» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
06/06/2021 - ඉරිදා ලංකාදීප
හින්දු සංස්කෘතික අනන්‍යතාව අනුව මරණය සහ වතාවත්

කොවිඩ් වසංගත තත්ත්වය ඉහ වහා යන පසුබිම තුළ ජාත්‍යන්තර මාධ්‍ය ඉන්දියාව දෙසට හැරිණ. ආසාදනය වන රෝගීන් ප්‍රමාණය, ජීවිතක්ෂයට පත්වන පිරිස ගැන සංඛ්‍යා ලේඛන වලට අමතරව මියගිය පිරිස් ආදාහනය කරන ආකාරය ගැන හුවා දක්වන බව නිරීක්ෂණය කළ හැකි විය. සමහර දර්ශන සිත් සසල කරන සුළුය. මියගිය දේහ එළිමහනේ ආදාහනය කරන තරමට අහිංසක ජනී ජනයා අසරණ වූ අතර සම්පූර්ණයෙන් දහනය නොවූ සිරුරු කොටස් ගංගාවල තිබී සොයාගත් බව වාර්තා අනාවරණය කළේය. දියුණු සමාජ පසුබිමක් තුළ, පැරණි යල්පැන ගිය ලක්ෂණ ඉවත් කළ යුතු බවට තර්කයක් තිබේ. හින්දු ආගම අදහන බැතිමතුන්ට අනුව එය උසස් සංස්කෘතික චාරිත්‍රයකි. මිය ගිය පුද්ගලයා ගේ ආත්මය නිදහස් කරන වතාවතකි.

හින්දු දහම අනුව ආත්මය වැදගත්ය. ආත්මය තැනකින් තැනක දී කිසියම් ශරීර පාවිච්චි කරන බව හින්දු ආගමික දර්ශනයයි. අවසන් ගමන් යන පුද්ගලයෙකු ගේ ආදාහන කෘත්‍යයේ දී ආත්මය නිදහස් කළ යුතුය. ශරීරය තැනී ඇත්තේ ද්‍රව්‍ය පහකින් බව හින්දු ආගමික දැක්මයි. වාතය, ජලය, ගින්දර, පස සහ අවකාශය එහි තිබේ. ශරීරය මේවායෙන් නිදහස් වූ පසු ආත්මය දෙවියන් වෙත සමීප වනු ඇත. හින්දු ආගමිකයෙකු ජීවිතක්ෂයට පත් වහා, දේහය දෝවනය කරනු ලබයි. අනතුරුව සුදු රෙදි වලින් ආවරණය කරයි. පුරුෂයෙකු හෝ ස්වාමියා අහිමි භාර්යාවක නම්, රතු රෙදි ද භාවිතා කෙරේ. ස්වාමියා ජීවත්වන බිරිඳක ගේ දේහය රතු, කහ හෝ සුදු පැහැති තිලකයක් තබන බව දැක්වේ. ගංගාවක් අසබඩට දේහය රැඟෙන යන ඥාතීහු වැඩිමහල් පුත්‍රයාට චිතකය අවුලුවන අවස්ථාව පවරයි. සමහර අවස්ථාවක පූජකයෙකු මුල් වන බව ද සදහන්ය. විවිධ විශ්වාස අනුව තවත් චාරිත්‍ර තිබේ. වී අහුරක් මුවට හෙලන, ගිතෙල් වලින් ආලේප කරන සහ පැත්තකින් හිල් කර එයින් ජලය වෑහෙන, පිරුණ කලයක් උරය මත තබාගෙන හිස බූ ගාන ලද පිරිමියෙකු වට කිහිපයක් ගමන් කිරීම ඒ අතර තිබේ. විවෘත භූමියේ දවන දේහයෙන් නැගෙන දුම් අහසට නැගේ. එම දුම වලාකුළු බවට හැරී වැස්සක් හෙලන අතර එයින් පරිසරය නැවත පිරිසිදු බවට පත්වෙනු ඇතැයි සලකති. ඉතිරිවන තෙත අලු ගංගාවේ පා කර හැරීමෙන් ආත්මය නිදහස් වෙයි.

විශාල ජනගහනයක් සහිත, ඉන්දියාවේ බහුතරයක් වන හින්දු ජාතිකයන් ඔවුන්ගේ විශ්වාස, ඇදහිලි හා වතාවත් අනුව ජීවිතයේ අවසන් ගමන සිදුකරන ආකාරය තීරණය කරයි. පැලැන්ති අනුව චාරිත්‍ර වල උස් පහත් ලක්ෂණ එකතු වී තිබේ. දේහය උඩුකුරුව සීරුවෙන් තැබීම සාමාන්‍යවන අතර සමහරක් ප්‍රභූන් ගේ දේහය ඉඳගෙන භාවනා කරන ආකාරයකට ද සකස් කරති.

