» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
06/11/2022 - ඉරිදා ලංකාදීප
ඊළග මැතිවරණයෙන් ආණ්ඩුබලය අල්ලා ගැනීමේ උත්සාහයක්

ඡන්ද පැවැත්වීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. මහජනතාව නියෝජිතයෝ තෝරාගන්නා අතර වැඩිම මහජන නියෝජිතයන් පිරිසක් පත් කරගන්නට සමත්වන පක්ෂයට ආණ්ඩු බලය ලැබේ. රට වසරක් අගමැති ධුරය හොබවන නරේන්ද්‍ර මෝදි මහතා ප‍්‍රධාන බලවේගය ඉවත්කර බලයට පැමිණීම ඉන්දියාවේ සෑම දේශපාලන පක්ෂවල ඉලක්කයය වී තිබේ. ඉන්දියාවේ දැනට ආණ්ඩු කරගෙන යන ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී සන්ධානය පුලූල් එකමුතුවක් වන අතර භාරතීය ජනතා පක්ෂය එහි ප‍්‍රධාන බලවේගයකි. ප‍්‍රධාන විපක්ෂය යුනයිටඞ් ප්‍රෝග්‍රෙසිව් සන්ධානය උසුලයි. මධ්‍ය වාමාංශික බලවේගයක් වන එහි මුල් පුරුක ඉන්දීය ජාතික කොන්ග‍්‍රසයයි.

ජාතික කොන්ග‍්‍රසය ඊළග ඡන්දය ඉලක්ක කරගෙන දැවැන්ත පාගමනක් සංවිධානය කර ඇත. ඉකුත් අගෝස්තු 23 වැනිදා තමිල්නාඩුවේ කණ්‍යාකුමාරි නගරයෙන් ඇරඹුන එය කිලෝ මීටර් 3,570 ක් ගමන් කරන අතර සම්පූර්ණ ගමනට දින 150ක් ගත වෙතැයි ගණන් බලා ඇත. ගමනාන්තය ජම්මු කාශ්මීර් ප‍්‍රාන්තයේ අගනුවර සිරිංගාර් සේ දැක්වේ. සභාපති රාහුල් ගාන්ධි එහි පෙරමුණ ගනී. ප‍්‍රාන්ත 15 ක් ආවරණය කරන අතර කොන්ග‍්‍රස් පක්ෂයේ ශක්තිය පෙන්වීම සදහා අතුරු පාගමන් ගණනාවක් දියවැලි සේ සකස් වී මහා පාගමනට එකතු වේ. තමිල්නාඩු, කේරළ, කර්ණාටක, මහාරාශ්ඨ, මධ්‍ය ප‍්‍රදේශ් ඇතුළු ප‍්‍රාන්ත ගණනාවක එකක අනු සංවිධාන දහයක් ඉක්මවා ස්ථාපිත කර මැනැවින් සංවිධානය කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියානු ආණ්ඩුවේ නිල කාලය 2024 මැයි 16 වැනි දා අවසන්වීමට නියමිතය. අප‍්‍රියෙල් සහ මැයි අතර කාලයේ ඡන්දයක් පවත්වන්නට සිදුවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය පවතින රටවල් අතරින් එකවර අති විශාල ජනකොටසක් ඡන්දය පාවිච්චි කිරීම ඉන්දීය මැතිවරණයක දී සිදුවේ. මැතිවරණ කොමිසම ඡන්දය මෙහෙයවයි. මැතිවරණය නිරීක්ෂණය කිරීමට ජාත්‍යන්තර ප‍්‍රජාවට ඉඩ හසර ලබා දී ඇත. 1950 සිට බලපවත්වන ව්‍යවස්ථාපිත ක‍්‍රමය අනුව මැතිවරණ කොමිසම ක‍්‍රියා කරන අතර 1990 වසරේ දී එයට සංශෝධනයක් ගෙන එන ලදී. මැතිවරණ කොමසාරිස්වරු තිදෙනෙකු සිටින අතර අවිනිශ්චිත අවස්ථාවක තිදෙනාගේ බහුතර කැමැත්තෙන් තීරණ ගැනීමට ඉන්දීය මැතිවරණ නීතිය ඉඩ දී ඇත.

ඉන්දීය ලෝක් සබාවට මන්තී‍්‍රවරු 543ක් ඡන්දයෙන් පත් කරගැනේ. 104 වැනි සංශෝධනය අනුව මිශ‍්‍ර ඉන්දියානුවන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ආසන දෙකක් වෙන්කර තිබේ.

