» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
09/05/2021 - ඉරිදා ලංකාදීප
ඉන්දියාවේ කදවුරුවල වෙසෙන ශ‍්‍රී ලාංකේය දෙමළ ජනතාව

කොවිඞ් -19 වෛරසය බිහිසුණු ආකාරයකින් ලෝකය පුරා බලපවත්වන වකවානුවකි. ඉන්දියාව විශාල අවදානම් සහගත තැනකය. ශ‍්‍රී ලංකාවේ තත්ත්වය ද නරක අතට හැරෙන ලකුණු පෙන්වයි. ජන ජීවිතය ආරක්ෂා කරගෙන එදිනෙදා කටයුතු කරන අතරවාරයේ තීරණාත්මක පැති සම්බන්ධයෙන් පවත්වාගෙන යා යුතු අවධානය ලිහිල් නොකිරීම වැදගත්ය. දරුණු ගැටුම්වලින් පසු ජනී ජනයා අතර සබදතා තරවෙමින් පවතින වකවානුවකි. ත‍්‍රස්තවාදය රටට සැලකිය යුතු හානියක් කර තිබේ. එහි කැළැල් ඉතිරි නොකර සම්පූර්ණයෙන් සුවපත් කරගැනීම වැදගත්ය.

රට තුළ පැවැති කලබල හා ගැටුම් හේතුවෙන් ශ‍්‍රී ලංකාව හැර ගිය ජන කොටසක් සිටී. 1983 ජූලි කලබල හා එයින් පසු කාල සීමාව තුළ රට හැර ගිය ලාංකේය දෙමළ ජනතාව එහි වැදගත් අංශයකි. සරණාගත තත්ත්වයෙන් දකුණු ඉන්දියාවේ ජීවත්වන පිරිස විශේෂිතය. ගැටුම් අවසන් කර සාමකාමී වාතාවරණයක් නිර්මාණය වී ඇති නමුත් වාර්තා දක්වන පරිදි තමිල්නාඩු ප‍්‍රාන්තයේ පමණක් සරණාගත කදවුරු එකසිය හතක් තිබේ. තිරුචිරපල්ලි ප‍්‍රදේශයේ තවත් කදවුරක් ඇත. මෙම කදවුරු තුළ ජීවත්වන පිරිස හැට පන්දහස් අටසියයක් පමණ වෙති. කදවුරු වලින් බැහැරව ජීවත්වන පිරිස ද තිස් දහසක් පමණ බව දැක්වෙයි. මෙම සියළු දෙනා ලාංකිකයෝය. ඔවුන්ගේ උරුමය ශ‍්‍රී ලංකාව හා ඇලී ගැලී තිබේ. සංස්කෘතිය හා ඇවැතුම් පැවැතුම් මෙරටින් ගිලිහී ගොස් ඇති බවක් දැක්විය නොහැකිය. මෙම ජන කොටස නැවත මෙරටට කැදවීම සංහිදියාවේ කොටසකි. වෙනත් රටක් පනවන කෘතීම සංහිදියා යාන්ත‍්‍රණයක ස්වභාවය ඉක්මවා ගිය, මානුෂික වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක කිරීමෙන් ශ‍්‍රී ලංකාවට වැදගත් ආදර්ශයක් පෙන්වා දීමට අවස්ථාව තිබේ. එහෙත් එය ඉතා සංකීර්ණ ක‍්‍රියාවලියකි. පළමුවෙන් මෙම ජන කොටස හදුනාගත යුතු අතර අවශ්‍යතා සොයා බලා ආත්ම ශක්තියෙන් යුතු පිරිසක් සේ නැවත ගෙන්වා ගැනීම සුදුසුය.

