» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
09/10/2022 - ඉරිදා ලංකාදීප
අධිරාජ්‍යවාදීන්ගෙන් ලැබුණ මුහුණුවර වෙනස් කරගැනීමේ ප‍්‍රයත්නය

බි‍්‍රතාන්‍ය යටත් කරගෙන සිටි රටවල අධිරාජ්‍යවාදී පාලනයේ අනන්‍යතා ආරක්ෂා වී තිබේ. රටවල් අල්ලාගත් බටහිර පාලකයෝ ස්වකීය ලක්ෂණ එහි ඇතුළු කරනු ලැබ ඇත. සියවස් ගණනක් එක සේ පැවැති ආක‍්‍රමණිකයන්ගේ පාලනය අවසන් කර නිදහස ලබන නමුත් සමහර අංග බැහැර නොවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදි පාලනයේ දියුණු ලක්ෂණ පවතින රටවල පවා බැහැර සිරිත් විරිත්, සංස්කෘතික ලක්ෂණ හා අනුකාරකාංග ඔසවාගෙන සිටින අවස්ථා සෑහෙන තරම් තිබේ. අලූත් පරම්පරාව යටත් විජිත කාලය ගැන වෙනම තක්සේරුවක ඇත. ස්වකීය උරුමය විනාශ වූ අතර රැගෙන ගිය දේ පවා ආපසු ඉල්ලා සිටිති. අධිරාජ්‍යවාදී පාලනය තුළ රටක අභ්‍යන්තරයට සිදුවූ බලපෑම හේතුකොටගෙන ඇති වූ විනාශය හෝ වාසිදායක තත්ත්වය එකිනෙකට සාපේක්ෂ බව සදහන් කළ යුතුය.

නිදහස ලබන රටවල් නැවතත් තමන්ගේ රිද්මය සොයායමින් සිටී. පරම්පරා ගණනක් ඇවෑමෙන් තවමත් හැසිරෙමින් සිටින, අනුගමනය කරන පිලිවෙල වෙනස්කිරීම කිසිසේත් පහසු නැත. ඉන්දියාව මෑතක සිට ස්වකීය උරුමය අලූතින් ප‍්‍රතිනිර්මාණය කරමින් සිටින බව නිරීක්ෂණය කළ හැකිය.

ඉකුත් දා පැවැති හැත්තෑ හය වැනි නිදහස් සංවත්සර දිනයේ දී අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියාව පැරණි ව්‍යුහයෙන් ගලවාගෙන අලූත් තැනකට ඔසවා තබන බව සදහන් කළේය. රට පුරා ඇති ඉංග‍්‍රීසි අධිරාජ්‍යයට අයත් ස්ථාන නැවත ඉන්දියානු අභිමතයකට යටත් කිරීම ඔහුගේ අරමුණ බව පෙණින. බි‍්‍රතාන්‍ය පාලන කාලයේ දී ‘කිංග්ස්වේ’ සහ ‘ක්වීන්ස්වේ’යනුවෙන් නවදිල්ලියේ ප‍්‍රධාන මාවත් දෙකක් නම් කර තිබුණ අතර එය එවකට බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට කරන ගරු කිරීමන් විය. නිදහස ලැබු පසු මෙම මාර්ග පිලිවෙලින් ‘රාජ්පත්’ හා ‘ජනපත්’ යනුවෙන් නම් කෙරිණ. කිංග්ස්වේ හෝ ජනපත් යන කවර නමකින් හදුන්වන ලද නමුත් ඒවා වහල්භාවයේ සංකේත වශයෙන් අලූතින් සිතන පැලැන්තිය කල්පනා කරති. නශ්ඨාවශේෂ තවදුරටත් පැවැතිය යුතු නැති අතර ‘රාජ්පත්’යන රජ්ජුරුවන් ගේ මාවත යන්න පවා නොගැලපෙන බව ඉන්දියානුවෝ විශ්වාස කරති. දෙවැනි එලිසෙබත් රැජන අභාවයට පත්වන දිනයේ නවදිල්ලියේ උත්සවයක් පැවැති අතර එහි දී එතෙක් රජ්පත් ලෙස නම් කර තිබුණ ප‍්‍රධාන මාර්ගය ‘කර්තව්‍ය මාවත’ වශයෙන් නැවත නම් කෙරිණ. එදිනම එය සිදුවීම අහම්බ සිද්ධියකි. කෙසේ නමුත් ඉන්දියාව ස්වකීය ප‍්‍රතිරූපය අලූතින් ගොඩනගන්නේ කිසියම් නිශ්චිත සැලැස්මකට අනුව බව පෙනේ.

