» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
08/08/2021 - ඉරිදා ලංකාදීප
ඉන්දු ශ‍්‍රී ලංකා රටවල් දෙකටම පොදු - යටගිය දවස ගැන ගවේශනයක්

ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර සහයෝගීතාවව කෙරෙහි අලූතින් අවධානය යොමු කරන වකවානුවකි. ඉතිහාසයෙන් අනාවරණය කරන සාක්ෂි අනාගතය උදෙසා ඉතා වැදගත්ය. දෙරට අතර ප‍්‍රාග් ඓතිහාසික සම්බන්ධතා සහ ඒවායෙන් ඇති වූ බලපෑම ගැන අධ්‍යයන සිදුකර තිබේ. ඉන්දීය මධ්‍යම ආණ්ඩුව දෙරට අතර ගැඹුරු මුහුදේ පර්යේෂණ සදහා එරටෙහි ගෝව ප‍්‍රාන්තයේ ජාතික සමුද්‍ර ආයතනයට අවසර මෑතක දී නිකුත් කර ඇත. රාම් සේතු නොඑසේනම් ආදම් ගේ පාලම යනුවෙන් හැදින්වෙන කිලෝ මීටර් හතලිස් අටක් දිග කොටස කෙරෙහි මෙහි දී වැඩි අවධානයක් යොමු කෙරේ. දෙරට අතර භූගෝලීය වශයෙන් සම්බන්ධව තිබීමක් ගැන ද මෙහි දී කරුණු සොයාබලනු ඇත. ඉතා නවීන තාක්ෂණය භාවිතා කර ඉදිරියේ දී ආරම්භ කරන සොයාබැලීම් අවසානයේ දී කලාපීය ශිෂ්ටාචාරයේ විකාශය ගැන අලූත් අදහසක් ඉදිරිපත් වීමට ඉඩකඩ තිබේ.

හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ ආචාර්ය සිරාන් උපේන්ද්‍රා දරුණියගල මහතා පසුගිය කාලයේ දී චෙන්නයි ඇතුළු නගර කිහිපයක පවත්වන ලද දේශන වල දී ප‍්‍රාග් ඓතිහාසික සිද්ධි ගැන අලූත් කෝණයකින් විමර්ශනයක අවශ්‍යතාව පෙන්වා දෙන ලද බව මාධ්‍ය වාර්තා කර තිබුණි. ඉන්දියාව සමග ගොඩබිම් පාලමකින් ශ‍්‍රී ලංකාව සම්බන්ධව තිබුණ බවට සාධක ඇති බව හෙතෙම අනාවරණය කරයි. පසුගිය වසර ලක්ෂ හත තුළ මුහුදු මටට්ම අඩුම තරමින් දහ හත්වතාවක් පහත වැටී ඇති අතර ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව රටවල් දෙක වෙන්වීමක් වාර්තා වෙන්නේ වසර හත්දහසකට පමණ කලින් විය හැකි යැයි ද එහි දී අනාවරණය කරන වැදගත් කරුණකි.

ඉතිහාසය සම්බන්ධ ක‍්‍රියාධරයෙකු, ලේඛකයෙකු හා මාධ්‍යවේදියෙකු වන ඉන්දියානු ජාතික එස්. මුත්තයියා ඔහු ගේ ලේඛනයක සදහන් කරන පරිදි හයිද්‍රාබාද් හි ඒජන්සියක් මගින් ලබාගත් සැටලයිට් ඡායාරූපයක් ඔහුගේ අලූත් කෘතියක කවරයට තෝරා ගෙන ඇත. එහි ඉතා පැහැදිලිව දෙරට අතර නොගැඹුරු මුහුදේ සම්බන්ධතාව දැකගත හැකිය. ආදම් ගේ පාලම යනුවෙන් එය හැදින්වෙයි. සෑහෙන කාලයකට කලින් පාසල් ශිෂ්‍යයෙකුව සිටිය දී ඉන්දු සිලෝන් මේල් බෝට්ටුවකින් එහ මුහුදු සීමාවේ ගමන් කරන අතරවාරයේ ඉතා නිශ්චල හෙයින් මුහුදු පත්ල කදිමට නිරීක්ෂණය කළ හැකි වූ බව ද ඔහු දක්වයි. බි‍්‍රතාන්‍ය පාලනය ලංකාවේ තිබුණ කාලයේ සිය දෙමාපියන් සමග ලංකාවට පැමිණි මුත්තයියා මෙහි ඉගෙනගෙන පසුව ඉන්දියාවේ හා බි‍්‍රතාන්‍යයේ උසස් අධ්‍යාපනය ලබා තිබේ. නැවත ලංකාවට එන මුත්තයියා ටයිම්ස් ඔෆ් සිලෝන් හිරැකියාව සමග මාධ්‍ය ජීවිතය අරඹයි. දහහත් වසරක් එහි සේවය කරන අතර ඉරිදා පුවත් පතේ සංස්කාරක ධුරය තෙක් ඉහළ තනතුරු වලට පත්වන ඔහු ලංකාවේ සංශෝධිත ඉන්දීය පුරවැසි නීතිය අනුව නව දිල්ලිය බලා පිටත්ව ගොස් තිබේ. ලංකාව ගැනත් ඉන්දීය ලංකා ඓතිහාසික පුරාවෘත ගැනත් ඔහු නොමද අවධානයක් දක්වා ඇත. ලියන ලද ලිපි ලේඛන රාශියකි. ඒවායෙන් රසවත් කරුණු හෙළිදරව් කර තිබේ.

