» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
08/05/2022 - ඉරිදා ලංකාදීප
නගරාන්තර දුම්රිය සේවා සහ රෝහල් පද්ධතියට ද අඛණ්ඩව විදුලිය නොලැබෙන අවදානමක්

නවදිල්ලි නගරය පාලනය සදහා වෙනම බලතල සහිත ඒකකයක් ස්ථාපිත කර ඇත. ඉන්දීය ජනරජ ව්‍යවස්ථාවේ 75 වැනි සංශෝධනය අනුව අගනුවර මෙම ඒකකයක් බලගන්වා ඇති අතර මහජන ඡන්දයෙන් පත්වන නියෝජිතයෝ එය පාලනය කෙරේ. ඉන්දියාවේ අගනුවර පරිපාලනය කරන ක‍්‍රමය සාකච්ඡා කිරීම වෙනම කාරණයකි. දිල්ලි විදුලිය බල ඇමැති සත්‍යයේන්ද්‍ර කුමාර් ඉකුත් බදාදා විශේෂ ප‍්‍රකාශයක් කරමින් නගරාන්තර දුම්රිය හා රෝහල් පද්ධතියට පවා පැය විසි හතරම විදුලිය සැපයීම ප‍්‍රශ්නයක් වනු ඇති බව ප‍්‍රකාශ කළේය. නගරය පාලනය කරන ආන් අදාම් පක්ෂයේ අරවින්ද් කේජිරිවාල් මහ ඇමැතිවරයා ඇතුළු හත් දෙනෙකුගෙන් යුතු කැබිනට් මණ්ඩලය බලශක්ති සැපැයුම සම්බන්ධව මතු වී ඇති ප‍්‍රශ්නය පුලූල්ව අවධානයට ගෙන ඇත.

නවදිල්ලි විදුලිය බල නියාමන අධිකාරිය අනුව හදිසියේ සිදුවන විදුලිය බිද වැටීමක් පැය දෙකක් ඉක්මවන අවස්ථාවක විදුලිය පාරිභෝගිකයා වෙත ඉන්දීය රුපියල් පනහක් ආපසු ගෙවිය යුතු අතර පැය දෙක ඉක්මවන සෑම පැයකටම රුපියල් සියය බැගින් ගෙවන්නට නියම කර ඇත. කෙසේ වෙතත් මෙම දිනවල ඉන්දියාවේ ඇති විදුලිය අර්බුදය මැද පැය විසි හතරම විදුලිය සැපයීම කෙරෙහි මතුවී ඇති ගැටළුව හදිසි විදුලිය බිද වැටීමක් නොවන බවට නිර්වචනය කෙරේ. ඉන්දියාවේ විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය ගල් අගුරු මිල දී ගැනීමේ ප‍්‍රමාදයක් වාර්තා වී ඇත. අනෙක මෙම දිනවල පවතින උණුසුම් කාලගුණය විදුලිය පරිභෝජනය නංවා තිබේ. සෑම නිවසකම වායු පංකා හා වායු සමනය යන්ත‍්‍ර ගණනාවක් දිවා රාත‍්‍රී භාවිතා කෙරේ. ඉන්දියාවේ ගෘහස්ථ වායු සමීකරණ භාවිතය ජනගහනයෙන් සියයට දෙකකට සීමා වී ඇත. ආර්ථික සංවර්ධනය අතින් ඉදිරියට ගමන් කරන හා මැදි ආදායම් ලබන ජන කොටස වැඩිවෙමින් පවතින ස්වභාවය අනුව වායු සමීකරණ භාවිතය ඉහළ යනු ඇතැයි සැලකේ. පසුගිය අවුරුදුවල වායු සමීකරණ යන්ත‍්‍ර අලෙවි ඉල්ලූම පමණක් සියයට විස්සකින් වර්ධනය වී ඇත.

උණුසුම් කාලගුණය මැද දෛනික විදුලිය ඉල්ලූම සියයට විසි පහක තිහක අතර ප‍්‍රමාණයකින් වර්ධනය වී ඇති බව දැක්වේ. කාලගුණ වාර්තා දක්වන පරිදි නවදිල්ලියේ උණුසුම සෙන්ටිගේ‍්‍රඞ් අංශක 44 ඉක්මවා තිබේ. නව දිල්ලියේ උණුසුම ජාත්‍යන්තර මාධ්‍යයේ මාතෘකාවක් වී ඇති අතර ඉකුත් වසර 122 තුළ වැඩිම උණුසුම් සහගත කාලය බව දක්වයි. මැයි හා ජුනි මාසවල තව දුරටත් පවතිනු ඇත. ප‍්‍රාන්ත පහලොවක ජනී ජනයා ඉතාම දුෂ්කර තැනක පසුවන බව ද වාර්තාකර තිබේ.