නවදිල්ලිය ඉදිරියේ ඉන්දියාවට දොරටුව නොඑසේනම් ඉන්දියන් ගේට් යන ප‍්‍රදේශය රණකාමීන් සිහිත්කරන ස්ථානයක් ව තිබුණි. දැන් එහි සුභාෂ් චන්ද්‍රබෝෂ් ගේ දැවැන්ත පිළිරුවක් ස්ථාපිත කර තිබේ. ඉන්දියානු නිදහස් අරගලයේ ඉදිරියෙන් සිටි සුභාෂ් චන්ද්‍රභෝෂ් අධිරාජ්‍යවාදීන්ගේ වඩාත්ම අකමැත්තකට ලක් වූ ඉන්දියානුවෙකු බව ඉතිහාසය අනාවරණය කරයි. අඩි විසි අටක් උස සුභාෂ් චන්ද්‍රබෝෂ් ගේ දැවැන්ත ප‍්‍රතිමාවක් ඉන්දියා ගේට් හි ඉදිකරන මෝදි පාලනය එය ඉන්දියාවේ නිදහස් සටන තුළ කැපී පෙනෙන මෙහෙවරක් කරන ලද එහෙත් මෙතෙක් නොසලකා හැර සිටි විශිෂ්ඨයන් පිරිසක් වෙත ජාතියේ ගෞරවය පිරිනමයි.

අලූත් පැවැත්මක් සොයායන ඉන්දියාව නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාගේ දර්ශනය අනුව රට පුරා විශාල වෙනස්කම් සිදුකෙරේ. නවදිල්ලියේ මුහුණුවර එහි දී විශේෂයෙන් සලකා බලා ඇත. ඉන්දියාවේ බලගතුම ආයතන ගණනාවක් එක පෙලට පරිපාලන කටයුතු සදහා හසුරුවන කොරිඩෝවක් වශයෙන් සංවර්ධනය වේ. පාර්ලිමේන්තු ගොඩනැගිල්ල එයින් එකකි. පොදු පරිපාලන ගොඩනැගිල්ලක් තැනේ. එය කර්තව්‍ය මාවත ඔස්සේ සම්බන්ධ වන අතර රාජ්‍ය ආයතන වල ක‍්‍රියාකාරීත්වයෙන් මහජනතාවට එදිනෙදා කටයුතු පහසු කරනු ඇත. අගමැතිවරයාගේ නිල නිවස, කාර්යාලය හා උප ජනාධිපතිවරයාගේ පරිශ‍්‍රය ද එයට සම්බන්ධ කෙරේ. අනෙක් පැත්තෙන් ප‍්‍රධාන මන්ත‍්‍රී සංගරාහලය අලූතින් නිර්මාණය වී ඇත. එය නිදහස් ඉන්දියාවේ සියළුම අගමැතිවරුන් වෙනුවෙන් වෙන් කරන ලද කෞතුකාගාරයකි. මුලින් අගමැති ජවහලාල් නේරුහ් මහතා ගේ කෞතුකාගාරයක් වශයෙන් පැවැති නමුත් එය තාක්ෂණික වශයෙන් නවීකරණය කර අගමැතිවරුන් පරිහරණය කරන ලද මෙවලම්, ව්‍යවස්ථාව සම්බන්ධ අංශ හා නිදහස් සටනේ අංග එයට එකතු කොට තිබේ. ඉන්දීය ජාතික කෞතුකාගාරය ද තවත් පැත්තකින් මෙම මර්මස්ථාන සමග යා කෙරෙමින් ඇත. වසර දහස් ගණනක් ඉතිහාසයේ අනාවරණය කරගත් වටිනා සාක්ෂි එහි සංරක්ෂණය කර තිබේ.

