» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
09/07/2023 - ඉරිදා ලංකාදීප
දේශපාලන උණුසුමකින් කලාපය අවුලවන අඛණ්ඩ භාරත්

අලූතින් විවෘත කළ ඉන්දියානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඓතිහාසික සහ සංස්කෘතික සංකේත ගණනාවකින් සමන්විතය. ඉන්දීයානු කලාපයේ පැරණි සිතුවමක් එහි ප‍්‍රදර්ශනය කරන අතර ‘අඛණ්ඩ භාරත්’ යනුවෙන් එය නම් කර තිබේ. පකිස්තානය, නේපාලය, සහ බංගලාදේශය යන රටවල පමණක් නොව ශ‍්‍රී ලංකාවේ ඇතැම් කොටස් ද එයට නොසතුට පළ කර ඇත. ඉන්දීය විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ප‍්‍රකාශකවරයාට අනුව මෙම සිතුවම ආන්දෝලනයකට හේතුවක් විය යුතු නැත. අශෝක අධිරාජ්‍යයා තුළ පැවැති අභිලාශය හා එවකට පැවැති ස්වභාවය සම්බන්ධ පැරණි සිතුවමක් පමණකි. භාරතීය ජනතා පක්ෂයේ ඇතැම් ප‍්‍රධානීන්ට අනුව ඇෆ්ගනිස්ථානය, පකිස්තානය, නේපාලය, බංගලාදේශය හා මියන්මාරය යන කලාපයේ රටවල් එකතු වී අනාගතයේ බිහිවිය හැකි නොබෙදුන ඉන්දියාවක් ගැන ගැඹුරු දාර්ශනික මතයක් මෙම සිතුවම විදහා දක්වයි.

මෙම සිතුවම සියුම් මතවාද ඇති කර තිබේ. නව යටත් විජිතවාදී සංකල්පයක් අසල්වැසි රටවලට මුදාහරින, ස්වභාවයක් වශයෙන් තේරුම් ගෙන සිටින බව පෙනේ. භාරතීය ජනතා පක්ෂය දීර්ඝ කාලයක් තිස්සේ රාශ්ඨීය ස්වයම් සේවක සංගමයේ එනම් ආර්.එස්.එස්. සංවිධානය සමග සබදතා පවත්වන අතර හින්දුත්ව නොඑසේනම් හින්දු ජනතාවගේ වාසභූමිය වශයෙන් දක්වන ආර්.එස්.එස්. මතවාදයට අනුකූල බවට ද අදහසක් පැන නැගී ඇත.

ගුජරාට් ප‍්‍රාණ්ත ආණ්ඩුව 2014 වසරේ දී, ආර්.එස්.එස්. සංවිධානයේ ප‍්‍රධානියෙකු රචනා කරන ලද කෘතියක් පාසල් දරුවන්ට කියැවීමේ පොතක් වශයෙන් අනුමත කළ අතර එහි පරිච්ඡේදයක අඛණ්ඩ භාරත් අදහස ඇත. ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, පකිස්තානය, බංගලාදේශය නේපාලය, මියන්මාරය පමණක් නොව ශ‍්‍රී ලංකාව ගැන ද සදහන් කරයි. වසර හැටකට කලින් ඓතිහාසික සිද්ධි පදනම් කරගෙන රටවල් වෙන් වූ නමුත්, ශක්තිමත් සබදතා අනුව අනාගතයේ දී මෙම රටවල් නැවත එකතු වී අඛණ්ඩ භාරත් සංකල්පය සාක්ෂාත් කරනු ඇති බව කෘතියේ සදහන්ය.

ඉන්දීය පාර්ලිමේන්තුවේ ඇති තවත් සිතුවම් අතර පැරණි අක්ෂර, රාමායනයට සම්බන්ධ සිද්ධි ඇතුලත් අතර රාමායනය අනුව ඇෆගනිස්ථානයේ සිට මියන්මාරය දක්වා සහ ටිබෙට් සිට ශ‍්‍රී ලංකාව දක්වා ගොඩබිමින් සම්බන්ධයක් තිබුණ බව පෙන්වන පැරණි සිතියයමක් ද ඇත. පුණ්‍යභූමි භාරත් යනුවෙන් එය නම් කර තිබේ. එම සිතුවම සිංහලද්වීපය මහ භ‍්‍රාහ්මණදේශ් යනුවෙන් ශ‍්‍රී ලංකාව හා මියන්මාරය හදුන්වයි.