දැවැන්ත, දීර්ඝ පාගමන අවසන් කරන පසු ඉන්දියානුවන් ගේ සිත්වලට කොන්ග‍්‍රසයේ ශක්තිය නැවත වතාවක් තහවුරු කරනු ඇතැයි සංවිධාකයෝ බලාපොරොත්තු වෙති. ප‍්‍රාන්ත‍්‍ර මැතිවරණ ගණනාවක් පසුගිය කාලයේ පැවැති අතර එහි දී නැවත වතාවක් තමන්ගේ බලය පෙන්වන්නට භාරතීය ජනතා පක්ෂයේ නායක මෝදි අගමැතිවරයා සමත්විය. පළමුවතාවට උත්තර ප‍්‍රදේශ් මහ ඇමැතිවරයා නැවත පත්වූ අතර එම ජයග‍්‍රහණය මෝදි අගමැතිවරයා ගේ මෙහෙයැවීමක් බව දැක්වේ. කොන්ග‍්‍රස් පක්ෂය හා භාරතීය ජනතා පක්ෂය ඉදිරි මහ මැතිවරණය සදහා පෙරමුණ සංවිධානගත කරමින් සිටින අතර භාරතීය ජනතා පක්ෂය කරගෙන යන හින්දුත්ව ආගමික මතවාදය කැපී පෙනෙන අංශයකි. ලෝකයේ විශාලතම හින්දු දේවස්ථානය වශයෙන් රාම් මන්දිරය ඉදිකිරීම එහි එක අංශයකි. කොන්ග‍්‍රස් පක්ෂයේ කැපී පෙනන චරිතයක් වන දිල්ලි මහ ඇමැති අරවින්ද් කේජිරිවාල් මහතා පසුගියදා ඉන්දීය අගමැතිවරයාට අභියෝගයක් කළ අතර ඉන්දීය මුදල් නෝට්ටුවල ලක්ෂ්මී හා ගණේෂ් යන දෙවියන්ගේ පින්තූර ඇතුලත් කරන ලෙස යෝජනා කළේය. පාද යාත‍්‍රාව අතරවාරයේ මහා ජනතාවක් මැද කරන ලද එම යෝජනාවට දැවැන්ත ප‍්‍රතිචාරයක් හිමි වී තිබේ. කෙසේ වෙතත් ඉන්දීය භාරතීය ජනතා පක්ෂය ගැන කතාකරන ඇතැම් අන්තවාදී විචාරකයෝ පක්ෂය තුළ එක්සත් භාවයෙහි අවශ්‍යතාව අවධාරණය කරයි.

ආසියානු දේශපාලනයේ සමානකම් බෙහෙවින් ඇත. ආගම, ජාතිය ඉදිරියට ගනී. පක්ෂ අතර තියුණු මතබේධ ඇත. විපක්ෂයට ගිය පසු එක්සත්භාවය අඩුවේ. මැතිවරණ වේදිකාව විශාල පොරොන්දු ප‍්‍රමාණයකින් අලංකාරවත්ය. ශ‍්‍රී ලංකාවේ ස්වභාවය ද කිසිසේත් මෙයට නොදෙවෙනිය. දේශපානඥයන්ට බලය රහිතව පැවැත්මක් නැත. ආණ්ඩුවක් පත් කරගත් දිනයේ සිට විපක්ෂයේ සුදානම ආණ්ඩුව පෙරළා නැවත බලයට පත්වීම වන අතර ආණ්ඩුවක වෑයම විපක්ෂයේ බලය දුර්වල වන තැනට නිසි පියවර ගැනීම බව දැක්විය යුතුය. ආණ්ඩු හා විපක්ෂ දේශපාලන පක්ෂ ගෙන යන මෙම අරගලය අතරවාරයේ ජනතාව තැලී පීඩනයට පත්වෙති. රට ගොඩනගන ක‍්‍රියාමාර්ග තිබිය දී අවසානයේ දී රට ප‍්‍රපාතයට ගමන් කරන තෙක් මහජනතාව සතුටු කිරීමේ නිරර්ථක උත්සාහයක නිරතවෙති.

කොවිඞ් වසංගත තත්ත්වයට පසු ශ‍්‍රී ලංකාවට අත්පත්වන ආර්ථික සමාජ ගැටළු ගැන අවබෝධයක් නොතිබුණා නොවේ. විද්වත් පාර්ශව කරුණු අවධාරණය කළහ. පසුබිම දක්වා තීරණ ගැනීමට පොළඹවන ලද්දේ වරක් දෙවරක් නොවේ. එහෙත් විශාල ජනමතයක් ඇවිලී සිස්ටම් ජේන්ජ් කරන සේ බල කරන තෙක් දේශපාලනඥයෝ කරුණු අවබෝධ කරගෙන නොසිටියහ. කරුණු අවබෝධ කරගෙන නොසිටියා යන්න වැරදි සදහනකි. කරුණු මැනැවින් දැන සිටිය නමුත් තීරණ ගන්නට නිර්භීතභාවයක් දැක්වූයේ නැත. ජනතාව සතපවා, සනහා ඡුන්දය දිනාගැනීම දේශපාලන පක්ෂවල අරමුණය. ඇත්ත ප‍්‍රකාශ නොකෙරේ. කැපවීමකින්, පරිවර්තනයකින්, විශාල වෙනස්කම්වලින් රට ගොඩනගන්නට සිදුවන බව අගවන්නේ නැත.

ඉදිරියේ දී පලාත් පාලන ඡන්ද, පලාත් සභා සම මහ මැතිවරණ පවත්වන්නට ඉඩ තිබේ. මෙම මැතිවරණ ඉලක්ක කරගෙන නැවතත් දේශපාලනඥයෝ සංවිධානය වෙමින් සිටිති. ඡන්දය ඉල්ලා ගමට එන්නට එපා යැයි ප‍්‍රකාශ කරන ලද නමුත් නැවත නැවතත් උත්සාහ කරන දේශපාලන පක්ෂ බල අරගලයේ එද කොටසකි. රටට අවශ්‍ය කරන්නේ පක්ෂ දේශපාලනය හා සමාන්තරව ගොඩනැගෙන දර්ශණයකි. පටු අදහස්වලින් තවත් දුර ගමන් කළ නොහැක. ආයෝජන අවශ්‍යය. ජනතාවගේ ශක්තිය එක්තැන් කරගත යුතුය. බෙදුණු කණ්ඩායම් එකතු කරගැනීමට සිදුවේ. පක්ෂ පාට, ආගම්, ජාති, කුළය හා පැලැන්ති වශයෙන් බෙදුණ සමාජය එකතුකරන පියවරකට යා යුතුව ඇත. අපට ගමන් කරන්නට පාද යාත‍්‍රාවක් අවශ්‍ය කෙරේ. එය ජනතාවගේ හදවත් හරහා හිතවත්කම් එකතුකරන, විශ්වාසය ගොඩනගන යාත‍්‍රාවක් විය යුතුය.