ගල් අගුරු හිගවීමෙන් පසු දිල්ලියට විදුලිය සපයන එක බලාගාරයක උත්පාදනය කඩින් කඩ සිදු වන බව දැක්වේ. බාහිර සැපයුම්කරුවන්ගෙන් විදුලිය ලබාගැනීමට උපරිම වෑයම් දරන නමුත් සමහර අවස්ථාවල දිල්ලි නගරාන්තර සැහැල්ලූ විදුලිය දුම්රිය පද්ධතිය හා සමහර රෝහල් වලට පැය විසි හතරම විදුලිය සැපැයීම ප‍්‍රශ්නයක් වනු ඇති බව විදුලිය ඇමැතිවරයා නිවේදනය කර ඇත. මෙම ප‍්‍රකාශය මහත් ආන්දෝලනාත්මක එකක් බවට පත්ව තිබේ. අත්‍යවශ්‍ය සේවා සපයන රෝහල්, ආරක්ෂක අංශ ඇතුළු ස්ථාන විකල්ප පියවර සදහා සූදානම් වෙමින් සිටිති.

නවදිල්ලිය පමණක් නොව, ඉන්දියාවේ සෑම ප‍්‍රාන්තයක්ම පාහේ විදුලිය හිගයෙන් පසුවෙති. හර්යානා ප‍්‍රාන්තයේ විදුලිය කප්පාදුව පැය හතකි. පාසල් පවත්වන වේලාව පෙරවරු හතේ සිට මධ්‍යාහ්නය දක්වා සීමා කර ඇත. උත්තර ප‍්‍රදේශ් හි පැය දොලහක විදුලිය කප්පාදුවක් ප‍්‍රකාශයට පත් කර තිබේ. රාජස්ථාන් ප‍්‍රාන්තයේ විදුලිය කපා හරින පැය ගණන පහකි. මහාරාශ්ඨ, බටහිර බෙංගාල්, තමිල්නාඩු, මධ්‍ය ප‍්‍රදේශ්, ගුජරාට් ඇතුළු ප‍්‍රාන්තවල ද විදුලිය කප්පාදුව ක‍්‍රියාත්මකය. ඉන්දියාව පුරා ගල් අගරු බලාගාර අසූ අටක් ඇත. එයින් හතලිස් දෙකක් ප‍්‍රාන්ත ආණ්ඩු පාලනය කෙරේ. පුද්ගලික අංශයට අයත් ගල් අගුරු බලාගාර ගණන තිස් දෙකකි. මෙකී සියළුම බලාගාර වල ගල් අගුරු හිග බලපවත්වන අතර ඉන්දීය ගල් අගුරු නිෂ්පාදන සමාගම සිය නිෂ්පාදනය සියයට 27 කින් නංවා ඇත. සිය ගණනක් දුම්රිය ගමන් වාර අවලංගු කර බලාගාර ආශ‍්‍රිත ප‍්‍රදේශවලට ගල් අගරු ඉක්මනින් යැවීම සදහා පියවර ගෙන තිබේ.

2012-13 කාලයේ දී ඉන්දියාව දරුණු විදුලිය හිගයකට මුහුණ දුන් අතර මිලියන හත්සියයකට අධික ජනගහනයක් එයින් පීඩාවට පත් වූහ. පාඩමක් ඉගෙන ගත් ඉන්දීය බලධාරීහු ප‍්‍රාන්ත මට්ටමින් හා පුද්ගලික අංශයේ ආයෝජන මැද වහාම විදුලිය උත්පාදන පියවරකට ඇතුලත් වූහ. කෙසේ වෙතත් දස වසරකට පසු නැවත වතාවක් ඉන්දියාව විදුලිය බලශක්ති අර්බුදයකට මුහුණ පා සිටී. ඉන්දීය රාජ්‍ය සභාවේ විපක්ෂ මන්ත‍්‍රීවරයෙකු එරට විදුලිය උත්පාදන වැඩ පිලිවෙල ගැන 2021 වසරේ මැද ප‍්‍රශ්න කළ බව මතක් කළ යුතුය. විදුලිය හා පුනර්ජණනීය බලශක්ති අමාත්‍යවරයා එයට පිළිතුරු සපයමින් 2030 වන විට අතිරික්ත විදුලි උත්පාදනයක් සහිත රටක් වනු ඇති බව කියා සිටියේය. උත්පාදනය ගිගාවොට් 379 ක් සහ අවශ්‍යතාව ගිගාවොට් 190 ක් බව එහි දී සදහන් කර ඇත.

