» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
07/11/2021 - ඉරිදා ලංකාදීප
කේන්ද්‍රීය වැඩපිලිවෙලකින් සම්ප‍්‍රදායික කර්මාන්ත ඉදිරියට

යුගය අලූත්වන පසුබිම තුළ පැරණි සම්ප‍්‍රදායික ක‍්‍රම වලට අභියෝග ඇතිවෙයි. අලූත් පරම්පරාව නවින පන්නයට කැමැතිය. හිත පත්ලෙහි පැරණි දේ වලට ලැදියාවක් ද ඇත. උරුමය අමතක කරන්නේ නැත. යටගියාව සොයන රුචිකත්වයක් අප සතුව තිබේ. ලෝකයේ කොතැනත් එකය. එලෙමය. අවිවේකීව ගත කරන තමන්ට කරගත නොහැකි නමුත් කොතැනකින් හෝ පැරණි ක‍්‍රම ආරක්ෂා කරන වෑයමක දී එය ගැන සොයන නැඹුරුවක් හිතට ඇතිවෙයි.

ඉන්දියාවේ උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රාන්තය තුළ පැරණි කර්මාන්ත ආරක්ෂා කරන ක‍්‍රමයක් අරඹා ඇත. එක දිස්ත‍්‍රික්කයක් එක කර්මාන්තයක් යනුවෙන් නම් කර තිබේ. එරට වැඩිම ජනගහනයක් ඇති ප‍්‍රාන්තය උත්තර් ප‍්‍රදේශ් ය. ජනගහනය මිලියන 200 ඉක්මවයි. ලෝකයේ ජනගහනය වැඩිම ප‍්‍රදේශ අතරින් ප‍්‍රධාන තැනක සිටී. 1937 දී අධිරාජ්‍යවාදී පාලකයෝපරිපාලන පහසුව තකා ප‍්‍රදේශ දෙකක් එකතු කරන ලද අතර, එයින් වසර දහතුනකට පසු උත්තර් ප‍්‍රදේශ් යනුවෙන් නැවත නම් කර ඇති බව එහි ඉතිහාසය දක්වයි. උත්තර් ප‍්‍රදේශ් දිස්ත‍්‍රික්ක හැත්තෑ පහකට වෙන් කර ඇත. ගංගා සහ යමුනා යන ඉන්දියාවේ ප‍්‍රධාන ගංගා දෙක උත්තර් ප‍්‍රදේශ් හි අලහබාද් ඔස්සේ ගලා බසින අතර කෘෂිකාර්මික කටයුතු බහුලව සිදු කෙරේ. ඉන්දියාවට අවශ්‍ය ආහාර වලින් පහෙන් එකක් උත්තර් ප‍්‍රදේශ් හි වගාකටයුතු වලින් ලැබේ. වී වගාව බහුලය. සීනි නිෂ්පාදනය සම්බන්ධයෙන් ද ප‍්‍රසිද්ධියක් උසුලයි. එහි නිපදවන සීනි ඉන්දියාව පුරා බෙදා හැරේ. දැනට සිදුවෙමින් පවතින පරිවර්තනය අනුව සංචාරක කටයුතු සදහා නැඹුරුවක් ඇත. කොවිඞ් වසංගත තත්ත්වය හෙයින් යම් අඩුවක් දක්නට ලැබෙන නමුත් ඉන්දියාව කරා එන සංචාරකයෝ විශාල පිරිසක් දුම්රියෙන් හෝ ගුවනින් උත්තර් ප‍්‍රදේශ් බලා ගමන් කරති. ලක්නව් හා වාරානසි නගර ඒවා අතරින් ඉතා ආකර්ශණීය බව සදහන් කළ යුතුය.

