණ. අනෙක් ප‍්‍රාන්ත කෙලින්ම සිය එන්නත්කරණය කරගෙන ගොස් ඇත.

2008 දි ඉන්දීය රජය එන්නත් නිපදවීමේ කාර්යයෙන් ඉවත් වී තිබේ. සම්පූර්ණයෙන්ම පුද්ගලික අංශයට පවරා ඇත. මිලියන 135 ක පමණ ජනගහනයට එන්නත් ලබා දීමේ දී පුද්ගලික අංශයේ සැපයුම කෙරෙහි බලාපොරොත්තු තැබීය. 2000 වසරේ දී එන්නත් නිෂ්පාදනයට අවතීර්ණ වූ සේරම් ඉන්ස්ටිටියුට් ආයතනයට මාසයකට එන්නත් මිලියන සියයක් නිපදවිය හැකි වූ අතර මාස හයක දී එන්නත් මිලියන හයසියයක් දක්වා වැඩිකරගත හැකි වනු ඇතැයි ඉලක්කයක් විය. ව්‍යාපාර කරගෙන යන විට ඉන්දියාවට පමණක් එන්නත් සැපයීම කරගෙන යා නොහැකි අතර අවශ්‍ය මෙවලම් හා බි‍්‍රතාන්‍ය ඔක්ස්ෆඞ් විශ්ව විද්‍යාලයේ අනුමැතිය යනාදිය අතර පරස්පරතා හටගත් බව ඉන්දීය බලධාරින්ගේ අදහස වී තිබේ. භාරත් බයෝ ටෙක් හි එන්නත් නිෂ්පාදනය සීමිත ප‍්‍රමාණයක පැවැති නමුත් එතැනින් ලැබුණ පිටිවහල සහ ඉන්දීය වෛද්‍ය පර්යේෂණ කවුන්සලය කරගෙන ගිය කොවැක්සීන් නිපැයුම එකතු කරගත් පසු එන්නත් කරන සැලසුම සාක්ෂාත් කරගන්නට හැකිවී ඇත.

ඉන්දියාවේ කොවිඞ් රෝගීන් වාර්තාවීම ඉකුත් මාර්තු මාසයේ දී තිබුණ දරුණු තත්ත්වය හා සසදනවිට පසුගිය සති අන්තයේ රෝගීන් ගණන අඩුවීම සෞඛ්‍ය අංශයේ ජයග‍්‍රහණයක් සේ සලකන බව පෙනේ. කෙසේ නමුත් එන්නත ලබාගැනීම හේතුවෙන් ආසාදිතයන් ආරක්ෂා වන නමුත් වාහකයන් සේ ක‍්‍රියා කිරීම නතර නොවන බව ඉන්දීය වසංගත වෛද්‍ය විශේෂඥ මතය වී තිබේ. කේරළ ප‍්‍රාන්තයේ සියයට 44 ක්, මධ්‍ය ප‍්‍රදේශ් හි සියයට 80 වැනි එන්නත් ආවරණයක් මැද වසංගතය පැතිරීම සම්පූර්ණයෙන්ම වලක්වා ගැනීම අපහසු විය හැකිය. එන්නත් ලබා ගැනීමට ඇති පහසුව, පිරිවැය දරාගැනීමට සමත්භාවය හා එන්නත්වල ප‍්‍රමිතිය යන කරුණු කෙරෙහි ඉන්දීය සෞඛ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදකයෝ වැඩිපුරු කරුණු සලකා බලමින් සිටිති.

ඉන්දීය වසංගත රෝග විශේෂඥයන්ට අනුව එරට ජනගහනය අතර සාමාන්‍ය ප‍්‍රතිශක්තිකරණ අගය සියයට 67 කි. එය ඉන්දියානුවන්ට බාහිර වෛරස්වලට ඔරොත්තු දෙන ප‍්‍රතිශතය බව දක්වයි. පළමු එන්නත මගින් ආවණයක් ලැබෙන නමුත් එය සීමිත රාමුවක් දක්වා පමණකි. දෙවැනි මාත‍්‍රාව ලබාගැනීමෙන් පසු සුරක්ෂිතතාව තහවුරු කෙරේ. එහෙත් මෙම දෙවැනි මාත‍්‍රාව ලබාගත් පිරිස පවා ඔවුන්ගේ අත්වල, නාසයේ හෝ පෙනහළුවල රැගෙන යන වෛරසය තවත් කෙනෙකුට ලබා දිය හැකිය. එන්නත් ලබාගත් ආසාදිතයන්ට ප‍්‍රතිශක්තීකරණය ඇත. මාරාන්තික ලක්ෂණ පෙන්නුම් නොකරයි. ඔවුහු සාමාන්‍ය ජන ජීවිතයට ඇතුළුවන විට එන්නත් නොකරන සිටින ජන කොටස කෙරෙහි අවධානයකින් පසුවිය යුතුය. බි‍්‍රතාන්‍ය ඇතුළු රටවල නැවත නැවතත් වසංගතය පැතිරෙන හේතුව එය බව දක්වන ඉන්දීය වෛද්‍ය විශේෂඥයෝ වෙනත් වෛරස් ප‍්‍රබේධ පවා නිර්මාණයවීම එහි අතුරු ප‍්‍රතිඵලයක් බව කියා සිටී. වෛරසය තුරන් වී ඇති බව අනුමාන නොකළ යුතු අතර වලක්වා ගැනීම අත්‍යවශ්‍ය කාරණය බව ද ප‍්‍රකාශ කරයි.