බිලියන 1.3ක ජනගහනයක් වෙසෙන ඉන්දියාව ලෝකයේ වැඩිපුර බලශක්තිය භාවිතා කරන රටවල් ලැයිස්තුවේ තුන්වැනි තැන පසුවෙයි. ඉන්දියාවට දැවැන්ත ආයෝජන ශක්තියක් ඇත. රාජ්‍ය හා පුද්ගලික අංශයේ බලශක්ති උත්පාදන හවුල්කාර ව්‍යාපෘති තිබේ. කෙසේ නමුත් කලාපයේ රටවල් සමග තවදුරටත් බලශක්ති අංශයේ සහයෝගීතාවයකට ගමන් කරන්නට සූදානම් බව පෙනේ. වසර දෙකකට කලින් බූතානයේ ජල විදුලිය උත්පාදන ව්‍යාපෘතියක් සම්බන්ධ ගිවිසුමකට අත්සන් කළ ඉන්දියාව එහි නිපදවන විදුලිය මිල දී ගැනීමේ අපේක්ෂාවෙන් පසුවෙයි.

පොසිල භාවිතා නොකරන විදුලිය උත්පාදන සැලැස්මක් ගැන ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය වසරේ පැවැති එක්සත් ජාතීන්ගේ කාලගුණ විපර්යාස ලෝක සමුළුවට සහභාගීවෙමින් කියා සිටියේය. පිරිසිදු විදුලිය උත්පාදනයෙහි වැදගත්කම ගැන 2021 ජනරජ දිනයේ ජාතිය අමතා කතාකරන අවස්ථාවේ දී ද, අගමැතිවරයා විශේෂයෙන් සදහන් කළේය. ලෝකයේ පිරිසිදු විදුලිය උත්පාදනය නංවන අභිලාශයක් ඉන්දියාවට තිබේ. 2021 අය වැය මගින් ද හයිඩ‍්‍රජන් විදුලිය ගැන ඉන්දියාව කරුණු ඉදිරිපත් කර ඇත. පරිසර හිතකාමී පමණක් නොව පිරිවැය සියයට අටක සිට දහයක දක්වා අඩු කරගත හැකි නවීන ක‍්‍රම ඉන්දියාව අත්හදා බලා ඇත. කෙසේ වෙතත් දැනට පවතින විදුලිය හිගය රටට දැවැන්ත ප‍්‍රශ්න මතු කර තිබේ. බලශක්ති වාර්තා දක්වන පරිදි ඛනිජ තෙල් උපයෝගීතාව වැඩි වී ඇත. කර්මාන්ත ශාලාවල විදුලිය කපාහරින පැය ගණන සාමාන්‍ය ගෘහස්ථ පරිභෝගිකයන්ට වඩා වැඩි කර ඇති අතර එය මානුෂික පියවරක් බව ප‍්‍රකාශයට පත් කරයි.

ඉන්දියානු සැලසුම් අනුව අසල්වැසි රටවලින් හදිසි විදුලිය මිල දී ගැනීම අපේක්ෂාවයි. අනාගතයේ ඇතිවන බලශක්ති අවශ්‍යතා සලකා බලා ඉන්දියාවට විදුලිය විකිණීම දැවැන්ත ආදායම් මාර්ග වශයෙන් කලාපයේ රටවල් අධ්‍යයනය කර ඇත. ඉන්දියාවට විදුලිය විකිණීම මහවැලි කඩිනම් සංවර්ධන ව්‍යාපෘතියේ එක අරමුණක් වශයෙන් තිබුණ බව ද සදහන් කළ යුතුය. සැලසුම් සකස්කරන ලද මුල් වකවානුවේ ශ‍්‍රී ලංකාවේ විදුලිය පරිභෝජනය අධික ඉල්ලූමක නොතිබුණ අතර ජල විදුලියෙන් කරන උත්පාදනය අපතේ නොයවා වෙනත් රටකට විකිණීමට සූදානම විය. එහෙත් ආර්ථික දියුණුව හා සමාජ පරිවර්තනය විදුලිය ඉල්ලූම වේගවත් කරන ලද බව සදහන් කළ යුතුය. ශ‍්‍රී ලංකාවේ සෑම නිවසකටම පාහේ විදුලිය ලැබී ඇති අතර ගෘහ විදුලිය මෙවලම් භාවිතය වැඩිවී තිබේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් අද වන විට රටට අවශ්‍යතරමට විදුලිය උත්පාදනය ප‍්‍රශ්නයක් වී ඇත.