ඉන්දියාව හා ලංකාවේ තෝරා ගත් ප‍්‍රදේශවල කැණීම් වලින් පමණක් යටගියාව අනාවරණය කරගැනීම අසීරුය. ආචාර්ය දැරණියගල දක්වන පරිදි වසර මිලියන ගණනකට කලින් මෙම කලාපයේ විසූ මානවයන් ගැන පමණක් සෙවීම වෙනුවට ශාඛ හා සත්ව විශේෂ ගැන ද අවධානය යොමු කළ යුතුය. රත්නපුර දිස්ත‍්‍රික්කයේ මැණික් බහුල බොරළු අතර පූර්ව පිලොස්ටින යුගයේ සත්ත්ව විහේෂයන් හි අවශේෂ හමු වී තිබේ. හිපපොටේමස් සත්වයන්ගේ ඉදිරි දත් හය සම්බන්ධ සාක්ෂි සොයා ගෙන ඇත. රයිනෝසර් සහ සිංහයන් වසර අසූ දහසකට කලින් ලංකාවේ සිටි බවට සැක කළ හැකි සාධක තිබේ. ආචාර්ය දැරණියගල ගේ පියා ද මෙරට පුර්ව යුගය ගැන පර්යේෂණවල නිරතව සිට ඇත. ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර සබදතා වලට බලපාන කරුණු ඔහු හෙළිදරව් කරයි. ඔහුට අනුව ලංකාවේ මිරිදිය ජලාශවල ජීවත්වන සමහර මතස්‍ය විශේෂ ඉන්දියාවේ ජලාශ වලින් ද හමු වී තිබේ. මෙම භූමි කලාප දෙක මෙකී මතස්‍ය විශේෂ සංක‍්‍රමණය විය හැකි එකම මාර්ගය මිරිදිය ගංගා හෝ ඇල මාර්ග පමණකි. ගොඩබිම සම්බන්ධයක් රහිත විය නොහැකිය. මෙම මසුන් කරදිය මුසු වූ වහා ජීවිතක්ෂයට පත් වෙති. ලංකාවේ පාශාණ විශේෂ ඒවා සැකසෙන්නට තරම් පැවැති ධාරාණිපාත වැසි සහ ජල මාර්ග ඔස්සේ දෙරට අතර මුහු වී ඇති බවට සාක්ෂි පවතින පව එතුමා පෙන්වා දී ඇත. ප‍්‍රාග් ඓතිහාසික කාලයට සම්බන්ධ චිත‍්‍ර සටහන් ජාතික කෞතුකාගාරයේ ඇත. සිංහ හා ගෞර සත්වයන් අතර සටනක් ගැන අදින ලද සටහන් නිරීක්ෂණය කළ හැකිය. දැරණියගල ගේ කෘතිවල ලංකාවේ සිංහයන් ගැන සදහන් කර තිබේ. සිංහල ජන සාහිත්‍යයෙහි කොටියා ගැන සදහන් නොවේ. සිංහරාජය, සිගිරිය සහ සිංහල ජාතිය සිංහයන්ගෙන් පැවැත එන බවට එන විශ්වාසය ලංකාවේ විසූ වද වී ගිය සත්වයන් ගැන අනුමාන ඇති කරයි.