උපත, විවාහය හා මරණ සම්බන්ධ චාරිත්‍ර විවිධ රටවල එකිනෙකට වෙනස්ය. ජීවිතයේ සෑම අවස්ථාවකටම අනන්‍ය සංස්කෘතික ලක්ෂණ ඇත. මේවා රටකින් රටකට පමණක් නොව ජන කණ්ඩායම් අතර ද සෑහෙන වෙනස්කම් සහිතය. ජීවිතය පමණක් නොව මරණය ද විස්මිත සිදුවීමකි. ගහ කොළ, වන සතුන් හා පරිසරය අතර එකට ගැටෙන මිනිසුන් එයින් චර්යාවන් සකස් කරගනිති. තාක්ෂණික යුගයකට ඇතුළු වන නමුත් ඒවායෙන් ගිලිහී වෙනත් පැත්තකට යොමුවෙන්නට සූදානමක් නැති තරම්ය. අනුගමනය කරන පිලිවෙල වෙනස් කිරීමෙන් මියගිය පුද්ගලයා ගේ ආත්මය අනාරක්ෂිත කරන්නට තරම් එඩිතර තීරණ ගන්නා පිරිස ඉතාමත් සීමිතය. එය ඕනෑම සමාජයකට පොදුය.

සමහර මනුෂ්‍යයන්ගේ විශේෂයෙන් ජන කණ්ඩායම්වල ඇතුලාන්තය ඉන්දියාවේ සිදුවීම් වලින් පෙන්වන ඉතාම වැදගත් කාරණයකි. 1845-1947 කාලය තුළ ඉන්දියානුවන් ලක්ෂ ගණනක් වැනිසියුලාව අසල පිහිටි ටි්‍රනිඩෑඩ් රාජ්‍ය වෙත කැටුව යන්නට අධිරාජ්‍යවාදීහු ක්‍රියා කර ඇත. බහුතරයක් දෙනා උතුරු ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් හා බිහාර ප්‍රාන්ත වලින්ය. එකල බ්‍රිතාන්‍යය යටත්ව තිබුණ අතර ටි්‍රනිඩෑඩ් රැඟෙන ගිය ඉන්දීය හින්දු ජාතිකයන්ට සම්ප්‍රදායික ආදාහන කටයුතු පැවැත්වීම, එහි දී තහනම් කරන ලද බව ඉතිහාස වාර්තා කියයි. දීර්ඝ කාලයක් එහි ජීවත් වූ හින්දු කොටස් ස්වකීය ජීවන අරගලය පමණක් නොව ආත්මීය අරගලය සඳහා ද බරපතල සටනක් කර තිබේ. 1980 ගණන් වල සිරුරු දහනය සම්බන්ෂ ගැටළු එක්තරා ආකාරයකට විසඳා ගෙන තිබේ. එය සංධිස්ථානයකි. නවීන ආදාහනාගාරයක් ඉදිකරන අවසරය දී තිබේ. බ්‍රිතාන්‍යයේ පවා මෙම කරුණ ගැන විවාදයක් තිබුණි. අධිකරණ තීන්දුවකින් පසු හින්දු ජාතිකයන්ගේ අභිප්‍රායට ඉඩ දී ඇත. 1902 බි්‍රතාන්‍ය පණතක් අනුව මිය ගිය පුද්ගල සිරුරු එළිමහනේ ආදාහනය තහනම් කර තිබුණි. එය සංශෝධනය කරන්නේ 2010 වසරේ දී ය. පසුව බ්‍රිතාන්‍යයේ වෙසෙන හින්දු ආගමික පිරිස් හිරැ එළිය සහිත එළිමහන් තැනක, සිය වැඩිමහල් පුත්‍රයා ගේ මෙහෙයැවීමෙන් අවසන් කටයුතු කරන අවසරය ලබාගෙන ඇති බව වාර්තා වෙයි. බ්‍රිතාන්‍යය ජාතිකයෝ ඉන්දියානු ශ්‍රමිකයන් ලංකාවට ද කැඳවාගෙන පැමිණ වතු සේවයට යොමු කළහ. ලක්ෂ ගණනක් පිරිසක්, දීර්ඝ සංචාරයකින් පසු පාගමනින් වතු වගා කරන උඩරට ප්‍රදේශවලට ගෙන ගොස් තිබේ. ඉන්දීය සම්භවයක් සහිත එම ජන කොටස ගේ පැවැත්ම හා ඉරණම වෙනම ලිපියකින් සාකච්ඡා කළ යුතුය.

