» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
06/08/2023 - ඉරිදා ලංකාදීප
ස්මාට් නගර ඉදිකිරීමේ ඉලක්ක තවදුරටත් කල් දමන යෝජනාවක්

තොරතුරු තාක්ෂණයේ දියුණුව සමග ජගත් ප‍්‍රජාව මහජන හිතසුව පිණිස තාක්ෂණ අවස්ථා ප‍්‍රයෝජනයට ගනිමින් සිටිති. ස්මාට් නගර එහි එක ප‍්‍රධාන පියවරකි. ප‍්‍රදේශය තුළ ජලය, විදුලිය, නිවාස, ප‍්‍රවාහනය ඇතුළු පොදු පහසුකම් තාක්ෂණික උපාංගවලට අනුබද්ධකරන අතර ඊ රාජ්‍ය පාලනයක් හදුන්වාදෙයි. සෑම නිවසකටම තොරතුරු සන්නිවේදන පහසුව ලැබේ. අපරාධ අවම කරන පියවර ගැනෙන අතර ආරක්ෂාව තහවුරු කෙරේ. අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් විධිමත්වේ. සංවර්ධනය හා පරිසරය තුලනය කිරීම තවත් අංශයකි.

ඉන්දියාව 2015 වසරේ දී නගර සියයක් ස්මාට් නගර වශයෙන් සංවර්ධනය කරන්නට තීරණය කළේය. නගර තිස් හතරක් දැනට සිය ඉලක්ක සාක්ෂාත් කරගෙන ඇත. තවත් නගර හැට හයක සැලසුම් නියමිත ඉලක්ක සපුරා නැත. ලබන වසරේ මැද භාගය වන විට සම්පූර්ණ කළ යුතු බව ඉන්දීය මධ්‍යම ආණ්ඩුව උපදෙස් නිකුත් කර තිබේ. අග‍්‍රා, වාරණාසි, අහමදාබාද්, චෙන්නයි සහ පුනේ ඇතුළු නගර ස්මාට්නගර ඉලක්කය කරා අවතීරණ වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මධ්‍ය ප‍්‍රදේශ් හි ඉන්දෝර් නගරයේ නිවාසවලට දිග ලිපිනයක් නැත. ස්මාට් මාර්ග සිතියමක් සකස් කර ඇති අතර ලිපි බෙදාහැරීම, නිවස සොයාගැනීම ස්කෑන් කරන සංකේතයකින් සිදුවේ. ඉන්දියාවේ පළමු ඩිජිටල් පුරවැසි එකතුව වන මෙහි ලක්ෂ පහක ලිපින ගබඩාකර ඇත. ප‍්‍රාදේශීය පරිපාලනය සෘජුව පුරවැසියන් සමග සම්බන්ධ කෙරේ. බදු අය කරගැනීමේ සිට නිවාස වල විදුලිය, ජලය භාවිතා කරන ආකාරය දක්වා සොයාබැලීම පහසු වී ඇත. කසල බැහැර කිරීමට ද තාක්ෂණික ක‍්‍රම උපයෝගී කරගැනේ. පොදු පහසුකම් බිද වැටීමක දී පැමිණිලි කර සුළු කාලයකින් යථාවත් කෙරේ. හදිසි දැනුම්දීමක දී ආපදා සේවා, ගිණි නිවන අංශ පමණක් නොව ගිලන් රථය පවා සැපයේ.