පැවැති අයහපත් වාතාවරණය හෙයින් මෙම පිරිස ඉන්දියාවට ගොස් තිබේ. එක කොටසක් අනවසර සංක‍්‍රමණිකයන්ය. තලෙයිමන්නාරමෙන් හෝ වෙනත් තැනකින් බෝට්ටුවල නැගී දකුණු ඉන්දියාවට සේන්දු වී ඇත. තවත් කොටසක් වීසා බලපත‍්‍ර සහිතව ගුවනින් නික්ම ගොස් ඇති බව පෙනේ. පසුගිය වසර තිස් අට තුළ විශාල වෙනස්කම් සිදුවී ඇත. තමිල්නාඩුවට ගිය පිරිසක් එතැනින් අවස්ථාවක් ගෙන පසුව බටහිර රටවලට සංක‍්‍රමණය වී තිබේ. තවත් සමහර දෙනෙකු තමිල්නාඩුවේ හෝ ඒ අවට රැකියා කර එයින් උපයාගත් දෙයින් දේපොල මිල දී ගෙන ජීවත්වෙති. සරණාගත තත්ත්වයේ සිටින මෙම පිරිස් පැමිණීම තමිල්නාඩුවට දේශපාලන වාසියක් වූ බව සැකයක් නැත. අදටත් මෙම පිරිස නඩත්තු කරන තමිල්නාඩු ප‍්‍රාන්ත රජය එහි පිරිවැය පසුව මධ්‍යම රජයෙන් අය කරගනී.

වාර්තා පෙන්වන පරිදි සරණාගත කදවුරුවල සිටින දෙමළ ජනතාවට ඉන්දියාවේ පුරවැසිභාවය නැත. සරණාගත කාඞ්පතක් තිබේ. එය ආධාර ලබාගෙන ජීවත්වීමට ප‍්‍රමාණවත්ය. රට හැර ගිය පරම්පරාවේ දරුවෝ එහි පාසල් වලට ඇතුලත්ව ඉගෙන ගෙන තිබේ. ඉන්දියාවේ විශ්ව විද්‍යාල පවා විශේෂ අවස්ථාවක් වෙන් කරන ලද බව දැක්වෙයි. හොදින් ඉගෙනගත් වෛද්‍යවරු, ඉංජිනේරු, පරිගණක හා වෙනත් අංශවල උපාධිධරයන් ගෙන් කොටසක් නැවත ශ‍්‍රී ලංකාවට පවා පැමිණ යහපත් ජීවන රටාවකට ඇතුලත්ව සිටී. එහෙත් අවිධිමත් පිරිස අසරණව සිටිති. කදවුරු වල දී විවාහ වී එහි දී උපත ලද සමහර දරුවන්ට උප්පැන්න සහතිකයක් පවා නැත. ඉන්දියාව හෝ ශ‍්‍රී ලංකාව යන රටවල් දෙක තුළම නිත්‍යානුකූල පුරවැසියන් නොවන පිරිස ඉතිහාසයේ සිද්ධිවල වේදනාබර සංකේතයකි. මෙම කණ්ඩායමට යුක්තිය ඉශ්ඨ කිරීම අවශ්‍යය. මෑත කාලය තුළ නොයෙක් පියවර ගෙන තිබේ. සාම ක‍්‍රියාවලිය පැවැති කාලය තුළ ඇතැම් පිරිස් නැවත මෙරටට පැමිණියහ. දැනට පවතින තොරතුරු අනුව කදවුරුවල සිටින හාරදහසක පමණ පිරිසක් නැවත ශ‍්‍රී ලංකාවට පැමිණෙන අපේක්ෂාවෙන් සිටිති.

