» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
07/05/2023 - ඉරිදා ලංකාදීප
ජන සමාජය සමග සෘජු සංවාදයකට සූදානම් වන නායකත්වයක්

අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මාසයකට වතාවක් ඉන්දියානුවන් ආමන්ත‍්‍රණය කරන විශේෂ ගුවන් විදුලිය වැඩසටහනක් ඇත. Mann Ki Baat ’’ යනුවෙන් මෙම වැඩ සටහන නම් කර තිබේ. ඉන්දීය ජාතික ගුවන් විදුලියෙන් ප‍්‍රචාරය වන වැඩ සටහන ඉන්දීය ජාතිකයන් උනන්දුවෙන් සවන් දෙන බව ස`දහන් කළ යුතුය. සිය වැනි ගුවන් විදුලි විකාශය ලොවපුරා විසුරුවා හරින ලද අතර ඉකුත් ඉරිදා එක්සත් ජාතීන්ගේ සංවිධාන මුලස්ථානයේ දී සජීවී සවන් දෙන්නට සැලැස්වීම විශේෂ අවස්ථාවක් විය.

ජනතා ඡන්දයෙන් බලයට පත්වන නායකයෝ තනතුරකට පත් වූ වහා, බලයට පත් කරන ලද ජනතාවගෙන් ඈත් වෙති. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල සාමාන්‍යයෙන් දැකිය හැකි ලක්ෂණයකි. මෙම ඈත්වීම යහපත මෙන්ම අයහපත ඇතිකරයි. අමාත්‍ය ධුරයකට පත් කළ පසු මැතිවරණ කොට්ඨාශයේ වගකීම්වලින් ඉවත්විය යුතු බව ව්‍යවස්ථාවෙන් දක්වන රටවල් ඇත. ප‍්‍රතිපත්ති කටයුතුවලට ඉඩදීම එහි අරමුණ වී තිබේ. ඉන්දියාවේ පාලන ව්‍යුහය අනුව එවැනි ඉවත්වීමක් නැත. අගමැතිවරයා දේශපාලන කටයුතුවල නිරත වේ. දෛනික කටයුතු හෙයින් කෙලින්ම මහජනතාව හමුවන අවස්ථාව සීමිත බව හ`දුනාගත් නරේන්ද්‍ර මෝදි මහතා මහජනතාව සමග පවත්වන සංවාදය අඛණ්ඩව කරගෙන යාම සදහා ගුවන් විදුලිය තෝරාගත්තේය. 2014 වසරේ ඔක්තෝම්බර් මාසයේ ආරම්භ කළ එම වැඩසටහන අනුව ඔහු ගේ මතය ජනතාව හමුවේ තබයි. පසු කාලයක එරට ජාතික රූපවාහිනිය ද මෙම වැඩසටහනේ සමාන්තර විකාශයක් ඇරඹීය. වසර නමයක් පුරා මෝදි අගමැතිවරයා ජනතාවට කතා කර තිබේ.

මෝදි අගමැතිවරයාගේ ගුවන් විදුලි වැඩසටහන තාක්ෂණය, කෘෂිකර්මය, ආර්ථික, සමාජ හා දේශපාලන වැනි ක්ෂේත‍්‍ර විශාල අරභයා අදහස් ඉදිරිපත් කරන අතර එය සමාජයේ විවිධ ස්ථරවල අවධානය දිනාගන්නට සමත්ව ඇත. ඉන්දියාවේ ඉදිරි සැලසුම් හා අනාගත අභිවෘද්ධිය ගැන හිතන්නට මෙමගින් අවස්ථාව සලසා දී තිබේ. ලෝකය පුරා ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල ජනතාව මෙම ප‍්‍රයත්නය අගය කරති. ඇමරිකාවේ නිව්යෝක් සහ නිව් ජර්සි යන ප‍්‍රාන්ත ඉන්දීය අගමැතිවරයාගේ ගුවන් විදුලි වැඩසටහන ප‍්‍රසංසාවට ලක් කරමින් යෝජනා සම්මත කර ඇත. යහපාලනය පවත්වාගෙනයෑම සදහා ජනතාව සමග කරන සන්නිවේදනය ඉතාම වැදගත් බව මෙහි දී අවධාරණය කර ඇති කරුණකි.