මධ්‍යම ආසියාවේ විසූ ආසියානු කොටියා ඇසෑම් හරහා ඉන්දීය උප මහද්වීපයට සංක‍්‍රමණය වී ඇති බවට මතයක් තිබේ. එහි දී ඇති වූ තත්ත්ව මත ඉන්දියාවේ සිංහයන් වදවී ගියේය. සතුන් අතර ගැටුම් හේතුවෙන් සිංහයෝ අප‍්‍රිකානු කලාපය දක්වා පලාගිය අතර ලංකාවට ද පැමිණ ඇති බව ඉතිහාසඥයෝ දක්වති. දූපතක් වශයෙන් ලංකාව වෙන්වීමෙන් පසු මෙහි විසූ සිංහයෝ ද වදවී ගියේය. අවස්ථා තුනක දී සිංහ දත් පොසිල හමු වී තිබේ. ඒවා අප මෙහි සදහන් කරන ලංකාව හා ඉන්දියාව එකට යා වී තිබුණ හා පසු කාලයක නැවත වෙන් වූ බව සනාථ කරන්නට එකතු කළ හැකි ඉතාම වැදගත් අනාවරණ බව සදහන් කළ හැකිය.

දැනට ලංකාවේ කැලෑබදව වෙසෙන කුළු හරක් විශේෂ වලටත් වඩා දරුණු ගෞර් වර්ගයේ ගවයන් ගැන ද සමහර බි‍්‍රතාන්‍ය ලේඛකයන් ගේ සටහන් වලින් කියැවිය හැකිය. මෙම ගවර විශේෂය ඉන්දීය සත්වයන්ට වඩා ශරීරයෙන් කුඩා බව ලියා ඇත. හෝර්ටන් තැන්න ප‍්‍රදේශයේ තෘණ බුදිමින් සිටින අවස්ථා ගැන එම ලියැවිලිවල දක්වා තිබේ. රත්නපුර ආශි‍්‍රතව මෙම ගෞර් සත්වයන්ග් ශරීර කොටස් හමු වී ඇත. එහෙත් 1962 අවුරුද්දේ දී අං දෙකක් සහිත හිස්කබලක් සොයා ගැනීමෙන් පසු දැරණියගල මහතා මෙම සත්වයා ලංකාවට ආවේනික බව ප‍්‍රකාශ කරයි. ලාංකිකයන්ගේ පුරාවෘත අනුව පැරණි රජවරු සිය ආරක්ෂකයින්ගේ දක්ෂතා සහ ලැදියාව පරීක්ෂා කිරීමට මෙම ගෞර් සතුන් සමග සටන් කරවන ලද බව ද අනාවරණය කර තිබේ.

ආචාර්ය ශිරාන් දැරණියගල සහ ඔහුගේ පියා ගේ අනාවරණ අනුව ලංකාව හා ඉන්දියාව අතර තිබුණ පසුබිම, ශාඛ හා සත්ව විශේෂ සැසදීමෙන් එකී යුග සම්බන්ධයෙන් මනා අවබෝධයක් ලැබිය හැකි බව පෙනේ. රටවල් දෙකට සම්බන්ධ විශේෂඥයන්ට එකතු වී ඉතිහාසය ගවේශණය කළ හැකිය. දැනට පවතින මතිමතාන්තර සනාථ කරගැනීමට ද අවස්ථාවක් හිමිවෙයි.

ආර්ථික සහ සමාජ කරුණු ගැන උනන්දුවක් දක්වන ආණ්ඩු ඉතිහාසයේ සාක්ෂි විමර්ෂණයට එපමණ උනන්දුවක් නොදක්වන හේතු ගණනාවකි. රටවල් අයිතිකරගෙන ඇති සාධක බෙදාගැනීමට දක්වන තද අකමැත්ත එහි ලා ප‍්‍රධානය. ස්වකීය අනන්‍යතා ආරක්ෂාකරගෙන ඓතිහාසික සාධක තමන්ට පමණක් අයිති කරගැනීමට උත්සුකවීම සාමාන්‍යයෙන් නිරීක්ෂණය කළ හැකිය. අනෙක මෙවැනි සියුම් කැණීම් සදහා වැය කරන්නට සිදුවන අධික වියදම බව ද පෙන්වා දිය යුතුය. ආණ්ඩුවලට පමණක් එම පර්යේෂණ වලට දායකත්වයක් දෙන්නට හැකියාවක් නැත. ප‍්‍රධාන පෙලේ සමාගම්, ධනවතුන් මෙවැනි අංශ කෙරෙහි යොමුකරගැනීමට පිලිවෙලක් අවශ්‍යය. අනෙක දක්ෂ, කැපවීමෙන් කටයුතු කරන මානව සම්පත බව සදහන් කිරීම අවශ්‍යය. පුරා විද්‍යාව, ඒවායේ හැදෑරීම් සදහා තරුණ පරපුරේ උනන්දුව ද සීමිතය.