ඉන්දියානු විශේෂඥයන්ට අනුව අවුරුදු දොලහට අඩු දරුවන්ට එන්නත අවශ්‍යම නැත. ඔවුන්ට රෝගය වැළදීමට ඉඩ ඇති නමුත් අවදානම ඉතාම අඩුය. ලෝකයේ කිසිම රටකට කුඩා දරුවන්ට එන්නත් ලබාදීම අවශ්‍යම නොවේ. සමහරවිට එන්නත් නිපදවන සමාගම් එයට පොළඹවන්නට ඉඩ තිබෙන බව දක්වන ඉන්දීය බලධාරීහු එය සාමාන්‍ය වෙළද උපක‍්‍රමයක් බව ඉන්දියාවේ ෆ‍්‍රන්ට්ලයින් සගරාවට කරුණු දක්වමින් ප‍්‍රකාශ කරයි. එහෙත් වෙනත් ආසාදිත තත්ත්ව හෙයින් ප‍්‍රතිශක්තිය අඩු බවට සැක කරන හෙයින් අවදානමක් ඇති දරුවන්ට එන්නත් ලබාදීම අවශ්‍ය බව ද මෙහි දී පෙන්වා ධී ඇත.

එන්නත්කරණය ගැන සමාජයේ පවතින ආකල්ප ගැන ද ඉන්දියාව කරුණු විමර්ෂණය කර තිබේ. බටහිර රටවල ඇතැම් වෛද්‍යවරු, මහජන නියෝජිතයන් සහ හොද අධ්‍යාපන පසුබිමක සිටින පිරිස පවා කොවිඞ් එන්නත්වලට එරෙහි සංවිධානාත්මක මතවාදයක් පතුරවමින් සිටී. ඇමරිකාවේ කණ්ඩායම් දොලහක් හදුනාගෙන සිටින අතර සියයට හැත්තෑවක් එන්නත්කරණයට එරෙහි මතවාද පතුරවන බව දැක්වේ. ඉන්දියාවේ සියයට 50-60 අතර ජන කොටසක් එන්නත ගැන හොද විශ්වාසයක සිටින අතර අනෙක් සියයට 25-30 අතර කොටසක් අතරමැද ස්ථාවරයකය. එන්නත ගෙන එයින් යම් බලපෑමක් නොවුනහොත් තමන් ද එන්නත ගන්නා ආකාරයේ අතරමැද තැනක ඔවුහු පසුවන බව දැක්වෙයි.

ශ‍්‍රී ලංකාවට ද මෙම ඉන්දීය වෛද්‍ය විශේෂඥයන්ගේ අනාවරණ වැදගත්ය. රට තුළ කරගෙන යන වැඩසටහන සම්බන්ධව විවිධ අභියෝග තිබේ. බාධක ඇත. රජයට විශාල වියදමකි. ක‍්‍රියාවලිය ගැන විවේචන පවතින බව පෙනේ. එහෙත් ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්නට සමත්ව තිබේ. සමහර තීරණ වැරදි විය හැකිය. ඉන්දියාවටත් වඩා මෙරට ජනතාව එන්නත කෙරෙහි විශ්වාසයක සිටී. එය අමතර වාසියකි. වැරදි තොරතුරු ප‍්‍රචාරය කිරීම අඩුය. කොවිඞ් එන්නත ලබාගත් නමුත් සමාජයේ අනෙක් කොටස ගැන සලකා නිසි සෞඛ්‍ය පිලිවෙත් අඛණ්ඩව පිලිපැදිය යුතුය. දරුවන්ට එනන්ත් කිරීම ගැන ඉන්දීය මතය ගැන මෙරට වෛද්‍යවරු විශේෂ අවධානයක් යොමු කළ යුතු කරුණකි. ආර්ථික හා සමාජ ස්ථාවරභාවයක් සදහා නැවතත් නැගී සිටින්නට අවශ්‍යය. බිද වැටුණු ක‍්‍රම නැවත පුනර්ජීවකනයකට ලක් කළ යුතුව තිබේ. ලෝකයේ වෙනත් රටක අත්දැකීම් උපයෝගී කරගෙන සාර්ථකත්වය කරා ගමන් කිරීම අවශ්‍යය.

තවත් වැදගත් කාරණයක් තිබේ. ඊශ‍්‍රායලය තුන්වන මාත‍්‍රාව එන්නත්කරන තීරණයකය. එමිරේට්ස් රාජ්‍ය එරටට පැමිණෙන සංචාරකයන්ට පවා නොමිලේ තුන්වන මාත‍්‍රාව ලබා දෙන බව ප‍්‍රකාශ කර ඇත. තව නොබෝ දිනකින් ලෝකයේ අනෙක් රටවල් ද තුන්වැනි මාත‍්‍රාවක් ජනතාවට ලබා දීම ගැන අවධානය යොමු කරනු ඇත. ශ‍්‍රී ලංකාව ද එවැනි සැලසුමක් ගැන අවධානය යොමු කිරීම සුදුසුය.