කොවිඩ් වසංගත තත්ත්වට හෙයින් දිනපතා මියයන පිරිස ඉහළ යන පසුබිම තුළ ඉන්දියාවේ හින්දු සංස්කෘතික නැඹුරුව තුළ අලුත් තත්ත්වයක් ඇති විය. පැය විසිහතරක් තුළ අවසන් කටයුතු හමාර කර ආත්මය නිදහස් කළ යුතුය. නීති රීති හරස් වී තිබේ. පහසුකම් ප්‍රමාණවත් නැත. සම්ප්‍රදායික ආදාහන කටයුතුවල නිරත පිරිස් වේගයෙන් වැඩ කරන්නට පටන්ගෙන තිබේ. කාර්යය බහුලත්වය හෙයින් සංකීර්ණ තත්ව ඇති විය. සමහර පිරිස් ගැටුම් ඇති කරගත් බව ද “ ද හින්දු” පුවත්පත වාර්තා කර තිබුණි. ආදාහනාගාර ප්‍රමාණවත් නොවීම නිසා නවදිල්ලියේ තිබුණ සත්ව ආදාහනාගාරයක් පවා ක්ෂණිකව පරිවර්තනය කර මියගිය පිරිස් වෙනුවෙන් වෙන් කර ඇත. අලුතින් ආදාහනාගාර ඉදිකරන්නට පියවර ගත්තේය. මියයන පිරිස වැඩිවන විට ඒවා ඉක්මනින් ආදාහනය සඳහා අධික ගාස්තු අය කිරීමට උත්සාහ කරන අවස්ථා බහුලය අනාවරණය වී තිබේ. ඒවා දරා ගත නොහැකි වූ පිරිස් තෝරාගත් ස්ථානවල දී තම ඥාතියා ගේ ආත්මය නිදහස් කරනු සඳහා ගත හැකි එකම පියවර අනුගමනය කරන ලද බව නොරහසකි. මනුෂ්‍යයන් අදහන, විශ්වාස කරන සංස්කෘතික ගුණාංග වලට අවහිර කිරීම පහසු නැත. පවතින වාතාවරණය තුළ ඉන්දීය රජය මහත් වෑයමකින් පියවර ගනිමින් සිටී. සාමාන්‍ය ජනතාව හැසිරෙන ආකාරය පාලනය සඳහා විශේෂ නිලධාරීන් යොදවන්නට තීරණය කළේය.

විශේෂයෙන් ගංගා නදිය දෙපස සිදුකරන ආදාහන කටයුතු හා නොදැවුණ කොටස් ගඟට දැමීම වැලැක්වීමට මුර සංචාර පවා යොදවන ලද බව දැක්වෙයි. ඉන්දියාවේ පවතින ස්වභාවයෙහි යටිපෙල නිරීක්ෂණය කළ යුතුය. එරට තුළ විවිධ අනන්‍යතා තිබේ. ආගමික හා සංස්කෘතික පැතිවලින් ජනතාව සමග බැඳුන විශ්වාස බහුලය. ඉතාම නවීන අදහස් සහිත පසුබිම තුළ පවා පැරණි සම්ප්‍රදාය ආරක්ෂා කරන සෑහෙන පිරිසක් සිටිති. දේශපාලන ව්‍යුහයට එයින් එල්ල කරන පීඩනය තියුණුය. කොවිඩ් වසංගත තත්ත්වය හෙයින් රට තුළ තද නීති පනවා ජනයා ඒකරාශීවීම වලකන ලද නමුත් කුම්භමේලා වැනි ආගමික වතාවත් අවලංගු කරන්නට අසමත්වීම කැපී පෙණින. නවීන ආකල්ප අනුව හැසිරෙන එක කොටසක් අබියස නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා විවේචනයට ලක්ව ඇත. සමාජ මාධ්‍ය තියුණු අදහස් එකතු කරන බව පෙනේ. සම්ප්‍රදාය හා අලුත් තීරණ අතර දෝලනය වන කාල වකවානුවකි. ජාත්‍යන්තර වාර්තා අනුව එළිමහනේ දේහය පුලුස්සන ඉන්දියාවේ තරමට තත්ත්වය දරුණුය. එහෙත් ඉතාම දියුණු තාක්ෂණය සහිත ඉන්දියාවේ නවීන ආදාහනාගාර තිබේ. ඒවා තවත් ඉදිකරන්නට බාධාවක් නැත. එහෙත් ආගමික විශ්වාස සහ ජනී ජනයාගේ සිතුම් පැතුම් පාලනය කරන්නේ කෙසේද? එය පහසු නැත. විශාල ජනගහනයක්, විශාල ආර්ථිකයක් පමණක් නොව ජාත්‍යන්තර වාර්තා සනාථ කරන පරිදි කොවිඩ් එන්නත් විශාලතම වශයෙන් නිපදවන රටක අභ්‍යන්තරයෙහි එක පැත්තක තොරතුරු පුදුමාකාර සිදුවීම් වලින් බහුලය. එතැනින් හෙළිකරන අභ්‍යන්තරය තේරුම් ගැනීම වැදගත්ය. ආත්මය නිදහස් කරන සම්ප්‍රදායික පියවරක් සඳහා පෙළගැසෙන ජනී ජනයා ගේ ඇතුලාන්තය වෙනස්ම පැත්තකි.