අඩු වියදමකින් කෙලින්ම ජනතාව හමුවේ කරුණු සන්නිවේදනය කරන්නට සමත්ව ඇති වැඩ සටහන විශාල භූමියක්, දැවැන්ත ජනගහනයක් ආවරණය කරන්නට සමත්ව ඇත. රට පුරා එකවර වැඩිපුරම යොමුවිය හැකි මාධ්‍ය වශයෙන් ගුවන් විදුලිය බව සදහන්ය. වසර දෙකකට කලින් මන් කී බාත් එනම් ඉලක්කගත අදහස් වැඩසටහන සම්බන්ධයෙන් කෘතියක් පළ කෙරිණ. මෝදි මහතාට සම්බන්ධ ලේඛකයෙකු වැඩ සටහන ඔස්සේ දේශපාලන නායකයෙකු අත්පත් කරගන්නට සමත් වූ අවස්ථා ගැන එහි විස්තරාත්මකව දක්වා තිබේ. ඉන්දියාවේ ප‍්‍රකට මාධ්‍ය පර්යේෂණ ආයතනක් මෙම ගුවන් විදුලි වැඩ සටහන ගැන විශේෂ සමීක්ෂණයක් කර ඇති අතර ප‍්‍රධාන නගර හයක් පදනම් කරගෙන කළ එම සමීක්ෂණය අනුව දළ වශයෙන් ජනගහනයෙන් සියයට හැට හයක ශ‍්‍රාවක පිරිසක් නිතිපතා වැඩසටහනට සවන් දෙන්නට නැඹුරු වී සිටින බව අනාවරණය කරගෙන ඇත. වැඩිම පිරිසක් ගුජරාට්, බිහාර් හා මධ්‍ය ප‍්‍රදේශ වල වැසියෝ බව දැක්වෙයි.

මෝදි අගමැතිවරයා ජනතාවට දැනෙන කරුණු ගැන ඉතා සරලව මන් කී බට් ගුවන් කාලයේ දී සාකච්ඡා කරයි. සමහර අවස්ථාවල තෝරා ගත් අසන්නෝ වැඩසටහනට සම්බන්ධ කරගනිති. එක අවස්ථාවක ඉන්දියාවේ විවිධ ප‍්‍රදේශවල වෙසෙන ශිෂ්‍යත්ව දිනා ගත් දරුවන් කණ්ඩායමක් සම්බන්ධ කරගත්තේය.

ඔවුන්ගේ පවුල් පසුබිම හා අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු අනාගත අපේක්ෂා ගැන කතා කළේය. මෙම වැඩසටහන අවසානයේ එම දරුවන්ට ඉතා ඉහළ පිලිගැනීමක් ලැබුණි. තවත් අවස්ථාවක ජල හිගයෙන් පීඩා විදින ගමක වැසියෝ සමග සාකච්ඡා කළහ. ප‍්‍රශ්නයේ මුහුණුවර හදුනා ගත් අතර, ආණ්ඩුවක් වශයෙන් මෙම ප‍්‍රශ්නයේ දී ගත හැකි පියවර ගැන ප‍්‍රවේසමෙන් ජනතාවට කියා දුන්නේය. ජලය සම්බන්ධයෙන් පවතින ප‍්‍රශ්න සහ ඉදිරියේ දී මතුවන අර්බුද ගැන කරුණු දක්වන අතරවාරයේ ජල හිගය විසදන ක‍්‍රමය ගැන ද අවබෝධයක් දුන්නේය. තවත් වතාව හෙතෙම එදිනට යෙදී තිබුණ ඉන්දියාවේ අභ්‍යන්තර කැරැල්ලක විස්තරයක් සිහිපත් කළේය. එය මැඩ පවත්වා, ජනතාවට ආරක්ෂාව සපයා සාමය ආරක්ෂා කළ අන්දම පැහැදිලි කරන ලද අතර හා එම කාර්යය වෙනුවෙන් කැපවූ ඉන්දීය ආරක්ෂක අංශවල නිලධාරීන්ට ප‍්‍රණාමය පුද කර සිටියේය.