ස්මාට් නගර සංකල්පය අනුව තෝරාගත් අංශ විශේෂ අවධානයකට ලක්වේ. අපරාධ බහුල නගරවල මුහුණ හදුනාගත හැකි ආරක්ෂිත කැමරා සවිකර ඇති අතර පැය විසි හතර පුරා සැක කටයුතු සිද්ධි පරීක්ෂාවට ලක් කරනු ඇත. අධික වාහන තදබදයක් ඇති කාලවකවානුවල විදුලි සංඥා පුවරු ස්මාට් පරිගණක පද්ධති මගින් වෙනස් කරයි. වීදිලාම්පු ආලෝකය හිරු එළිය සමග වෙනස්වන පරිදි අනුවර්තනය කර ඇත. විදුලි ලාම්පුවල සවිකරන කැමරා මගින් ජනයාගෙන් හිස්වන විට ස්වයංකී‍්‍රයව වීදිපහන් නිවීයන අතර කිසිවෙකු ඇතුළුවන වහා, වීදිය ආලෝකවත් කෙරෙන ක‍්‍රම සකස්කර තිබේ. කෘතිම බුද්ධිය මෙහි ලා උපයෝගී වේ. මිනිසුන් හා සමානව තීරණ ගෙන ක‍්‍රියාත්මකවන පරිගනක පද්ධති විදුලිය, ජලය පරිහරණය පරෙස්සම් කරන අතර ඉන්ධන නාස්තිය අවම කරයි. ස්මාට් නගර සංකල්පය සමග ඉන්ධන භාවිතා කරන වාහන නගරයට ඇතුළුවීම ද පාලනය කෙරේ. වාහන තදබදය අඩු, අපරාධ වලට ඉඩ නැති නගර පුරවැසියන්ට අස්වැසිල්ලකි. සම්ප‍්‍රදායික ක‍්‍රමවලට ලිපිගොනු සොයමින් පැය අටක නාගරික පාලනය සදහා තිබුණ පිරිවැය විශාල වශයෙන් අඩුවන විට අය කරන බදු සීමා කළ හැකිවේ. ස්මාට් නගර ඉදිකරන්නට වැය කරන විශාල ආයෝජනය ඉතාම කෙටිකාලයෙකින් පියවාගත හැකි බව සැලසුම් අංශ පෙන්වා දෙයි.

මහජන හිතකාමී ස්මාට් නගර සදහා පස්වැනි පරම්පරාවේ තොරතුරු තාක්ෂණය උපයෝගී කරගැනේ. ප‍්‍රශස්ථ දත්ත සන්නිවේදන පහසුකම් හා විදුලිය සැපයුම රහිතව ස්මාට් නගර සිහිනයක් පමණකි. මෙම සංකල්පය තුළ සම්බන්ධතා සෑහෙන ප‍්‍රමාණයක් ඇතිවේ. යල් පැන ගිය දුම්රිය සේවා හා අබලන් සංඥා පද්ධති ස්මාට් නගර සමග සම්බන්ධ කළ නොහැක. නගරයේ වීදි ලාම්පුවලට කැමරා සවිකිරීමෙන් පමණක් අපරාධ පාලනයක් නොවේ. හදිසි ඇමැතුම් අංක හදුන්වා දී ඇති නමුත් ඇමතුම් භාරගැනීම, අනුමැතිය හා ඉක්මනින් හදිසි ස්ථාන කරා පිටත්වීම සදහා තීරණ නොගැනෙන පසුබිම තුළ අංක පමණක් පලක් නැත. කාලගුණය ගැන කරන අනාවැකි සමග නගරය සූදානම් කළ නොහැකි වුවහොත් වැසි වතුරෙන් නගරය විනාශ වේ. නගරයට එන යන පිරිස හා කසල කළමනාකරණය ගැන දත්ත විශ්ලේෂණයක් තුළින් බැහැර කළ හැකි ක‍්‍රම හා ප‍්‍රතිචක‍්‍රීකරණය ගැන අවබෝධය ඇතිවේ. අපරාධයක් සිදුවූ පසු සාක්ෂි සොයන්නට වැයකරන කාලය හා ධනය තවත් නාස්තියකි. ආරක්ෂක අංශවලට එන පැමිණිලි, අධිකරණයේ ගොඩගැසෙන නඩු හා විභාගකර තීන්දු ගැනීමට ගතකරන කාලය ස්මාට් නගරවලින් සෑහෙනදුරට පරිපාලනය කරගත හැකිවේ.