යෝගී ආදිත්‍යනාත් උත්තර් ප‍්‍රදේශ් මහ අමාත්‍ය ධුරය හොබවයි. හෙතෙම හින්දු ආගමික නායකයෙකි. 2017 වසරේ මහ ඇමැති පදවියට පත්වන අතර ගොරක්පූර් හි හින්දු දේවස්ථානයේ ද පුජකවරයාය. ගණිතය පිලිබද ආචාර්ය උපාධියක් ද ඇත. ආදිත්‍යනාත් මහ ඇමැතිවරයා ගේ පාලනය කෙරෙහි යහපත් ජනතා ප‍්‍රසාදයක් තිබේ. භාරතීය ජනතා පක්ෂයේ නායකයෙකු වශයෙන්, ප‍්‍රාන්තයේ දියුණුව සදහා සැලැස්මක් අනුව කටයුතු කරමින් සිටියි. එක දිස්ත‍්‍රික්කයක එක දෙයක් සංකල්පය ද, එහි එක කොටසකි. ප‍්‍රාන්තයේ එක් එක් දිස්ත‍්‍රික්කවලට අයත් පැරණි, කර්මාන්ත සහ නිෂ්පාදන වලට දිරිය දෙන ක‍්‍රමයකි. හස්තකර්මාන්ත, පිලියෙල කරන ලද ආහාර,ගළුම් ඇතුළු නිෂ්පාදන වලට පිලිගැනීමක් ලැබෙන සේ ක‍්‍රියාත්මක වන වැඩ පිලිවෙලකි.

පැරණි කර්මාන්ත ක්ෂුද්‍ර, කුඩා, මධ්‍ය වශයෙන් වෙන්කරන අතර දේශියත්වයට තැනක් සපයා ඇත. මුල්‍ය පහසුකම් අවශ්‍ය අවස්ථාවල සැපයේ. පොදු පහසුකම් මධ්‍යස්ථානයක් පිහිටුවා ඇත. එහි නිලධාරීහු දිස්ත‍්‍රික්කයේ තෝරාගත් ව්‍යවසායට අදාලව නිෂ්පාදනයෙහි නිරත පවුල් තෝරා ඔවුන්ට අවශ්‍ය මුල්‍ය ආධාර සියයට අනුවක් දක්වා සපයන බව වාර්තා වෙයි. සහන සැපයෙන ක‍්‍රමවේදය අනුව නිෂ්පාදන පිරිවැයෙන් කොටසක් ආවරණය කිරීම සිදුවෙයි. රට තුළ සහ ජාත්‍යන්තර වශයෙන් පවත්වන ප‍්‍රදර්ශන හා අලෙවි සල්පිල වලට මෙහි නිෂ්පාදන යොමු කරන අතර භාණ්ඩ විකිණීම සදහා අත දෙන ව්‍යාපෘතියක් ද ඇත. අනන්‍ය සම්ප‍්‍රදායික දේ ආරක්ෂා කර එම ශිල්ප අඛණ්ඩව කරගෙන යන්නට අවශ්‍ය පහසුව සැලසීම උත්තර ප‍්‍රදේශ් මහ ඇමැතිවරයා ගේ දර්ශනය වී තිබේ.

කන්චිපුරම් සාරි, සරම්, පන්ජාබ් ඇතුළු ඇදුම් සැකසීම පමණක් නොව කෘෂි නිෂ්පාදන වශයෙන් මිරිස් තුනපහ වර්ග, අල බතල විශේෂ ද වගා කෙරේ. පලතුරු වර්ග වියලා සකස්කරන සම්ප‍්‍රදායික ක‍්‍රම ද එක් දිස්ත‍්‍රික්කයක කෙරේ. එල්.ඊ.ඞී. විදුලිය පහන් නවීන සොයා ගැනීමක් නමුත් උත්තර් ප‍්‍රදේශ් හි එක දිස්ත‍්‍රික්කයක පවුල් අඩු විදුලියක් වැයවන විදුලිය බුබුලූ නිපදවන බව වාර්තා වෙයි. ප‍්‍රාන්තයෙන් එපිටට පවා මෙම අදහස පැතිරෙන අතර උත්තර් ප‍්‍රදේශ් බලධාරීහු දක්වන පරිදි එකිනෙකට වෙනස් නිෂ්පාදන 109 ක් දැනට ලියා පදිංචි වී ඇත.