සරණාගත කදවුරුවල සිටින පිරිස් සම්බන්ධයෙන් වෙනම සමීක්ෂණයක් පවත්වා අවශ්‍යතා හදුනා ගත යුතුය. රට හැර ගිය මෙම පිරිසට සිරිමා ශ‍්‍රාස්ත‍්‍රී ගිවිසුම අනුව ඉන්දියාවට යන අවසරය තිබුණ කොටසක් ද සිටී. ඔවුන්ගේ ලියැකියැවිලිවල නිත්‍යානුකූල කටයුතුවලින් පසු ඉන්දියාවේ පුරවැසිභාවය ලබාදිය හැකිය. ආපසු ගෙන්වන පිරිස මෙරටින් පලායන විට ඉඩම් ඇතුළු දේපොල අත්හරින ලද බව දැක්විය යුතුය. ඔවුන්ගේ නිවාස තිබුණ තැන්, ඉඩම් හා වගා කළ භූමිය ඔවුන්ට අයිතිවිය යුතුය. රැකීරක්ෂාවල නිතර ව සිටි අයවලූන්ට ඒවායේ වරප‍්‍රසාද ලබා ගැනීමට අවශ්‍ය විය හැකිය. රටට ඇතුළු වන විට උප්පැන්න සහතිකයක්, ජාතික හැදුනුම්පතක් තිබිය යුතු අතර එම පූර්ව සාධක සකස් කිරීම බාරධුර කර්තව්‍යයකි. රටට එන්නට බලාපොරොත්තුවෙන් සිටින පිරිස හුදෙක් අලූත් සරණාගතයන් පිරිසක් වශයෙන් සැලකීම සුදුසු නැත. රට තුළ නැවතත් අනාථ කදවුරු ඇති කිරීම අනුචිතය. නැවත ගම් බිම් බලා එන පිරිස් තෝරා ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන පරීක්ෂා කර බලා නැවත පදිංචි කරන ඔවුන්ගේ ම ස්ථාන හදුනාගත යුතු අතර පාසල් යා යුතු වයසේ දරුවන් සිටී නම් පාසල් වලට ඇතුලත් කරන පියවර ද වැදගත්ය. වෘත්තීය අවස්ථා ගැන කල්පනා කිරීම ද මෙම ක‍්‍රියාවලියේ තීරණාත්මක පැත්තකි.

ඉන්දියාවේ සරණාගත කදවුරුවල වෙසෙන ලාංකේය ජන කොටස ගැන මෙතෙක් ප‍්‍රමාණවත් අවධානයක් යොමු කර නැත. පසුගිය කාලයේ එක්තරා අවස්ථාවක පාර්ලිමේන්තුවේ දී මෙම පිරිස සම්බන්ධයෙන් අනුගමනය කරන පිලිවෙල ගැන ප‍්‍රශ්න කර තිබේ. සියළුම දෙනා ආපසු කැදවන අතර පුරවැසියන් වශයෙන් පිලිගන්නා බව එහි දී ප‍්‍රකාශ වි ඇත.

දශක තුනකට කලින් සිදුවූ අමිහිරි සිදුවීම් වලින් බැට කෑ පිරිසක් යළි සමාජගත කිරීම පහසු කාර්යයක් නොවේ. රට නැවතත් සැනසිලිදායක තැනක් බවට පත් කරන වැඩ පිලිවෙල තුළ මෙම විශේෂ කාර්ය භාරයට තැනක් අවශ්‍යය. සැබෑ සංහිදියාවක් වෙනුවෙන් සිදුවීම් ආපසු හැරවීම සුදුසුය. ලෝකයේ ඕනෑම තැනක ජීවත්වන ලාංකික ජනතාව ගේ ජීවිත සුරක්ෂිත කිරීම බලවත් වගකීමකි. එක්සත් ජාතීන්ගේ සරණාගත වැඩ පිලිවෙල හා අවතැන්වූවන්ගේ සංවිධානය මෙම කදවුරුවල ජීවත්වන පිරිස් වෙනුවෙන් යම් යම් පියවර ගෙන තිබේ. ශ‍්‍රී ලංකාවේ සරණාගතයන් පුරුත්තාපනය කරන රාජ්‍ය නොවන සංවිධානයක් දැනට අතරමැදි කාර්යයක් ඉටු කරමින් සිටින බව සදහන් කළ යුතුය.

මෙම භාරදුර්ය කාර්යය රජයේ පමණක් වගකීමක් නොවේ. විශේෂයෙන්ම උතුරු පළාතේ දේශපාලන අධිකාරියත්, ප‍්‍රාදේශිය නායකත්වයත් රජය සමග විධිමත් ක‍්‍රමවේද හදුනාගැනීමට කටයුතු කළ යුතුයි. 1984 සිට රාජ්‍ය නොවන සංවිධාන විසින් තමිල්නාඩුවේ වෙසෙන ශ‍්‍රී ලාංකීක සරණාගතයන් ගැන ඉතා කැපවීමෙන් සුවිශේෂ කාර්යභාරයක් ඉටුකළ බව නොරහසකි. ඔවුන්ගේ දීර්ඝ කාලීන අත්දැකීම් රජයට, උතුරු පලාතේ දේශපාලන අධිකාරියට සහ නිලධාරී තන්ත‍්‍රයට ඉමහත් ප‍්‍රයෝජනයකි.