අධ්‍යාපනය හා සෞඛ්‍ය අංශවලට කෘතිම බුද්ධිය සම්බන්ධ කෙරෙන අතර විෂය මාලා තෝරා ගැනීමේ සිට පැවැරුම් අධීක්ෂණය දක්වා අංශ වලට පහසුව ඇති කරයි. තෝරාගත් ස්ථානවල රුධිර පීඩනය මැන බලා තමන්ටම සාම්පල් බාර දිය හැකි ආරක්ෂිත ක‍්‍රම ස්ථාපිත කර ඇත. මේවායේ වාර්තා පවුලේ වෛද්‍යවරයා වෙත නිකුත් කෙරේ. ස්මාට් සෞඛ්‍ය සේවා අනුව රෝගියා චැනල් කිරීම වෛද්‍යවරයාගේ කාර්යය වනු ඇත. වාර්තා පරීක්ෂා කරන හෙතෙම වහාම ප‍්‍රතිකාර සදහා පැමිණෙන ලෙස දැනුම්දීමක් නිවසටම යොමු කෙරේ.

නගරය පමණක් නොව ආශි‍්‍රත ප‍්‍රදේශවල කෘෂිකාර්මික කටයුතු ද කෘතීම බුද්ධිය ආවරණය කරනු ඇත. කාලගුණ වාර්තා එයින් ප‍්‍රධාන අංශයකි. කුඩා ඉඩමක පවා වගාකරන වෙනස් ක‍්‍රම නිර්මාණය වේ. හරිතාගාරවල පස් හෝ ජලය රහිත වගා ක‍්‍රම ස්මාට් කෘෂිකර්මයේ දී බහුලය. වගාවට යෙදිය යුතු ජලය හා පොහොර අවශ්‍යතා ජංගම දුරකතනයෙකින් පාලනය කළ හැකිය.

ඉන්දියාවේ සැලසුම් කරන ස්මාට් නගර සියයක මෙවැනි පහසුකම් වේගයෙන් ස්ථාපිත කරනු ඇති අතර සංවර්ධනය හා තාක්ෂණය සමග ජන ජීවිතය නවීකරණයකට පත්වනු ඇත. ආර්ථික අර්බුදය ගැන බරපතල තත්ත්වයක පසුවන ශ‍්‍ර‍්‍රී ලංකාව අර්බුදය අවස්ථාවක් කරගත යුතුය. පැරණි ආකෘතියට නැවත ඇතුළුවීම වෙනුවට තෝරාගත් නගර නැවත නිර්මාණය කරනවිට ඒවා ස්මාට් නගරවල අවශතා සහිතව දියුණු කළ හැකිවේ. කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් අනුව තීරණ ගත යුතුව තිබේ. අර්බුදය තුළ විසදුමක් රහිත පසුබිම තුළ දක්ෂතා ඇති පිරිස නතර කරගැනීම සදහා ස්මාට් තීන්දු ගැනීම අවශ්‍ය කෙරේ. ප‍්‍රතිසංස්කරණයකට පසු නැවතත් පැරණි යුගයට යල් පැනගිය ලිපිගොනු සහිත අකාර්යක්ෂම පාලන ක‍්‍රමවලට ඇතුළුවීම අනුචිත තත්ත්වයකි. මහජන නියෝජිතයන්, දේශපාලන පක්ෂ ලෝකයේ සිදුවන අලූත් රාමුව අධ්‍යයනය කළ යුතුය. සහන වශයෙන් යමක් දී ඡන්දය ලබාගෙන බලයට පත්වීමේ ප‍්‍රතිපත්ති දේශපාලන පක්ෂවලින් බැහැර කිරීම කාලෝචිතය. සම්ප‍්‍රදාය ප‍්‍රතික්ෂේප කරන දේශපාලන පක්ෂ තාක්ෂණය හදුනාගෙන ස්මාට් ක‍්‍රමවලට ඇතුළුවිය යුතු අතර පැරණි දේශපාලන ප‍්‍රතිපත්ති නූතන යුගයට හසුරුවාගැනීමේ ක‍්‍රම අධ්‍යයනය කිරීම වැදගත්වේ. තාක්ෂණයෙන් ලබාගත හැකි සහාය ගැන විවාද කිරීම අද දේශපාලනඥයන්ගේ වගකීම විය යුතුය.