දිස්ත‍්‍රික්කය තුළ තෝරා ගත් කර්මාන්තයෙහි යම් අවබෝධයක් ඇති තරුණ පිරිස් තෝරා ගෙන ඔවුන්ට විධිමත් දැනුම ලබා දෙන පුහුණු පාඨමාලා ද ඇත. එහි ඉගෙනුම ලබන පිරිසට න්‍යායිකව හා ප‍්‍රායෝගිකව අධ්‍යාපනය ලැබේ. නියමිත පුහුණුව අවසන් කිරීමෙන් පසු වෘත්තියට අවශ්‍ය මෙවලම් කට්ටලයක් ද ප‍්‍රදානය කරයි.

සම්ප‍්‍රදායික කර්මාන්තදහා විශේෂ වැඩ සටහන් සකස් කරන නමුත් ‘ලොක් ඩවුන්’පරිසරය තුළ උනන්දුව පහත වැටේ. උත්තර් ප‍්‍රදේශ් එයට ද විසදුමක් සොයා ගෙන ඇත. අන්තර් ජාලයේ විකිණුම් පොලක් පවත්වයි. පසුගිය සතිය තෙක් පැවැති පළමු විකුණුම් වාරයට විවිධ භාණ්ඩ හා ආයිත්තම් නිෂ්පාදනය කරන්නෝ හත්සියයක් තමන්ගේ අලෙවි ද්‍රව්‍ය ඉදිරිපත් කළහ. රටවල් තිස් පහකින් එයට ගැනුම්කරුවෝ පැමිණ තිබේ. හතලිස් දහසක් පමණ දෙනා එහි පැමිණ, සම්ප‍්‍රදායික දේ නිපදවන නිර්මාණ ශිල්පීන් සමග ගනුදෙනු කර ඇත. හත් දහසක් පමණ එහි නිර්මාණ කරන ආකාරය ගැන ප‍්‍රකාශයට පත්කරන තොරතුරු දැනගැනීමට දේශනවලට සහභාගී වී ඇති බව පැවසේ. කොවිඞ් කාලයේ පසෙකට වී සිටීම වෙනුවට අලූත් පැති සොයා ගිය මෙම නිර්මාණාත්මක කාර්යය එක්තරා ප‍්‍රශස්ථ ප‍්‍රගතියක් පෙන්වීම විශේෂ අවධානයට පත්ව ඇති කරුණකි.

එක දිස්ත‍්‍රික්කයක් එක නිෂ්පාදනයක් යන යෝගී ආදිත්‍යනාත් ගේ සංකල්පය ඇරඹෙන්නේ 2018 වසරේ දී ය. අත්හැර දැමෙමින් පවතින කලා ශිල්ප, අත් කම් යනාදියෙන් මුල පිරුණු වැඩ සටහන දැන් ජගත් අවධානයට ද ලක්ව ඇත. ලෝක බැංකුව මෙම සංකල්පයට ආධාර කරන්නට කැමැත්ත පළ කර තිබේ. එය කලාතුරකින් වාර්තා වන සිද්ධියකි. අපනයන අවස්ථා ඇති කරන සහ එමගින් අවස්ථා අහිමි ජන කොටසක් නගාසිටුවන උත්සාහයක් වශයෙන්, මෙකී එක දිස්ත‍්‍රික්කයක් එක නිෂ්පාදනයක් වැඩ සටහන බෙහෙවින් අගය කරන බව දැක්වෙයි.