නවීන සන්නිවේදන ආකෘතිය අනුව සමාජ මාධ්‍ය ඉදිරියට පැමිණ තිබේ. සමාජ මාධ්‍යභාවිතය ඉතාම ප‍්‍රබලය. අගමැති නරේන්ද්‍ර මෝදි සමාජ මාධ්‍යයෙන් සිය සන්නිවේදනය කරගෙන යන අතර ඔහු සිය ඇමති මණ්ඩලය ද සමාජ මාධ්‍ය භාවිතාවට උනන්දු කර තිබේ. අමාත්‍යංශ හා දෙපාර්තමේන්තුවල සමාජ මාධ්‍යවලට ජනතාවදක්වන අදහස්වලට නොපැකිලව පිලිතුරු දියයුතු බව නියම කර ඇත. රාජ්‍ය නායකයෙකුට රජයේ මාධ්‍ය භාවිතා කරන්නට තහනමක් නැත. සියළුම මාධ්‍ය වල අවශ්‍යතරම් ප‍්‍රචාරය ලබා ගත හැකිය. ඔවුන්ගේ එදිනෙදා රාජකාරි කටයුතු හා කරන කියන දෑ වාර්තා කරන්නට සෑම මාධ්‍ය ආයතනයක්ම සූදානම්ය.

නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා ගේ මාධ්‍ය භාවිතාව නිලවශයෙන් ලැබෙන අවස්ථාවලට වඩා ඔබ්බට ගිය සන්නිවේදාන ස්වරූපයකි. ජාතික ප‍්‍රශ්නයක්, සාමාන්‍ය පුරවැසියෙකුට දැනෙන දෙයක් වෙනුවෙන් පෙනී සිටීම රාජ්‍ය නායකයෙකු ගේ පරිනතභාවය පිළිබිඹු කරයි. තමන් ගේ ශ‍්‍රාවකයා වෙනුවෙන් පෙනී සිටීම ගැඹුරු සංකල්පයකි. මහා ජනකායක් වෙතට ගොස් ඔල්වරසන් මැද කරන ප‍්‍රකාශයකට වඩා වටිනාකමක් තිබේ.

ජනතා කැමැත්ත ලබාගැනීම සදහා විශාල ප‍්‍රයත්නයක සිටින දේශපාලන නායකයන් ජනතාව සමක කරන සන්නිවේදන කෘත්‍යයේ දී විශාල වගකීමකින් කටයුතු කළ යුතුය. ඡන්දයක් ප‍්‍රකාශයට පත්කළ පසු පිරිවර සමග යාන වාහනවලින් පැමිණ වේදිකාවේ කතා කිරීම සහ පසුවදා ඒවාට ලමාධ්‍යයේ ලැබෙන ඉඩ ගැන තක්සේරු කිරීමට වඩා ගමනක් ඇත. ජන නායකයන් ජනතා කැමැත්ත ආරක්ෂා කරගත යුතුය. දැනට ඇති තාක්ෂණික හා සමාජ මාධ්‍ය ව්‍යුහය තුළ ජනතාව සමග සංවාදයක් පවත්වාගැනීම පහසු නැත. ඕනෑම ජන නායකයෙකුගේ ප‍්‍රසාදය පවතින්නේ කෙටි කාලයකි. ජනතාවගෙන් දුරස්වීමත් සමග පිරිහීමක් සිදුවේ. බරපතල මෙහෙයුමක් සහිත දැවැන්ත ආයෝජනයකින් කරන සන්නිවේදන ප‍්‍රයත්නයකට වඩා විශ්වාසනීයත්වයක් ඉතා සුළු පියවරකින් ඇති කරගත හැකිය. තමන්ගේ ඡන්ද දායකයන් හමුවීමට මාසයකට පැයක් දෙකක් වෙන්කරගතහොත් ඉතා වැදගත්ය. ඔවුන්ට සවන්දීම අද දේශපාලනඥයන්ට ඇති අපහසුම කාර්යය වී තිබේ. වේදිකාවේ සිට කතාකර දුෂණ වංචා හෝ කුමන්ත‍්‍රණ ගැන හෙළිදරව් කොට ඉවත්ව යෑමෙන් ජනතාවට කරුණු අවබෝධ කරදෙන්නට හැකියාවක් නැත. ශ‍්‍රී ලංකාවේ දේශපාලන නායකයන් ජනතාව සමග කරන සන්නිවේදනය අලූත් ආකෘතියකට ඇතුළු කළ යුතුව ඇත.