ස්වකීය අභිමානය නැවත ගොඩනගන ඉන්දියාව ළගදීම පවත්වන්නට නියමිත ජී 20 කණ්ඩායම් සැසිවාරයට ද සූදානම්වෙයි. 1990 ගණන්වල නැගෙනහිර හා අග්නිදිග ආසියානු රටවල ආර්ථික අර්බුදය සමග පිහිටුවාගත් සංවිධානයක් වන අතර මැදි ආදායම් රටවල් කණ්ඩායමක් වන මෙහි වපරිසය අනුව ලෝකයේ ජනගහයෙන් සියයට හැටක් ආවරණය වේ. ලෝකයේ වෙළදාමෙන් සියයට අසූවක් ජී 20 රටවලට සම්බන්ධ බව ද දැක්වේ. මෙම රටවල සමග පවත්වන සබදතා තර කරන අතර ඉන්දියානු අනන්‍යතාවය ගොඩනැගීමේ ප‍්‍රයත්නය විශේෂිත පැත්තකි.

ශ‍්‍රී ලංකාවට ද අනාගතයක් ඇත. මැදි ආදායම් රටක් වශයෙන් නැගී සිටිමින් සිටි අතර පසුව මතු වූ කරුණු ගණනාවක් මත ආර්ථික අර්බුදයක පසුවේ. පාස්කු ඉරිදා ප‍්‍රහාරය, කොවිඞ් වසංගත තත්ත්වය ශ‍්‍රී ලංකාවේ අවාසියට මතු වූ මෑත කාලීන කරුණු බව පෙනේ. ත‍්‍රස්තවාදය පරජය කිරීමෙන් පසු සංවර්ධන කටයුතු සදහා වැඩිවශයෙන් වානිජ ණය ලබාගැනීම සහ ඒවායේ අපේක්ෂිත ප‍්‍රතිඵලවලට කලින් සිදුවූ ආර්ථික බිද වැටීම බරපතල සේ බලපා ඇත. පක්ෂ, ජාති, ආගම්, කුල හා පන්ති වහයෙන් බෙදී බේධ භින්න වී සිටින රටට එකමුතුවක් අවශ්‍යය. ශ‍්‍රී ලංකාවේ අනන්‍යතාවය නැවත ගොඩනගා ගත යුතුය. අධිරාජ්‍යවාදීන් විසින් ලංකාවේ පැවැත්ම ඔවුන්ට රුචි පරිදි වෙනස් කරගත් අතර එහි වහල් ලක්ෂණවලින් ගැලවෙන්නට අපට නොහැකි වී තිබේ.

තවමත් යටත් විජිත අංගවලට ගොදුරු වී ඇත. අධ්‍යාපනය, නීතිය, පරිපාලනය යනාදී අංශවල යටත් විජිත අවශ්‍යතා සැගවී ඇති බව පැහැදිලිව පෙනේ. ව්‍යවස්ථාව ඇතුලත් පාලන ක‍්‍රමය සම්බන්ධයෙන් ලංකාවේ අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමට අසමත්වීම ද ශ‍්‍රී ලංකාව මුහුණ පා ඇති ගැටළුවකි. ආත්මාභිමානය ඇති කරන, රට වෙනුවෙන් කැපවෙන පරපුරක් සදහා අලූත් දැක්මක්, අලූත් ප‍්‍රතිපත්ති රටට අවශ්‍යය. අරගලය ඉල්ලා සිටි වෙනස මෙහි දී අමතක කළ නොහැකි කරුණකි. නීතිය, යුක්තිය හා සාධාරණත්වය ඉල්ලා සිටි පිරිස් පසුව ප‍්‍රචණ්ඩකාරීව අවනීතිකව හැසිරුණ නමුත් ජනතාව ඉල්ලා සිටින්නේ රටට ගැලපෙන ක‍්‍රමයකි. ඉන්දියාව සූදානම්වන පරිසරය අධ්‍යයනය කරන පසු ශ‍්‍රී ලංකාවට ලබාගත හැකි අවස්ථා ගැන පැහැදිලි කරගත හැකිය.