ශ‍්‍රී ලංකාවේ විදුලිය උත්පාදන ශඛ්‍යතා සලකා බලන පර්යේෂණ අනුව අලූත් විදුලිය උත්පාදන ප‍්‍රභව ප‍්‍රශ්නයක් නොවේ. දැනට රට තුළකරන විදුලිය උත්පාදනය මෙගාවොට් 4500 ක් පමණ වේ. අලූතින් ඉදිකරන සුළං බලාගාරවලින් මෙගාවොට් 24,000 ක සිට 30,000 දක්වා උත්පාදනය කළ හැකි බව සනාථ වී තිබේ. ඩෙන්මාර්ක් ආධාර ඇතිව හම්බන්තොට ඉදිකරන ලද බලාගාරයෙකින් මෙගාවොට් තුනක් නිපදවෙයි. විදුලියබල මණ්ඩලය මන්නාරම ඉදිකළ සුළං කුළුණු තිහකින් මෙගාවොට් 100 න් ජනනය කෙරේ. මන්නාරම අවට ගොඩබිම හෙක්ටයාර් විසි දහසක ආයෝජනය කළහොත් මෙගවොට් විසි දහසක් නිපදවිය හැකි අතර කලපු හා නොගැඹුරු මුහුදේ ඉදිකරන සුළං බලාගාරවලින් තවත් මෙගවොට් දස දහසක් දක්වා උත්පාදනය කළ හැකි බව සනාථ කර ඇත. මෙම විදුලිය උත්පාදනය ශ‍්‍රී ලංකාවේ අවශ්‍යතාවට වඩා හය ගුණයක් බව සලකා බැලිය යුතු කරුණකි.

අඩුම මිලට විදුලිය නිපදවන දැවැන්ත යෝජනා ක‍්‍රම කෙරෙහි ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිපත්ති සම්පාදකයෝ අවධානය යොමු කළ යුතුය. විශාල ව්‍යාපෘති වලින් ජනනය කරන විදුලිය ඉන්දියාවට සැපැයිය හැක. දැනට ඉන්දියාවේ ඇති විදුලිය අර්බුදය රටට හොද අවස්ථාවකි. පුද්ගලික අංශයට හෝ රාජ්‍ය පුද්ගලික ඒකාබද්ධ ව්‍යාපාර වශයෙන් සුළං විදුලිය බලාගාර පිහිටුවිය හැකි අතර ඒවායේ ශඛ්‍යතාව අනුව ජාත්‍යන්තර ආයතන ප‍්‍රතිපාදන සපයන්නට සූදානම්ය. රටට අවශ්‍ය තීරණ ගැනීමේ ක‍්‍රියාවලිය පමණකි. අතිරේක විදුලිය විකිණීමට ලාබ උපයන ව්‍යාපාරයකි. සාග් සංවිධානයේ සම්මුතියකට අනුව ද කලාපයට ගැලපෙන විදුලිය සංචිතයක් පවත්වාගෙන යන ගිවිසුමක් ඇත. ශ‍්‍රී ලංකාව එයට අත්සන් තබා එකග වී සිටී. භූගෝලීය පිහිටීම අනුව පුනර්ජනණීය විදුලිය උත්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත්වන අවස්ථාවක් ද අපට තිබේ. එයට සැලසුමක් හා සම්බන්ධීකරණයක් අවශ්‍යය. ඉන්දියාව ට අවශ්‍ය කරන විදුලිය ප‍්‍රමාණය ගැන කල්පනා කරන විට දශක දෙක තුනක කාලයක් සදහා අඛණ්ඩව විදුලිය සැපැයිය හැකි වෙළද පොල අවකාශයක් ශ‍්‍රී ලංකාවට තිබේ. මෙම විදේශ විනිමය උත්පාදන ආකෘතිය ගැන අවධානය යොමු කිරීම අපට නැවුම් අත්දැකීමක් වනු ඇත.