තායිලන්තයේ ද මෙයට සමාන ව්‍යාපාරයක් කරගෙන ගියේය. පසුගිය කාලයේ එහි ජනප‍්‍රියත්වය ඉහළම තැනක තිබිණ. ජපානය අහිමි වී යන පැරණි දේ ආරක්ෂා කරන්නට වෙනම ගම්මාන හදා රජයේ වියදමෙන් නඩත්තු කෙරේ. තායිලන්තයේ ව්‍යාපාරයක් වශයෙන් කරගෙන යන එක ගමක් එක නිෂ්පාදනයක් වැඩ පිලිවෙල යටතේ බැංකොක් වලින් එපිට එක්තරා ගමක මැණික් ආනයනය කර කපා ඔප දමා නැවත අපනයනය කරන තරමට ශක්තිමත්ව තිබුණි. සම්ප‍්‍රදායික ලෙස මැණික් කපා ඔප දැමීමට හපන් පිරිස් එහි සිටියහ. ජපානයේ පිලිවෙල අනුව, විශේෂයෙන් තෝරාගත් අභාවයට යන ශිල්ප ක‍්‍රම වෙනුවෙන් සහාය දෙන අතර එය හුදෙක් වෙළද පොල අවස්ථා පමණක් සලකා නොවන බව ද සදහන් කරන්නට අවශ්‍යය. පැරණි ක‍්‍රමයට රෙදි වියන ගම්මාන සහ භාවිතයෙන් තුරන් වෙමින් පවතින සමහර වී වර්ග පවා එදා ක‍්‍රමවලටම අදත් වගා කිරීම ජපාන බලධාරීන්ගේ අනුදැනුම ඇතිව සිදුවෙයි.

එක දිස්ත‍්‍රික්කයක් -එක නිෂ්පාදනයක් සංකල්පය ක‍්‍රියාවට නැංවිම සදහා අයෝධ්‍යා ප‍්‍රාන්තයට ධනය තිබේ. ජපානය ද ඉතාමත් ධනවත් රටකි. තායිලන්තය හොද ආර්ථිකයක් ඇති රටකි. වෘත්තිය නිපුණ පිරිස් එකතු කර අඩු පිරිවැයකින් නිපදවන්නට පොළඹවන්නට සමත්කම් සහිත රාජ්‍ය්‍යකි. මෙම කරුණු සලකා බලා අත්දැකීම් ලබා ගැනීම සුදුසුය. ශ‍්‍රී ලංකාවේ පැරණි කර්මාන්ත හා සේවා අංශ ගැන අලූතින් අවධානයක් යොමුකළ හැකිය. ආරක්ෂා කරගෙන සිටින ව්‍යවසාය නගා සිටුවීම අවශ්‍යම කාරණයකි. බතික්, ලාක්ෂා කැටයම්, පිත්තල නිර්මාණ, අත්යන්ත‍්‍ර රෙදි පිලි, මැණික් ඔප දැමීම, හකුරු නිෂ්පාදනය ආදී වශයෙන් දීර්ඝ ලැයිස්තුවක් ඉදිරිපත් කළ හැකිය. ජනතාවට අවශ්‍ය ලැයිස්තු නොවේ. හැබෑවට ක‍්‍රියාවට නගන ක‍්‍රමයකි. දේශපාලන හිතමිතුරුකම් අනුව තෝරාගත් කිහිපදෙනෙකුට ණය දෙන අවස්ථා මතකයට නැගේ. ඒවායේ සාර්ථක භාවයක් දකින්නට නැත. වෙනත් රස්සාවක් ලැබුණ පසු දේශීය කර්මාන්ත ආරක්ෂාවට පෙනීසිටින ව්‍යාපෘති අවසන් කර දමයි. ලෝකයේ නොයෙක් තැන්වලින් වාර්තාවෙන අලූත් සිදුවීම් අපට වැදගත්ය. අත්දැකීම් අනුව අලූත් පියවර ගැනීම යෝජනා කළ යුතුව තිබේ.