කලාපයේ රටවල් අතර පැරණි සබදතා සංකීර්ණය. ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව හොදම උදාහරණයකි. චෝල, පාණ්ඩය, කාංලිග, පල්ලව වැනි පාලකයන් සමග හොදින් පමණක් නොව නරකින් ද කටයුතු කරගෙන ගොස් ඇත. චෝල හා පාණ්ඩව රාජ්‍ය අතර සටනේ දී පංකාව පාණ්වව පාර්ශවයට සහාය දී ඇත. පැරණි ඉතිහාසයට අනුව විජය කුමාරයාගේ පැමිණීම, නායක්කාර් රජවරු, අශෝක අධිරාජ්‍ය යුගයේ ඇති වූ සම්බන්ධතා අනුව දෙරට අතර රටවල් දෙකක් හා නොයෙක් ආකූල ව්‍යාකූලතා සහිත එක පවුලක් වශයෙන් පැවත ඇත. ශිෂ්ඨාචාරයේ ගමන් මග ගවේශනය කරන පසු උරුමය හා සංස්කෘතික බැදීම් මැනැවින් හදුනාගත හැකිය. අනන්‍ය ලක්ෂණ එක ස්ථානයේ නතර වූයේ ද නැත. අලූත් සොයාගැනීම්, පරිවර්තන හා ජන පර්යටන සමග අද පවතින නවීන යුගයට ඇතුළු වී තිබේ. බටහිර ආක‍්‍රමණය හසුවීම මෑත කාලයේ සිදුවීම් අතර අධ්‍යයනය හැකි විෂය පථයකි. නිදහස සදහා දැවැන්ත අරගලයක නිරත වූ අතර එහි දී ජීවිත පූජාකළ ජනකොටස සුළුපටු නොවේ. අමිහිරි සිද්ධි ගැන මතකය තිබිය දී පවා ශී‍්‍ර ලංකාව ඇතුළු රටවල් පොදු රාජ්‍ය මණ්ඩලය වශයෙන් එකතු වී සිටින අතර අධිරාජ්‍යවාදීන්ගේ සංස්කෘතිය හා ඇබ්බැහිවීම් අත්නොහැර සිටීම ද අවධානයට ලක්විය යුතු කොටසකි. තවමත් පවත්වාගෙන යන්නට වෑයම් දරන නශ්ඨාවශේෂ අපගේ දුර්වල පදනමට සාක්ෂියක් වන අතර අලූත් අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමට නොහැකිවීමේ ප‍්‍රශ්නයක කොටසකි.

බලවත් රටක පැවැත්ම සමග පැවැතීම හා එයට එරෙහිවීම සාමාන්‍ය සිද්ධියකි. රාමායනය හා බුදු දහම මෙහි පාර්ශව දෙකක සංකේත වශයෙන් සැලකිය හැක. ඉන්දියානුවන් දැනටත් රාවණා අමතක කර නැත. රාවණ පරාජය කිරීම ඉන්දියාවේ දැනටත් පවත්වන සංස්කෘතික අංගයකි. අශෝක අධිරාජ්‍යයා බුදු දහම ව්‍යාප්ත කරන අතර ලංකාව සමග පවත්වාගෙන ගිය සබදතාව මෙහි අනෙක් පැත්තකි. අධිරාජ්‍යයා සිය පුත් මහින්ද මහ රහතන්වහන්සේ සහ සංඝමිත්තා තෙරණිය ලංකාවට එවීම තුළ දෙරට අතර පැවැති විශ්වාසය රාමායන පුරාවෘතය තුළ ශ‍්‍රී ලංකාව ගැන පැන නැගෙන සාධකය ඉක්මවා යන අවස්ථාවකි.

ඉන්දියානු කලාපයේ රටවල් අතර හා සමානව ලෝකයේ වෙනත් කලාපවල ද භූගෝලීය ලක්ෂණ අනුව බැදීම්, ගැටීම් හා මතබේධ පවතී. බැදීම් වල දී අවස්ථා නිර්මාණය වේ. විශේෂයෙන් විශාල ආර්ථිකයක් සහ ජනගහනයක් සහිත පසුබිම තුළ කර්මාන්ත ව්‍යාපාර හා සංචාරක අංශවලට ලැබෙන පිටිවහල සැලකිය යුතු අංශයකි. අඛණ්ඩ භාරත් තුළ පවතින දේශපාලන මුහුණුවර වෙනුවට ආර්ථික හා සමාජ අංශවල ප‍්‍රගමනයට අත්පත් කරගත හැකි අංශ කෙරෙහි සංවාදයක් ආරම්භ කළ යුතුය.

ආර්ථික ප‍්‍රගතිය, තාක්ෂණික දියුණුව සහ අධ්‍යාපන අංශයේ පුලූල්වීම පදනම් කරගෙන යටගියාව සම්බන්ධයෙන් පර්යේෂණ කරන ඉන්දියාව අලූත් සංකල්ප මතුකර සමාජයේ පවත්වාගත යුතු ජවය ආරක්ෂා කරගනී. වෙනත් පාර්ශව ලෙලවන න්‍යාය පත‍්‍ර වෙනුවට ශ‍්‍රී ලංකාවට පැවැති විභූතිය, එහි ලක්ෂණ හා අනන්‍යතාව ගැන අධ්‍යන කිරීමටත් එම පර්යේෂණ සමාජයට ඉදිරිපත් කරන්නටත් අධ්‍යාපන අංශයේ පර්යේෂණ කරන විද්වතුන් පියවර ගත යුතුය. ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය, සංස්කෘතික ලක්ෂණ, නිර්මාණශීලීභාවය මතුකර අපගේ උරුමය අනුව අනාගතය නැවත ගොඩනැගීම සදහා අසල්වැසි ඉන්දියාව ගෙන යන මතවාදී ප‍්‍රයත්නය අපට මනා මගපෙන්වීමක් බව සදහන් කළ යුතුය.

මිලින්ද මොරගොඩ